රෝග රැසක් නසන කෙසෙල්


සුවයට  ඔසු

 

 

 

ආයුර්වේදීය ඉගැන්වීම් අනුව මධුර රසයෙන් ගුරු හා ස්කන්ධ ගුණයෙන් හා ශීත වීර්යයන්ගෙන් යුතු රසවත් ගුණවත් පළතුරකි කෙසෙල්.   


කෙසෙල් ගසේ ගෙඩි මුව කොළ පිති බඩ සහ කෙසෙල් අල ආදී කොටස් සියල්ල පාහේ ප්‍රයෝජනයට විවිධ අවස්ථාවල දී ගැනේ.   


ඉතා දිගු ඉතිහාසයයක් ඇති පළතුරක් වන කෙසෙල් පිළිබඳ දීර්ඝ විස්තරයක් බුද්ධදාස රජු විසින් කරන ලද සාරාර්ථ සංග්‍රහය නම් පුස්තකයේ සඳහන් වේ. එම තොරතුරු අනුව අමු කෙසෙල් ගෙඩි සෙම වඩවයි.   


සිසිල් ගුණයෙන් යුක්තය. පිත දැවිල්ල හා පිපාසය නිවාලනු ලබයි.   


තුවාල සුවකිරීමේ ගුණයෙන් යුක්තය. වාත රෝග ලේ කෝපවීම නිසා හට ගන්නා රෝග නසයි. සිරුර පුෂ්ටිමත් කරන බව ද දක්වා ඇත.   


ඉදුණු කෙසෙල් ආහාර රුචිය වඩවන අතර මිහිරි රසයෙන් යුතුය. සිසිල් ගුණයෙන් යුතු අතර ධාතු පෝෂණය කර දේහ බලය හා ශක්තිය වඩවයි. කුසගින්න පිපාසය හා ප්‍රමේහ රෝග නසාලීමට ද උපකාරී වේ.   


ඉදුණු කෙසෙල් අනුභවයෙන් තරබාරු අය කෙට්ටු වන බවත් කෙට්ටු අය තරබාරු වන බවත් බුද්ධදාස රජු විසින් රචනා කරන ලද සාරාර්ථ සංග්‍රහයේ වැඩිදුරටත් සඳහන්ය.   
විවිධ ගුණ හැඩය පාට අනුව වර්ග වෙන කෙසෙල් ප්‍රභේද 40 කට වඩා නොඅඩු ප්‍රමාණයක් හඳුනාගෙන ඇති අතර ආයුර්වේදය චිකිත්සාව සඳහා බහුලවම යොදා ගනු ලබන්නේ අළු කෙසෙල්ය. ආයුර්වේදයේ ලීපකෑලී යනුවෙන් අළුකෙසෙල් හඳුන්වයි.   


රක්පිත දාහය සංසිදුවන අළු කෙසෙල් මධුමේහය ද නසාලන බව ආයුර්වේදයේ දැක්වේ.   


දේහ බලය හා ශක්තිය වඩාලන සංග්‍රාහි ගුණ සහිත එළවළුවකි අළු කෙසෙල්. අළු කෙසෙල්වල අඩංගු ඖෂධීය ගුණය නිසාම අධික ඔපස්වීම් වලදී ද ප්‍රතිසාර පාචන ග්‍රහණි වැනි රෝග තත්ත්වවලදී ද මෙම කෙසෙල් වර්ග ඖෂධ සඳහා යොදා ගැනේ.   


කෙසෙල් ගසේ පතුරු හා කොළ පුළුස්සාගත් අළුවලින් තනන කෑලී ක්ෂාර නම් ඖෂධය අම්ල පිත්තයේදී (Gastritis) හා ආමාශ්‍රයික තුවාලවලදී ඖෂධ වශයෙන් ප්‍රයෝග කරන අතර සර්ප විෂ සහ සිරුරේ විෂ නැසීමේ සුවිශේෂී ගුණයෙන් ද යුක්තය.   


අළු කෙසෙල් මුව ලියා කෙසෙල් දළුවල ඔතා උණු අළු යට තබා තම්බා මිරිකා ගත් ඉස්ම අතිසාර හා අජීර්ණ වැනි රෝගවලට ඉතාම ගුණදායකය.   
සිසිල් ගුණැති කෙසෙල් අලය හිසකෙස්වලට ද ඉතාම හිතකර වේ. දේහ බලය වඩාලයි.   


