ලංකා මුහුදේ කොරල්පර විනාශ මුඛයේ


 

 

පෘථිවියේ 70.9% ප්‍රමාණයක් මුහුදය. මුහුද වනාහී ලෝක ජනතාවට මෙන්ම ශ්‍රී ලංකාවට ද විශේෂ ස්වභාවික සම්පතකි. එලෙසම අපූරු පරිසර සුන්දරත්වයක් සාගරයෙන් ලබාදෙයි. මේ සුන්දරත්වයට මුහුදු තීරය, කොරල්පර මසුන් ඇතුළු කරුණු ගණනාවක් බලපා ඇත.   


මේවා අතරින් කොරල්පරවලට විශේෂ ස්ථානයක් හිමිවෙයි. ඒවා අප රටට විශාල ආදායමක් ලබාදෙන අතර සංචාරකයන්ගේ විශේෂ අවධානයට යොමුව ඇත්තකි.   
ශ්‍රී ලංකාව වැනි රටකට පැමිණෙන සංචාරකයෝ බහුතරය මේ කොරල්පරවල සුන්දරත්වයට දැඩි ලෙස ප්‍රියතාවයක් දක්වති.   


මේවනවිට කොරල්පර දැඩිලෙස විනාශවීමේ තර්ජනයකට ලක්ව ඇත. ඒ බව සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය මගින් කරන ලද නිරික්ෂණයකින් අනාවරණය විය.   


පසුගියදා පැවැති ජගත් සාගර දිනය වෙනුවෙන් මෙම මුහුදු පතුල නිරීක්ෂණය ත්‍රිකුණාමල පරෙවි දූපත අසලදී සිදුවිය. මේ අවස්ථාව සඳහා මාධ්‍යවේදීහුද සහභාගී වූහ. 

 
කොරල්පර විනාශය පිළිබඳව අදහස් දැක්වීමට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී අචාර්ය ටරිනි ප්‍රදීප් කුමාර මහතා අප හා සම්බන්ධ වූයේ මෙලෙසිනි.   
කොරල්පරයක් කියන්නේ කුමක්ද?   


කොරල්පරයක් කියන්නේ වෙරළට ආසන්නව වෙරළට සමාන්තරව ගමන් කරන පරයක්. බුහුබාවන් මිලියන ගණනක් එකතුවී හැදෙන මෙම කොරල්පර මහ සයුරට ගෙන එන්නේ අපූරු සුන්දරත්වයක්. එය ඝන සකැස්මක් නිසා වෙරළ හා මුහුද අතර පිහිටන බාධකයක්ද වෙනවා. ඒ නිසා මෙම කොරල්පර තිබීමෙන් වෙරළ ඛාදනයෙන් ආරක්ෂා වෙනවා. මෙය ලොකු පරයක් බවට පත්වුණාට මේවා හැදෙන්නෙ කුඩා කොරල් ගහනවලින්.   


කොරල් පරයක් නිර්මාණය වන්නේ බුහුබාවා ලෙස හඳුන්වන කුඩා ජීවියෙකු මගින්. කොරල් ගහනයක බුහුබාවන් රාශියක් සිටිනවා. එම කොරල් ගහන රාශියක් එකතුවෙන් තමයි පරයක් හැදෙන්නේ. කාලයක් ගතවෙද්දී මේ කොරල්පරමත මුහුදු පැළෑටි ඇල්ගී වර්ග වැඩෙනවා වගේම තවත් මුහුදු ජීවීන් රැසකට මෙය නිවහනක් බවට පත්වෙනවා. 

 
සාගරය පතුලේ හැදෙන කොරල්පර සමකයේ සිට අංශක 30 ක් උතුරටත් අංශක 30 ක් දකුණටත් බහුලවශයෙන් දකින්න පුළුවන්. 

 
කොරල්පර බුහුබාවන් හැදෙන්න අවශ්‍ය ප්‍රශස්ත උෂ්ණත්ව මට්ටමක් තිබිය යුතුයි. එහි උෂ්ණත්වය සෙන්ටිග්‍රේට් අංශක 28 ක් 35 ක් වගේ සාමාන්‍යයෙන් තියෙන්නේ. සෙන්ටිග්‍රේට් අංශක 28 වඩා අඩුවුණොත් බුහුවාවන්ට ජීවත්වීමට අපහසුයි. සෙන්ටිග්‍රේට් අංශක 35 ට වඩා වැඩිවුණත් අපහසුයි. ධ්‍රැවවල සෙන්ටිග්‍රේට් අංශක 28ට වඩා උෂ්ණත්වය අඩුනිසා ඒ ප්‍රදේශවලත් කොරල් බුහුබාවන්ට ජීවත්වීමට අපහසුයි.   


