රණවිරු ශ්‍රමයෙන් යළි පිබිදෙන දීඝවාපී පුදබිම


 

 

අපේ රටේ ඓතිහාසික වටිනාකමින් යුත් පෞරාණික වෙහෙර විහාර බොහොමයක් මේ වනවිට විනාශ මුඛයට පත්වීම සම්බන්ධයෙන් මෙතෙක් රටේ පාලනයට සම්බන්ධ වූ විවිධ රජයන් හා බලධාරින් පැහැදිලිවම වගකිව යුතුය. මතු පරම්පරාවට ඉතිරි කළ යුතු බොහෝ සිද්ධස්ථානවලින් සමහර ඒවා මේ වනවිට නටබුන් බවට පත්වී ඇතිවා සේම ඒවායින් බොහොමයක් විනාශ මුඛයට ගොසිනි. මහා වංශයට අනුව ක්‍රිස්තු පූර්ව 3 වැනි සියවස දක්වා දිවෙන සද්ධාතිස්ස රජු විසින් කරවන ලද නැගෙනහිර පළාතේ බුදු පා පහස පවා ලැබූ දීඝවාපියද එවන් ශ්‍රේෂ්ඨ ඉතිහාසයකට උරුමකම් කියන ගරාවැටෙමින් තිබූ පුදබිමකි. පූජනීය සොළොස්මස්ථාන අතරින් ප්‍රමුඛස්ථානයක් හිමිවන මෙම දීඝවාපියද මේ වනවිට 6 වතාවක් පමණ ප්‍රතිසංස්කරණය කිරීම පිණිස සූදානම් වුවද විවිධ හේතු මත ඒ ඒ රජයන් අතින් එම කටයුත්ත ගිලිහී ගියද වත්මන් රජයේ ජනපතිතුමන්, අගමැතිතුමන්, යුද හමුදාපතිතුමන්, ආරක්ෂක ලේකම්තුමන් හා දීඝවාපි විහාරාධිපති මහඔය සෝභිත හිමිපාණන් ඇතුළු මහ සඟරුවනේ කැපවීම මත යළිත් වතාවක් මෙම පුදබිම ප්‍රතිසංස්කරණයට සූදානම් වීම දෙස් විදෙස්හි වෙසෙන බෞද්ධ බැතිමතුන්ගේ නොමද පැහැදිමට ලක්වනවා නොඅනුමානය.   


විහාරාධිපති සෝභිත නාහිමියන් වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමෙන් අනතුරුව අග්‍රාමාත්‍ය බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන් පසුගිය වසරේ නොවැම්බර් 11 වැනිදා මෙම සුබ කටයුත්තට මුල්ගල් තැබිණි. ඒ අනුව යුද හමුදාපතිතුමන් හා නැගෙනහිර පළාතේ පුරාවිද්‍යා උරුම කළමනාකරණ ජනපති කාර්ය සාධක බළකායේ සභාපති ආරක්ෂක ලේකම් (විශ්‍රාමික) ජෙනරාල් කමල් ගුණරත්න මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ මේ වනවිට ආරම්භ වී තිබේ. ඒ අනුව සන්නද්ධ හමුදා සහ සිවිල් ආරක්ෂක බලකා රණවිරුවන්ගේ ශ්‍රමදායකත්වයෙන්ද පුරාවිද්‍යාඥයන්ගේ හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ පූර්ණ උපදෙස් මතද හමුදා ඉංජිනේරුවන්ගේ සහායෙන්ද රටේ පස්වැනි උසම ස්තූපය ලෙස ප්‍රතිසංස්කරණය කෙරේ.   
මෙම භාරදූර කටයුත්ත පිළිබඳව අපේ රටේ පුරාවිද්‍යා ගවේෂණ කටයුතු සම්බන්ධයෙන් නිබඳවම කැපවන ශ්‍රේෂ්ඨ සංඝ පීතෘන් වහන්සේ නමක් වන පුරාවිද්‍යා චක්‍රවර්තී ආචාර්ය එල්ලාවල මේධානන්ද නාහිමියන්ගෙන් අපි මුලින්ම කරුණු විමසුවෙමු. මේ ඒ ගැන උන්වහන්සේගේ පැහැදිලි කිරීමයි.   

