ලක්‍ෂ තුනකට වැඩි පිරිසක් නියඟයෙන් පීඩාවට


 

 

දේශපාලන උද්ඝෝෂණවලින් රටේ කොටසක්, පිරිසක් ඇවිළී සිටියදී, ලක්‍ෂ ගණනක ජනතාවක් ඉර අව්වෙන් ගිනියම් වී තම ජීවිකාව කර ගැනීමට නොහැකිව විශාල ගැටලුවකට මුහුණ දී සිටිති.  


මාස ගණනක් පුරා අහස් වැසි දිය නැතිව, ගංගා ඇළ දොළ සිඳී යාම නිසා බීමට වතුර බිඳක් නැති, රටට බත සපයන ලක්‍ෂ ගණනක පිරිසක් මෙම ගැටලුවට මුහුණ දී සිටින පිරිස අතර වෙති.  


ආණ්ඩුවේම සංඛ්‍යා දත්ත පෙන්වා දෙන අන්දමට මෙම නියඟය හේතුවෙන් උතුරු නැගෙනහිර ඇතුළු පළාත් ගණනාවක ලක්‍ෂ තුනකට වැඩි පිරිසක් පීඩාවට පත්ව සිටිති.  
සොබාදහමින් සිදුව ඇති මෙම දරුණුකම නොසලකා හැරීම හමුවේ ආණ්ඩුවේ බලධාරීන් වෙතින් පිරිසක් වතුර ඉල්ලා සිටින අතර තවත් පිරිසක් ආණ්ඩුව විසින් ගොවි ජනතාවට පොරොන්දු කඩකළ බවට චෝදනා නගමින් ගොවි අරගල ආරම්භ කිරීමට සූදානම් වන බව පෙනෙන්නට ඇත.  


මේ වනවිටත් බිම් මට්ටමේ ගොවීන් අරගලයට සූදානම් කර තිබෙන අතර මේ පිළිබඳව යුක්තිය සාධාරණය ඉල්ලා මානව හිමිකම් කොමිසම වෙත යාමට සූදානමින් සිටින බව පවසන්නේ ගොවි සංවිධානවල නියෝජිතයෝය.  


පෑවිල්ලේ සැරකම නිසා උතුරු, නැගෙනහිර මෙන්ම පළාත් කිහිපයකම ජනතාව දැඩි අසීරුතාවකට පත්ව සිටින බව වඩාත් පැහැදිලි වන්නේ ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන ඒකකයේ සංඛ්‍යා දත්ත මගිනි.  


මෙහිදී වැඩිම හානි වූ පළාත ලෙස උතුරු පළාත දැක්වෙන අතර බලපෑමට ලක් වූ පිරිස 159,249ක් වෙයි. පවුල් සංඛ්‍යාව ලෙස ගත් විට 47,607 කි.  


දිස්ත්‍රික්ක ලෙස ගත් විට වැඩිම පවුල් සංඛ්‍යාව 18,525 කි. පුද්ගලයන් සංඛ්‍යාව 60,796 කි. කෑගල්ල, පුත්තලම, කුරුණෑගල, වව්නියාව, යාපනය, මන්නාරම, කිලිනොච්චිය, මුලතිව්, මාතලේ, මාතර, හම්බන්තොට, ගාල්ල, පොළොන්නරුව, අනුරාධපුර, අම්පාර, ත්‍රිකුණාමලය, මඩකළපුව, මොණරාගල මේ ආදී පළාත් ගණනාවක මෙම නියඟ තත්ත්වයේ බලපෑම නිසා දුෂ්කරතාවට පත්ව ඇති ජනතාව විශාලය.  


ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අතිරේක ලේකම් ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසන්නේ මෙම නියඟය හේතුවෙන් දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින ජනතාවට පානීය ජලය සැපැයීමට එම මධ්‍යස්ථානය සියලු පියවර ගෙන තිබෙන බවය.   


