ලංකාවේ ලොකුම කාසි එකතුව රකින ජයසිරි


 කරපු වැඩේ නම් තඹ දොයිතුවක් වටින්නේ නැහැ. ‘තුට්ටු දෙකේ වැඩ කරන්න එපා.’ ‘ඔය ඉඩම තුට්ටුවක් වටින්නේ නැහැ.’ ‘රුපියල් අස්සේ අලුක්කාල් ගහන්න යන්න එපා’ ‘කයිවාරු ගැහුවට පනමක් අතේ නැහැ.’   


 මේ අපේ පැරැන්නන් භාවිතා කළ අදට ද අපේ බස් වහරේ පවතින පැරැණි උපමා කීපයකි. මේ උපමාවල ආකාරයට නම් තඹ දොයිතුව, තුට්ටුව, තුට්ටු දෙක, අලුක්කාල යනු අපේ රටේ අතීතයේ භාවිතා වූ වටිනාකමින් අඩු මුදල් වර්ගයක් විය හැකිය. ඇතැම් විට ඇතැමෙකු සමච්චලයට, හෑල්ලුවට ලක්කිරීම සඳහා මේවා යොදාගත්තා විය හැකිය.   


 මේ උපමාවන් අප ජන සමාජයේ අදට ද භාවිත වුව ද ඔබ මේ තඹ දොයිතුව, තුට්ටුව, තුට්ටු දෙක, අලුක්කාල දැක තිබේද?   


 ඔබේ උත්තරය අනිවාර්​ෙයන්ම නැත යන්නය. එය සැබෑවකි. මන්ද යත් මේ මුදල් භාවිතා වූයේ ඔබ ඉපදීමටත් පෙර මීට වසර දෙසීයකටත් වඩා එහා ගිය අතීතයකදීය.   


 අප අසා තිබුණ ද සියැසින් දැක නැති මේ අපූරු මුදල් වර්ග ඇතුළු මීට වසර අටසීයකටත් වඩා ඉපැරණි ක්‍රිස්තු පූර්ව තුන්වැනි සියවසට අයත් ඉපැරණි කාසි ද ඇතුළුව ශ්‍රී ලංකාවේ සුවිශාලම ඉපැරැණි මුදල් තොගය සියැසින්ම දැක බලා ගැනීමේ වාසනාව මාහට උදාවිය.   


 අපේ රටේ මූල්‍ය වත්කමේ භාරකරුවා වන ශ්‍රී ලංකා මහ බැංකුවේ ද ​ෙනාමැති, මහ බැංකුවට ද අභියෝග කරන මේ අපූරු මුදල් සම්භාරයේ හිමිකරුවා රඹුක්කන හීනාබෝවේ පදිංචි හැට හැවිරිදි එච්.එම්. සමන් ජයසිරි මහතාය. ඔහු වෘත්තියෙන් සර්වෝදය ග්‍රාමීය මූල්‍ය ආයතනයක කළමනාකරුවෙකි.   


 මේ අපූරු පුද්ගලයා පිළිබඳව මට කීවේ නිදහස් මාධ්‍යවේදියෙකු ද වන ග්‍රාමනිලධාරියකු ලෙස සේවය කරන රිදීගම අනුර පල්ලෙමුල්ල මහතාය. හීනාබෝවේ පිහිටි ජයසිරි මහතාගේ නිවසට ගිය අපට ඒ මහතා සතුව පවතින ඉපැරැණි මුදල් එකතුව ඇතුළු කෞතුක භාණ්ඩ තොගය දුටු අපේ ඇස් ​අදහාගත නොහැකි විය.   


 විවිධ පුද්ගලයන් තම විනෝදාංශය ලෙස විවිධ දේ එකතු කළ ද අතීතයේ සිට අද දක්වාම සංසරණය වූ මුදල් තොගයක් එකතු කිරීම ලෙහෙසි පහසු කාර්යයක් නොවනු ඇත. 

