රුපියල් පහේ ටිකැට්ටුවෙන් ඇරඹූ හුණුවටයේ කතාව


මුල්වරට රඟදක්වා වසර පනහක් පිරෙයි

 

“ෂෝ පනහක්වත් යයි ද ලෙස්ටර්?” හෙන්රි ජයසේන, ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ ලෙස්ටර් ජේම්ස්පීරිස්ගෙන් විමසීය.   


“පනහක් ද?” ලෙස්ටර් තමන්ටම ආවේණික වූ සුවිශේෂී සිනහව පාමින් හෙන්රි ජයසේනගේ පිටට වැරෙන් තට්ටු කළේය.   
“මම ඕනෑ ඔට්ටුවක් දාන්නම්, මේ ෂෝ එක පන්සියයකට එහා දුවනවා.”   
ලෙස්ටර් ජේම්ස් පීරිස් මෙලෙස තම අනාවැකියට මුද්‍රා තැබුවේ 1967 මාර්තු මස නව වැනි දින හැව්ලොක් ටවුන්හි ලුම්බිණි රඟහලේ වේදිකාව මතදීය.   
ඒ, බර්ට්‍රොල් බෙෂ්ට්ගේ ‘ද කොකේෂියන් චෝක් සර්කල්’ ඇසුරෙන් නිපදවූ ‘හුණුවටයේ කතාව’ මුල් රැඟුම් පෙළේ දෙවැනි දිනදීය.   


එදින නාට්‍ය දර්ශනයේ ප්‍රධාන අමුත්තන් වූයේ ලෙස්ටර් සහ සුමිත්‍රාය.   
හුණුවටයේ කතාව නාට්‍යයේ රඟපෑ නළු නිළියන්ට සුබ පැතීමට ලුම්බිණි රඟහල් වේදිකාවේදී ලෙස්ටර් කළ එම අනාවැකිය අතිසුවිශේෂතාවයකින් යුතුව සත්‍ය බවට පත්විය.   
මේ දෙදහස් විසිඑකේ මාර්තු මාසය ය. හුණුවටයේ කතාව මුල් වරට රඟදක්වා මේ එළැඹෙන්නේ පනස්පස් වසරටය.   
ඒ පනස්පස් වසරට ආසන්න කාලය පුරා හුණුවටය දර්ශන වාර පන්දහසකට ආසන්න සංඛ්‍යාවක් වේදිකාගත කර ඇත.   


හුණුවටයේ කතාව ප්‍රථම වරට වේදිකාගත වූයේ ලෙස්ටර් සහ සුමිත්‍රාගේ ප්‍රධානත්වයෙන් පැවැති දිනට පෙර දිනය. එනම් මාර්තු මස අටවැනි දිනය.   
ඒ ප්‍රජාතන්ත්‍රවාදී ජර්මන් ජනරජයේ කොන්සල් ජනරාල් ලුඩ්විග් සෙම්පල්බර්ග් මහතා සහ එම මැතිනියගේ ප්‍රධානත්වයෙනි.   


හුණුවටයේ කතාව මුල් දර්ශනය නැරැඹීමට මුදල් ගෙවා පැමිණි සංඛ්‍යාව හැත්තෑ දෙදෙනකු පමණක් විය. එදින මුලු නාට්‍යයේ ආදායම රුපියල් 268ක් විය. රුපියල් පහේ ප්‍රවේශ පත්‍රවලින් රුපියල් එකසිය හැත්තෑවක් ද රුපියල් තුනේ ප්‍රවේශ පත්‍රවලින් රුපියල් හැටහයක් ද රුපියල් දෙකේ ප්‍රවේශ පත්‍රවලින් රුපියල් තිස්දෙකක් ද යන වශයෙන් එම මුදල් එකතු වී තිබුණි. නමුත් එහි පස්වැනි දිනය වනවිට හුණුවටයේ ආදායම රුපියල් 1,561 දක්වා වර්ධනය වී තිබුණි.   
1965 හෙන්රි ජයසේනට හුණුවටයේ කතාවේ පරිවර්තන කටයුතු නිමා කිරීමට මාස හයක කාලයක් ගත විය. ලංකා මහජන කලා මණ්ඩලයේ සභාපති චන්ද්‍ර ගුණසේකර, ඩී.බී. කුරුප්පු ආදී එකල සිංහල නාට්‍යයට ලැදි කිහිපදෙනකු එක්කර හුණුවටයේ ප්‍රථම පෙළ කියවීම සිදුවිය.   
හුණුවටයේ කතාව ප්‍රථම කාලයේ ඉදිරිපත් වූයේ ලංකා මහජන කලා මණ්ඩලයෙනි. දර්ශන වාර දෙක තුනකට පසු දිගටම එය ඉදිරිපත් වූයේ ‘නළු කැළ’ සංවිධානයෙනි.   