 

අගමැතිතුමන් අතින් මුල්ගල් තබමින්

 


නැගෙනහිර පළාතේ පුරාවස්තු හඳුනා ගැනීමට හා සංරක්ෂණය පිණිස ජනාධිපතිතුමන් විසින් ජනපති කාර්ය සාධක බළකායක් පත් කළා. එම බළකායේ සභාපති හැටියට ආරක්ෂක ලේකම්තුමත් සාමාජිකයෙක් ලෙස මමත් කටයුතු කරනවා. ඒ සංවිධානය විසින් නැගෙනහිර පළාතේ පුරාවිද්‍යා වටිනාකමෙන් යුත් ස්ථාන හඳුනාගෙන ඒවා රැක ගැනීමට කටයුතු මේ වනවිට ආරම්භ කරලා තියෙනවා. සමහරෙක් මේ ගැන වැරැදි අදහස් ප්‍රකාශ කරලා තියෙනවා. විශේෂයෙන්ම සමහර ද්‍රවිඩ මන්ත්‍රීවරුන් උතුරු හා නැගෙනහිර පළාත්වල සිංහල බලය තහවුරු කිරීමේ වැඩපිළිවෙළක් විදියට ඒ අය මේ කටයුත්ත අර්ථ දක්වනවා. ඒක සම්පූර්ණ අසත්‍යයක්.   


අපේ මූලික වැඩ පිළිවෙළ අනුව මේ සංරක්ෂණය කළ යුතු භූමි හඳුනාගෙන ඒවා සංරක්ෂණය කිරීමේ කටයුතුවලට සූදානම් වෙමින් ඉන්නවා. සැලසුම් සකසමින් ඉන්නවා. විශේෂයෙන්ම මෙවැනි ජාතික උරුමයන් සංරක්ෂණය කර දෙස් විදෙස් සංචාරකයන්ට ඒවා දැක බලාගෙන වැඳපුදා ගැනීමට සැලැස්වීමෙන් ඒ ඒ පළාත්වල ජනතාවට විශාල ආර්ථික වාසි සැලසෙනවා. ඒ පළාත්වල අහිංසක ජනතාව වෙහෙස මහන්සියෙන් වගා කළ භව භෝගවල අස්වැන්න මේ සංචාරකයන්ට අලෙවි කිරීමෙන් ඒ අයගේ ජීවිකාව ප්‍රධාන වශයෙන් ශක්තිමත් වෙනවා. ලංකාවේ බොහෝ පූජනීය ස්ථාන ආශ්‍රිතව මේ අයුරින් ඒ ඒ ප්‍රදේශවාසීන් ආර්ථිකමය වශයෙන් මල්, බඩඉරිඟු, පළතුරු වැනි දේ අලෙවි කර තමන්ගේ ජීවිත ගැට ගහගන්නවා. එසේ නොමැතිව වෙහෙර විහාර තනා සිංහල ජනපද ශක්තිමත් කිරීම කියන පටු අදහසක අපි නැහැ. අපිට තියෙන්නේ අපේ ජාතික උරුමය මතු පරපුරට ඉතිරි කර දෙන්නත් ලෝකයාට දැක වැඳ පුදාගන්නට අවස්ථාව සලසා දීමත් කියන වුවමනාවත්. ජනපතිතුමාගේ අදහසත් ඒකයි. ද්‍රවිඩ ජනපද ආක්‍රමණය කිරීමක්වත් ද්‍රවිඩ කෝවිල්වලට හානියක් කිරීමටවත් අපේ අදහසක් නෑ.   


