රජරට මහ වැව් ආක්‍රමණය කළ “කටු පාසි” වසංගතය


 

 

ආක්‍රමණික ජලජ පැළෑටියක් ලෙස හඳුන්වන “කටුපාසි” ක්‍රම ක්‍රමයෙන් රජරට මහ වැව් ආක්‍රමණය කරන බවක් පෙනෙන්නට තිබේ.   


පසුගිය වසරේ මුලින්ම මිහින්තලේ මහකනදරාව වැවෙන් හමු වූ කටුපාසි මෑතක දී අනුරාධපුරයේ නුවර වැවෙන් ද හමුවීමත් සමග මෙම ආක්‍රමණික ජලජ පැළෑටිය ක්‍රම ක්‍රමයෙන් රජරට මහ වැව් ආක්‍රමණය කරන බවක් පෙනී යන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් ප්‍රකාශ කළේය.   


​ෙම් කටුපාසි ඉතා ශීඝ්‍රයෙන් බෝවෙන ජලජ පැළෑටියක් ලෙස සැලකේ. එය වැවක බෝ වූ පසු මර්දනය කිරීම ​ෙලහෙසි පහසු කාර්යයක් නොවේ. මිහින්තලේ මහකනදරාව වැවේ බෝ​ වුණු කටුපාසි ඉවත් කිරීමට මිනිස් ශ්‍රමයෙන් දැරූ උත්සාහය අසාර්ථක වූ නිසා ඒ සඳහා විශේෂයෙන් සැකසූ යන්ත්‍රයක් ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් ගෙන්වනු ලැබුවේ එම යන්ත්‍රයෙන් සාර්ථකව කටුපාසි ඇතුළු ජලජ පැළෑටි ඉවත් කිරීමේ අපේක්ෂාවෙනි.   


රුපියල් කෝටි පහකට වැඩි මුදලක් වැය කර පිටරටින් ගෙන් වූ ඒ යන්ත්‍රයෙන් අපේක්ෂිත ප්‍රතිඵල නොලැබුණු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේම අය කියති.   
කටුපාසි මහ වැව්වල බෝවීමෙන් වැඩි වශයෙන්ම කරදර විඳින්නේ එම වැව්වල මාළු අල්ලා ජීවත් වෙන ධීවරයන්ය. මාළු අල්ලන්නට මහ වැව්වල එලන දැල් කටුපාසිවල පැටලෙන නිසා එම දැල්වලට හසුවන මාළු ප්‍රමාණය ද අඩු වී දැල් ගොඩට ගනිද්දී ඒවා ඉරෙන බව ධීවරයෝ පවසති.   

 

 

 


එපමණක් නොව කටුපාසි ශරීරයේ පැටළුණු පසු ඒවායේ තිබෙන සියුම් තියුණු කටු ඇනෙන නිසා වේදනාවක් දැනෙන බව ද ඔවුහු කියති.   
නමුත් රජරට විශ්වවිද්‍යාලයේ ජීවවිද්‍යා අංශයේ ජ්‍යෙෂ්‍ඨ කථිකාචාර්ය ආචාර්ය වසන්ත සේන වැලිඅංග මහතා පවසන්නේ රජරට මහ වැව්වල බෝ වෙන මේ කටුපාසි පරිසර විද්‍යාත්මක ලෙස කළමනාකරණය කරගතහොත් ඉන් මිනිසුන්ට ප්‍රයෝජනයක් ලබා ගත හැකි බවයි.   


මේ ඔහු අපට කී කතාවයි.   


“කටුපාසි ලංකාවෙන් ප්‍රථම වතාවට හමු වන්නේ මාදු ගඟෙන්. ඒ 2010 දී විතර. කටුපාසි උද්භිත විද්‍යාත්මකව හඳුන්වන්නේ නාජාස් මරීනා (Najas Marina) යන නමිනුයි. ග්‍රීක භාෂාවෙන් කටුපාසිවලට කියන්නෙ හෝලි නයාඩ් කියලා. එහි අර්ථය ශාන්ත වූ දිව්‍යාංගනාව කියන එකයි. එවැනි නමක් මේ කටුපාසි සඳහා ග්‍රීක වැසියන් භාවිත කරන්න හේතුව ඔවුන් මෙයින් විවිධ ප්‍රයෝජන ලබා ගන්නා නිසා විය හැකියි.   