“විශේෂයෙන්ම උතුරු නැගෙනහිර පළාත්වල පානීය ජල ප්‍රශ්නය තමයි උග්‍රව පවතින්නේ. සමහර තැන්වලට වර්ෂාව ලැබී තිබුණා. එ්ත් ප්‍රමාණවත් නැහැ. ලක්‍ෂ තුනකට වැඩි පිරිසක් පීඩාවට පත්වෙලා සිටිනවා. වගා හානි කිසිවක් වාර්තා වී නැහැ. වතුර බවුසර්, ටැංකි මගින් ජලය ලබාදීමට දිස්ත්‍රික් ලේකම්වරුන්ට මුදල් ප්‍රතිපාදන සම්පාදනය කර තිබෙනවා.”


මෙම දැඩි පෑවිල්ල නිසා සබරගමුව පළාතේ පුද්ගලයන් 369, වයඹ පළාතේ පුද්ගලයන් 53,887 දෙනෙක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පෙන්වා දෙයි.  
මීට අමතරව උතුරු පළාතේ යාපනය, මන්නාරම, කිලිනොච්චිය, මුලතිව් සහ යාපනය දිස්ත්‍රික්කවල පුද්ගලයන් 159,249 දෙනකු පීඩාවට පත්ව තිබේ.  


වයඹ පළාතේ පුද්ගලයන් 19,330ක් ද දකුණු පළාතේ පුද්ගලයන් 39,697 දෙනෙක් ද පීඩාවට පත්ව ඇත.  


උතුරු මැද පළාතේ පුද්ගලයන් 3,150 දෙනකු සහ ඌව පළාතේ 1,530 දෙනෙකු පීඩාවට පත්ව ඇත.   


නැගෙනහිර පළාතේ අම්පාර, ත්‍රිකුණාමලය, මඩකළපුව යන දිස්ත්‍රික්කවල පුද්ගලයන් 81,040 දෙනකු පීඩාවට පත්ව ඇතැයි එම සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි.  


මේ අනුව නියඟ තත්ත්වය මෙන්ම සුළු වශයෙන් ඇති වූ විදුලි අකුණු ගැසීම්, ගල් කඩා වැටීම්, අධික වර්ෂාව වැනි හේතුව මත 358,254 දෙනකුත් පීඩාවට පත්ව තිබෙන බව එම සංඛ්‍යා දත්ත වැඩිදුරටත් සඳහන් කර සිටී.  


කෙසේ වුව ද වගා හානි කිසිවක් වාර්තා වී නැතැයි ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසා සිටිය ද අදාළ එම ප්‍රදේශවල වගා කටයුතු කරන බොහෝ දෙනා පවසා සිටියේ නියඟය හේතුවෙන් වගා කටයුතුවලට දැඩි ලෙස බාධා පැමිණ තිබෙන බවයි.   


මේ අතර ගොවි ජනතාව මෙම උග්‍ර ජල හිඟය මත මුහුණ දී සිටින ගැටලු ගැන සඳහන් කරමින් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා කියා සිටියේ, ආණ්ඩුව ගොවි ජනතාවට දුන් පොරොන්දු ඉටු නොකිරීමට එරෙහිව ගොවි සටන් අරඹා, ගොවි අයිතීන් දිනා ගැනීමට මානව හිමිකම් කොමිසම හමුවට යාමට සූදානම්ව සිටින බවයි.  


“අනුරාධපුර මහවැලි එච් කලාපයේ අක්කර 60,000කට ආසන්න ප්‍රමාණයක් වතුර නැතුව වගාවෙන් ඈත්වෙලා තියෙනවා. ගොවියන්ට වතුර දෙන්න පුළුවන්. නමුත් එසේ කර නැහැ. 25 වැනිදා වනවිට කලා වැවේ දකුණ ඉවුරටත්, 20 වැනිදා වනවිට වම් ඉවුර සහ යෝද ඇළ ව්‍යාපාරවලට කන්න රැස්වීම් තියලා වතුර දෙන්න ගොවීන්ට පොරොන්දු වෙලා තිබුණා. ගොවීන්ට කිව්වා වේලි සුද්ද කරන්න, වගාවට සූදානම් වෙන්න, සියයට 50කට භෝග වගා සඳහා වතුර දෙනවා කියලා. ගොවියෝ වල් මර්දනය කළා. ඇළවල් සුද්ද කළා. සෝයා වැනි බීජ ගන්න සල්ලි බැන්දා. හැබැයි වතුර දුන්නේ නැහැ. කලා වැවේ මේ වනවිට අක්කර අඩි 54,000ක් වතුර තියෙනවා. මිට කලින් අක්කර අඩි 33,000ක් තිබියදීත් බෙත්මට කුඹුරු වී වගා කරන්න දීලා තිබුණා. 15,000කට ආසන්න ගොවීන්ට පොරොන්දු දීලා, වියදම් කරවලා ඔවුන්ට විශාල අසාධාරණයක් කර තිබෙනවා.  


