රට වෙනුවෙන් දිවිදුන් පොලිස් වීරයන් සමරණ දිනය


 

දිනය 1978 පෙබරවාරි 14 දිනය.  පෙබරවාරි 14 මුළු ලොවම  ආදරවන්තයින්ගේ දිනය ලෙස සමරනු ලබන්නේ ආදර වන්තයෙකු වෙනුවෙන් දිවි පිදු ශාන්ත වැලන්ටයින් තුමා සිහිවීම මුල් කරගෙනය.  මෙදින කොළඹ නගරයේ තරු පන්තියේ හෝටල් වල වැලන්ටයින්  සාද සංවිධානය වෙමින් තිබුණද ඒ වන විට ජාතිවාදයේ ගිනි පුපුරු අලුතැවෙමින් තිබූ දිවයිනේ  උත්තරාන්තය වූ යාපා පටුනට  වැලන්ටයිම් සාදවල රස්නය දැනී නොතිබිණි.  පොලිස් කොස්තාපල් කරුණානිදි කංකසන්තුරය පොලීසියේ සේවය  කළ දක්ෂ පොලිස් නිලධාරියෙකු විය. 


1960.03.10 දින පොලිස් සේවයට බැදී ඒ වන විට වසර 12 ක සේවා කාලයක් සම්පූර්ණ කර සිටි කංකසන්තුරය ප්‍රදේශයම වැසියෙකු වූ කරුණානිදි ඒ පළාතේ ගහක් ගලක් නෑර දැන සිටි පුද්ගලයෙකු විය. මේ හේතුව නිසාදෝ එවකට යාපනය පොලිස් අධිකාරී වරයාව සිටි හේමචන්ද්‍රන් සුන්දර ලිංගම් මහතා  අලුගිනි මෙන් සැගවී තිබූ ද්‍රවිඩ ත්‍රස්තවාදී ව්‍යාපාරයේ තොරතුරු සෙවීමට බුද්ධි නිලධාරියෙකු ලෙස කරුණානිදි පත්කර තිබුණේ ඔහු තුළ තිබූ තොරතුරු සෙවීමේ දක්ෂතාවයත්, අවංකභාවයත් රාජකාරියට කැපවීමත් විශේෂයෙන් රාජපාක්ෂික භාවයත් ඉහළම මට්ටමක පැවතීම නිසාය. 


කරුණානිදි කංකසන්තුරය ප්‍රදේශයේ පමණක් නොව පළාලි, යාපනය වැනි උතුරු ප්‍රදේශයේ ද්‍රවිඩ සටන්කාමීන්ගේ මර්මස්ථානයන් ගැන හොඳින් දැන සිටියේය.  මේ වන විට දෙමළ විමුක්ති කොටි ලෙස අනවර්ථනාමයකින් හැඳින්වූ ප්‍රදේශයේ ජනතාව අතර ඊධශී ලෙස ප්‍රසිද්ධියට පත් ද්‍රවිඩ ත්‍රස්තවාදීන් සම්බන්ධ පුද්ගලයන්ගේ පෞද්ගලික තොරතුරුවලින් පවා මේ දක්ෂ නිලධාරියා සන්නද්ධව සිටියේය. මේ හේතුවෙන් ද්‍රවිඩ සටන්කාමී සමස්ත ද්‍රවිඩ ත්‍රස්තවාදී අරගලය තුළ සිදු කරන ලද ප්‍රථම ආරක්ෂක හමුදා සාමාජිකයා ලෙස කරුණානිදි බිලිගැනීමට ඒ වන විට සැලසුම් සියල්ල සකස්කර අවසන්ව තිබුණේය.  මේ කිසිවක් නොදත් කරුණානිදි  පෙබරවාරි  14 දා සුපුරුදු පරිදි සිය රාජකාරී කටයුතු අවසන් කර පාපැදියට ගොඩවුයේ ඒ වන විට ඔහු නිවසට එන තෙක් මග බලා සිටින දියණිය සහ පුතා වෙත රැගෙන යාම සඳහා  රසකැවිලි පාර්සලයක් ද සූදානම් කරගෙනය.  කරුණානිදි පැදවූ පාපැදිය මලහිරු ඈත ක්තිජය තුළින් සයුරේ ගිලීමට ආසන්නව තිබූ ඒ අඳුරු සැදෑවේ කංකසන්තුරය, යාපනය, ප්‍රධාන මාර්ගය ඔස්සේ පදවාගෙන පැමිණි පා පැදිය තම නිවසට හැරෙන මංසන්දියේ වමට හැරවුයේ සුපුරුදු පරිදි වෙනදා මෙන් අප්පා එන පෙරමගට නිවසේ ඉදිකඩුල්ල අසල රැදී සිටින සිය සදාදරණීය දියණිය හා පුතාගේ කෙලිලොල් මුහුණ දැක ගැනීමේ නොනිමි ආශාවෙනි.   එහෙත් ඒ වන විට කරුණානිදි බිලි ගැනීමට මාරක රිවෝල්වරයක්  මානා ගත් ත්‍රස්තවාදීන් දෙදෙනෙකු කරුණානිදිගේ නිවසේ ඉදිකඩුල්ල පෙනෙන නොපෙනෙන මානයේ සැගවී සිටින බව ඔහු නොදන්නේය.  අදඳුරේ සිට මිනීමරුවන් විසින් මුදා හරින ලද ගිනියම් වූ 38 ප්‍රමාණයේ උණ්ඩ කිහිපයක් මාරක රිවෝල්වරයෙන් නික්ම නොවරදින ඉලක්කයක් සොයා ගොස් කරුණානිදිගේ හදවත සහ පෙනහැල්ල පසා කළේ සමස්ත ද්‍රවිඩවාදී අරගලයේ ප්‍රථමයෙන් දිවි පිදු ආරක්ෂක හමුදා සාමාජිකයා වීමේ  ගෞරවය, මෙන්ම අභිමානය කරුණානිදි වෙත ළඟා කරවමිනි.


