රජරට වකුගඩු රෝගයට හේතුව භූගත ජලයේ ඇති රසායනික


 

මෙරට උතරු මැද පළාතේ පැතිරී යන වකුගඩු රෝගය (CKDU) සෑදීමට හේතු වී තිබෙන්නේ ජලයේ පවතින ෆ්ලෝරයිඞ්, කැඞ්මියම් සහ දෘඪතාවය (කිවුල) යන සංඝටක තුනම එකම අයුරින් පිහිටා ක්‍රියාකිරීම හේතුවෙන් බව මහනුවර ජාතික මූලික අධ්‍යයන ආයතනයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ මහාචාර්ය ජේ. බණ්ඩාර මහතා සොයාගෙන තිබේ. 


මෙතෙක් ජලයේ මිශ්‍රව පවතින ආසනික්, කැඞ්මියම්, ඇලුමිනියම් වැනි බැර ලෝහවල අධික සාන්ද්‍රණයන් හඳුනා නොගත් වකුගඩු රෝගය සඳහා හේතු වේ යැයි අනුමාන කළහ. විශේෂයෙන්ම රසායනික පොහොරවල අඩංගු කැඞ්මියම් නිසා පමණක් බව ප්‍රචලිතව පැවති මතය මේ සමඟ බැහැර කිරීමට සිදු වේ. 


ශ්‍රී ලංකාවේ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වූ වකුගඩු රෝගය පිළිබඳ අද වන විට දේශීය මෙන්ම ජාත්‍යන්තර මට්ටමින් ද සාකච්ඡාවට බඳුන් වී ඇති ප්‍රධාන සෞඛ්‍ය ප්‍රශ්නයක්. මේ සඳහා “හඳුනා නොගත්” යන වචනය යෙදීමට ප්‍රධාන හේතුවූයේ මෙම වකුගඩු රෝගය සඳහා දියවැඩියාව, අධි රුධිර පීඩනය සහ වකුගඩුවලට හානිකර ඖෂධ වැනි විද්‍යාත්මකව තහවුරු කළ සාධක හේතු නොවීමයි. එනමුත් බොහෝ දුරට අහිතකර පරිසර සාධක මීට බලපාන බව විද්වතුන්ගේ පිළිගැනීමයි. ඒ අනුව හඳුනා නොගත් වකුගඩු රෝගය ව්‍යාප්ත වී ඇති ප්‍රදේශ සියල්ලම පාහේ පානීය ජල අවශ්‍යතාවය සපුරාගනු ලබන්නේ භූගත ජලයෙන් නිසා ජලයේ සංයුතිය ආශ්‍රිතව විවිධ උපකල්පන ගොඩනැගුණි. ඒ අතරින් හඳුනා නොගත් වකුගඩු රෝගය සඳහා බලපාන ප්‍රධාන සාධකය සළකනු ලැබුවේ පාරසරික විෂ වර්ග, බැර ලෝහ (කැඞ්මියම්, ආසනික් වැනි) ෆ්ලෝරයිඞ්, ඇලුමිනියම් සහ ඇලුමිනියම් ෆ්ලෝරයිඞ් සංකීර්ණයි. නමුත් මෙම කිසිදු උපකල්පනයක් විද්‍යාත්මක පරීක්ෂණ මගින් තහවුරු නොවීම විශාල අඩුපාඩුවකි. 


මහාචාර්ය බණ්ඩාර මහතා කාලයක පටන් හඳුනා නොගත් වකුගඩු රෝගය පිළිබඳ පර්යේෂණ වල නිරත වූ අතර, එහිදී මෙම රෝගය දැඩි ලෙස ව්‍යාප්ත වූ ප්‍රදේශවල පවා මෙම රෝගය බලපා නොමැති කුඩා ප්‍රදේශ ඇති බව හඳුනා ගන්නා ලදී. එවැනි ප්‍රදේශවල ප්‍රධාන ජල මූලාශ්‍ර සහ ඒවායේ තත්ත්වය රෝගය පැතිර ගොස් ඇති ප්‍රදේශ වලට වඩා හාත්පසින්ම වෙනස් විය. මෙවැනි නිරීක්ෂණ ඔස්සේ පරීක්ෂණ මෙහෙය වූ කණ්ඩායම එවැනි ප්‍රදේශවල ජල මූලාශ්‍ර සියල්ලෙහිම මිශ්‍ර වී ඇති ෆ්ලෝරයිඞ්, ඇලුමිනියම්, කැඞ්මියම්, ආසනික් සහ මැග්නීසියම් වැනි වකුගඩු රෝගයට හේතුකාරක වේයැයි සැලකෙන දූෂක සියල්ලෙහි තත්ත්වය විද්‍යාත්මකව පරීක්ෂා කර බැලීම ආරම්භ කරන ලදී. 


මෙම පරීක්ෂණය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හඳුනා නොගත් වකුගඩු රෝගය සඳහා දැඩි අවදානම් ලෙස නම් කරන ලද කලාප තෝරාගත් අතර ඒවා තවදුරටත් පහත සඳහන් පරිදි කලාප තුනකට වෙන්කර තිබේ.  


පළමු කලාපය දැඩි අවදානම් කලාපය ලෙස නම් කරන ලද අතර, එයට ඇතුළත් කර ගන්නා ලද්දේ වකුගඩු රෝගයට වැඩිපුර මුහුණ දුන් ජනතාවය. දෙවැන්න අඩු අවදානම් කලාපයයි. මෙම කලාපයේ බහුතරයක් මෙම රෝගයෙන් පීඩා විඳ නොමැත. තෙවෙනි කලාපය වකුගඩු රෝගය රහිත කලාපය වන අතර එහි වෙසෙන ජනතාව වකුගඩු රෝගයෙන් පීඩා විඳින්නේ නැත. ඉහත කලාප තුනට අමතරව උතුරු මැද පළාතේ තවත් ප්‍රදේශයක් තෝරාගෙන තිබෙන අතර එම ප්‍රදේශයෙන් වකුගඩු රෝගීන් වාර්තා වී නොමැත. 


දැඩි අවදානමක් සහිත කලාපයේ වෙසෙන ජනතාව ප්‍රධාන වශයෙන් භූගත ළිං ජලය සහ පිරිපහදු කළ නල ජලය පරිභෝජනය සඳහා යොදා ගනී. එහෙත් මෙම රෝගය රහිත කුඩා කලාප වල ජනතාව පානය කරන්නේ උල්පත් ජලයයි. 


ජලයේ මිශ්‍ර වී පවතින ආසනික්, කැඞ්මියම්, ඇලුමිනියම් වැනි බැර ලෝහවල අධික සාන්ද්‍රණයන් හඳුනා නොගත් වකුගඩු රෝගය සඳහා හේතු වේ යැයි මුල සිටම අනුමාන කළ නිසා, එකතු කර ගත් සියලුම ජල සාම්පල්වල බැර ලෝහ සාන්ද්‍රණයන් විශ්ලේෂණය කර ඇත. එහිදී අපේක්ෂා නොකළ අන්දමට හඳුනා නොගත් වකුගඩු රෝගය සඳහා අවදානම වැඩි සහ අඩු කලාපවල ජල මූලාශ්‍ර වල කැඞ්මියම් මට්ටම ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශිත මට්ටමටත් වඩා අඩු අගයක් ගෙන තිබේ. මෙහිදී අඩුම කැඞ්මියම් සාන්ද්‍රණය වාර්තා වෙන්නේ වකුගඩු රෝගය රහිත කලාපවල ප්‍රධාන ජල මූලාශ්‍ර වන උල්පත් ජලය පානය කරන අයගෙනි. ඒ අනුව මේ ආකාරයෙන් පෙන්වන දත්ත අනුව කැඞ්මියම් බැර ලෝහය පමණක් තනිව ගත්විට මෙම රෝගය පැතිර යාමට ප්‍රධාන හේතුව එය ලෙස ප්‍රකාශ කිරීම වැරදිසහගත බව පර්යේෂණ කණ්ඩායමේ නිගමනය විය. තවද අවදානම දැඩි කලාපයේ ජල මූලාශ්‍රවල ෆ්ලෝරයිඞ් සහ දෘඪතාවය අනෙකුත් කලාප වලට සාපේක්ෂව ඉහළ අගයක් ගනී. විශේෂයෙන්ම වකුගඩු රෝගයට බලපාන්නේ නැති ප්‍රදේශ වල පානීය ජලයේ ෆ්ලෝරයිඞ් ප්‍රමාණය ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශිත මට්ටමට වඩා අඩු අගයක් ගත්තේය.


හඳුනා නොගත් වකුගඩු රෝගය සඳහා දැඩි අවදානමක් සහිත කලාපයේ ජනතාව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශිත මට්ටමට වඩා වැඩි ප්‍රමාණයක් ෆ්ලෝරින් පරිභෝජනය කර ඇති බව මෙහිදී තහවුරු විය. එහෙත් මෙම පරීක්ෂණයේදී පෙනීගියේ මෙම රෝගය සඳහා එය එක් ඍජු සාධකයක් පමණක් හේතු වී නොමැති බවය. පර්යේෂණ කණ්ඩායමේ නිගමනය වූයේ බහු විෂය සාධකයක් මේ සඳහා හේතු වී ඇති බවයි. එහිදී ජලයේ දෘඪතාවය, ෆ්ලෝරයිඞ් සහ කැඞ්මියම් යන සංඝටකයන් එක් වී සෑදෙන සංශක්තිවාදී බලපෑමක පැවැත්ම මත බව නිගමනය කරන ලදී. මෙම සංකල්පය සඳහා ජාත්‍යන්තර වශයෙන් ඉතා ඉහළ පිළිගැනීමක් ලැබී තිබේ. එය ශ්‍රී ලංකාවට ද ගෞරවයක් හිමිකර දීමකි. එය තවදුරටත් පැහැදිළි වන්නේ ජාත්‍යන්තර වශයෙන් මෙවන් විද්‍යාත්මක ලිපි පළකරන Environmental Geochemistry and Health යන සඟරාවේ මේ සඳහා ඉඩක් වෙන් කර තිබීමය. 