සිදුවූ මේ අසාධාරණය සම්බන්ධයෙන් අප මානව හිමිකම් කොමිසමට යන්න බලාපොරොත්තු වෙනවා. ඊට අදාළ බිම් මට්ටමේ සටනක් අපි ආරම්භ කර තිබෙනවා.”
මේ අතර පවතින නියඟය හමු​ෙව් අහස් දියෙන් වගා කරන ගොවි ජනතාව මුහුණ දී සිටින දුෂ්කරතා සුළුපටු නොවන බව ද පෙනී ගියේ ඔවුන් හා කළ කතාබහෙනි.  
මෙවර කන්නයේදී වර්ෂාව ලැබුණ ද වැව් පිරී, වාන් දමන තත්ත්වයට පත් නොවීම නිසා වගා කිරීමට තරම් ජල ධාරිතාවක් රැඳී නොතිබීම නිසා අලුතින් වැව් කැපීම රජයත්, වෙනත් පිරිසක් විසින් ආරම්භ කර තිබෙන බව ද ගොවියෝ පෙන්වා දෙති.  


සංජීව කරුණාසාගර කුරුණෑගල පළාතේ ගොවි නායකයෙකි. ඔහු පෙන්වාදෙන අන්දමට මෙම ප්‍රදේශයේ කුඹුරු කෙරෙන්නේ අහස් දියෙනි. බහුතරයක් ඇත්තේ කුඩා වාරිමාර්ග වැව්ය. ලංකාවේ වැඩිම මාස් කන්නයේ වී අස්වනු ලැබී ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙනි. වැව් සමඟ අහස් දියෙන් වගා කරන සියලු කුඹුරු විනාශ වී ඇත. ඔහු පෙන්වා දෙන අන්දමට එසේ හානි වී ඇති කුඹුරු අක්කර ප්‍රමාණය 25,000ටත් 30,000ටත් ආසන්නය. නියඟය නිසා ඇති වී ඇති තත්ත්වය ඉතා බරපතළය.  


“සමහර මහා වාරිමාර්ගවලින් දැදුරු ඔය ජලාශයේ හෙට්ටිපොළ ප්‍රදේශයට ජලය ලැබුණේ නැහැ. වගා කරලා මේ වනවිට මාස දෙකක් විතර වෙනවා. අවශ්‍ය ජල ප්‍රමාණය නොලැබීම නිසා වගාව විනාශ වෙනවා. ඒ නිසා අස්වනු නැති පාඩුව වගේම හාන්නට, යන්ත්‍රෝපකරණ වියදමට, බිම් වියදම, කෘමි නාශක වල් නාශක වියදම මේ ආදී වගාවට යෙදවූ මුදල් සියල්ල ගොවියාට අහිමි වී තිබෙනවා. ආණ්ඩුව මේ තත්ත්වය සැලකිල්ලට ගෙන අදාළ ක්‍රියාමාර්ග ගත යුතුයි. නිෂ්පාදන පිරිවැයට සාපේ‍ක්‍ෂව, වන්දි මුදල් ලබා දිය යුතු බව අපි ආණ්ඩුවට කියා සිටිනවා.” ඔහු පවසන්නේය.  


එසේම අලුතින් වැව් කැපීම නිසා අතුරු ප්‍රශ්න ගණනාවක් ද උද්ගතව ඇති බව ඔහු පෙන්වා දෙයි.  


අලුතින් වැව් කැපීම රජයේ අරමුදල්වලින් මෙන්ම ඇතැම් පිරිස් විසින් ද කරනු ලබන බවත්, එහෙත් සැබෑ අරමුණින් බැහැරව ඇතැමුන් මෙම කටයුත්ත කිරීම නිසා දැවැන්ත පරිසර හානියක් ද නිර්මාණය වෙමින් පවතින බව ඔහු පවසන්නේ ඊට අදාළ කාරණා ද ගෙන හැර දක්වමිනි.  