නැගෙනහිර පළාතේ ප්‍රධාන බෞද්ධ ආරාමයක් වූ දීඝවාපිය ශත වර්ෂ ගණනාවක් ගරාවැටිලා ජරාජීර්ණ වෙලා සංරක්ෂණය කිරීමට නොහැකිව තිබූ නිසා එය වැඳුම් පිදුම් කිරීමට සුදුසු ලෙස නවීකරණය කරන්න මුලින්ම කල්පනා කළා. ඊට හේතුව නැගෙනහිර තිබෙන පුදබිම් අතර ප්‍රධාන තැනක් ගන්නේ දීඝවාපියයි. මෙය පුද බිමක් බවට පත් වුණේ අපේ රටට මිහිඳු මහ රහතන් වහන්සේ වැඩමවීමටත් පෙරයි. බුදුන් වහන්සේ බුද්ධත්වයෙන් පසු තුන්වරක් ලංකාවට වැඩියා. එයින් කැලණියට වැඩි අවස්ථාවේ සමනළ කන්දේ සිරිපතුළ පිහිටුවා කන්ද පාමුල දිවා ගුහාවේ දිවා විහරණය කර පසුව උන්වහන්සේ ඉන් අනතුරුව වැඩියේ අද දීඝවාපිය පිහිටා ඇති භූමියටයි.   


එසේ වැඩමකර තවත් රහතන් වහන්සේලා 500 නමක් සමග ඒ භූමියේ ධ්‍යාන සුවයෙන් මොහොතක් වැඩ හිඳ එම ස්ථානය පාරිභෝගික චෛත්‍ය ස්ථානයක් බවට පත් කළා. එනිසා එසේ පුදබිමක් බවට පත් කරන කාලයේ ඒ භූමිය හැඳින්වූ නම පොත්පත්වල සඳහන් වන්නේ නැ. බුදුන් එය පුදබිමක් බවට පත්කර මහාසේන නම් දෙවියෙකුට එම ස්ථානය ආරක්ෂා කිරීමට බාරදුන් බව අපේ ඉතිහාසයේ කියවෙනවා.   


එසේ තිබියදී පසුව අපේ ජනාවාස බිහිවෙද්දි ලංකාවේ සිටි පණ්ඩුවාසුදේව රජුට බිසවක් වශයෙන් ඉන්දියාවේ ශාක්‍ය ජනපදයේ කුමාරිකාවක් වූ බද්ද කච්ඡායනා කුමරිය ලංකාවට පැමිණියා. ඒ කුමරියගේ සහෝදරයන් හය දෙනෙක් පසුව ලංකාවට ඇවිත් යම් යම් ප්‍රදේශවල ජනපද බිහි කළා. ඒ අය බිහිකළ එක ජනපදයක් වූයේ රෝහණ දේශයයි. ඒ වගේම රෝහණ කුමරු ඇතුළු අනෙක් අය තම තමන්ගේ නමින් ඇති කළ ජනපදවලින් දීඝායු කුමාරයා ඇති කළ ජනපදය වූයේ අද අපි දීඝවාපිය නමින් හඳුන්වන ප්‍රදේශයයි.   


දිගාමඩුල්ල හෙවත් දීඝවාපිය නමින් හඳුන්වන ප්‍රදේශයම තමයි බුදුන් වහන්සේ පූජනීය ස්ථානයක් බවට පත් කළ ප්‍රදේශය අයත් වූයේ. පසුව දීඝවාපියේ වැවක් ඉදිකර ඒ ප්‍රදේශය සංවර්ධනය කරද්දී කාවන්තිස්ස රජුගේ දෙවැනි පුත්‍රයා වූ සද්ධාතිස්ස කුමරු දීඝවාපියේ පාලනයට පත් කළා​. එහිදී සද්ධාතිස්ස කුමරු බදුන් වැඩ සිටි ඒ ප්‍රදේශයේ අද අපි දකින දීඝවාපී චෛත්‍ය ගොඩනැගුවා. ඒ චෛත්‍ය ගොඩනගා බුදුන්ගේ පාරිභෝගික චෛත්‍යයක් ලෙස ධාතුන් වහන්සේලා එහි නිදන් කළා.   