ඊට අමතරව ජලයේ තියෙන ලවණතාවත් ඉතා වැදගත්. සාමාන්‍යයෙන් ජලය ලීටරයකට ලුණු ග්‍රෑම් 35 ක් තිබිය යුතුයි.   


කොරල්පරවලට ජලයේ ලවණ ගතිය අඩුවැඩි නොවී සාමාන්‍ය විදියටම තිබිය යුතුයි. එබඳු කොරල්වලට හිරු එළිය අවශ්‍ය වන අතර මීටර් 60 කට නොඅඩු ගැඹුරු ජලයේ වැඩෙන්නෙ.   


ඒ ප්‍රදේශවල ඝන උපස්ථරයක් තිබෙන ස්ථානවල තමයි කොරල්පරයක් හැදෙන්නේ. ඒ අනුව බලද්දී ප්‍රශස්ත උෂ්ණත්වයක් හා ප්‍රශස්ත පරිසර පද්ධතියක් තියෙන සෑම ස්ථානයකම වගේකොරල්පර හැදෙනවා. 

 

 

 


අද සාගර පතුලේ දැකගත හැකි කොරල්පර වසර මිලියන ගණනකට ඉහතදී සෑදුණු ඒවා. කොරල්පරයක් හැදෙන්න එතරම් කාලයක් ගත වුණත් ඒවා විනාශ කරන්න යන්නේ තත්ත්පර ගණනාවක් විතරයි.   


කොරල්පර හැදෙන්නෙ සමකයෙහි සිට අක්ෂාංශ 30 කත් දේශාංශ 30 කත් අතර කලාපයේ ​ලෝකයේ දක්නට ලැබෙන ඉතාමත් චමත්කාරජනක වෙරළබඩ පරිසර පද්ධතියක් වශයෙන් කොරල්පර ආශ්‍රීත පද්ධතිය හඳුන්වන්න පුළුවන්. එමෙන්ම ජෛව ක්‍රියාවලියන් ආශ්‍රීත නිර්මාණය වන භූරූප පද්ධතියක් වශයෙන්ද මෙය හඳුන්වනවා.   


කොරල් ඉතා කුඩා ජීවියෙකුගේ නිර්මාණයක්. මේ කුඩා ජීවියා ‘පොලිප්’ හෙවත් බුහුබාවා ලෙස හඳුන්වනවා. අපෘෂ්ඨ වංශික ගණයට අයත් කුඩා මෘදු විනිවිද පෙනෙන සතෙකු වන මෙම ජීවියා සාගර ජලයේ ඇති කැල්සියම් කාබනේට් අවශෝෂණය කරගෙන තම ශරීරයට පිටින් සැකිල්ලක් හෙවත් කවචයක් නිර්මාණය කර ගන්නවා.   


මෙය සතුන් දහස් සංඛ්‍යාවක් නිර්මාණය කරන ඇටසැකිලි කොරල් ලෙස හඳුන්වනවා. මෙම පොලිප් සතුන් හුණුගල් සැකිල්ලේ කෝප්පයකට සමාන ලෙසයි ජීවත් වෙන්නේ.   
කොරල්පරය ආරම්භවෙන්නෙ තනි පොලිප් ජීවියෙකුගෙන්. සාගර ජලයේ පාවෙමින් සිටින ජීවියා තද මතුපිටක් හමු වුණාම එහි පදිංචි වෙනවා. එයින් පසුව සැකිලි සෑදීම අරඹනවා. වගේම පැටවුන් මාපිය පොලිප්ට බද්ධවී සැකිලි සාදනවා. පොලිප් ජිවියා මිය ගියද සැකිලි ඉතිරිවෙනවා. ඒ සැකිල්ල මත වෙනත් ජීවීන් වර්ධනය වෙනවා. මෙසේ වසර දහස් ගණනක් තිස්සේ පොලිප් ජීවින්ගේ කොලනියක් මගින් සෑදෙන ඉතා ගනකම සහිත සැකිල්ල කොරල් පරයක් ලෙස හඳුන්වනවා.   


පොලිප් ජීවියා සත්ව ප්ලවාංග ආහාරයට ගන්නා අතර ඒ ජීවියා සමග සහජීවී ලෙස ජීවත්වන සුසැන්තලේ නමැති අන්වීක්ෂීය පැළැටිය මත කොරල්පරයේ වර්ධන ශක්තිය රඳා පවතිනවා. පොලිප් ගේ බහිශ්‍රාවිය ද්‍රව්‍ය සහ හිරුඑළිය උපයෝගී කරගෙන සුසන්තලේ නමැති අන්වීක්ෂීය පැළැටිය ප්‍රභාසංස්ලේෂණය සිදුකරනවා. ප්‍රභාසංස්ලේෂණය මඟින් නිපදවන ඔක්සිජන් පොලිප් ජිවීන් ආශ්වාස කරනවා. කොරල්වලට සුන්දර වර්ණ ලැබෙන්නේත් සුසැන්තලේ ගෙන්. ඇත්තෙන්ම සංකීර්ණ ජෛව විවිධත්වයක් කියමින් නිපදවන මේ කොරල් සහිත වෙරළ කලාපය මනරම් වේදිකාවක් ලෙසද දකින්න පුළුවන්.   


මෙලෙස දිව්‍ය බවනක් බදු සාගර පතුලේ සුන්දරත්වයට අද වනවිට මුහුණ දීමට සිදුව ඇත්තේ දැන් තර්ජනයටය. විශේෂයෙන් කොරල් කැණීම, කෘෂිකර්මික හා නාගරික අපද්‍රව්‍ය බැහැර කිරීම, අධිකලෙස මසුන් මැරීම, ඩයිනමයිට් පුපුරවා හරිමින් මසුන් මැරීම ඇළවල් කැපීම, වැනි දේවල් මගින් මෙම කොරල් පර දැඩි තර්ජනයකට ලක්වීම ඉතාම ඛේදනීය තත්ත්වයක්.   


කොරල්පර වර්ධනයට අවශ්‍ය සාධක මොනවාද?   


ලෝකයේ පවතින සෑම මුහුදකම කොරල්පර වර්ධනය වෙන්නෙ නෑ. කොරල්පර වර්ධනය සඳහා සුදුසු විශේෂිත පද්ධතියක් ඇති සාගරවල විතරයි කොරල්පර වර්ධනය වෙන්නේ. ඒ සඳහා සාගර ජලයේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 20-30 අතර පරාසයක විය යුතුයි. සාගර ජලයේ ලවණතාව කොටස් 30-35 අතර නොවෙනස්ව පැවැතිය යුතුයි. සුර්යාලෝකය හොඳින් සාගර පත්ලට ලැබිය යුතු වගේම ඉතා පිරිසිදු ජලයක් සාගර පත්ල පොලිප් ජීවියාට පදිංචි වීමට සුදුසු තත්ත්වයට තැනිතලා ස්ථාවර විය යුතුයි.   
සාගර ජලයේ උෂ්ණත්වය එකවර සෙන්ටිග්‍රේඩ් අංශක 2 කින් පමණ වෙනස් වුවහොත් කොරල්පර විනාශ වෙන්නට පුළුවන්. එයට හේතුව උෂ්ණත්වයේ ක්ෂණික වෙනස්වීම පොලිප් ජීවියාට ඔරොත්තු නොදෙන බැවින් එම ජීවියා මැරී යාමයි.   


එම ජීවියා විනාශ වූ විට කොරල්පර වර්ධනයක් වෙන්නේ නැහැ. පොලිප් ජීවියා මියයාමෙන් කොරල්පර අජීවි තත්ත්වයට පත්ව විනාශ වෙනවා. ඒ තත්ත්වය සාගර ලවණතාව වෙනස්වූ විටද සිදුවෙන්න පුළුවන්. කොරල්පර වර්ධනය මීටර් 50 දක්වා වූ ගැඹුරු මුහුද දක්වා සිදුවෙනවා. ඊට හේතුව සූර්යාතාපය ඊට වඩා ගැඹුරට යන්නේ නොමැති නිසයි.   
කොරල්පරවල වටිනාකම කෙතෙක්ද?   


කොරල්පර මහ සාගර පතුලට වටිනාම සම්පතක්. කොරල්පරයක් කියන්නෙ විවිධ මත්ස්‍ය වර්ග ඇතුළු අනෙකුත් ජලජ ජීවීන් රාශියකට වාසස්ථාන සහ ආහාර සපයන වැදගත් පරිසර පද්ධතියක්. ඒ වගේම මේ ජිවීන්ගේ අභිජනනයට සුදුසු පරිසරයක් කොරල් ආශ්‍රීතව පවතින නිසා ධීවර කර්මාන්තයටද වාසිදායක වෙනවා. වෙරළට ආසන්නව බැම්මක් ආකාරයෙන් කොරල්පර නිර්මාණයවී තිබෙන නිසා වෙරළ ඛාදනය වළක්වන බාධකයක් ලෙස කොරල්පර ක්‍රියාකරනවා වගේම සුනාමි වැනි තත්ත්වවලින් සිදුවන හානිදායක තත්ත්ව අවම කරන දියකඩනයක් ලෙස කොරල්පර ක්‍රියා කරනවා. 

 
කොරල්පර කියන්නෙ අතිශය අලංකාර සහ සුන්දර පරිසර පද්ධතියක්. මේ හරහා සංචාරක කර්මාන්තයෙන් විශාල විදේශ විනිමය ප්‍රමාණයක්ද උපයා ගැනීමට හැකිවෙනවා. ඒ වගේම පසේ ආම්ලිකතාව අඩු කිරිමට රසායනයක් ලෙසත් වැදගත් වෙනවා. කොරල්පර ආශ්‍රීතව විවිධ රෝගවලට (ලියුකේමියාව, පිළිකාවලට) ඖෂධ නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය සහ රසායන ද්‍රව්‍ය පවතිනවා.   


ඊට අමතරව වෙරළ කලාපය ආරක්ෂා කරන්නෙ වෙරළ ඛාදනයෙන්. ඒ නිසා කොරල්පර නොතිබුණානම් මිලියන ගණන් වියදම් කරලා ආරක්ෂක වැටි හදන්න වෙනවා. නමුත් අපිට ඒවා හදන්න ඕනෑ නැත්තෙ කොරල්පර තියෙන නිසා. ඒ හැමදේම බලද්දී කොරල්පර කියන්නේ මිල කරන්න බැරි වටිනාම සම්පතක්.   


වර්තමාන තත්ත්වය යටතේ කොරල්පර විනාශවීමට බලපෑ හේතු   


එදා දකුණු පළාතෙන් හික්කඩුව, පොල්හේන, තංගල්ල, ප්‍රදේශවලත් නැගෙනහිරින් පාසිකුඩා, කල්කුඩා, වාකරේ, ත්‍රිකුණාමලය, මුලතිව්, යාපනය, දූපත් වලත් අරිප්පු, සිලාවතුර, කල්පිටිය බාරිපරේ කොළඹ දියඹපර කොරල්පර හොඳ මට්ටමේ තිබුණා. නමුත් 1998 දී එල්නිනෝ තත්ත්වය ඇතිවුණාම ඒ කාලෙදි ලෝකෙම සම්පූර්ණයෙන්ම සමකයට ආසන්න මුහුදුවල උෂ්ණත්වය ගොඩාක් ඉහළ ගියා. මේ ඉහළ යාමනිසා ගොඩාක් කොරල්පර විනාශය වුණා.   


එහිදී හික්කඩුව පරයේ 90% ක්ද උෂ්ණත්වය වෙනස්වීම නිසා තංගල්ල පරයේ අැල්ල, වැලිගම කප්පරතොට, කල්පිටිය, බාරිපරේ කොරල්, යාපනය දූපත්ටිකේ, මන්නාරම බස්තලතිව්හි කොරල් මැරුණා. සමස්තයක් විදියට ගත්තම ලංකාවේ කොරල් 60% 70% වගේ 1998 වසරේ විනාශ වුණා. ඇතැම් කොරල්පර සම්පූර්ණයෙන්ම මියගියා.   
එල්නිනෝ තත්ත්වය සාමාන්‍යයෙන් අවුරුදු 4 න් 4 ට වගේ ඇතිවනවා. 1998 දී ඒ වෙනස්වීමත් සමග කොරල් නැවත යම්කිසි මට්ටමකට හැදීගෙන එද්දි 2004 දී නොසිතුලෙස සුනාමිය ආවා. සුනාමියෙන් වුණේ කොරල් වලට රළ පහරවැදීම නිසා භෞතික හානියක් පමණයි.   


සුනාමියෙන් කොරල්පර කැඩී බිඳීගලවගෙන හෝදගෙන ගියා. ඒ අනුව දැනට හික්කඩුව 7% වගේ තමයි කොරල්පර තියෙන්නෙ.​ පොල්හේනෙ 95% වැලිගම 80% වගේ කොරල් විනාශ වුණා. කල්පිටිය බාරිපරේ මහා පරිමාණයෙන් විනාශ වුණා. දැන් වර්ග මීටර් 15 ක් 20 ක් පමණ කොරල්පර ඉතිරිවෙලා තියෙනවා. කොරල්පර විනාශවීමට දේශගුණික සහ පරිසර සාධක බලපෑම් වගේම ඊට අමතරව කොරල්පර විනාශවීමට ධීවර කර්මාන්තයද බලපානවා.   


එහිදී පත්ල සූරගෙන යා හැකි දැල්වලින් මසුන් ඇල්ලීම තුළින් තමයි මුහුදු පැළෑටි කොරල් සහ වෙනත් සියලුම ජිවීන් කැඩී විනාශ වී යන්නේ.   


ඇයි ඩයිනමයිට් දමා මසුන් ඇල්ලීම?   


ඔව්. ඩයිනමයිට් භාවිතය නිසා ඇති වන කම්පනය මගින් ලොකු කුඩා ජීවීන් විශාල වශයෙන් විනාශ වෙනවා. මේ මගින් කොරල්පරද දෙදරා ගොස් එහි ස්ථාවරත්වයට හානි ගේනවා. ඒ වගේම හුනු ලබාගැනීමට කොරල් ඉවත් කිරීම කෙරෙනවා.   


මෙය පාරම්පරිකව කෙරෙන වෘත්තියකට සම්බන්ධ ක්‍රියාවලියක්. මෑතක සිට ගොඩනැගිලි ඉදිකිරීම් වේගවත් වීම නිසා හුණු ඉල්ලුමද වේගවත් වෙලා තියෙනවා. මේ තුළින් කොරල්පර ශීඝ්‍රයෙන් විනාශවෙන්නට ප්‍රධාන හේතුවක් වී තිබෙනවා. 

 
ඒ වගේම සංචාරකයින් සිහිවටන සඳහා තබාගන්නටත් කොරල් කඩනවා. සංචාරක කර්මාන්තය දියුණු ප්‍රදේශවල මෙය ප්‍රබලව සිදුවෙනවා. ජල දූෂණයත් ප්‍රධාන වශයෙන් කොරල් විනාශයට බලපානවා. මුහුද ආශ්‍රීත වෙරළ කොටස්වල සුදු​ කොහු සෑදීම සඳහා පොල්ලෙලි ගෙන පල් කිරීම හේතුවෙනුත් කොරල්පර විනශ වීමේ තර්ජනයකට ලක්වෙලා තිබෙනවා.   


යාන්ත්‍රික බෝට්ටු නතර කිරීමට නැංගුරම් භාවිත කිරමේදී ද  විශේෂයෙන්ම කොරල්පර සහිත ප්‍රදේශවල යාන්ත්‍රීක බෝට්ටුවල නැංගුරම් මුහුදු පත්ලට බැස්සවීම නිසා කොරල්පර සීරියාම සහ කැඩී යාම මගින් බොහෝ ස්ථානවල කොරල්පර විනාශයට පත්වී තිබෙනවා.   


කොරල් පර විනාශයට තවත් ප්‍රධානම හේතුවක් වන්නේ, වනාන්තර එළිපෙහෙලි කිරීම ගංගානිම්න ප්‍රදේශවල පෝෂක ප්‍රදේශ එළිකිරීම නිසා ගංවතුර ඇතිවෙනවා. එහිදී ගංවතුර ගෙන එන රොන්මඩ අධික ප්‍රමාණයක් කොරල්පර සහිත ප්‍රදේශවල අධික ලෙස තැන්පත් වී ඒවා වැසී යාමෙන් කොරල්පර වර්ධනයට බාධා සිදු වෙනවා.   

 

 


සමස්තයක් ලෙස ගත්කල කොරල්පරයට වැඩිවශයෙන් හානි ගෙන දෙන්​නේ අහිතකර මිනිස් ක්‍රියාකාරකම්, දේශගුණීක විපර්යාස, ගෝලීය උෂ්ණත්වය ඉහළයෑමත් සමඟ කොරල්පරයට දැඩි හානියක් සිදුවන අතර විශාල වශයෙන් ඊට මිනිස් ක්‍රියාකාරකම් එක්වීමෙන් මෙම කොරල්පර විනාශය අද ඇත්තේ ඉතාම ඛේදනීය තැනකයි.   
අද කොරල්පර විනාශය සියලු විනාශයන්ගේ ආරම්භය වී තිබෙනවා. එහි ඵලවිපාක ඉතාමත් දරුණු බව අවධාරණය කළ යුතුයි. කොරල් විනාශය වෙරළ ඛාදනය ඉක්මන් වීම නිසා වෙරළ ඛාදනය වැළැක්වීමට රජය බිලියන ගණනින් රටේ මුදල් වැය කළත් ඉන් ජනතාවටත් ආර්ථික වශයෙන් විශාල හානිදායක තත්ත්වයන්ට ඉදිරියේදී මුහුණ දීමට අපට සිදුවනවා. නොඅනුමානයි.   


ඒ වගේම ජෛව විවිධත්වයේ සහ ආහාර දාමයන්ගේ ඇතිවන අසමතුලිතතාව හේතු කරගෙන මත්ස්‍ය සම්පත විනාශ වීමෙන් ධීවර කර්මාන්තයද අකර්මණ්‍ය වීමද වැඩි ඈතක නැහැ. එපමණක් නොව කොරල් මියයාම සහ ඒවාට සිදුවන හානිය නිසාවෙන් සංචාරක කර්මාන්තයටද පහර වැදීමට නියමිත අතර එය ඉදිරියේදී ත්‍රස්ත ප්‍රහාරයටත් වඩා දරුණු විය හැකියි. එම නිසා කොරල් රැකගැනීම දැවැන්ත වගකීමක් මෙන්ම මිනිස්ප්‍රජාවගේ පරම යුතුකමක්.   


කෙනෙක් කියන්න පුළුවන් මැරෙන කොරල්පර නැවත වර්ධනය වෙනවා කියලා. හානි වෙන, මැරෙන, මෙම කොරල්පර, මුහුදු ශාක, මුහුදු තෘණ නැවත වර්ධනය වීමට වසර දහස් ගණනක් ගත වෙනවා. ඒත් එහි වැඩීම සිදුවන්නේ ඒ වසර ගණනටම ඉතාම කුඩා ප්‍රමාණයක්. අද හික්කඩුව, ත්‍රිකුණාමලය, කල්පිටිය වගේ ස්ථානවල මුහුදු පතුල සුසාන භූමි වෙලා. දේශගුණික විපර්යාස සිදුවුණෙත් මිනිස් ක්‍රියාකාරකම් නිසා ඉදිරි වසර දහය තුළ කොරල්පර සම්පූර්ණයෙන්ම විනාශ වී යාමේ දැඩි තර්ජනයකට මුහුණ දී තිබෙනවා.   
කොරල්පර රැක ගැනීමට අද අපේ රට ක්‍රියා කරනවාද?   


වෙනත් රටවල කොරල් පිහිටා තිබෙන්නේ නොගැඹුරු මුහුදේ නම් කිමිදීමේදී කකුලට භාවිත කරන වරල් වැනි පාවහන් විශේෂය තහනම් කර තිබෙනවා. ඒ වගේම සමහර රටවල නොගැඹුරු මුහුදේ ඇති කොරල්පර ඇති ප්‍රදේශ ආවරණය කර ඒ ප්‍රදේශ මිනිස් ක්‍රිකාරකම් සඳහා තහනම් කලාප බවට පත්කර තිබෙනවා. විද්‍යාඥයකුට වුණත් ඇතුළුවෙන්න හැකියාව තියෙන්නේ විශේෂ අවසරයක් මත පමණයි.   


ජපානය වැනි රටවල කොරල්පරයක් ආශ්‍රීතව වරායක් හෝඉදිකිරීමක් සිදු කරනවානම් එය අත්‍යවශ්‍යමද යන්න මුලින්ම සොයා බැලීමෙන් අනතුරුව තමයි නව තාක්ෂණය යොදාගෙන ජීවයට හානි නොවන ආකාරයෙන් කොරල්පරය කොටස්වලට වෙන්කර මුහුදේ වෙනත් සුදුසු ස්ථානයක ස්ථාපනය කරන්නේ.   


ශ්‍රී ලංකාව ඒ හා සැසඳුවොත් කොරල්පර රැකගැනීම සම්බන්ධයෙන් තිබෙන්නේ ඉතාමත් අඩු අවධානයක්. සංචාරක කර්මාන්තයේ කටයුතු සඳහාත් යම් යම් නියාමන තිබිය යුතු වෙනවා.   


හික්කඩුවේ කොරල් නැරඹීමට භාවිත කරන වීදුරු පතුලක් සහිත බෝට්ටු බොහෝ අවස්තාවල සංචාරකයන් ආකර්ෂණය වැඩි කරගන්නට කියලා  කොරල්පරය උඩින්ම ගමන් කරනවා. එයින් සිදුවෙන්නේ අවරපෙති වැදීමෙන් සහ බෝට්ටු පතුල වැදීමෙන් කොරල්පරයට විශාල ලෙස හානි වීම. බෝට්ටු වැදීම නිසා සිදුවන මේ භෞතික හානි තත්ත්ව හික්කඩුව, කල්පිටිය, පරවි දූපත සහ සිලාවතුර ආශ්‍රීතව හොඳින්ම දක්නට ලැබෙනවා. 

 

 

 


පරිසර දුෂණය වැළෑක්වීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජය ද්විත්ව පහර බෝට්ටු එන්ජින් සහිත ත්‍රිරෝද රථ ආනයනය තහනමට ලක් කරන්න පියවර ගත්තා. ඇත්තටම එය පරිසරය වෙනුවෙන් ගත් හොඳ තීරණයක්. නමුත් තවමත් ද්විත්ව පහර බෝට්ටු තහනමට ලක්කරන්න මේවනතෙක් කිසිදු පියවරක් අරගෙන නැහැ. ද්විත්ව පහර බෝට්ටු වලිනුත් සාගරයට සහ කොරල්පරවලට විශාල හානියක් සිදුවෙනවා. අර්ධ දහනය නිසා තෙල් මුහුදට එක්වෙලා කොරල්වලට අවශෝෂණය වීම නිසා කොරල් මැරෙනවා.   


අවිධිමත් ​බෝට්ටු ගමනාගමනයෙන් සහ සංචාරකයන්ගේ ක්‍රියාකාරකම් නිසා පරෙවි දූපත ආශ්‍රීතව තිබෙන අධිසංවේදී කොරල් කලාපයට සිදුවන හානිය වළක්වන්න වහාම කටයුතු කළ යුතු වෙනවා. කොරල්පර රැකගනිමින් සංචාරක කර්මාන්තය පවත්වාගෙන යෑම මෙහිදී අභියෝගයක්. මේ සඳහායි සමුද්‍රීය පරිසර ආරක්ෂිත අධිකාරිය විසින් මාලදිවයින ඇතුළු කොරල් සම්පතින් පොහොසත් අනෙකුත් රටවල් භාවිත කරන ''boardwalk'' ක්‍රමය පරෙවි දූපතේ ස්ථාපනය කරන්න යෝජනා කළේ. ''boardwalk'' කියන්නෙ එක්තරා ආකාරයකින් පාලමක්.   


මෙමගින් දූපතේ කොරල් කලාපයට බෝට්ටු සංක්‍රමණය වීමෙන් සහ සංචාරකයන්ගෙන් සිදුවන භෞතික හානි සහ තෙල් මුසුවීමෙන් වන හානි වළක්වනවා. බෝට්ටු මේ පාලමේ එක් කෙළවරක නවත්වලා එතැන්සිට පාලම දිගේ කොරල් නරඹමින් දූපතට ඇවිදගෙන එන්න සංචාරකයන්ට හැකියාව තියෙනවා. ඉන් සංචාරක කර්මාන්තයට බාධාවක් වෙන්නෙත් නැහැ. කොරල්පරය සහ සංචාරක කර්මාන්තය හැමදාටම පවත්වාගෙන යන්න නම් මෙය අනිවාර්​ෙ‌යන්ම ක්‍රියාත්මක විය යුතුයි.   