“රජයේ අරමුදල්වලින් වගේම ඇතැමුන් විසින් මෙම වැව් කැපීම ආරම්භ කර තිබෙනවා. පරිසරය විශාල ලෙස හානිවීමත් සිදුවන්නේ අදාළ කටයුත්ත තම පෞද්ගලික

අභිමතාර්ථයන් වෙනුවෙන් යොදා ගත් පිරිස් නිසයි.  


අලුතින් වැව් කපනවා රජයේ අරමුදල්වලින්. ඒ වගේම තවත් අය වැව් කපනවා වැලි සහ පස් ලබා ගැනීමේ අරමුණින්. එවිට පරිසරයට විශාල ලෙස හානි වෙනවා. පස් හොඳට තියෙනවා නම්, වැවේ වපසරිය නොසලකා හාරනවා. වැව් පද්ධතියක් ලෙස ආරක්‍ෂා කරන එකක් තියෙනවා, බොරලු තට්ටුව, කිරි මැටි තට්ටුව ආදී ලෙසට. නමුත් මේ අය පරිසරයට හානිදායක ලෙස වැව් කපනවා. මෙහේ පවුල් සියයට 80කට වඩා කුඹුරු වගා කරනවා. මේ තත්ත්වය මත ඇති විය හැකි හානිය ඉතා විශාලයි.”


අනුරාධපුර ගොවි මහතකු වන සුසන්ත කුමාර මහතා:  


“මහවැලි එච් කලාපයේ නොච්චියාගම, තලාව, තඹුත්තේගම, එප්පාවල ගොවි සංවිධාන 40ක් විතර එකතු වුණු බ්ලොක් එකක්. මේ ප්‍රදේශයේ හෙක්ටයාර් එකක් එනම් අක්කර දෙකහමාරක් එක ගොවියකුට දීලා තියෙනවා. ගොවි පවුල් 20,000කට වැඩිය වතුර නැතිව බරපතළ ගැටලුවලට මුහුණ දීමට සිදුව තිබෙනවා. මහවැලි අධිකාරිය මැයි මාසේ 25 වැනිදා වතුර සියයට 50ක් අතිරේක භෝග වගා කරන්න දෙනවා කිව්වා. 23 වැනිදා වනවිට ඇළවේලි සුද්ද කරන්න කිව්වා. අපි නියරවල් රැහැලා, ඇළවේලි සුද්ද කරලා තෙල් ගහලත් තියෙනවා.


 අක්කර දෙකහමාරට තෙල් ගහන්න රුපියල් 80,000කට වැඩිය වියදම් කළා. සමහර ගොවීන් විවිධ සමාගම්වලට බීජ ගැනීම සඳහා මුදල් බැඳලා තියෙනවා. තලාව, එප්පාවල, තඹුත්තේගම, නොච්චියාගම මේ බ්ලොක් එකට මේ වනතුරු වගාවක් සඳහා වතුර දීලා නැහැ. ගොවියෙක් මාස් කන්නේ වගා කරලා, වී ටික විකුණලා තමයි යල කන්නය වගා කරන්න සූදානම් වුණේ. බැංකුවලින් ණය අරගෙන තෙල් ගැහුවා. නමුත් වී වගාව කරගන්න බැරිවුණා.” මේ ඔහුගේ දුක් ගැනවිල්ලයි.  


මෙම නියඟය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක දිස්ත්‍රික් සහකාර අධ්‍යක්‍ෂවරුන්ගෙන් ද අප විමසා සිටි අතර මඩකළපුව අපද‌ා කළමනාකරණ මධ්‍යස්ථානයේ දිස්ත්‍රික් සහකාර අධ්‍යක්‍ෂ ඒ.එස්.එම්. සියාත් මහතා කියා සිටියේ, මඩකළපුව ප්‍රදේශයේ පානීය ජලය බෙදා දීම අඛණ්ඩව සිදුකරන බවයි. එම ප්‍රදේශයේ පවුල් 22,513ක පුද්ගලයන් 74,435ක් නියඟය නිසා පීඩාවට පත්ව සිටින බව ද පැවැසූ ඒ මහතා ලොරි 10 ට්‍රැක්ටර් 17 මගින් බවුසර් යොදා මෙම පානීය ජලය ලබා දීම කරගෙන යන බවය.   