සිය අප්පා එන පෙරමග බලා සිටි දරුවන් දෙදෙනාට අප්පාගේ මුහුණ දැක ගැනීමට පෙර ඇසුනේ රතිඤ්ඤා පුපුරණ ශබ්ද කිහිපයකි. ඒ සමගම නැගුණු මර ලතෝනිය ඔවුන් දෙදෙනා වික්ශිප්ත කිරීමට සමත් වූවද ඒ වන විට සිය ආදරණීය සැමියා එන තුරු නිවසේ මුලුතැන්ගෙයි රාත්‍රී ආහාරය  පිසිමින්  සිටි කරුණානිදිගේ දයාබර බිරිරෑඳ වූ නෝන්එලර් හට මේ නුපුරුදු රතිඤ්ඤා ශබ්දයත් ඒ සමගම නැගුණු මර ලතෝනියත් සිය සැමියා තම රාජකාරී කටයුතු සම්බන්ධව පවසා තිබූ යම් යම් කරුණු ඒ නිමේෂයකින් ඇයගේ සිතුවිලි අතරට එන්නට විය.  නෝන්එලර් කෑ ගසමින් වෙඩි හඬ ආ දෙසට දිවයන විටත් ඇය දුටුවේ තම නිවසට පෙනෙන නොපෙනෙන අතුරු පාරේ ලේ විලක් මැද වැටී සිටින සිය ආදරණීය සැමියාය.  ඔහු අසලම කරුණානිදි පදවාගෙන ආ පාපැදියද වැටීතිබූ අතර, පාපැදිය අසල පාරේ ගලාගිය රක්තවර්ණ රුදිරයෙන් තෙත් බරිත වූ කරුණානිදි විසින් සිය දරුවන් දෙදෙනා හට ගෙනා රස කැවිලි පාරේ වැටී තිබෙනවා ඇයගේ නෙත ගැටිණි.  ඒ වන විටත් නෝන් එලර් ගේ විලාප ශබ්දය ඇසී අසල්වැසියන් කිහිප දෙනෙකු එම ස්ථානයට පැමිණ සිට ඇති අතර, ඇය සිය සැමියාගේ සිරුර කංකසන්තුරය රෝහලට රැගෙන ගියද ඒ වන විටත් කරුණානිදි මෙලොවින් සමුගෙන සිටියේ කුරිරු ත්‍රස්තවාදයේ ප්‍රථම ආරක්ෂක හමුදා සාමාජික ලැයිස්තුවේ අංක 01 ස්ථානය කංකසන්තුරය පොලිසියට අනුයුක්තව සේවය කළ ශ්‍රී ලංකා පොලීසියේ වීරෝධාර භටයෙකු වූ නිල අංක 3164 දරණ වෙත හිමිකර දෙමිණි. 


