රටේ හෙට දවස ඔපවත් කරන කළුගඟ ජලාශය


 

මොරගහකන්ද හා කළු ගඟ ජලාශ ව්‍යාපෘතිය නමින් බොහෝ දෙනා නව සංවර්ධන ක්‍රමය වූ ජලාශ ව්‍යාපෘතිය පිළිබඳව කතා බහ කරති. එහෙත් කළු ගඟ ජලාශය මොරගහකන්ද ජලාශය වූ ව්‍යාපෘතීන් එකක් වුවද කළු ගඟ ජලාශ ව්‍යාපෘතිය සහ මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය යනු වැව් දෙකකි. එයින් පසුගියදා මංගල දියවර සිර කරනු ලැබූවේ කළු ගඟ ජලාශය පිරවීම සඳහා ය. 


මොරගහකන්ද ජලාශය පෝෂණය ​ෙවන්නේ අඹන් ගඟ හරහාය. ඉන් ගලායන දියවර රජරටට දායාද වෙයි. ඊට කිලෝමීටර් 10 කට ආසන්න දුරකින් පහළට ගලා හැලුණු කළු ගඟ මාතලේ, ලග්ගල ප්‍රදේශයෙන් හරස් කොට කළු ගඟ ජලාශය ඉදිකිරීම සිදුවෙමින් පවතින්නේ ද කළු ගඟ හරස් කරමින්ය. 


බොහෝ දෙනෙකු කළුගඟ නමින් කියූ විට හඳුනන්නේ කළුතරින් මුහුදට ගලා බසින කළු ගඟ පිළිබඳවය. එහෙත් ලංකා මහවැලි අධිකාරියේ අවසාන වාරි ව්‍යාපෘතිය වන කළු ගඟ ජලාශයට දියවර සපයනු ලබන්නේ දුම්බර කඳු මුදුනේ පිහිටි කළුපහන නම්වූ රක්ෂිතයේ ඉහළ කඳුවලින් පහළට ගලා එන දිලිසෙන කළු පැහැයකින් යුක්ත වූ ජලය සහිත වූ කළු ගඟ කොමළිගෙනි. 


වසර ගණනාවකට ඉහතදී රටේ ජල අවශ්‍යතාව පිළිබඳව අවධානය යොමු කළ දේශීය මහා ඉංජිනේරුවරු මෙම මොරගහකන්ද කළු ගඟ ජලාශ යෝජනා ක්‍රමය සකස් කොට යෝජනාවක් බවට ඉදිරිපත් කොට තිබිණි. ඒ අනුව පසුගිය කාලයේ පැවැති රජයන් සහ වර්තමාන රජය එක්ව මෙම සංවර්ධන යෝජනාවන් මල්ඵල ගැන්වීමට හැකි ආකාරයෙන් දායක වී ඇත. 


පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් මංගල දියවර රැඳවුම් කළ කළු ගඟ ජලාශයේ ඉදිකිරීම් කටයුතු ලබන දෙසැම්බර් දොළොස් වනදායින් අවසන්වීමට නියමිතව තිබේ. එමගින් මහවැලියේ ජලාශ ඉදිකිරීම නවතිනු ඇත. 


මොරගහකන්ද කළු ගඟ ජලාශ ව්‍යාපෘතියට සමගාමීව ඉදිකෙරෙන කළු ගඟ ජලාශය පිහිටා ඇත්තේ මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නකල්ස් කඳු බෑවුම් ප්‍රදේශයේය. 


මෙම ජලාශය ඉදිකිරීම සඳහා ලග්ගල පල්ලේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගම්මාන 12ක පාරම්පරික පදිංචිකරුවෝ පවුල් 1500 කට වඩා සිය ගම්බිම් වතුපිටි සියල්ල කළු ගඟ ජලාශ ඉදිකිරීම සඳහා එමෙන්ම රටේ ඉදිරි හෙට දවස සඳහා පරිත්‍යාග කොට අලුතෙන් ලබාදුන් තෝරපිටිය ලගුරුවෙල ආදී ප්‍රදේශවල පදිංචියට ගියහ. 


රාවණා පරපුරෙන් පැවත එන බවට ඔවුහු පෙර කාලයේ සිටම උදම් අනමින් රාවණා රජු දේවත්වයෙන් සලකමින් විවිධ යාගහෝම පවත්වමින් සිටි ජනතාවකි. එමෙන්ම ලග්ගල ප්‍රදේශයේ ලකේගල ප්‍රදේශය ජනතාව බොහෝ දුරට රාවණා රජුට දේවත්වයෙන් සලකමින් වාර්ෂිකව දේව යක්කම නමින් ශාන්ති කර්ම පවා පැවත්වූ පිරිසකි. එවැනි අතීතයක් ඇති භූමියක් මේ වන විට රටට දායාද කිරීමට රාවණා පරපුරේ ජනතාව ලබාදුන් සහයෝගය අගය කළ යුතුව තිබේ. 