නියඟය නිසා පීඩාවට පත් වූ ගොවි ජනතාවට සහන සැලසීම ගැන අප කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරල් ආචාර්ය ඩබ්ලිව්.එම්.ඒ. වීර​ෙස්කර මහතාගෙන් ද විමසීමක් කළ අතර එහිදී ඒ මහතා කියා සිටියේ නියඟය හේතුවෙන් විශාල වගා හානි සිදුවීමක් වාර්තා වී නැති බවය. පැළ ගොයම ඉරිතැළීමක් සිදුවී තිබුණ ද වී වගාවට බරපතළ හානියක් සිදුව නැතැයි ද ඒ මහතා කීය.  


කෙසේ වුව ද කෘෂි මණ්ඩලය විසින් රක්‍ෂණ භෝග 6ක් රක්‍ෂණය කර තිබෙන බව ද ඒ මහතා සඳහන් කළේය.


ලොකුලූනු, වී, බඩඉරිඟු, අර්තාපල්, අමු මිරිස්, සෝයා එම වගාවන් අතර වෙයි. වගා හානි සිදුවුවහොත් අක්කරයකට රුපියල් 40,000ක් පමණ කෘෂි රක්‍ෂණ මණ්ඩලය වන්දි ගෙවීමක් කරනු ලබයි. 2018 යල සහ මහ කන්නයේ වගා හානි සඳහා වන්දි ගෙවීම් කඩිනම් කරන ලෙසට ද විෂය භාර ඇමැති පී. හැරිසන් මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.  


මෙම තත්ත්වය තුළ වගා හානි නියඟය හේතුවෙන් සිදුව ඇත්නම්, වන්දි ලබා දීමට කටයුතු කරන බව ද ඒ මහතා කීය.  


ශ්‍රී ලංකා රතු කුරුස සංගමයේ ආපදා කළමනාකරණ සහකාර කළමනාකාරිනී උදාරි සමරකෝන් මහත්මිය:  


“අපි 2017-2018 අවුරුදුවල විශේෂ ව්‍යාපෘතියක් කළා තෝරාගත් දිස්ත්‍රික් 5ක් පදනම් කරගෙන. ඒ ප්‍රදේශවල වැඩිපුරම කළේ වැව් ප්‍රතිසංස්කරණ වැඩ. අතහැර දමා තිබූ වැව් තමයි අපි තෝරාගත්තේ. දිස්ත්‍රික්කයකින් පවුල් 200 ගාණේ 1000ක් ගත්තා.  


මෙවර අපි විශේෂයෙන් තෝරා ගත්තේ හම්බන්තොට. එහි ව්‍යාපෘතියක් පනවා පාසල් 5ක් සහ එම ප්‍රදේශවල ප්‍රජාව සම්බන්ධ කරගෙන වැව් පිරිසිදු කිරීම අපි කරගෙන යනවා. වැස්ස තියෙන කාලවලට ජලය රැස් කරගැනීම තමයි අරමුණ.   


කෙටි කාලීන විසඳුම්වලට වඩා දිගු කාලීන විසඳුම් කෙරෙහි අප අවධානය යොමු කර තිබෙනවා. වතුර ටැංකි බෙදා දීමකට වඩා ජනතාව දැනුම්වත් කිරීම, පාසල් දරුවන් දැනුම්වත් කිරීම කරගෙන යනවා.”


මේ ආකාරයට විවිධ පාර්ශ්වයන් මෙම පවතින නියඟ තත්ත්වය හමුවේ විවිධ උත්තර සෙව්ව ද ඒවා සියල්ල පැලැස්තර උත්තර නොවේ නම් සැබෑ ප්‍රශ්නයට විසඳුම් ලබා ගැනීම අසීරු නොවනු ඇත. ප්‍රශ්නය වන්නේ ඒවාට අදාළ පාර්ශ්වයන් සූදානම් ද යන්නය. 

 

 

සටහන : පද්මිණී මාතරගේ