ලංකාවේ වෙසක් උළෙලට එන ඉන්දියාවේ අගමැතිතුමා


මෙවර පැවැත්වෙන වෙසක් උත්සවයට සහභාගී වීම සඳහා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා විශේෂ ආරාධිතයකු වශයෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. මෙය මෝදි මහතාගේ දෙවැනි ශ්‍රී ලංකා සංචාරයයි. 


වෙසක් උත්සව සැමැරුම සඳහා නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකාවට පැමිණීම සම්බන්ධයෙන් ඉන්දියාවේ අන්තවාදී හින්දූන් තම විරෝධතාව පළ කර තිබේ. හින්දු මක්කල් පක්ෂ නායක අර්ජුන් සම්පත්, මෝදිගේ සංචාරයට විරෝධය පළකරමින් සඳහන් කර ඇත්තේ හින්දූන් මර්දනය කරමින් බෞද්ධයන්ට පමණක් මුල් තැන දෙන ශ්‍රී ලංකා රජයේ උත්සව සඳහා මෝදි සහභාගී නොවිය යුතු බවටය.


හින්දු ආගමිකයකු වුවද ආගම් භේදයකින් තොරව බෞද්ධයන්ගේ සුවිශේෂී ආගමික උත්සවය වන වෙසක් උත්සවය සඳහා ඉන්දීය අගමැතිවරයාගේ සහභාගිත්වය වැදගත් වන්නේ එවැනි ආගමික උත්සවයක් සඳහා අසල්වැසි රාජ්‍යයේ නායකයකු සහභාගි වන පළමු අවස්ථාව මෙය වන බැවිනි. දකුණු ආසියාවේ සියලු රාජ්‍ය සමඟ සාමයෙන් හා සමගියෙන් කටයුතු කිරීම අගමැති මෝදිගේ දර්ශනයයි. “ඉන්දියාව ආසියාවේ ආර්ථික බලවතකු බවට පත්වෙමින් තිබේ. එහි ප්‍රතිඵල අසල්වැසි රාජ්‍යයන්ටද අත්කර දිය යුතුය. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවට ලබා දිය යුතුය.” යනුවෙන් අගමැති මෝදි පවසා තිබේ.


ශ්‍රී ලංකාව කෙරෙහි අගමැති මෝදි තුළ ඇත්තේ මිත්‍රශීලී ආකල්පයකි. “අපගේ මිත්‍ර රාජ්‍යයක් වන ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ සහයෝගිතාව සඳහා නායකත්වය දෙන රාජ්‍යයක්. ඉන්දීය සාගර කලාපයේ අනාගතය සඳහා එය බොහෝ වැදගත්වන්නක්. ශ්‍රී ලංකාවේ සාර්ථකත්වය ඉන්දියාවේද ශක්තියයි” යනුවෙන් අගමැති මෝදි පවසා තිබිණි.


 1950 සැප්තැම්බර් 17 වැනි දින ගුජරාටයේ වද්නගර්හි සිල්ලර වෙළෙන්දකු වු දමෝදර් දාස් මූල්චාන්ද් මෝදිගේ සහ හිරාබෙන් මොදිගේ දරුවන් සයදෙනාගෙන් තුන්වැනි දරුවා ලෙස  නරේන්ද්‍ර මෝදි උපත ලැබීය. ඔහු තෙල් සිඳින්නන්ගේ කුලයට අයත් වූ අතර ඉන්දියානු සමාජයේ කුල බෙදීම අනුව එය පසුගාමී කුලයක් විය. මෝදි ළමා අවධියේදී තම පියාගේ රැකියාවට උපකාර කළේය.

පියා වද්නගර් දුම්රිය ස්ථානයේ තේ වෙළෙන්දකු වශයෙන් සිය ජීවිකාව කරගෙන ගිය අතර කුඩා මෝදිද ඔහු සමඟ තේ වෙළෙඳාමේ ගියේය. 1967 තම ද්විතීක අධ්‍යාපනය අවසන් කළ මෝදි පිළිබඳව ඔහුගේ ආචාර්යවරයකු පවසා තිබුණේ ඔහු රංගකලාවට බෙහෙවින් ප්‍රිය කළ වාදයට සමත් ශිෂ්‍යයකු ලෙසිනි.