කළු ගඟ ජලාශය පිළිබඳවත් මොරගහකන්ද ජලාශය පිළිබඳවත් පසුගිය කාලයේ ජනමාධ්‍ය මඟින් බොහෝ කතාබහට ලක් වී තිබිණි. කළු ගඟ ජලාශයේ මංගල දියවර රැඳවුම් මංගල්‍යය නිදන් වස්තු තැන්පත් කිරීමේ මංගල්‍යය මෙන්ම විවිධ උත්සව අවස්ථාවන්වලදී මොරගහකන්ද සමස්ත ක්‍රියාවලිය පිළිබඳව කතාබහට ලක්වූ අතර ලිපි ලේඛන ලියවුණේ ද සමස්ත ව්‍යාපෘතිය පිළිබඳව පමණක් වීම විශේෂත්වයකි. 

 


කළු ගඟ ජලාශය පිළිබඳව ලියැවුණු මාධ්‍ය වාර්තා සියල්ලද මොරගහකන්ද ජලාශයේ වාර්තා වීමද විශේෂත්වයකි. එය නිවැරදි කරන්නට කව්රුන් හෝ ඉදිරිපත් නොවූයේ මන්දැයි තවමත් ප්‍රශ්නයකි. කාගෙන් හෝ කළු ගඟ හා මොරගහකන්ද ජලාශ දෙකේ වෙනස කුමක්දැයි අැසුවහොත් ලබාදෙන්නේ වැරදි තොරතුරුය. මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය පිළිබඳව බොහෝ ලිපි ලේඛන හාරා අවුස්සා බැලීමේ දී තොරතුරු පසක් වන්නේ කළුගඟ ව්‍යාපෘතිය එසේත් නොමැති නම් කළු ගඟ ජලාශ යෝජනා ක්‍රමය පිළිබඳව බොහෝදෙනා කතා කරනු ලබන්නේද මොරගහකන්ද ජලාශ ගණන් හිලව් ඇතිව වීමය. ඒවා ඔවුන් අඳුරේ අතපත ගෑමක් යැයි සඳහන් කළ හැකිය. 
 කළුගඟ ජලාශය ඉදිකෙ​ෙරනුයේ ලග්ගල පල්ලේගම ප්‍රදේශයෙන් ගලා යන මාතලේ කළු ගඟ හරස් කරමිනි. මෙයද ප්‍රධාන වේල්ලකින් හා සදැලි වේලි 2කින් යුක්ත වේ. ප්‍රධාන වේල්ල මීටර් 57ක් උස වන අතර දිග මීටර් 546 ක් බව දැක්වේ. සදැලි වේලි පස් පුරවා සාදනු ලැබේ. මෙම ජලාශය වර්ග කිලෝමීටර් 8.4ක් පුරා පැතිරෙන අතර ඝන මීටර් මිලියන 265.6 ක මුළු ජල ධාරිතාවක් එහි අඩංගු වෙයි. 


මේ සඳහා දායක වී ඇති සේවක පිරිස් බොහොමයක් මාතලේ දිස්ත්‍රික්කයේ පදිංචිව සිටිති. එමෙන්ම මෙරට ඉංජිනේරු මහතුන් මෙම කර්තව්‍යය සඳහා ප්‍රධාන ලෙස දායක වී ඇත. මහවැලි අධිකාරිය මගින් මෙහි අධීක්ෂණ කටයුතු සිදු කරගෙන යයි. මෙම ව්‍යාපෘතියේ සමස්ත සංවර්ධන වියදම දළ වශයෙන් රුපියල් බිලියන 48.145ක් බව සඳහන් වන අතර චීනය SMEC Holdings හා Sinohydro එයට ණය අාධාර සපයයි. කුවේට් හා සවුදි අරාබි රජයන්ද මීට ආධාර ලබා දෙන අතර ජපන් රජයේ ආධාරද ලැබී ඇත. 


මහවැලි අධිකාරියේ කළුගඟ/මොරගහකන්ද ජලාශ ඉදිකිරීම ව්‍යාපෘතියේ මහජන සම්බන්ධතා නිලධාරී පී.ජී. දයානන්ද මහතා මේ බව පැහැදිලි කරන්නට විය. 