අම්ල පිත්ත දැවිලි රෝග නසාලයි කුසගිනි උපදවයි.   


කෙසෙල් මල් බර ආහාරයක් වන අතර මල බද්ධය ඇති කරවයි. කුස ගිනි ද වඩවාලයි.   


වාත රෝගය හා පණු රෝග නසාලයි. ධාතු පෝෂණය කරන අතර රක්තපිත හා ලේ ගැලීම් ද නසාලයි.   


සිහින්ව ලියාගත් කෙසෙල් ලෙලි ද උම්බලකඩ දමා ලුණු තෙල් දමා ගත් විට රසවත් මෙන්ම ගුණවත් ආහාරයක්. 

 
කෙසෙල් අතරින් සුවඳැල් ඉතා මිහිරි රසයෙන් යුතුය. ඉතා තුලී ලෙල්ලක් සහිත සුවඳැල් ඉහළ පොටෑසියම් ප්‍රමාණයකින් යුතු පෝෂණ ගුණයෙන් ඉහළ ප්‍රභේදයකි.   


ඇඹුල් කෙසෙල් - විටමින් බී බහුල මිහිරි සුවඳකින් යුතු ඇඹුල් කෙසෙල්වල මදය ලා කහ පැහැයෙන් යුක්තය. ස්වභාවයෙන්ම සෙම් කෝප කරවන ගුණ සහිත බැවින් ඇදුම පීනස හා කැස්ස වැනි සෙම් රෝග ඇති විට ඇඹුල් කෙසෙල් නොදිය යුතුය. එමෙන්ම නිරෝගී අයෙකු වුවද රාත්‍රී කාලයේ දී ඇඹුල් කෙසෙල් ආහාරයට එක්කර ගැනීම එතරම් සුදුසු නැත.   
සීනි කෙසෙල් - කුඩා ළමුන්ට ඉතාම හිතකර කෙසෙල් විශේෂයක් වේ. සෙම් රෝග ඇති නොකරයි. මාන්දම ක්ෂය රෝග වැනි රෝග නසාලන ගුණයෙන් යුක්තය. පුරුෂ ශක්තිය වඩවාලයි.   


රත් කෙසෙල් - තද රතු පාට ඝනකම් ලෙල්ලක් සහිත රත් කෙසෙල් දියවැඩියාව පාලනය කිරීමට උපකාරි වේ. බඩේ ගෙඩි හා දැවිල්ල ඇදුම වැනි රෝග වළක්වාලීමට ද ඉතාම ගුණදායකය.   


පුවාළු - ඉතා ඉහළ පෝෂණ ගුණයෙන් යුතු කෙසෙල් ප්‍රභේදයක් වන පුවාලු දේහ ශක්තිය වඩවාලීමට ද කෘෂ බව නැති වීමට ද උපකාරිවේ.   
නේත්‍රපලම් - තරමක් දිග විශාල ප්‍රභේදයකි. අක්ෂි රෝග හා ශීර්ෂ රෝගවලට හිතකරයි.   


බිං කෙසෙල් - ඉතා මිටි ශාකයක් වන බිම් කෙසෙල් පෝෂ්‍ය ගුණයෙන් ඉහළ කෙසෙල් විශේෂයකි.   


කෝලිකුට්ටු - පෝෂණ ගුණයෙන් ඉතා ඉහළ කෝලි කුට්ටු සිරුර පුෂ්ටිමත් කරනා ගුණ සහිතය. දිරවීමට අපහසු නිසා අජීර්ණ අවස්ථාවල දී ආහාරයට එක්කර ගැනීම සුදුසු නොවනා බව ආයුර්වේදයේ පෙන්වා දේ. සෙම් රෝග අවස්ථාවේ දී ද එතරම් ගුණදායක නැත.   


ආනමාලු - සීතල අධික කෙසෙල් විශේෂයකි. සෙම් රෝග ඇති විට ආහාරයට නුසුදුසුය. පාචනය, අර්ශස් හා බඩවැලේ තුවාල වැනි රෝග තත්ත්වවලදී එම තත්ත්වයන් පාලනයට ඉතාම හිතකරයි.   


ඇටි කෙසෙල් - කුඩා ළමයින්ගේ අස්ථි හා පේශි වර්ධනයට ඉතාම හිතකර ඇටි කෙසෙල් දියවැඩියාව, මාන්දම, අජීර්ණ හා කෑම අරුචිය වැනි රෝග තත්ත්ව නසාලයි.   


නවීන විද්‍යාත්මකව කෙසෙල්වල ගුණ විමසීමේ දී කෙසෙල් කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන හා ශක්තිය ඉහළ ප්‍රමාණයන්ගෙන් අඩංගු පළතුරක් වේ. විටමින් හා අත්‍යවශ්‍ය ඛණිජ ලවණද ඉහළ ප්‍රතිශතයකින් අන්තර් ගත වන නිසාම නිරෝගී අස්ථි හා පේශී පද්ධතියක් හිමිකර ගැනීමට කෙසෙල් ඉවහල් වේ.   


පොටෑසියම් බහුලව අන්තර්ගත වන බැවින් කෙසෙල් හෘදයට ද ඉතාම හිතකරය. රුධිර පීඩනය ද පාලනය කිරීමට උපකාරීවන පළතුරක් ලෙස හඳුනාගෙන ඇත.   


ආහාර මාර්ගයට ඉතා හිතකර කෙසෙල් දේහයට හිතකර බැක්ටීරියාවන් ආරක්ෂා කර ආහාර ජීර්ණ ක්‍රියාවලිය ක්‍රමවත් කිරීමට ද උපකාරී වේ. මල බද්ධය හා අර්ශස් වැනි රෝග තත්ත්ව වළක්වාලීමට ද උපකාරී වේ.   


විටමින් සී ත් ප්‍රතිඔක්සිකාරක ගුණ බොහොමයකුත් අඩංගු වන නිසාම පිළිකා තත්ත්ව පාලනයට ද ඉතා හිතකර පළතුරකි කෙසෙල්.   


වයසට යාම පාලනය කර තරුණ පෙනුම රැක ගැනීමට ඉතාම හිතකර පළතුරක් ලෙසට කෙසෙල් හඳුනාගෙන ඇත.   


ඉතා ඉහළ විටමින් බී. සංයුතියක් ඇති නිසාම ස්නායු පද්ධතියට ද හිතකර කෙසෙල් මතක ශක්තිය වැඩිදියුණු කරවයි. මානසික ආතතිය ද දුරලීමට උපකාරී වේ.   


රුධිරගත සීනි මට්ටම ස්වභාවිකවම සමනය කිරීමට උපකාරී වන පළතුරක් වන කෙසෙල් ඉදිමුම් තත්ත්වවලට ද ගුණදායකය. ඉහළ පෝෂණ ගුණයක් සහිත නිසාම ගර්භනී මව්වරුන්ට ද ඉතාම හිතකර වේ. කෙසෙල් ලෙලි රෝස වැනි වගාවන් සඳහා කදිම පොහොරක් ද වේ. සමේ රෝග ඇති විටත් මදුරුවන් කෘමීන් විද්ද තැන්වලටත් පිළිසුම් තැන්වලටත් පිරිසිදුව ලබා ගන්නා කෙසෙල් ලෙලි අඹරාගත් පල්පය ඉතාම කදිම ඖෂධයක් වේ.   


ඉහළ පොටෑසියම් අයන සාන්ද්‍රණයක් ඇති නිසාම වකුගඩු රෝගීන් බහුලව කෙසෙල් ආහාරයට නොගත යුතුය. සෙම් රෝගවල දී හා රාත්‍රී කාලයේ දී ඇතැම් කෙසෙල් ප්‍රබේද ආහාරයට නුසුදුසු බව ද පෙන්වා දේ.   


Musa Sppientam යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන කෙසෙල්වලට සංස්කෘත භාෂාවෙන් කදලි, රඹ, අංශුමනී, අම්බුසාර යන නාම යෙදේ. කෙසේ නමුත් එදිනෙදා ආහාරයට එක් කර ගත් කෙසෙල් මෙතරම් ගුණයකින් යුක්ත නොවන බව ඇතැම් විට ඔබ දැන නොසිටියා විය හැකිය.

 

 

සටහන - අසුන්තා එදිරිසූරිය