ඔහු රාශ්ත්‍රීය ස්වයම්සේවක් සංගමයේ සාමාජිකයකු බවට පත් වූයේ අටහැවිරිදි දරුවකු ලෙසිනි. දේශමාමක සංවිධානයක් වූ එය ඉන්දියානු දක්ෂිණාංශික දේශපාලනයට සම්බන්ධ හින්දු ජාතිකවාදී ව්‍යාපාරයක් විය. මෝදි එහි පුහුණු වැඩමුළු සඳහා සහභාගී වූ අතර ඔහුට “වකිල් සහෙබ්” ලෙසින් ප්‍රකටව සිටි ලක්ෂ්මන රාඕ ඉමාන්දර් හමු වූයේ එම වැඩමුළුවලදීය. මෝදිගේ පසුකාලීන දේශපාලන ජීවිතයට මඟ පෙන්වන ලද්දේ ඔහු විසිනි.


උසස් පාසලෙන් සමුගැනීමත් සමඟ ඔහුගේ නිවෙස ආසන්නයේ වාසය කළ ජසෝදාබෙන් නරේන්ද්‍රබායි මෝදි නමැති දැරියක හා විවාහ ගිවිස ගැනීමට ඔහුට සිදු විය. ඇය තවමත් ළමා වියේ පසු වූ හෙයින් එම විවාහයට ඔහු දැඩිව විරෝධය පළ කළේය. මේ සම්බන්ධයෙන් පවුලේ අය හා ගැටුම් ඇති වූ අතර මෝදි නිවෙස හැර ගියේය. 18 හැවිරිදි වූ විට ඇය හා විවාහ වුවද මෝදිගේ විවාහය අසාර්ථක විය.


නිවෙස හැර ගිය මෝදි වසර කිහිපයක් උතුරු හා ඊසානදිග ඉන්දියාවේ විවිධ ප්‍රදේශවල සංචාරය කළේය. ස්වාමි විවේකානන්ද විසින් ආරම්භ කෙරුණු ආශ්‍රමයන්හි කල් ගත කළේය. කල්කටාවේ, අල්මෝරාවේ සහ රාජ්කෝට්හි විවිධ ආශ්‍රමයන්හි ඔහුගේ කාලය ගෙවී ගියේය. ස්වාමි විවේකානන්ද දර්ශනය ඔහුගේ ජීවිතයට බෙහෙවින් බලපෑවේය. 1971 ඉන්දු-පාකිස්තාන යුද්ධය ආරම්භවීමට පෙර ඉන්දියානු රජයට එරෙහි අවිහිංසාවාදී විරෝධතාවක නිරත වූ මෝදි අත්අඩංගුවට පත් විය. යුද්ධයෙන් පසු ඔහු  රාශ්ත්‍රිය ස්වයම්සේවක් සංගමයේ පූර්ණකාලීන සාමාජිකයකු වශයෙන් කටයුතු කළේය. එහි කටයුතුවල යෙදෙන අතර තම අධ්‍යාපන කටයුතුවලද නිරත වූ ඔහු 1982දී ගුජරාට විශ්වවිද්‍යාලයෙන් දේශපාලන විද්‍යාව පිළිබඳ කලා උපාධිය හිමිකර ගත්තේය.


ඉන්දීය අගමැතිනි ඉන්දිරා ගාන්ධි විසින් 1975දී පනවන ලද හදිසි නීතිය 1977 දක්වා පැවැතියේය. මෙම කාලය තුළ ඇයගේ දේශපාලන විරුද්ධවාදීන් රැසක් සිරගත කෙරිණි. ඇතැම් දේශපාලන කණ්ඩායම් තහනම් කෙරිණි. මේ සම්බන්ධයෙන් රාශ්ත්‍රිය ස්වයම්සේවක් සංගමය විරෝධය පෑම හේතුවෙන් එයද තහනම් කෙරිණි.