“කොළඹ රාජකීය විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ තමයි හුණුවටය පුහුණු වුණේ. සමහර දවසක පන්ති කාමරයක, සමහර දවසක සියඹලා ගහක් යට” නිමල් ජයසිංහ පැවැසීය. හුණුවටයේ ප්‍රථම දර්ශනවල ඔහු ගායක කණ්ඩායමේ සිටි අතර එයට අමතරව නීතිඥ චරිත ද රඟපෑවේය. 

 
හුණුවටයේ කතාව වේදිකා නාට්‍යයේ ප්‍රථම දර්ශනයේ සිට වර්තමානය දක්වා අඛණ්ඩව රඟපාන දෙදෙනෙක් ඇත. එක් අයකු නිමල් ජයසිංහය. අනෙකා ෂවුවාගේ චරිතය රඟපාන චූලා කාරියවසම්ය.   


විජේරත්න වරකාගොඩ ද හුණුවටයේ පූරක ලෙස දීර්ඝ කාලයක් රඟපෑවේය. මානෙල් ජයසේන ශෲෂා ලෙස ද හෙන්රි ජයසේන අසඩක් ලෙස ද දීර්ඝ කාලයක් රඟපෑවේය. එල්සන් දිවිතුරුගම කස්බෙත් කුමරු ලෙස ද සැන්ටින් ගුණවර්ධන සයිමන් සෂවා ලෙස ද පද්මා කුමාරි ගුණසේකර නටාලියා අබෂ්විල්ලි ලෙස ද රඟපෑ හුණුවටයේ කතාවෙහි සංගීත රචනය සහ මෙහෙයවීම ෂෙල්ටන් ප්‍රේමරත්නගේය.   
හුණුවටයේ කතාවෙහි ළදරු මයිකල් කුමාරයා ලෙස සුදාරක ජයසේන ද රඟපෑවේය. ඒ පස්වැනි ළදරු මයිකල් කුමරු ලෙසය.   


“මුල්ම කාලයේ ළදරු මයිකල් කුමාරයා වුණේ නිලන්ත ජයසේන. ඒ මගෙ තාත්තගෙ අයියගෙ පුතා. දෙවැනියා ජයන්ත කරුණාරත්නගෙ ලොකු දුව නිල්මිණි කරුණාරත්න. තුන්වෙනියා නිමල් ජයසිංහගෙ පුතා හේතුක ජයසිංහ. හතරවැනියා එයාගෙ මල්ලි නන්දන ජයසිංහ.” සුදාරක පෙළ ගැස්සුවේ ඔහුට පෙර මයිකල් කුමරුගේ චරිතය රඟපෑ අය පිළිබඳව විස්තරය. වයස අවුරුදු පහේදී ඔහු එසේ ප්‍රථම වරට ළදරු මයිකල් කුමරුගේ චරිතය රඟපෑවේ වැල්ලවත්ත රාමක්‍රිෂ්ණ ශාලාවේදීය.


“මට කතා කරන්න දෙයක් තිබුණේ නැහැ. අම්මා මට කරන්න ඕනෑ දෙය කියලා දුන්නා, මම කළා.” ගහේ කටු උල් කිරීමක් අවශ්‍ය නැති බව සුදාරක ඔප්පු කළේය.   
වසර තුනක්ම ඔහු එම චරිතය රඟපෑවේය. පසුව වයස අවුරුදු දහහතේදී හුණුවටයේ සමූහ ගායක කණ්ඩායමට එකතු විය.   


