රිළවුන් පන්නන්න වෙස් මුහුණු දාන මිනිස්සු


 

 

  • 2010 හෝ 2013 වසරේදී මට මතකයි අපේ රජය හැම දිස්ත්‍රික්කයකටම දිසාපති හරහා  රුපියල් ලක්ෂ 100 බැගින් දෙනවා මේ රිළවුන්ට හා වඳුරන්ට කරන දෙයක් කරන්න. අවුරුද්ද අවසානයේ ලක්ෂ 100ම ආපසු එවා තිබුණා මොනවත් කරල තිබුණේ නැහැ.  
  • කළු ඇඳුම හා වෙස් මුහුණට​ රිළවුන්  බයයි

 

දිවයින පුරා රිළා උවදුර දිනෙන් දින වැඩි වෙමින් තිබේ. වත්ත පිටියේ වගා කරන බව භෝග කා විනාශ කර දමන රිළා රංචු මහ වදයක් වී තිබේ. ගෙවල්වල සෙවිලි ද්‍රව්‍ය කඩා බිඳ දැමීම පමණක් නොව නිවෙස් තුළට වැදී බත්මුට්ටි පවා උස්සාගෙන යන රිළවු සිටිති.   


කිසිම බලධරයෙකුට මෙතෙක් විසඳුමක් ලබා දිය නොහැකි වූ මේ ප්‍රශ්නයට දැන් ජනතාව විසින්ම විසඳුම් සොයමින් තිබේ.   
ඒ අනුව කළු ඇඳුමකින් සැරසී හනුමන්තාගේ මෙන් වූ වෙස් මුහුණු පැලැඳ රිළවුන් බිය කිරීමට ගම්වැසියෝ පුරුදුව සිටිති.   
මේ තොරතුරු සොයා අපි බදුල්ල ස්ප්‍රිංවැලි ගම්මානයට ගියෙමු. කළු කලිසම් සහ කළු කබා ඇඳගත් ගම්වැසියන් රැසක් අපට මුණ ගැසිණ. පාර දිගේ එක හරියට පෙරහරක් යනවා වැනිය.   


ශාන්ති මාලනී මහත්මිය මේ රිළා උවදුර ගැන මෙසේ කීවාය.   
අපෝ මේක මහා වදයක් දොර ජනෙල් ඇරියොත් ගෙවල් ඇතුළටම ඇවිත් බත්මුට්ටි පවා අරන් දුවනවා.   
කිසිම බලධාරියෙක් මෙතෙක් විසඳුමක් දුන්නේ නැහැ. ඒ නිසා ගමේ අය කළු ඇඳගෙන රිළා මූණු දාගෙන රිළව් බය කරනවා. හැබැයි ඉතින් ටික දවසක් යනකොට ඒකටත් බය නැතිවෙයිද දන්නේ නැහැ.   

 

 


බුද්ධික හෙන්නායක මහතා පැවසුවේ කළු ඇඳුම් ඇඳ ගෝරිල්ලා මුහුණු පැළැඳ රිළවු එළවීමට දැන් ගමේ ජනතාව පුරුදු වී ඇති බවයි.   
මේ තත්ත්වය නිසා මෙම වෙස් මුහුණු අලෙවියද ඉහළ ගොස් ඇති අතර හිතුණු ගණන් වලට සමහරු ඒවා අලෙවි කරන බවද දැනගන්නට ලැබුණි.   
මුහුණු පලඳන අය පැවසුවේ කිසිම විසඳුමක් නොවන බැවින් මේ තත්ත්වයට තමන් පත්වී ඇති බවයි.   
කෙසේ නමුත් මේ තත්ත්වය නිසා වෙනත් කටයුත්තක් කරගත නොහැකිවී ඇති බවද ඔවුහු පැවසූහ.   


රිළවුන් පමණක් නොව වනඅලි, ඌරා, වැලිමුවා, ඉත්තෑවා, ඌරුමීයා, මොණරා ඇතුළු සතුන් රැසක් දේශීය කෘෂි නිෂ්පාදනයෙන් විශාල ප්‍රමාණයකට හානි සිදුකරමින් සිටිනවා.   
මේ උවදුර දිවයින පුරාම පවතින තවත් ගම්මාන වල ජනයාන් කළු ඇඳුම් ඇඳ රිළවු පලවා හරින බව දැනගන්නට ලැබිණ.   
කාලයක් තිස්සේ රට පුරා පවතින මෙම ගැටලුව පිළිබඳ ව දේශපාලඥයන්ද පසුගිය කාලයේ කතා මැව්වෝය.  
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද එවැනි කතා කාරයෙකි.   