 
 අරමුණකින් තොරව අපිළිවෙළකට එකතු කළ ඉපැරණි මුදල් නෝට්ටු හා කාසි තොගයක් අද ශ්‍රී ලංකාවේ ඇති විශාලම හා පිළිවෙළකට සැකසූ පෞද්ගලික මුදල් එකතුව බවට මේ වනවිට ඉබේම පත්වී හමාරය.   
 ජයසිරි මහතා සතු මුදල් එකතුවේ ඇති ඉපැරැණිම කාසිය ක්‍රිස්තු වර්ෂ 1232-1272 අවධියේ භාවිතා වූ බව සැලකෙන දඹදිව යුගයට අයත් වූවකි. එම කාසියේ එක් පැත්තක මිනිස් ඇට සැකිල්ලක් බඳු රුවකි. එහි අනෙක් පස බ්‍රාහ්මීය අක්ෂරවලින් ‘පරාක්‍රමබාහු’ යනුවෙන් සටහන් කර ඇත.   


 මේ ඉපැරණිම මුදල් වර්ගය සමග එදා සිට අද දක්වාම අපේ රටේ භාවිතා වූ සියලුම මුදල් නෝට්ටු හා කාසි වර්ග ඉතා පිළිවෙළකට ජයසිරි මහතාගේ මුදල් ගබඩාවේ ඇතැයි කීවොත් ඔබ විශ්වාස නොකරනු ඇත. එහෙත් එය සැබෑවකි. හීනාබෝවේ ජයසිරි මහතාගේ නිවෙසට ගොස් මේ අපූරු මුදල් එකතුව සියැසින් දුටුවහොත් ඔබ එය විශ්වාස කරනු ඇත.   


 ක්‍රිස්තු පූර්ව තුන්වැනි සියවසට අයත් යැයි සැලකෙන ‘හස් එබු කහාපන’ (punch mark coins) නම්වූ කාසිය ද ජයසිරි මහතා සතු තවත් වටිනා ඉපැරණිම කාසියකි. ඉන්දියාවේ නිපදවන ලද බව සැලකෙන මේ කාසිය අනුරාධපුර යුගයේ භාවිතා වූවකි. මේ කාසි වර්ගය සකලතිස්ස වෙහෙර ධාතු ගර්භයෙන් හමුවී ඇති අතර, පසු කලෙක ක්‍රිස්තු පූර්ව පහ - හය සියවස්වලට අයත් ‘හස් එබූ කහාපන කාසිය’ බෝ උපුල්වන් කසුප් ගිර විහාරයෙන් ද හමුවී තිබේ.   


 ඉපැරණි ගොඩනැගිලි පාදම්වලින් හමුවී ඇති ‘මස්ස’ නමැති ඉපැරණි මුදල් වර්ගය ද ජයසිරි මහතාගේ කාසි එකතුවේ තිබීම විශේෂත්වයකි. වසර අටසියයකට ද වඩා පැරැණි බව කියන මස්ස නමැති කාසි වර්ගය වර්ෂ 1017 සිට 1597 දක්වා කාලය තුළ සංසරණය වූවකි.   


 සිංහල බස්වහරේ පවතින තඹ දොයිතුව මෙරට ලන්දේසින් පාලනය කළ යුගයේ දී ඕලන්දයේ නිපදවා මෙරටට ගෙනැවිත් තිබෙන තඹ කාසි වර්ගයකි. ලන්දේසින් ‘ඩුයිට්’ (Duite) හෙවත් ‘‘චැලි’’ (Challie) යනුවෙන් හඳුන්වා ඇති මේ කාසි වර්ගය අපේ රටේ වැසියන් හඳුන්වා ඇත්තේ ‘දොයිතුව’ නමින්ය. තඹයෙන් නිපදවූ බැවින් එය ‘තඹ දොයිතුව’ වී තිබේ.   

 

 බිරිඳ සහ එකම පුතු

 

 

 කවදත් අනුකරණයට දක්ෂ සිංහලයන් අද මෙන්ම අතීතයේ ද ඕලන්දයේ තඹ දොයිතුව හා සමානවම කාසි වර්ගයක් නිපදවා ඇත. මේ බව දැනගත් ලන්දේසින් මෙරට සංසරණය වූ දොයිතු සියල්ලම එකතුකොට වළදමා ඇති බවද, පසු කාලෙක ඉන් කොටසක් මාතලේ තිබී හමුවූ බව ද ජයසිරි මහතා පැවැසීය.   


 දොයිතු පමණක් නොව චීනයේ කාසි ද මෙරට නිෂ්පාදනය කළ බවට සාක්ෂි තිබේ. එසේ නිපදවූ සතයක් හතරලියද්ද ප්‍රදේශයේ තිබී ජයසිරි මහතාට හමුවී ඇත.   


 අපේ බස් වහරේ පවතින ‘අලුක්කාල’ හෙවත් ‘තඹ සතකාලද’ ජයසිරි මහතාගේ ඉපැරණි කාසි ගොඩේ තිබෙන තවත් සුවිශේෂී කාසියකි. වර්ෂ 1890 දී නිපදවා ඇති සත කාලේ කාසියේ සිට 1929 දක්වා නිපදවූ සත භාගය නැතිනම් සල්ලිය, සතය, සතපහ දක්වාවූ තඹ කාසි ද දැකගත හැකි විය.

   
 වර්ෂ 1828 දී මෙරට ගනුදෙනු සඳහා බ්‍රිතාන්‍යයන් විසින් භාවිතා කළ ‘පෙනී’ නම්වූ මුදල් වර්ගය ද මේ මුදල් එකතුවේ තිබේ. පසුව ‘පැන්සය’ යනුවෙන් අපේ ජනවහරට එක්වූයේ මේ මුදල් වර්ගය බව ජයසිරි මහතාගේ අදහසයි. එසේම ‘උඩරට රිදී පනමද’ ඕලන්ද වීඕසී (VOC) ඔහුගේ කාසි එකතුවේ තිබෙන සුවිශේෂී කාසි වේ.   


 මෙම සුවිශේෂී කාසි එකතුවට අමතරව අපේ රටේ සුවිශේෂී සමරු කාසි තොගයක් ද ජයසිරි මහතාගේ කාසි එකතුවේ ඇත. මෙහි විශේෂත්වය වන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවෙන් මෙරට සුවිශේෂී අවස්ථා අළලා නිපදවූ සමරු කාසි සියල්ලක්ම ජයසිරි මහතා කෙසේ හෝ තම කාසි එකතුවට එකතුකරගෙන සිටීමය. ඉතාම සුළු සංඛ්‍යාවක් නිපදවූ මෙම සමරු කාසිවල වටිනාකම අද වනවිට මිල කළ නොහැකිය. ඒවා එතරම්ම දුර්ලභය.   
 මේ සමරු කාසි තොගයේ ඇති එක් සුවිශේෂී සමරු කාසියක් වන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපතිවරයා ලෙස පත්වූ ජේ.ආර්. ජයවර්ධන මහතාගේ පදවි ප්‍රාප්තිය වෙනුවෙන් නිපදවූ කාසියයි. එහි ඇති අපූරු කතාවක් ද ජයසිරි මහතා අපට මෙසේ පැවැසීය.   

 

 වර්ෂ 1939 නිකුත් කළ රුපියලේ නෝට්ටු   

 

 

 ‘‘පදවි ප්‍රාප්තිය වෙනුවෙන් කෙටි දැනුම්දීමකට අනුව ජයවර්ධන මහතාගේ රුව සහිත සමරු කාසියක් නිකුත් කළ යුතු බවට පාර්ලිමේන්තුව තීරණය කරලා තියෙනවා. මේ සඳහා කාසි නිෂ්පාදනය කරන ලන්ඩනයේ සමාගමකට ගිය ශ්‍රී ලංකා රජයේ නියෝජිතයෙක් තම අවශ්‍යතාව කීවාම අවශ්‍ය දිනයට ඉල්ලන කාසි ප්‍රමාණය නිෂ්පාදනය කර දිය නොහැකි බව දන්වා තිබෙනවා. ඒ අනුව ඔවුන් මුලින්ම නිපදවූ සමරු කාසි 2600 ක් ලංකාවට එවා තිබෙනවා. මේ කාසි 2600 පදවි ප්‍රාප්ති උත්සවයේ දී ජනතාවට නිකුත් කර තිබෙනවා.   


 මීට පසුව ලන්ඩන් සමාගම නිෂ්පාදනය කළ සමරු කාසි තොගයක් රට පුරා බෙදාදුන්නාට පසුව, අදියර දෙකකට නිකුත් කළ මේ සමරු කාසිවල වෙනසක් තිබෙන බව සොයා ගැනීමට පුළුවන් වුණා. ඒ වෙනස තමයි මේ මුල් සමරු කාසියේ ජයවර්ධන මහතාගේ කමිසයේ කොලරය පැහැදිලිවත්, දෙවන කාසියේ කොළරය අපැහැදිලිවත් සටහන් වී තිබීමයි. හැම ජේ.ආර්. සමරු කාසියකම මේ වෙනස නැහැ. මුල් කාසි 2600 පමණයි මේ වෙනස තියෙන්නේ. ඒ නිසා මේ මුල් සමරු කාසියක් විදිහට සැලකෙනවා. මේක ඉතාම දුර්ලභ කාසියක්.   


 ජයසිරි මහතාගේ කාසි එකතුවේ බ්‍රිතාන්‍ය පාලන සමයේ නිකුත් කළ ජෝර්ජ් සහ එඩ්වඩ් රජවරුන්ගේ නමින් නිපදවූ කාසි ද වර්ෂ 1787 දී නිකුත් කළ බරින් යුත් ‘කුට්ටිය’ නමැති වීඕසී කාසිය ද වර්ෂ 1839 දී රුපියල් සත වෙනුවට නිකුත් කළ ‘පාතින්ස්’ කාසිය ද වර්ෂ 1208 දී නිකුත්කළ බව සැලකෙන ධර්මාශෝක දේව කාසිය, දෙවන පරාක්‍රමබාහු කාසිය, ලීලාවතී කාසිය ද තිබේ. මේ කාසි වර්ගය ඉපැරණි කෞතුක වස්තුවක් ලෙස සලකන බැවින් ශ්‍රී ලංකාවෙන් පිට රැගෙන යාම ද නීතිවිරෝධී ක්‍රියාවකි. මෙය දඬුවම් ලැබිය හැකි වරදකි. මේ කාසි වර්ගය හැඳින්වෙන්නේ ‘මස්ස’ නමින්ය.


ප්‍රමාණයෙන් ඉතා කුඩා කාසි වර්ගයකි.   


 එසේම වර්ෂ 1474 ත් 1815 ත් අතර කාලය දක්වා මෙරට භාවිත වූ ‘උඩරට රිදී පනමට’ අමතරව, ‘පතාගය’ නම්වූ රිට්ස් ඩොලරය ද ජයසිරි මහතා සතුව පවතී.   


 වර්ෂ 1815 දී බ්‍රිතාන්‍යයන් නිකුත් කළ ‘ටූස්ටීවර්ස්’ නැතිනම් අපේ වහරට අනුව ‘තුට්ටු දෙකේ’ කාසිය ද ‘වන්ස්ටීවර්ස්’ නැතිනම් ’තුට්ටුවේ’ කාසිය ද මේ අපූරු කාසි එකතු කරන්නා තම කාසි ගොන්නට එකතුකර ගැනීමට තරම් දක්වා තිබෙන්නේ විශ්වාස කළ නොහැකි දක්ෂතාවකි. මේවා ඉතාම දුර්ලභ කාසි බව පැවසේ.   


 මෙරට බොහෝ කාසි එකතුකරන්නන් සතුව මෙවැනි දුර්ලභ කාසි වර්ග තිබෙන්නේ එකක් දෙකක් වුවද ජයසිරි මහතා සතුව සෑම වර්ගයකින්ම එම දුර්ලභ කාසි කීපය බැගින්ම තිබීම ද විශේෂ කරුණකි.   

 

 ජේ.ආර්. සමරු කාසි ද්විත්වය   

 


 මේ කාසි එකතුව හා සමානවම බ්‍රිතාන්‍ය පාලන සමයේ ශ්‍රී ලංකාවේ නිකුත් කරන ලද මුල්ම මුදල් නෝට්ටුවේ සිට අද දක්වාම ශ්‍රී ලංකා ආණ්‍ඩුව විසින් නිකුත් කරන ලද සියලුම මුදල් නෝට්ටු ද ජයසිරි මහතාගේ මුදල් එකතුවේ වේ. එකම මුදල් නෝට්ටුව විවිධාකාර වෙනසකට ලක්වුව ද ඒවා සියල්ලම එකතු කර ගැනීමට තරම් ඔහු දක්වා තිබුණේ පුදුම හැකියාවකි.   


 බ්‍රිතාන්‍ය පලන සමයේ දී වර්ෂ 1939 දී නිකුත් කෙරුණු පළමු රුපියලේ මුදල් නෝට්ටුවේ සිට ජෝර්ජ් රජුගේ රුව සහිතව වර්ෂ 1942 සිට නිකුත් වූ ශත දහයේ සිට ශත විසිපහ දක්වා වන නෝට්ටු ද වර්ෂ 1954 දී නිකුත්වූ ‘රැජින නෝට්ටුව’ යනුවෙන් ප්‍රසිද්ධවූ රුපියලේ නෝට්ටුව ද ඔහුගේ මුදල් එකතුවේ ඇති ඉතාම වටිනා දුර්ලභ සහ සුවිශේෂී නෝට්ටු ලෙස සැලකිය හැකිය.   


 ඉන්පසුව නිදහස ලැබීමෙන් අනතුරුව ස්වාධීන රටක් ලෙස ශ්‍රී ලංකා රාජ්‍ය ලාංඡනය ද සහිතව වර්ෂ 1959 දී නිකුත් කළ රුපියලේ ප්‍රථම මුදල් නෝට්ටුව ද දැකගත හැකි විය. ඉන්පසුව අද දක්වා විවිධාකාරයෙන් විකාශනය වූ සියලුම අගයන්ගෙන් සමන්විත මුදල් නෝට්ටු ජයසිරි මහතා අපූරුවට පෙළ ගස්වා තිබේ. එසේම රටවල් පහක පමණ විදෙස් මුදල් ද ජයසිරි මහතා සතුව පවතී.   


 මේ ආකාරයට මුදල් එකතු කිරීමට නැඹුරුවූ ආකාරය ජයසිරි මහතා සඳහන් කළේ මෙසේය.   


 අපේ මහ ගෙදර අපේ අම්මාගේ පෙට්ටගමේ පරණ කාසි වගයක් තිබුණා. මට පසුකාලීනව තේරුණා මේ කාසි පරෙස්සම් කරලා තියාගත්තොත් වටිනවා කියලා. එතකොට මට අවුරුදු දහයක් විතර ඇති. මට අපේ වත්තේ තිබිලා හම්බවුණු කාසියක් සුද්ධකරලා බලනකොට දැක්කා ඒක වර්ෂ 1744 කාසියක් කියලා. ඒක වීඕසී කාසියක්. ඊට පස්සේ මට හිතුණා මේ වගේ පරණ කාසි එකතු කරන්න ඕනෑ කියලා.   


 මම මුලින්ම පුංචි භාජනයකට මේ කාසි එකතු කළා. ඊට පස්සේ ඒක මදිවෙනකොට වෙන ලොකු භාජනයක් ගත්තා. ඔය විදිහට මට මේ ගැන උනන්දුවක් ඇති වෙලා දන්න කියන ගෙවල්වලට ගියාම මේ වගේ කාසි ගැන අහලා එකතු කරන්න පටන්ගත්තා. මේ විදිහට කරගෙන යනකොට විවිධ අය මට ඔවුන් ළඟ තිබුණු පරණ කාසි, නෝට්ටු දුන්නා. 


 ඇත්තටම මට මේ ගැන මුලින්ම හරි දැනුමක් තිබුණේ නැහැ. මගේ මුදල් එකතුව වැඩි වෙනකොට මට හිතුණා මේ ගැන දැනුමක් ලබාගන්න ඕනෑ කියලා. ඒ අනුව මුදල් ගැන ලියැවුණු ලිපි, පොත්පත් රාශියක් කියවලා අවශ්‍ය දැනුම මම ලබාගත්තා. 1924 දී නිකුත් කරලා තියෙන මුදල් සම්බන්ධයෙන් අපේ රටේ තියෙන හොඳම පොත්පත් විදිහට සලකන එච්.ඩබ්ලිව්. කෝර්ඩින්ටන් මහතා ලියපු 'Ceylon Coins And Currency' කියන පොත පවා සොයා ගැනීමට මට පුළුවන් වුණා. ඒ වගේම මහා බැංකුවෙන් මෑත කාලයේ නිකුත් කළ හොඳම පොත විදිහට සැලකෙන ජී.පී.එස්.එච්. ද සිල්වා මහතා ලියුව 'History Of Coins And Currency in Sri Lanka' කියන පොතෙනුත් මම අවශ්‍ය දැනුම ලබාගත්තා.   


 මේ විදිහට මුදල් ගැන ලියපු පොත්පත් විශාල ප්‍රමාණයක් මා ළඟ තියෙනවා. ඒවායින් තමයි මම කාසි නිර්ණය කරන්නේ ඒවා මේ මේ කාල වකවානුවලට අයිතියි කියලා. ස්වයං දැනුමෙන්ම තමයි මම මේ හැම දෙයක්ම කළේ.


 විවිධ අංශවල ඉල්ලීම් අනුව ජයසිරි මහතා තම මුදල් එකතුව දිවයිනේ පාසල් රැසක සහ විවිධ උත්සවවල, සැණකෙළිවල, ප්‍රදර්ශනය කර ඇත.   


 ඔහුගේ දයාබර බිරිඳ මානෙල් ශාන්ති සහ එකම පුතණුවන් වන ප්‍රියංකර සුදේශ් ජයසිරි මේ සියලු කටයුතු සඳහා සහාය දක්වති. සුදේශ් මහතා දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සේවය කරන අතරවාරයේ දී පියාගේ මේ සුවිශේෂී විනෝදාංශයට සහාය දක්වයි.   


 මැරෙන්න කලින් මට තියෙන එකම ආශාව තමයි මේ රටේ මුදල් පිළිබඳව කෞතුකාගාරයක් කවුරුහරි හදනවා නම් ආරක්ෂා සහිතව මේ මුදල් තොගය එසේ ප්‍රදර්ශනය කිරීම. අපේ උරුමයන් ඔක්කොම විනාශ වෙමින් තිබෙන යුගයක මේ වටිනා වස්තුව සංරක්‍ෂණය කරලා දෙන්න කවුරුහරි මට උදව් කරනවා නම් ඒක වටිනා කාර්යයක් වෙනවා. මගේ එකම ඉල්ලීම තමයි ඒක. මුදල් කෞතුකාගාරයට අවශ්‍ය මුදල් වර්ග විශාල ප්‍රමාණයක් පිළිවෙළකට මා ළඟ තියෙනවා. මගේ ළඟ තියෙන මේ මුදල් තොගය තමන් ළඟ නැති බව ශ්‍රී ලංකා මහ බැංකුවත් පිළිඅරගෙන තියෙනවා යැයි ද මේ අපූරු විනෝදාංශකරුවා අවසාන වශයෙන් පැවැසීය.   

 

 

 

 

සේයාරූ හා විස්තර -  පුෂ්පකුමාර ජයරත්න