1987 අහමදාබාද් නගරසභා මැතිවරණයේදී භාරතීය ජනතා පක්ෂයේ ජයග්‍රහණය උදෙසා මෝදි විශාල මෙහෙයක් ඉටු කළේය. 1986 එම පක්ෂයේ නායකත්වයට පත් එල්.කේ. අද්වානි පක්ෂයේ සංවිධාන කටයුතු භාර ලේකම් ධුරයට මෝදි පත් කිරීමට කටයුතු කළේය. මෝදිගේ සංවිධාන කටයුතුවල ප්‍රබලත්වය මත 1998දී භාරතීය ජනතා පක්ෂයට ජය ගත හැකි විය. එම වසරේ මැයි මාසයේ මෝදි භාරතීය ජනතා පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා බවට පත් කෙරිණි. 


ගුජරාටයේ මහඇමතිවරයා වූයේ කේෂුභායි පටෙල්ය. 2001  වැනි කාලයේ  ඔහු සෞඛ්‍ය තත්ත්වයෙන් පිරිහුණු අතර මහඇමති ධුරය සඳහා නව නායකයකු පත් කිරීම අත්‍යවශ්‍ය විය. එහෙත් දේශපාලනික වශයෙන් තවමත් මුහුකුරා නොගිය මෝදි එම තනතුර සඳහා නම් කිරීමට අද්වානි අකමැති වූයේය. එහෙත් අතල් බිහාරි වජ්පායිගේ මැදිහත්වීම මත මෝදි මහ ඇමති අපේක්ෂකයා වශයෙන් නම් කිරීමට පක්ෂය තීරණය කළ අතර 2001 ඔක්තෝබරයේ මෝදි ඒ සඳහා නම් කෙරිණි. 2002 පෙබරවාරියේ රාජ්කෝට් ප්‍රදේශය සඳහා පැවැති අතුරු මැතිවරණයෙන් ජයලැබූ මෝදි ගුජරාටයේ මහඇමතිවරයා වශයෙන් පත්විය.


2002 පෙබරවාරි 27 වැනි දින ගෝද්‍රා ආසන්න ප්‍රදේශයකදී මගීන් සිය ගණනක් රැගත් දුම්රියකට ගිනි තැබීම හේතුවෙන් 60 දෙනකු මියගොස් විශාල පිරිසක් තුවාල ලැබූහ. එම දුම්රියේ ගමන් කරමින් සිටියේ අයෝධ්‍යාවේ බබ්රි මස්ජිද් මුස්ල්ම් දේවස්ථානය කඩා දැමූ ස්ථානයේ පැවැත්වුණු හින්දු ආගමික උත්සවයකට සහභාගී වී නැවත පැමිණෙමින් සිටි හින්දු බැතිමතුන් පිරිසකි. මෙම ත්‍රස්ත ප්‍රහාරයට වගකිය යුතු වන්නේ එම ප්‍රදේශයේ මුස්ලිම් ප්‍රජාව යැයි මහඇමති මෝදි විසින් කළ ප්‍රසිද්ධ ප්‍රකාශයෙන් පසු විශ්ව හින්දු පර්ෂදය රට පුරා විරෝධතාවක් ආරම්භ කළහ. එහි ප්‍රතිඵලය වූයේ මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියා ප්‍රාන්තය පුරා පැතිර යෑමය. ප්‍රහාරවලින් මුස්ලිම් වැසියෝ 790 දෙනෙක් සහ හින්දූහු 254 දෙනෙක් මරු වැළඳ ගත්හ. 150,000කට අධික පිරිසක් අවතැන් වූහ. කාන්තාවන් විශාල පිරිසක් දූෂණය කෙරිණි.  


