ලාංකික කාන්තාවකට අතවර කළ නිව්‌යෝක් නීතිපති ඉල්ලා අස්වෙයි


එරික් ස්නයිඩර්මන්

 

ප්‍රජාතන්ත්‍රවාදය අගයන සෑම රටකම නීතිය පවතින්නේ සියල්ලටම ඉහළිනි. එය රටේ ඉහළම පුද්ගලයාට මෙන්ම පහළම පුද්ගලයාට ද පොදුය. තමනට ශාරීරික වද හිංසා සිදුකළ බවට කාන්තාවන් සිවු දෙනෙකු විසින් කරන ලද චෝදනාවක් මත නිවයෝක් හි ඉහළම නීති නිලධාරියාට පසුගියදා ඉල්ලා අස්වීමට සිදු වූයේ නීතිය සැමට පොදු බව සනාථ කරමිනි.  


 නිව්යෝක්හි නීතිපතිවරයා වූයේ එරික් ස්නයිඩර්මන්ය. තමනට ශාරීරික පීඩා කළ බවට චෝදනා කරමින් ඔහුගේ කලින් පෙම්වතියන් සිවු දෙනකු ‘නිව්යෝකර්’ සඟරාවට ප්‍රකාශයක් ලබා දී තිබිණි. ඉන් දෙදෙනකු නිර්නාමිකව ද, දෙදෙනකු සිය අනන්‍යතාව හෙළිකරමින් ද මෙම චෝදනාව එල්ල කර තිබිණි. එරික් ස්නයිඩර්මන් අධික ලෙස මත්පැන් පානය කිරීමෙන් පසු කිසිදු හේතුවක් නොමැතිව තමන්ට පහර දුන් බැව් ඔවුන්ගේ චෝදනාවය.  


නීතිපති එරික් ස්නයිඩර්මන් පිළිබඳ ප්‍රවෘත්තිය නිව්යෝකර් සඟරාවේ පළවීමත් සමඟ නීතිපති දෙපාර්තමේන්තුව සහ රාජ්‍ය නිලධාරීන් කඩිගුලක්සේ ඇවිස්සිණි. ‘ඔහු වරදක් කර තිබේ නම් තවදුරටත් සිය ධුරයේ කටයුතු කිරීමට ඔහුට හැකියාවක් නොමැති බවයි මගේ පෞද්ගලික මතය. සියල්ලන්ම නීතියට යටත්. එය නිව්යෝකයේ ඉහළම නීති නිලධාරියාට ද පොදුයි. එහෙයින් ඔහු ඉල්ලා අස්විය යුතුයි.’ යනුවෙන් ප්‍රකාශ කළ නිව්යෝක්හි ආණ්ඩුකාර ඇන්ඩෲ කුඕමෝ, ස්නයිඩර්මන්ට ඉල්ලා අස්වෙන ලෙසට ඉල්ලා සිටියේය.  


 නීතිපතිවරයාට එරෙහිව චෝදනා එල්ල කරන ලද අනන්‍යතාව හෙළි නොකරන ලද කාන්තාවන් දෙදෙනාගෙන් එක් අයකුගේ පෞද්ගලික තොරතුරු අනාවරණයවී නොමැත. අනෙක් කාන්තාව නිව්යෝක්හි ප්‍රකට නීතිඥවරියකි. ස්නයිඩර්මන් තමාට තරවටු කළ බවත්, බලහත්කාරයෙන් තමා වෙත ළංවීමට උත්සාහ කළ අවස්ථාවේ තමා ඔහුගෙන් මිදෙන්නට උත්සාහ කළ විට ඔහු තමාට තදින් පහර දුන් බවත් එම පහර කොතරම් බලවත් ද යත් පසුදින වෙනතෙක් පහර දුන් සලකුණු මුහුණේ දැකිය හැකි වූ බවත් ඇය සඳහන් කර තිබේ. මෙම කාන්තාවන් දෙදෙනාම නීතිපතිවරයාට එරෙහිව චෝදනා කර ඇත්තේ තමන්ට නිකරුණේ පහර දුන් බවට ය.  


 අනෙක් කාන්තාවන් දෙදෙනා මිෂෙල් මැනිංග් බාරිෂ් හා ටාන්යා සෙල්වරත්නම්ය. මිෂෙල් බාරිෂ් කලක් සුප්‍රකට ලේඛකයකු වන සල්මන් රුෂ්ඩිගේ පෙම්වතිය වූවාය. ඇය ස්නයිඩර්මන්ගේ පෙම්වතිය බවට පත්වූයේ 2013 දීය. එම සම්බන්ධය දෙවසරක කාලයක් පැවතිණි. ස්නයිඩර්මන් තමා හැඳින්වූයේ ගණිකාවක ලෙසින් බව ද නිදියහනේදී නිතර පහර දුන් බව ද ඇය ප්‍රකාශ කරයි.  