 

හමුදාපති සහ ආරක්ෂක ලේකම් නිරීක්ෂණ චාරිකාවක

 


පසුව චෛත්‍යයට රත්තරනින් හැට්ටයක් සකසා ඊට පළන්දවා එහි තැන් තැන්වලට රනින් නෙලුම් මල් සකසා එල්ලා චෛත්‍යයට පූජා කළා කියලයි පොත්පත්වල සඳහන් කර තිබෙන්නේ.   


​සොළොස්මස්ථානවලින් එකක් ලෙස බෞද්ධයන්ට විශාල වැදගත්කමක් තිබෙනවා. ඉන්පසුව අනුරාධපුර යුග කාලයේදී දීඝවාපිය දියුණු තත්ත්වයක පැවතුණා. ජනපද බිහිවී ඒවායේ ගොවිතැන් කටයුතු සිදුවී ඉතා සශ්‍රික කලාපයක්ව තිබුණා.   


වරක් චෛත්‍ය ගරාවැටුණු අවස්ථාවක ධාතු නිදන් කර ප්‍රතිසංස්කරණය වූ බවකුත් පෙනෙන්නට තිබෙනවා. බටහිර දොරටුව කැනීම් කරද්දී ධාතු කරඬු 3ක් හමුවුණා. ඒ කරඬු 3 එක්ක රත්තරන් පත් ඉරුවක ලිපියක් කොටා තිබුණා. යහපතක් වේවා, නාග මහරජුගේ පුත්‍රයා වූ මලිතිස්ස නම් රජුගේ රන් ස්ථූපයයි යනුවෙන් එහි සඳහන් වුණා. කනිට්ඨ තිස්ස රජු එහි ප්‍රතිසංස්කරණයක් කර ධාතු නිදන් කළ බවත් සඳහන් වුණා.   
මේ ධාතු කරඬුවල වැදගත් පසුබිමක් තිබෙනවා. එනම් චෛත්‍යයක තිබෙන සතරැස් කොටුව දේවතා කොටුව හා කොත ආදී අංග තිබෙන අයුරින් තමයි ධාතු කරඬු සකසා තිබුණේ. එයින් පෙනෙන්නේ ක්‍රි.ව. 2 වැනි සියවස වනවිට අපේ චෛත්‍ය දැන් පවතින ලෙස අංග සම්පූර්ණව පැවතුණු බවට මේ ධාතු කරඬු සාක්ෂි දරනවා.   


මේ ආකාරයේ අතිශයින් වැදගත් පුදබිමක් නිසාම වත්මන් ජනපතිතුමන්, අගමැතිතුමන්, හමුදාපතිතුමන්, ආරක්ෂක ලේකම් තුමන් ඇතුලු සියලු දෙනාගේම පූර්ණ දායකත්වයෙන් හමුදා විරුවන්ගේ ශ්‍රම දායකත්වයෙන් කැපවීමෙන් මේ චෛත්‍ය ගොඩනැගීමට කටයුතු කිරීම ඉතාම වටිනා කාලීන අවශ්‍යතාවක් ලෙස මා දකිනවා.   


ඒ අනුව අප එහි ප්‍රතිසංස්කරණ සිදුකරද්දී ගරාවැටුණු ස්ථානයක තිබී තවත් නිධානයක් අපට හමුවුණා. එයින් ධාතු කරඬු 3ක් තිබුණා. එයත් කනිට්ඨතිස්ස රජුගේ නිධානයක් බවත් සඳහන් වෙනවා. මේ වනවිට චෛත්‍යයේ ඉදිකිරීම් ආරම්භ කර තිබෙනවා. සිවිල් ආරක්ෂක බළකායත්, හමුදා විරුවනුත් ඒ කටයුත්තට සුවිශේෂී දායකත්වයක් ලබාදෙනවා. බෞද්ධ පින්වතුන්ටත් ගඩොල් ඇතුළු චෛත්‍ය ප්‍රතිසංස්කරණයට අවශ්‍ය අමුද්‍රව්‍ය හා මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමටත් හැකියාව ලැබෙනවා.   