මෝදි රජයේ ඇමතිවරයකු වූ මායා කොද්නානි මෙම මහා ව්‍යසනයට ඍජුවම වගකිවයුතු බව පසුව තීන්දු කෙරිණි. මෙම ප්‍රචණ්ඩත්වය සඳහා මෝදිද වගකිවයුතු බවට චෝදනා කළද සෑම ක්‍රියාවක් පසුපසම ප්‍රතික්‍රියාවක් ඇති බැවින් මෙවැන්නක් සිදු වූ බැව් පැවසූ මෝදි ඒ සම්බන්ධයෙන් සමාව අයැදීමෙන් වැළකී සිටියේය. මෙම ප්‍රහාරවලට ඔහුගේ සම්බන්ධයක් නොමැති බවට අවසානයේ තීන්දු කෙරිණි.


2002 දෙසැම්බරයේ පැවැති මැතිවරණයෙන් භාරතීය ජනතා පක්ෂය ජයග්‍රහණය කළේය. මහඇමතිවරයා වශයෙන් තම ප්‍රාන්තයේ සංවර්ධනය උදෙසා ඔහු කැපවී කටයුතු කළේය. 2007දී ගුජරාට් ප්‍රාන්තයේ සංවර්ධන කටයුතු සඳහා ඉන්දියානු රුපියල් ටි්‍රලියන 6.6ක් වටිනා ආයෝජන එම ප්‍රාන්තයට රැගෙන ඒමට මෝදි සමත් විය. විවිධ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරුණු අතර විශේෂ ආර්ථික කලාප ආරම්භ කෙරිණි.


සංවර්ධන කටයුතු ක්‍රියාත්මක වුවද මෝදි පාලන සමයේ දරිද්‍රතාව අවම වූයේ ඉතා සුළු වශයෙනි. කාන්තාවන්ගේ සාක්ෂරතාව වර්ධනය නොවූ අතර ළදරු මරණ සංඛ්‍යාව ඉහළ ගියේය. අධ්‍යාපනයේද එතරම් දියුණුවක් දැකිය නොහැකි විය. අනෙකුත් ප්‍රාන්ත හා සැසඳීමේදී අධ්‍යාපනය පැවැතියේ ඒවාට වඩා පසුපසිනි.


2014 ඉන්දීය මහ මැතිවරණය සඳහා අගමැති අපේක්ෂකයා වශයෙන් නම් කෙරුණේ මෝදිය. භාරතීය ජනතා පක්ෂයේ බොහෝ නායකයෝ මෝදි ඒ සඳහා නම් කිරීම සම්බන්ධයෙන් තම විරෝධතාව පළකර සිටියහ. එහෙත් බොහෝ පාක්ෂිකයන් දරන ලද්දේ වෙනත් මතයකි. මෝදි අග්‍රාමාත්‍ය ධුරය සඳහා නම් නොකරන්නේ නම් තමන් වෙනත් පක්ෂයකට ඡන්දය භාවිත කරන බවට ඔවුහු කියා සිටියහ. ඉන්දීය මහ මැතිවරණය මෝදිගේ ජනප්‍රියත්වය උරගා බැලෙන ජනමත විචාරණයක් බඳුවිය.


1984 පසු එක් පක්ෂයක් ලබාගත් වැඩිම ආසන සංඛ්‍යාව හිමිකර ගනිමින් භාරතීය ජනතා පක්ෂය මැතිවරණය ජයගැනීමට සමත් විය. එම පක්ෂය ඉන්දීය ලෝක් සභාවේ ආසන 282ක් දිනාගෙන තිබිණි. කොන්ග්‍රස් පක්ෂය කෙරෙහි පැවැති ජනතා අප්‍රසාදයද මෙම ජයග්‍රහණයට මග පෑදීය. ඉන් පෙර නොලද මුස්ලිම් ඡන්ද ප්‍රමාණයක්ද භාරතීය ජනතා පක්ෂයට හිමි වූ අතර උත්තර් ප්‍රදේශ්හි  ඉහළ පෙලැන්තියේ සියලු හින්දූන්ගේ ඡන්ද එම පක්ෂයට හිමිවී තිබිණි.