 ටාන්යා සෙල්වරත්නම් ශ්‍රී ලාංකික කාන්තාවකි. හාවඩ් විශ්වවිද්‍යාලයීය උපාධිධාරිනියක වෙන ඇය සමාජ ක්‍රියාකාරිනියක, ගත්කතුවරියක චිත්‍රපට නිෂ්පාදිකාවක හා නිළියක ද වේ. පළමු විවාහයෙන් දික්කසාද වූ ටාන්යා, සිනයිඩර්මන්ගේ පෙම්වතිය වූයේ 2016 සිටය. 2017 දී එම සබඳතාව බිඳ වැටිණි. මිසෙල් හා ටාන්යා යන දෙදෙනාම 40 වැනි වියේ පසුවෙති. මැන්හැට්න්හි ජීවත් වූ ඔවුහු කාන්තා අයිතිවාසිකම් උදෙසා පෙනී සිටි සමාජ ක්‍රියාකාරිනියෝය.  

මිෂෙල් සහ ස්නයිඩර්මන්

 

ටාන්යා සහ ස්නයිඩර්මන්


ස්නයිඩර්මන් තමා හැඳින් වූයේ ‘දුඹුරු වහලිය’ ලෙසින් බව ද ස්නයිඩර්මන්හට ‘මාස්ටර්’ (ස්වාමියා) යනුවෙන් ඇමතීමට බලකරමින් එලෙස පවසන තෙක් තමන්ට පහර දුන් බව ද පවසන ඇය ‘ඇතැම් අවස්ථාවල ඔහු මගේ හුස්ම හිරවෙන තෙක් මුව වසාගෙන සිටියා. අප හඳුනාගෙන කෙටි කලක් ගතවෙත්ම ඔහු මට පහර දීමට පටන් ගත්තා. මුල් දිනවල එතරම් තදබල නොවුවත් පසුව ඉතා දරුණු ලෙස පහර දුන්නා.’ යනුවෙන් සඳහන් කරයි. ආරම්භයේදී තමා සුරංගනා කතාවක් ලෙස සිතා සිටි ස්නයිඩර්මන් සමඟ පැවැති ප්‍රේමය පසුව මහත් ව්‍යසනයක් බවට පත්වූයේ යැයි ඇය කියා සිටින්නීය.  


තමන් නිව්යෝකර් සඟරාවට ස්නයිඩර්මන් පිළිබඳ තොරතුරු හෙළිදරවු කිරීමට පියවර ගත්​ෙත් අනෙකුත් කාන්තාවනට ඔහුගෙන් සිදුවිය හැකි අතවරවලින් ගලවා ගැනීමේ අරමුණින් යැයි ටාන්යා සහ මිෂෙල් ප්‍රකාශ කර තිබේ. සන්යිඩර්මන් තම දුරකථනයට රහසින් සවන් දුන් බවද ඔහු අතහැර ගියහොත් මරා දමන බවට තර්ජනය කළ බැව් ද මිෂෙල් හා ටාන්යා කියා සිටිති.  


තමන්ට එරෙහිව එම කාන්තාවන් සිවුදෙනා නගන චෝදනා සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළ ස්නයිඩර්මන්, තමා මෙම කාන්තාවන්ට පහර නොදුන් බැව් පවසා තිබේ. තමා ඔවුන් හා සබඳතා පැවැත්වූයේ ඔවුන්​ගේ කැමැත්තෙන් විනා බලහත්කාරයෙන් නොවන බවත් එය තම රාජකාරියට සම්බන්ධ වූවක් නොව පෞද්ගලික කටයුත්තක් බවත් ඔහු පවසා තිබේ.  


කෙසේ වුවද මෙම එළිදරව්වෙන් පැය කිහිපයකට පසු එරික් ස්නයිඩර්මන් නිව්යෝක්හි නීතිපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.  


 63 හැවිරිදි එරික් ස්නයිඩර්මන් වඩාත් ප්‍රචලිතව සිටියේ කාන්තා අයිතිවාසිකම් උදෙසා පෙනී සිටි පුද්ගලයකු ලෙසිනි. ඔහු කාන්තාවන්ට සිදුවෙන ලිංගික අතවරවලට එරෙහි සංවිධානයක් වන ‘මී ටූ’ නැමැති සංවිධානයේ ප්‍රබල චරිතයක් විය. නිව්යෝකයේ ඉහළම නීති නිලධාරියා වූ ඔහු හාවි වින්ස්ටන් නැමැති චිත්‍රපට නිෂ්පාදකයා විසින් සිදුකරන ලද ලිංගික අපරාධවලට එරෙහිව ඔහුට නඩු පැවරීමට ක්‍රියා කළ වින්දිතයන්ට විශාල වන්දි මුදලක් ලබා දීමට ද පියවර ගත්තේය. 1998 දී නිව්යෝක් සෙනෙට් සභාවට තේරී පත් වූ ඔහු වසර 12 ක කාලයක් එහි වගකීම් දැරීය. තමන්ට ශාරීරික හා ලිංගික හිරිහැර සිදුකළ බවට කාන්තාවන් සිවු දෙනකු විසින් චෝදනා නඟා ඇත්තේ එලෙස කාන්තා අයිතීන් උදෙසා පෙනී සිටි පුද්ගලයකුට වීම දෛවයේ සරදමක් බඳුය.  

 

 

 

‘නිව්යෝකර්’ සඟරාව ඇසුරිනි.  
 ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා