යුරෝපා සංගමයේ එල්.ටී.ටී.ඊ. තහනම තවත් මාස හයකින් දිගු කරයි


මැලේසියාවෙනුත් කොටින්ට තහංචි

එල්.ටී.ටී.ඊ. සංවිධානය තවදුරටත් ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කරමින් එම සංගමය මත පනවා තිබූ තහනම තවත් මාස හයකින් දීර්ඝ කිරීමට යුරෝපා කවුන්සිලය තීරණය කර ඇත. ත්‍රස්තවාදය පරාජය කිරීමේ දැක්ම ඇතිව ඇතැම්, විවිධ පුද්ගලයන්, සංවිධාන හා සමාගම් සම්බන්ධයෙන් යුරෝපා සංගමයේ තිබෙන රෙගුලාසි අනුව ඉකුත් ජූලි 30 වැනි දා මෙම තීරණය ගෙන තිබේ.   


ත්‍රස්තවාදය පරාජය කිරීමේ දැක්ම ඇතිව ඇතැම්, විවිධ පුද්ගලයන්, සංවිධාන හා සමාගම් සම්බන්ධයෙන් යුරෝපා සංගමයේ තිබෙන රෙගුලාසි අනුව මේ වසරේ මාර්තු මස 21 වැනිදා යුරෝපා කවුන්සිලය එල්.ටී.ටී.ඊ. සංවිධානය මත නැවත වරක් තහනමක් පැනවීය. එහිදී එල්.ටී.ටී.ඊ. සංවිධානය ඇතුළුව සංවිධාන 20ක් ත්‍රස්තවාදී සංවිධාන ලෙස නම් කරමින් එම සංවිධාන මත තහනම් පැනවීය.   


යුරෝපා කවුන්සිලය මුල් වරට එල්.ටී.ටී.ඊ. සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කරන ලද්දේ 2006 වසරේදීය. එතැන් පටන් මේ දක්වා ගත වූ වසර 12ක කාලයේදී යුරෝපා කවුන්සිලය අඛණ්ඩව එල්.ටී.ටී.ඊ. සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක්ය යන ස්ථාවරයේ පිහිටා කටයුතු කළේය.   


“එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන් අඛණ්ඩව තිබෙන තර්ජනය සම්බන්ධයෙන් අපි යුරෝපා සංගමයේ සාමාජික රටවල් 28ට කරුණු පැහැදිලි කළා” යැයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් බ්‍රසල්ස් නුවර යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා තානාපති සහ බෙල්ජියමේ ශ්‍රී ලංකා තානාපතිවරයා වන රොඩ්නි එම්. පෙරේරා මහතා සඳහන් කළේය. අතීත, වත්මන් සහ වසරින් වසර තොරතුරු ඉදිරිපත් කරමින් එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන් අඛණ්ඩව තිබෙන තර්ජනය නිශ්චිත සාක්කි ඇතිව තහවුරු කිරීම ඉතා දුෂ්කර කාර්යයක් වූ බව ද පෙරේරා මහතා කියා සිටී.   


එල්.ටී.ටී.ඊ. සංවිධානය වෙත පනවා තිබෙන තහනම අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා යුරෝපා සංගමයේ සාමාජික රටවලට අදාළ තොරතුරු ලබාදීම සහ ඒ සඳහා අදාළ නිශ්චිත ක්‍රියාමාර්ග ගන්නා බව ද රොඩ්නි පෙරේරා මහතා සඳහන් කළේය.   


එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන් තිබෙන තොරතුරු නියමිත පරිදි සකස් කිරීම විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ මෙරට නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන ඇතුළු අනෙකුත් ඊට සම්බන්ධ ආයතන විසින් සිදු කරනු ලැබ තිබේ.   


2011 සහ 2015 අතර යුරෝපා සංගමය තුළ කොටි සංවිධානය සතු වත්කම් තහනම් කිරීම අවලංගු කරමින් මීට ඉහතදී පහළ අධිකරණයක් දී තිබෙන තීන්දුව අනුමත කරන බව යුරෝපා සංගමයේ ඉහළම අධිකරණය තීන්දු කළේය. එල්ටීටීඊ සංවිධානය 2009 දී පරාජය කරන ලද නමුත් ශ්‍රී ලංකාව තුළ තවදුරටත් ත්‍රස්තවාදී ප්‍රහාර එල්ල කිරීම එම සංවිධානයේ අභිලාෂය බව සනාථ කිරීමට යුරෝපා කවුන්සිලය අපොහොසත් වූ බව අධිකරණයේ නිගමනය වී තිබේ. එමෙන්ම වෙනත් රාජ්‍යයක් විසින් රැස් කරන ලද තොරතුරු මත පදනම්ව කිසියම් පුද්ගලයෙකු හෝ සංවිධානයක් තහනම් ලැයිස්තුවට ඇතුළත් කළ නොහැකි බවට පහළ අධිකරණය 2014 දී ලබාදුන් තීන්දුව ද යුරෝපා අධිකරණය අනුමත කළේය. 