2014 මැයි 24 වැනි දින මෝදි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ලෙසින් දිවුරුම් දුන්නේය. බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදී යුගයෙන් පසු උපත ලබා අගමැතිධුරයට පත් ප්‍රථම පුද්ගලයා ලෙස මෝදි ඉතිහාසයට එක්විය. 


මෝදි නව ලිබරල්වාදී ආර්ථික ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට පියවර ගත් අතර පෞද්ගලීකරණ ක්‍රියාවලියටද සහය දුනි. ඍජු විදේශ ආයෝජන ප්‍රතිපත්තියද ලිහිල් කෙරිණි. ආරක්ෂක හා දුම්රිය සේවා වැනි කර්මාන්ත සඳහා වැඩියෙන් විදේශ ආයෝජන ගෙන ඒමට ඔහු පියවර ගත්තේය. කම්කරුවන්ට අහිතකර ලෙස බලපෑ කම්කරු නීති රැසක් අවලංගු කිරීමට ඔහු කටයුතු කළේය.

මෝදිගේ පාලන සමයේ පළමු වසර තුළ ඉන්දියාවේ දළ දේශීය නිෂ්පාදනය 7.5කින් ඉහළ ගියේ ලොව වේගවත්ම ආර්ථික වර්ධනය බවට පත් වෙමිනි.


2015දී මෝදි ‘ස්මාර්ට් සිටි’ නමින් වන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයෙන් සමන්විත නගර 100ක් ඉදිකිරීමේ ව්‍යාපාතියක් ආරම්භ කළේය. එමගින් තොරතුරු තාක්ෂණය සපයන ආයතන විශාල සංඛ්‍යාවකට ඉන්දියානු රුපියල් බිලියන 20ක අමතර ආදායමක් උපයා ගැනීමට මග පෑදිණි. ඔහුගේ නවතම ව්‍යාපෘතිය වන්නේ “2022දී සැමට නිවෙසක්” නමැති ව්‍යාපෘතියයි. ඒ යටතේ මුඩුක්කු වාසීන්  සඳහා නිවාස මිලියන 20ක් ඉදි කෙරෙනු ඇත.


දූෂණය මැඬපැවැත්වීම, කළු සල්ලි සංසරණය අවම කිරීම, ව්‍යාජ මුදල් භාවිතයට වැට බැඳීම සහ ත්‍රස්තවාදය වැළැක්වීම වැනි කරුණු මුල්කරගනිමින් ඉන්දියානු රුපියල් 500 සහ 1000 නෝට්ටු අවලංගු කිරීමට පසුගිය වසරේ මෝදි පියවර ගත්තේය. එයට එරෙහි විරෝධතා රට පුරා ක්‍රියාත්මක වූ අතර බැංකුවල දැඩි නෝට්ටු හිඟයක් ඇති විය. සුළු පරිමාණ ව්‍යාපාර කඩා වැටිණි. කෘෂිකර්මාන්තයට හා ප්‍රවාහන සේවාවලටද එය අනර්ථකාරී අන්දමින් බලපා තිබිණි.


මෝදිගේ විදේශ ප්‍රතිපත්තිය කොන්ග්‍රස් පක්ෂ විදේශ ප්‍රතිපත්තියට වඩා විශාල වශයෙන් වෙනස් වූවක් නොවේ. ආර්ථික වර්ධනය, කලාපීය සහයෝගීතාව සහ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කෙරේ. වැඩි වශයෙන් විදේශ ආයෝජන තම රටට කැඳවා ගැනීම ඔහුගේ ප්‍රතිපත්තිය වී තිබේ. මෙම ප්‍රතිපත්තිය යටතේ ඔහු ෂැංහයි සහයෝගිතා සංවිධානය සමඟද අත්වැල් බැඳ ගත්තේය. එමගින් චීනය හා රුසියාව සමඟ සබඳතා ගොඩනඟාගැනීම ඔහුගේ අරමුණ වී තිබේ. එමෙන්ම ඉස්ලාමික රාජ්‍යයන් වන සෞදි අරාබිය, බහරේනය, ඉරානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය වැනි රාජ්‍ය සමඟ මෙන්ම ඊශ්‍රායෙලය සමඟද සබඳතා ගොඩනගා ගැනීම ඔහුගේ අරමුණය. මෙම කාර්යය සාක්ෂාත් කරගනු සඳහා ඔහු විවිධ රාජ්‍යයන් වෙත සංචාරයේ නිරත වෙයි. බි්‍රක්ස් ආසියාන් සහ ජී 20 වැනි සමුළු නියෝජනය කරයි.


අගමැති මෝදි විවිධ සම්මානවලින්ද පිදුම් ලැබ තිබේ. සෞදි අරාබි රාජ්‍යයෙන් පිදෙන ඉහළම සම්මානය වන ‘ඕඩර් ඔෆ් අබ්දුල් අසීස් අල් සවුද්’ සම්මානය හා ඇෆ්ඝනිස්තානයෙන් පිදෙන ඉහළම සම්මානය වන ‘ස්ටේට් ඕඩර් ඔෆ් ගාසි අමිර් අමනුල්ලා කාන්’ සම්මානයද ඔහුට හිමි විය. ටයිම් සඟරාව මගින් ලොව බලගතු පුද්ගලයන් 100 දෙනා අතරටද, 2014 වසරේ පුද්ගලයා වශයෙන්ද ඔහු නම් කරනු ලැබීය. ෆෝබ්ස් සඟරාව 2014 වසරේ ලොව බලගතු පුද්ගලයන් 15 දෙනා අතරට අගමැති මෝදි නම් කර තිබිණි. 2016 ලොව බලගතු පුද්ගලයන් අතර 9 වැනි ස්ථානය හිමි වූයේ අගමැති මෝදිටය. ලොව බලගතු නායකයන් අතර 5 වැනි ස්ථානයට ෆෝචූන් සඟරාව ඔහු නම් කර තිබිණි.

ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා


 

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය සිදුවන්නේ මෙහෙමයි

 

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආරාධනයකට අනුව මෙවර පැවැත්වෙන වෙසක් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. මෙම සංචාරය අගමැති මෝදි මහතාගේ දෙවැනි ශ්‍රී ලංකා සංචාරයයි.
කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන ජාත්‍යන්තර වෙසක් දින සම්මන්ත්‍රණයට සහභාගී වන ඔහු එහිදී විශේෂ දේශනයක්ද පැවැත්වීමට නියමිතය.
වතුකරයේ ඉන්දියානු සම්භවයක් සහිත දෙමළ ජනතාව හා ප්‍රජා නායකයන් හමුවීම ද, ඉන්දියානු ආධාර මත දික්ඔය ප්‍රදේශයේ ඉදිකරන ලද අංග සම්පූර්ණ රෝහල විවෘත කිරීම ද අගමැති මෝදිගේ සංචාරයේදී සිදුකෙරෙනු ඇත.
අගමැති මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධයෙන් විවිධ මත පළ කෙරුණද ඔහුගේ සංචාරයේ ප්‍රධාන අරමුණ මෙම සම්මන්ත්‍රණයට සහභාගිවීම පමණක් බැව් ඉන්දීය ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම සංචාරයේදී විවිධ ගිවිසුම් අත්සන් කිරීමට නියමිත බවට කෙරෙන ප්‍රකාශවල කිසිදු සත්‍යයක් නොමැති බවද, හින්දු භක්තිකයකු වුවද අගමැති මෝදි බුදුන් වහන්සේට ගරු කරන හෙයින් උන්වහන්සේට කෙරෙන ගෞරවයක් වශයෙන් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන වෙසක් උත්සවට සහභාගී වීමට තීරණය කළ බවද, ඒ හැර වෙනත් කිසිදු ගිවිසුමක් අත්සන් කිරීමට හෝ වෙනත් රාජ්‍යතාන්ත්‍රික කාර්යයක් සඳහා ඔහුගේ සහභාගිත්වයක් නොමැති බවද එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කර තිබේ.