කොරල්පර රැකගැනීමට අද මිනිස් ප්‍රජාවගේ වගකීම වුවත් එය ඉටු වීමේ වර්ධනයක් පේන්නේ නැහැ. ඒත් අපේ අධිකාරිය මගින් මිනිස් ප්‍රජාව දැනුම්වත් කරමින් රටේ ජාතික සම්පතක් වන කොරල් පර රැකගැනීමට කැපවෙලා ඉන්නවා.   


කොරල්පර සංරක්ෂණය කළ හැකිද?   


මිනිසාට ආර්ථීක වශයෙන් ඉමහත් ප්‍රයෝජනයක් ලබාදෙන්නා වූ කොරල් ආශ්‍රීත මුහුදු ප්‍රදේශ එක් අතකින් මිනිසාට සෞන්දර්ය ලබාදීමෙන් මානසික තෘප්තියක් ඇතිවෙනවා. මුහුදු ජිවින් සංඛ්‍යාවකට රැකවරණය සලසනවා. මේ නිසා කොරල්පරවලින් ප්‍රයෝජන ගැනීමේදී මිනිසා මීට වඩා බුද්ධිමත්ව කටයුතු කළ යුතුයි.   


ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළේ කල්කුඩා ප්‍රදේශයේ කොරල් කැඩීම නතර කිරීම නිසා ස්වභාවිකව තැන්පත්වූ කොරල් වැටියක් නිර්මාණය වී ඉතා කෙටි කාලයකදී වෙරළ තීරයක් ගොඩනැගෙනවා.   


ලෝකයේ වෙනත් රටවල් කොරල්පර සම්පත වැඩිකිරීම සඳහා කෘත්‍රීම ලෙස කොරල් නිර්මාණය කරනවා. තවත් සමහර රටවල පරණ නැව් මුහුදේ ගිල්වීමෙන් කොරල් වැඩීමට ඉඩ සලස්වලා තියෙනවා. දැනට ලංකාවේ හික්කඩුව ප්‍රදේශය තුළ අක්කර 110ක සාගර අභය භූමියක් පිහිටුවලා තියෙනවා.   


කොරල්පර විනාශය වළක්වන්න වැඩපිළිවෙළක් සහ ඒවා වැළැක්වීමට යෝජනා මොනවාද?   

 

 


මේ විනාශය වළක්වන්න දැනුම හා අවබෝධය ලබාදීමෙන් කළ හැකි වෙනවා. නීතිමය පැත්තෙනුත් ගොඩක්දේ කළ හැකියි. මීට පෙර කොරල් හාරලා හුනු හදන්න ගත්තා. ඒවගෙන් සමරෙ කියන හුනු වර්ග හැදුවා. පසුව එය තහනම් කළා. දැන් වෙරළ ආරක්ෂක බළකාය, පොලිසිය, පාරිසරික ආයතන මේ ගැන විමසිල්ලෙන් ඉන්නෙ. ඒ නිසා මේ විනාශය ටිකක් අඩුවෙලා තියෙනවා.   


ඊට අමතරව කොරල්පර මත ඩයිනමයිට් ගැසීමත් ගොඩක් තැන්වල අඩුයි. මොකද ඒ සඳහා අය කරන දඩය වැඩි නිසා.   


මේ පිළිබඳව දැනුම්වත් කරන්න අපි පාසල්වලත් කණ්ඩායම් හදලා තියෙනවා. මේ දේවල් ආරක්ෂා කර ගැනීම එහි වැදගත්කම ගැන එහිදී කතාබහට ලක්වෙනවා. (SMG) නමින් එම කණ්ඩායම නම් කරලා තියෙන්නේ (School marine Group)   


ඊට අමතරව මේවා ආරක්ෂා කරගන්න අපි යෝජනා කරලා තියෙනවා (MPAS) කලාප ලෙස සමුද්‍රීය ආරක්ෂක කලාප නමින්. ඒ මඟින් කරන්නෙ මේ පාරිසරික වස්තුන් රැක ගැනීම. මේ දේවල් විනාශ වනතුරු බලාගෙන හිටියොත් ඉදිරි වසර දහය තුළ අපට මේ සුන්දර වස්තුන් අහිමි වෙලාම යන තත්ත්වයක් තමයි ඇතිවෙන්නෙ.   

 

 

සටහන සහ ඡායාරූප - 
ධනු විජේරත්න, නදීශා අතුකෝරළ