 

 


ග්‍රාම ශක්ති දිළිඳුකම පිටු දැකීමේ ජාතික වැඩසටහනට අනුව බදුල්ලේ ප්‍රථම නිලධාරී හමුව පැවැත්වුණේ උෟව පළාත් ශ්‍රවනාගාරයේදීය.   
සිරිසේන මහතා එහිදී මේ ප්‍රශ්නය අපූරුවට විග්‍රහ කළේය.   
ඔහු එදා කිව් වචන වලින් ම කිව්වොත් එය මෙසේය.  


‘‘ආහාර නිෂ්පාදනයෙන් හරියටම තුනෙන් එකක් රිළව්, වඳුරෝ, අලි, ඌරන් සහ මොණරුන් විසින් විනාශ කරනවා.   
මොණරුන්ට අත තියන්නේ නැහැ දෙවියන්ගේ වාහනය නිසා. අලි අනිවාර්යයෙන්ම ආරක්ෂා කර ගත යුතු සම්පතක්.   
රට විදියට සතුන්ගෙන් ආහාර ආරක්ෂා කරගන්න එක ලොකු ප්‍රශ්නයක්.   


කෘෂි විශේෂඥයෙක් ළඟදී මාත් එක්ක කිව්වා ලෝකයේ සතුන්ට ආහාර දීලා මිනිසුන් බඩගින්නේ ඉන්න එකම රට අපේ රට කියලා. ඒක ඇත්ත.   
මේ සතුන් කරන විනාශය නැතිනම් අපිට පිටරටින් එළවළු හා පලතුරු ගෙන්වන්න අවශ්‍ය වෙන්නේ නැහැ.   
වනජීවී දෙපාර්තමේන්තුව හැමදාම කියනාදේ අපි හැමදාම අහලා තියෙනවා. අවුරුදු 40න් 50න් විසඳුමක් ගැන තමයි ඒ ගොල්ල හැමදාම කතා කරන්නේ.   
2010 හෝ 2013 වසරේදී මට මතකයි අපේ රජය හැම දිස්ත්‍රික්කයකටම දිසාපති හරහා රුපියල් ලක්ෂ 100 බැගින් දෙනවා මේ රිළවුන්ට හා වඳුරන්ට කරන දෙයක් කරන්න. අවුරුද්ද අවසානයේ ලක්ෂ 100ම ආපසු එවා තිබුණා මොනවත් කරල තිබුණේ නැහැ.   


අපි බෞද්ධ විදියට හිතනවා. නමුත් ප්‍රශ්නය ඉතාම උග්‍රයි. ආහාරවලට සතුන් කරන හානිය පිළිබඳව විසඳුම් දෙන්න ආණ්ඩුව විදිහට දැනටමත් ප්‍රමාද වැඩි නිසා ඒ කාරණය ගැන කතා කළයුතුව තිබෙනවා...’’ යැයිද හිටපු ජනාධිපතිවරයා කීවේය.  
එසේ කීවද එතුමාගේ කාලයේද මෙම ප්‍රශ්නයකට කිසිඳු විසඳුමක් ලැබුණේ නැත.   
දැන් නව ජනාධිපතිවරයෙකි.   


ගොවි ජනතාව ගැන කතා කරන කතා මවන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා මේ ප්‍රශ්නයට විසඳුමක් ලබාදෙනු ඇතැයි ගැමියෝ සිතති.   


එළඹෙන මැතිවරණය සඳහා ගමට එන දේශපාලනඥයන් දැන් මේ ගැටලු පිළිබඳ අපූරු අනුකම්පාවක් පෙන්වා ගැමියන් රවටමින් සිටිති.   


නමුත් ඔවුන්ද පැලැඳ සිටින්නේ වෙස් මුහුණක් බව දැන්නම් අවබෝධ කර ගෙන ඇතැයි ගැමියෝ කියති.   


ප්‍රශ්න තේරුම්ගෙන විසඳුම් ලබාදෙන දේශපාලනඥයන් සිටී නම් අපේ රටේ මිනිසුන්ට තම ප්‍රශ්න හමුවේ වෙස් මුහුණු පළඳන්නට අවශ්‍ය නැත.   
එහෙත්....?

 

සටහන හා ඡායාරූප : බදුල්ලේ 
පාලිත ආරියවංශ