කුඩා අවධියේ පටන් සුදාරක හැදී වැඩුණේ හුණුවටයේ නාට්‍ය කණ්ඩායම සමඟය. ඈත පෙදෙස්වල නාට්‍ය රඟදැක්වීමට යනවිට ඔහු මවගේ ඇකයේ උණුහුමට නාට්‍ය බස් රථයේ ගමන් කළේය. කෝරස් කණ්ඩායමෙහි සිටින අතරතුරම නළුවෙකු නොපැමිණි විට සොල්දාදුවකුගේ, නීතිඥයකුගේ චරිතයක් ද රඟපෑවේය.   
1976 දී හුණුවටයේ කතාව අ.පො.ස. උසස් පෙළ විෂය පොතක් වශයෙන් නියම කෙරුණි. එනිසා හුණුවටය රඟදැක්වීම සඳහා ඉල්ලීම් ශීඝ්‍රයෙන් ඉහළ යන්නට විය. මෙහිදී හෙන්රිට රඟපෑමට අමතරව තවත් කාර්යයක නිරත වෙන්නට සිදුවිය. ඒ නාට්‍ය දර්ශන අතරතුර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් වෙනුවෙන් හුණුවටය නාට්‍යය පිළිබඳව සාකච්ඡා පැවැත්වීමය. 1976 සිට 1996 දක්වා වසර විස්සක්ම හුණුවටය උසස් පෙළ විෂය පොතක් විය.   


“ලංකාව පුරාම හුණුවටය පෙන්නුවා. 1969 යාපනේ වීරසිංහම් හෝල් එකේ පෙන්නුවා. 1969 ලෝක නාට්‍ය දිනයට මන්නාරමේ එළිමහන් රංග පීඨයකදී රඟදැක්වුවා. ඒක නරඹන්න පන්දහසකට වැඩි පිරිසක් ඇවිල්ලා හිටියා. මයික් හයිකරලා තිබුණා. ඒවා ළඟට ඇවිල්ලා තමයි අපි දෙබස් පැවැසුවේ.” හුණුවටයේ පැරැණිම සාමාජිකයකු වූ නිමල් ජයසිංහ පැවැසීය.   


ප්‍රථමයෙන්ම කෝරස් ගායනයට එකතු වූ ඔහු විජේරත්න වරකාගොඩගෙන් පසු 2004 සිට පූරක චරිතය ද රඟපෑවේය. හෙන්රි ජයසේන අසනීපව සිටි අසූව දශකය කාලයේ අසඩක්ගේ චරිතය ද නිමල් රඟපෑවේය.   
නිමල් ජයසිංහ පවසන ලෙස මුල් කාලයේ හුණුවටයේ කතාව නාට්‍ය දර්ශන දෙකක් සඳහා අයකළ මුදල රුපියල් එක්දහස් හාරසියයකි. වර්තමානයේ රුපියල් එක්ලක්ෂ පනස්දහසකට වැඩිය. එකල නළුවෙකු සඳහා නාට්‍ය දර්ශනයකට ගෙව්වේ රුපියල් පහළොවක් හෝ විස්සකි. අද රුපියල් හත්දාහක් හෝ අටදාහකි.   
“ඉස්සර නාට්‍ය සංවිධානය කළ අය නාට්‍යවලට නාට්‍යකරුවන්ට ඇත්තෙන්ම ආදරය කළ අය. නාට්‍ය දර්ශනවලින් පස්සෙ ඔවුන්ගෙ ගෙවල්වලට එක්කරගෙන ගිහිල්ලා ආදර සත්කාර කරනවා. අද එහෙම නොවෙයි. අද නාට්‍ය දර්ශනයක් ඉවර වුණාම නාට්‍ය සංවිධායකයෝ ඇවිල්ලා මෙන්න සල්ලි ටික, මෙන්න බත් පැකැට් ටික කියලා යන්න යනවා.”   


නිමල් ජයසිංහ පැවැසුවේ එදා අද නාට්‍ය ක්ෂේත්‍රයෙහි කාලය මැවූ වෙනසක අරුමයය.   

 

පීටර් කැනියුට් පෙරේරා