“මේ ව්‍යාපෘති දෙකම එක කාර්යාලයකින් ක්‍රියාත්මක වෙන අතර මේ දෙකම එක ව්‍යාපෘතියක් හැටියට තමයි ක්‍රියාත්මක වෙන්නේ. හැබැයි මෙතන ජලාශ දෙකක් ඉදි වෙනවා. මොරගහකන්ද ජලාශයේ දැන් වැඩ අවසන්, කළු ගඟ ජලාශයේ තමයි මේ වන විට වැඩ ආරම්භවී අවසන් අදියරේ පවතින්නේ. ඒ නිසා කළු ගඟ ජලාශය අතිශයින්ම මොරගහකන්ද සහ කළුගඟ ජලාශවලින් අවතැන් වෙන ජනතාවගේ ජල අවශ්‍යතාව සඳහා ඉදිකරනවා. වැඩි ජලය කොටස තමයි අපි මොරගහකන්දට නැවත ලබා දෙන්නේ. ඒ හරහා වැඩි ජලය සියල්ලම වයඹ ඇළ ව්‍යාපෘතියට ලබාදෙනවා. ඒ නිසා මොරගහකන්ද ජලාශයේ ජලය බොහෝ දුරට උතුරු මැද ප්‍රදේශයේ ජනතාවගේ සහ උතුරු නැගෙනහිර ප්‍රදේශයේ ජනතාවගේ සංවර්ධනයට දායකත්වය ලබා දේවි. හැබැයි කළු ගඟ ජලාශයේ ජලය එම ප්‍රදේශයේම නැවත පදිංචිකර වූ ජනතාවගේ ජල අවශ්‍යතාවන් සපුරන්න තමයි ලබාදෙන්න සැලසුම් කරලා තියෙන්නේ. 


කළු ගඟ කියන එක හරිම ඓතිහාසික ප්‍රදේශයක්. මොකද රාවණා රජ පරපුරේ සිට පැවත එන ලකේගල ලග්ගල ආදි ප්‍රදේශවල ජනතාවගේ වැඳුම් පිදුම් කරපු ස්ථානයක්. එ් නිසා එම පිරිස සුවිශාල වූ කැපකිරීමක් කරලා තමයි මේ මහා යෝධ ව්‍යාපෘතියට ඉඩහසර ලබා දුන්නේ. ඒ නිසා නිරන්තරයෙන් ම එම ජනතාව පිළිබඳව අවධානය යොමු කළ යුතු වෙනවා. 


 කෙසේ වෙතත් කළුගඟ ඉදිකිරීම සඳහා ප්‍රදේශයේ ගම්මාන 12ක පවුල් 1500 ජනතාව මේ වන විට තෝරපිටිය, ගුරුවෙල ආදි ප්‍රදේශවල නව නිවාස තනාගෙන ජීවත්වීමේ නව ක්‍රමවේදයකට හුරුවෙමින් සිටිති. 
කළු ගඟ ජලාශ ජල ධාරිතාව අක්කර අඩි ලක්ෂ දෙකකි. එමෙන්ම මෙම අක්කර අඩි ලක්ෂ දෙකින් විශාල ප්‍රමාණයක් ලබාදෙනු ලබන්නේ නැවත පදිංචිකර වූ ලග්ගල ප්‍රදේශයේ ජනතාවටවීම විශේෂත්වයකි. එයින් පරණ හත්තොටඅමුණ ප්‍රදේශයේ අක්කර 1500 ක භූමි ප්‍රමාණයක් වගා කිරීමට ද කළු ගඟේ ජලය උපයෝගී කරගනු ලබයි. එමෙන්ම ගඟ දිගේ ජලය ප්‍රමාණයක් පරිසරයට මුදාහැරීමට වනසතුන්ට සහ වෙනත් අවශ්‍යතා පරිදි ලබාදීමටත් මෙහි සැලසුම් සකස් කොට තිබේ. එහි ඉතිරි වන ජල ප්‍රමාණය උමං මාර්ගයක් දිගේ මොරගහකන්ද ජලාශයට නැවත ලබාදීම සඳහා එහි සැලසුම් සකස් කර තිබීම විශේෂත්වයක් යැයි ව්‍යාපෘති කළමනාකරු ඩී.බී. විජේරත්න මහතා පැවසීය. 

 

 

කළු ගඟ ජලාශයේ සියලුම ඉදිකිරීම් සහ පදිංචි කිරීම් ආදී සියල්ල අවසන් වන විට රුපියල් බිලියන 60,000 ක මුදලක් වියදම් වනු ඇත. එයින් රුපියල් මිලියන 32,000 ක් ජලාශයේ ඉදිකිරීම් සඳහාද, රුපියල් මිලියන එකොළොස්දාස් පන්සීයක් වන්දි සඳහාත්, සංවර්ධනය සඳහාත් රුපියල් මිලියන දහ දහස් පන්සීයක මුදලක්ද පරිසර සංරක්ෂණය සඳහා රුපියල් මිලියන 1800 ක් ද පානීය ජලය සඳහා රුපියල් මිලියන හාරදාහක් ආදි වශයෙන් සංවර්ධන කටයුතු සඳහා රුපියල් මිලියන 4000 ක මුදල් වෙන්කොට තිබේ. 