ජලයේ දෘඪතාවය, ෆ්ලෝරයිඞ් සහ කැඞ්මියම් තනි තනිව හේතු කාරක නොවී, එම ද්‍රව්‍ය එකතු වීමෙන් වඩාත් විශාල බලපෑමක් ඇති විය හැකි, මෙම සංශක්තිවාදී බලපෑම පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ සහ ගන්නෝරුව පශූ විද්‍යා පර්යේෂණ ආයතනයේ සහභාගිත්වය ඇතිව මීයන් යොදා ගනිමින් පර්යේෂණ සිදුකර තිබේ. එහිදී මෙම රෝගය සඳහා ඇලුමිනියම්, ෆ්ලෝරයිඞ් සහ ඇලුමිනියම් - ෆ්ලෝරයිඞ් සංකීර්ණවල බලපෑම අධ්‍යයනය කර ඇත. එහිදී පානීය ජලයට විවිධ සාන්ද්‍රණ වලින් ඇලුමිනියම් සහ ෆ්ලෝරයිඞ් මිශ්‍ර කර මීයන්ට ලබාදී ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කර තිබේ. එහිදී හෙළිවූයේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශිත මට්ටමට හෝ ඊට තරමක් වැඩි ප්‍රමාණයක් ෆ්ලෝරයිඞ් සහ ඇලුමිනියම් ජලයට මිශ්‍ර වුව ද එය වකුගඩු රෝගය වැළඳීම සඳහා හේතු නොවන බවය. 


ඉන්පසු පරීක්ෂණ කණ්ඩායම විසින් බැර ලෝහ, ආසනික්, ෆ්ලෝරයිඞ්, කැඞ්මියම් සහ ජලයේ දෘඪතාවය එක් වී ඇති විය හැකි සංශක්තිවාදී බලපෑම අධ්‍යයනය කර තිබේ. මෙහිදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශිත මට්ටමින් කැඞ්මියම්, ෆ්ලෝරීන් සහ දෘඪතාවය ඇති විටදී එම ජලය ලබාදුන් මීයන්ගේ වකුගඩුවල පටකවලට හඳුනා නොගත් වකුගඩු රෝගයේදී මෙන් හානි සිදුවී තිබුණි. එම හානියේ තරම එක්, එක් සංඝටකයේ සාන්ද්‍රණය හා ඒවායේ ඒකාබද්ධ ක්‍රියාකාරිත්වය මත වෙනස් විය. 


මේ අනුව මහාචාර්ය ජේ. බණ්ඩාර මහතා ඇතුළු පර්යේෂණ කණ්ඩායම අවසාන වශයෙන් නිගමනය කළේ වකුගඩු වලට හානිවීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශිත මට්ටමින් ෆ්ලෝරයිඞ්, කැඞ්මියම් සහ ජලයේ දෘඪතාවය සහිත ජලය දීර්ඝ කාලීනව පානය කිරීම හේතු වන බවය. 


එච්.එම්.එස් වාසනා, ඩී. අලුත්පටබැඳි යන මහත්මීන්ගේ පර්යේෂණ කණ්ඩායමේ මූලිකත්වයෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ මහාචාර්ය රොහාන්විජේසූරිය, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ මහාචාර්ය පී. විජේකෝන් ඩී.ටී. කුලරත්න, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ පශු වෛද්‍ය පණ්ඩුක ගුණවර්ධන, ගන්නෝරුව පශු විද්‍යා පර්යේෂණ ආයතනයේ පශු වෛද්‍ය පී.එස්. ප්‍රනාන්දු, සමාජ සවිබලගැන්වීම් සහ සුබසාධන අමාත්‍යාංශයේ දිවිනැගුම ව්‍යාපෘතියේ පශු වෛද්‍ය ධම්මික පෙරේරා යන මහත්ම මහත්මියන් මෙම පර්යේෂණය සඳහා සහයෝගීතාවය ලබා දී ඇත.  


ස්තුතිය -  මහනුවර ජාතික මූලික අධ්‍යයන ආයතනයේ සන්නිවේදන සහ මාධ්‍ය නිලධාරි ප්‍රදීප් පියතිලක මහතාට.  


සටහන සහ ජායාරූප - 
සිසිර කුමාර බණ්ඩාර