සෑම වර්ෂයකම මාර්තු මස 21 වන දින පොලිස් විරු සමරු දිනය ලෙස සැමරීම සිදු කෙරේ.  1864 මාර්තු මස 21 වන දින මාවනැල්ල නගරය අසලදී  සරදියල් අත් අඩංගුවට ගැනීමේ ක්‍රියාන්විතය තුළ සරදියල්ගේ සහචරයා වූ මම්මලේ මරික්කාර් විසින් තබන ලද වෙඩි පහරකට ලක්ව රාජකාරියේ යෙදී සිටියදී වික්‍රමාන්විත ලෙස දිවි පිදූ පොලිස් කොස්තාපල් සබාන්ගේ දිවි පිදුම සිහිපත් කරමින් මෙම සැමරීම වාර්ෂිකව සිදු කෙරේ.


1864 මාර්තු 21 දින සිට මේ දක්වා ශ්‍රී ලංකා පොලීසියේ වීරෝධාර නිලධාරීන් 3111 දෙනෙකු රාජකාරියේ යෙදී සිටියදී වික්‍රමාන්විත ලෙස දිවි පුදා ඇත.  මෙම සංඛ්‍යාවට නිලධාරිනියන් 15 දෙනෙකු ද අයත් වීම අප විසින් සැලකිල්ලට ගත යුතුය.  1864 සිට 1971 දක්වා පොලිස් නිලධාරීන් 67 කු දිවිපුදා ඇති අතර, 71 අප්‍රේල් කැරැල්ල හේතුවෙන් පොලිස් නිලධාරීන් 38 දෙනෙකු 1988, 89 වර්ෂවල ක්‍රියාත්මක වූ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් පොලිස් නිලධාරීන් 357 දෙනෙකු ද දිවි පුදා ඇති අතර, දිවයිනේ උත්තරාන්තරයේ මෙන්ම නැගෙනහිර ප්‍රදේශයේ ආරම්භ වූ ද්‍රවිඩ ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් දසක තුනක කාලයක් තුළ දිවි පුදා ඇති පොලිස් නිලධාරීන් මෙන්ම නිලධාරීන්ගේ සංඛ්‍යාව 2594 කි.  මෙම නිලධාරීන් අතර නියෝජ්‍ය පොලිස්පති වරුන් 01 අයෙකුද,  ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සහ පොලිස් අධිකාරි 12 දෙනෙකුද, සහකාර පොලිස් අධිකාරි 16 දෙනෙකුද,  පරීක්ෂක ශේණියේ  නිලධාරීන් 308 දෙනෙකු ද, සැරයන් වරුන් 174 දෙනෙකුද,  පොලිස් කොස්තාපල් 2493 දෙනෙකු ද, මෙන්ම කාන්තා පොලිස් කොස්තාපල් වරියන් 15 දෙනෙකුද, මෙන්ම පොලිස් රියදුරන් 92 දෙදෙනෙකුද අයත් වේ. 


පොලිස් පරීක්ෂක වරයෙකු ලෙස මුලින්ම දිවිපුදා ඇති නිලධාරියා ලෙස ඉතිහාසයට එක්ව ඇත්තේ 1941 වර්ෂයේදී හොරණ ප්‍රදේශයේදී දාමරිකයෙකු අත් අඩංගුවට ගැනීමට යාමේදී පිහි පහරකට ලක්ව මිය ගිය හොරණ පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ උප පොලිස් පරීක්ෂක  ඩී.එම්. දිසානායක ය.  1989 ජුලි මස 16 වන දින මහනුවර මාරස්සන ප්‍රදේශයේ දී ත්‍රස්තවාදී ප්‍රහාරයකට ලක්ව මියගිය මහනුවර පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ කාන්තා පොලිස් කොස්තාපල් 244 සසෝමැණිකේ රාජකාරියේ යෙදී සිටියදී  වික්‍රමාන්විත ලෙස දිවි පිදු ප්‍රථම පොලිස් නිලධාරිණිය ලෙස ඉතිහාසයට එක්වී ඇත. 