 කළු ගඟ ජලාශයේ ඉදිකිරීම් සඳහා මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ලග්ගල නගරය, ලග්ගල පොලිසිය, ලග්ගල රාජ්‍ය ආයතන සියල්ල මහා ජල කඳට යට වනු ඇත. අප මෙන්ම බොහෝ දෙනකු කුඩා කාලයේ සිටම ලග්ගලට ඇලුම් කළ ඇත්තෝ වෙමු. මන්ද ලග්ගල මෙම ජලාශයට යටවන භූමි ප්‍රදේශයේ පිහිටි ග්‍රාම සේවා වසම් 12 ක ජනතාව දැඩි ආඩම්බරයෙන් අපේ සිංහල ගැමිකමින් ජීවත් වූ නිසාවෙනි. පෙරදා කිසිදු විදේශීය ආහාරයක් හෝ තම ගමට නොගෙනා ජනතාවකි. මඩු පිට්ටු, කුරහන් පිට්ටු සහ විවිධ අල වර්ග ඔවුන්ගේ ප්‍රධාන ආහාරය බවට පත්ව තිබිණි. එමෙන්ම නගරයේ බොහෝ දෙනා ලග්ගල ප්‍රදේශයේ මෙම ගම්මානවලට ගොස් දින ගණනාවක් එම ග්‍රාමීය ජනතාව සමඟ ගත කළේ තම ජීවිතයේ නිවාඩු ගත කරන්න නෑදෑයන් ළඟට එන ආකාරයටය. 


එම ගම්මානේ වටපිලවල් සහිත නිවෙස්වල බොහෝ දෙනා විසූහ. එමෙන්ම හරක-බාන උපයෝගී කරගෙන හෙල්මළු ක්‍රමයට ගොවිතැන්බත් කරගෙන ඔවුහු ජීවත් වන්නට වූහ. ඒ අතරතුරාවට ලග්ගල පල්ලේගම ප්‍රදේශයේ එකදු රට මත්පැන් අලෙවි සලක් හෝ නොතිබිණි. ඔවුන්ගේ එම රහමෙර අවශ්‍යතාවන් සියල්ල සපුරනු ලැබුවේ පොල් ගස සහ කිතුල් ගස වීම විශේෂත්වයකි. නගරයේ බොහෝ දෙනා නෑදෑකම් කියමින් ලග්ගලට රොක් වන්නට වූයේ ද ජනතාවට ආදරයට වඩා පොල් ගසටත් කිතුල් ගසටත් ඇති ආදරය නිසාවෙනි. 


එසේ සිටි ජනතාවට අද වන විට ලග්ගල නව නගරයකට හුරුවෙමින් සිටිති. 


එවැනි ජන සමාජයක සිටි බොහෝ දෙනෙකු රටේ සංවර්ධනය සඳහා සිය නිවස ඉඩකඩම් දේපළ සියල්ල රටේ හෙට දවසට පූජා කළහ. 


මේ වන විට මොරගහකන්ද ජලාශයට යට වූ සියලු ගම්මාන ජලයෙන් යට වී හමාරය. ඔවුන්ගේ දේපළ සියල්ල මොරගහකන්ද ගං පතුලේ සැඟ වී තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සුරතින් සුබ මොහොතින් පසුගියදා කළු ගඟ ජලාශ ජලය රඳවා ගැනීමේ මංගල්‍යය ආරම්භ කෙරිණි. දෙසැම්බර් මාසය වන විට රාවණා රජු පරපුරේ භූමි ප්‍රමාණය ද කළුගං පතුලේ සිර වනු ඇත. රටේ හෙට දවසේ සංවර්ධනය වෙනුවෙන් කළු ගඟත් මොරගහකන්ද ජලාශයත් අප වෙනුවෙන් වෙහෙස වේවි. රටේ හෙට දවස වෙනුවෙන් ඔවුන්ගේ යුතුකම් ඔහු ඉටු කරති. 


මොරගහකන්ද කළු ගඟ ජලාශය එකම ව්‍යාපෘතියක ජලාශ දෙකක් මෙන්ම ප්‍රදේශ දෙකක පිහිටි ජලාශ බව ජනතාව දැනුම්වත් කිරීම සඳහා මෙම සටහන තබමු.

 

 

 

 

සටහන - ඡායාරූප 
දඹුල්ල කාංචන කුමාර ආරියදාස