ලංකාවේ අනෙක් චෛත්‍යවලට වඩා දීඝවාපිය ගැන අපේ පොත්පත්වල ඉතා වටිනා තොරතුරු සටහන් වෙනවා. මේ චෛත්‍ය පුදුම වාසනාවන්ත චෛත්‍යයක් ලෙසයි ඒ පොත්වල සඳහන් වන්නේ. මේ චෛත්‍යයට ඈත අතීතයේ එක්තරා පුද්ගලයෙක් තමන්ගේ නම සඳහන් කරමින් ඉතා විශාල ධජයක් පූජා කළ බවත් ඉතිහාසයේ සඳහන් වෙනවා. ඒ කොඩිය ළඟ තිබූ කුඹුරකට සුළඟින් ගසාගෙන ගොස් වැටී තිබියදී කුඹුර අයිති ගොවියා වස්ත්‍රයක් සේ එය ඇඳ සිටි නිසා ඒ අකුසලකර්මය නිසාම ප්‍රේතයෙක් බවට ඔහු පත්වී එම චෛත්‍ය අසලම ගල් ලෙනක සිටි පුවතක්ද බෞද්ධ පොත්පත්වල සඳහන් වෙනවා. 


ඒ මෙම ජාතික කටයුත්ත පිළිබඳව උන්වහන්සේගේ පැහැදිලි කිරීමයි.   


අග්‍රාමාත්‍ය බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය නොවැම්බර් 11 වැනිදා මුල්ගල් තබමින් ඇරැඹූ දීඝවාපි ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය වසර තුනක් ඇතුළත අවසන් කිරීමට සැලසුම්ගත කර තිබේ. ඒ වෙනුවෙන් සම්මත ගඩොල් මිලියන 23ක්, ගංගා වැලි කියුබ් 3977ක්, සිමෙන්ති කොට්ට 30167ක් සහ වෙනත් අමුද්‍රව්‍ය සපයා ගැනීමට මූල්‍ය ආධාර අවශ්‍ය වේ.   


මේ ජාතික කටයුත්තට රාජ්‍ය මුදල් යොදා නොගන්නා අතර මේ වනවිට ඇස්තමේන්තු කර ඇති රුපියල් බිලියනයක මුදල දේශීය හා විදේශීය බැතිමතුන්ගෙන් උපයා සපයා ගැනීමට බලාපොරොත්තු වන බව නැගෙනහිර පළාත් පුරාවිද්‍යා උරුම කළමනාකරණ ජනපති කාර්ය සාධක බළකායේ සභාපති ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා සඳහන් කරයි. ඒ වෙනුවෙන් සැකැසූ ‘දීඝවාපී අරුණ’ නම් බැංකු ගිණුම පසුගිය 22 වැනිදා ජනපති හා අග්‍රාමාත්‍යතුමන්ගේ මඟපෙන්වීම මත ශ්‍රී සංඝබෝධි විහාරයේදී නිල වශයෙන් විවෘත විය. මේ සඳහා මූල්‍ය පරිත්‍යාග ලබා දෙන්නන්ට ලංකා බැංකුවේ කොළඹ තැප්‍රොබෙන් ශාඛාවේ 86860000 ගිණුම් අංකයට මුදල් බැර කළ හැකිය. එහි බැංකු කේතය 7010, ශාඛා කේතය 747 හා ශිෆ්ට් කේතය BCEYLKLX වේ.   

 

 

සටහන - දුෂ්‍යන්ත කුමාර