1984 අගෝස්තු 05 වන දින පළාලි සිට වැල්වැටිතුරය දක්වා දිවෙන මාර්ගයේදී ත්‍රස්තවාදී ප්‍රහාරයකට ලක්ව දිවිපිදු සහකාර පොලිස් අධිකාරී සෝමසිරි විජේරත්න ජයසුන්දර රාජකාරියේ යෙදී සිටියදී වික්‍රමාන්විත ලෙස දිවිපිදු ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිවේදිත නිලධාරියා  ලෙස ඉතිහාසයට එක්ව සිටී. 


ප්‍රධාන පොලිස් විරු සමරු උත්සවය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පොලිස්පති ධූරන්දර පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගනයේ ඉදිකර ඇති විරු සමරු ස්මාරකය අසල පැවැත්වෙන අතර 1864 මාර්තු 21 දින රාජකාරියේ යෙදී සිටියදී දිවිපිදු ප්‍රථම පොලිස් නිලධාරියා ලෙස සබාන් ජීවිතය පූජා කළ මාවනැල්ල නගරය අසල ඉදිකර ඇති විරු සමරු ස්මාරකය අසල ද විශේෂ උත්සවයක්  දකුණු සහ සබරගමුව ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති  ෆැන්ලික් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.  මීට අමතරව කටුකුරුන්දේ පිහිටා ඇති පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ විරු ස්මාරකය අසල පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් පවත්වන විරු සමරු උත්සවය  විශේෂ කාර්ය බලකා අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්.ලතීෆ් මහතාගේ ප්‍රධානත්වයෙන්  පැවැත්වෙන අතර, ශ්‍රී ලංකාව තුළ එකම ස්ථානයකදී වැඩිම පොලිස් නිලධාරීන් සංඛ්‍යාවක් ඝාතනය කළ බවට සැලකෙන අම්පාර රූපස්සකුලම් වනාන්තරයේ සිදු වූ පොලිස් නිලධාරීන් ඝාතනය කිරීමේ සිද්ධිය සිහි කරමින් විශේෂ විරු සමරු උළෙලක් අම්පාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය ඉදිරිපිට ඉදිකර ඇති විරු සමරු ස්මාරකය අබියස පැවැත්වෙනු ඇත. 


ශ්‍රී ලංකා පොලීසියේ ශ්‍රී ලංකීය ජනතාවගේ සාමය සුරක්ෂිත භාවය ආරක්ෂා කිරීම සඳහා පිහිටුවා ඇති ප්‍රමුඛ ආයතනයයි.  පොලිස් සේවයේ සාමාජිකයෙකු ලෙස සිට ත්‍රස්තවාදියෙකුගේ වෙඩි  උන්ඩයට මෙන්ම දාමරිකයෙකුගේ පිහියා පහරකට නිබද ලක්වීමේ අවදානමක් සක්‍රීය සේවයේ නියුතු සෑම පොලිස් නිලධාරියෙකු වෙතම ඇත.  ඒ අභියෝගය තම දෙවුර මත දරාගෙන පොලිස් නිලධාරිණියන් දහස් ගණනක් මහජනතාවගේආරක්ෂාව, සුරක්ෂිතභාවය, වෙනුවෙන් දිවා රෑ අවු වැසි නොබලා රාජකාරියේ යෙදී සිටී.  එම පිරිස අතර සිට තම සහෝදර ජනතාවගේ සුරක්ෂිත භාවය වෙනුවෙන් ඔවුන්ගේ හෙට දවස කැපකළ විරුවන් මෙන්ම වීර වරියන්ද අප සිහි කරනුයේ මේ උතුම් විරු සමරු උත්සවයේදීය.  ඒ විරුවන් මෙන්ම වීර වරියන්ද සිය දිවි පුදා රැකගත් සමාජයේ සමාජ සුරක්ෂිත භාවය වඩාත් ආරක්ෂාකාරී ලෙස හෙට දිනයේත් පවත්වාගෙන යාම ඒ උතුම් වීරයන්ට කරන  උපහාරයක්ම වනු ඇත.