කටුපාසි 2010 දී මුලින්ම මාදු ගඟෙන් හමුවුණා. ඊට පස්සේ මහකනදරාව වැවෙන් ගිය අවුරුද්දේ හමු වුණා. දැන් නුවර වැවටත් බෝ වෙලා.   


කටුපාසි ලංකාවේ ව්‍යාප්තියට සම්බන්ධ කළ හැකි කතා තිබෙනවා. කලින් මේ ගැන කළ පර් යේෂණ ලිපිවල සඳහන් වෙලා තියෙනවා කරමල් පාත්තයා එහෙම නැතිනම් විද්‍යාත්මකව අනාස් ප්ලැටිරින්චෝස් (Anas Platyrinchos) යන නමින් හඳුන්වන ඉන්දියාවෙන් පැමිණෙන මේ සංචාරක පක්ෂි විශේෂය කටුපාසි ආහාරයට ගන්නා බව.   


​ෙම් පාත්තයින් කටුපාසි ආහාර වශයෙන් ගත් විට එහි තිබෙන බීජ උන් වෙන රටකට හෝ ප්‍රදේශයකට ගිහින් වැවකට බැස වසුරු දැමූ විට ඒ සමග මිශ්‍ර වී ඒ බීජවලින් එම වැව්වල කටුපාසි හැදෙන බව කලින් කළ පර් යේෂණවලින් එය තහවුරු වූ බව පොත පතෙහි සඳහන් වෙනවා.   


හැබැයි අපි දන්නේ නැහැ මාදු ගඟේ සිට කටුපාසි අනුරාධපුරේ මහ වැව්වලට ආවේ කොහොමද කියන එක. හැබැයි අප දන්න දෙයක් තියෙනවා.   


ඒ තමයි කරමල් පාත්තයා කියන පක්ෂි විශේෂය 1950 පමණ වනතුරු ලංකාවේ සාමාන්‍යයෙන් නිතර දකින්නට ලැබුණු පක්ෂියෙක්. ඊට පස්සේ ක්‍රම ක්‍රමයෙන් නිතර දක්නට නොලැබෙන දුර්ලභ පක්ෂියෙක් බවට පත් වුණා. පක්ෂීන් ගැන අධ්‍යයනය කරන අය පෙන්වා දුන්නා 1980න් පස්සේ කරමල් පාත්තයා නැවත ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන බව.   
පක්ෂීන් සංචරණය කරන කාලයේදී ඉන්දියාවේ සිට පැමිණෙන කරමල් පාත්තයා මගින් මේ කටුපායි ලංකාවේ වැව්වලට පැතිරෙනවා වෙන්න පුළුවන්.   


මේ කටුපාසි වියට්නාමයේ සමහර මිනිස්සු කෑමට ගන්නවා. ඊට අමතරව මේ කටුපාසි ආහාරයට ගන්නා මාළුන් ඉන්නවා. ඒ අතරින් ග්‍රාස්කාප් (GRASS CARP) කියන මත්ස්‍ය විශේෂය විශේෂයි. ග්‍රාස්කාප් කියන මාළු විශේෂය ලංකාවට ආවේණික මාළුවෙක් නොවෙයි. මේ මාළු විශේෂය පිටරටින් ගෙනත් දැන් ලංකාවේ බෝ කරනවා.  
අපේ වැව්වලට කටුපාසි ආක්‍රමණය වැළැක්වීමට නම්, අපිට පුළුවන් කටුපාසි ආහාරයට ගන්නා ග්‍රාස්කාප් වැනි මාළුවෙක්ව අපේ වැව්වල බෝ කරලා ඒ මාළුවා ලවා කටුපාසි පාලනය කරගන්න. ඊට පස්සේ ග්‍රාස්කාප් මාළුවා අල්ලාගෙන අපිට ආහාරයට ගන්න පුළුවන්. ඒ විදිහට තමයි පරිසර විද්‍යාත්මක ලෙස මේ වගේ ප්‍රශ්න කළමනාකරණය කරන්නේ.   

 

 

සටහන හා සේයාරූ :  
අතුල බණ්ඩාර