 
ත්‍රස්තවාදයට එරෙහිව එක් ස්ථාවරයක් අනුගමනය කිරීම සම්බන්ධයෙන් යුරෝපා කවුන්සිලය විසින් 2001 දෙසැම්බර් 27 වෙනි දින සම්මත කරන ලද යෝජනාවක් ප්‍රකාර, 2006 දී යුරෝපා සංගමය එල්ටීටීඊ සංවිධානය තහනම් සංවිධාන ලැයිස්තුවට ඇතුළත් කළේය. ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා විසින් 2009 මැයි මාසයේදී එල්ටීටීඊය යුදමය වශයෙන් පරාජය කරන ලද නමුත්, මේ දක්වාම එම තහනම බලපැවැත්විණ. 

 
කෙසේ නමුත් හමාස් සහ එල්ටීටීඊ සංවිධානවලට එරෙහි තහනම 2014 දී යුරෝපා සංගමයේ පහළ අධිකරණයක් විසින් අවලංගු කරන ලදි. අදාළ සංවිධාන දෙකට එරෙහිව යුරෝපා සංගමය විසින් එම තහනම පනවනු ලැබ තිබුණේ දත්ත මත නොව මාධ්‍ය වාර්තා සහ අන්තර්ජාලයේ පළවූ වාර්තා පදනම් කරගෙන බව පහළ අධිකරණයේ නිගමනය වී තිබුණි.   


ඒ අතරතුරේ එවැනි දෑ සිදුවන අතරේදීම එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් මියගිය ද ඔහුගේ ත්‍රස්ත ජාලය තවමත් ක්‍රියාත්මකව පවතින බවට තමන් සැක පළ කරන බව මැලේයාසියානු හිටපු පොලිස්පති මුසා හසන් ප්‍රකාශකර ඇතැයි එරට ජාතික ප්‍රවෘත්ති ඒජන්සිය වන බර්නමා පුවත් සේවය ඉකුත් අගෝස්තු 01 වාර්තා කළේය.   


එම පුවත් සේවයට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් මැලේසියානු හිටපු පොලිස්පතිවරයා කියා සිටියේ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ප්‍රතිපත්තීන්ට සහ අදහස්වලට අනුකම්පාව දක්වන පිරිස් තවමත් සිටින බවය. එලෙස අනුකම්පාව දක්වන පිරිස් හේතුවෙන් මලයාසියාව ඇතුළු සියලු රටවල්වලට තර්ජනයක් එල්ල විය හැකි බව ද ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත. එම තත්ත්වය සුළු කොට තැකිය නොහැකි බවයි හිටපු පොලිස්පතිවරයා පෙන්වා දුන්නේ.   


ඇමෙරිකාව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා එල්.ටී.ටී.ඊ. සංවිධානය ත්‍රස්තවාදී කණ්ඩායමක් ලෙස නම් කර ඇති අතර, මලයාසියාව ඇතුළු රටවල් 32 ක් එම සංවිධානයේ ප්‍රතිපත්ති ප්‍රතික්ෂේප කර ඇති බව ද ඔහු කියා සිටී.   


2004 සහ 2005 වර්ෂවලදී මලයාසියාවේ සිට එල්.ටී.ටී.ඊ. සංවිධානයට අරමුදල් රැස් කිරීමට කටයුතු කළ නීතිඥ සහ ගණකාධිකරණ වැනි වෘත්තීය මට්ටමේ පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව ද හිටපු පොලිස්පතිවරයා සිය සම්මුඛ සාකච්ඡාවේදී තවදුරටත් ප්‍රකාශ කළේය. දශක තුනකට අධික කාලයක් ශ්‍රී ලංකාවේ ලේ වැගිරීම් සිදුකරමින් එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය යුදමය වශයෙන් පරාජය කරනු ලැබුවත්, ඔවුන්ගේ ප්‍රතිපත්තීන්වලට අනුකම්පා කරන පිරිස් ලෝකයටම තර්ජනයක් බවත් ඔහු අවධාරණය කර සිටියේය.   


ඔවුන්ගේ ප්‍රතිපත්තීන් වලට අනුකම්පා කරන, එම ප්‍රතිපත්තීන් අනුගමනය කරන හිටපු කොටි නායකයින් සහ බහුතර දෙමළ ඩයස්පෝරා ප්‍රජාවක්ද ලොව පුරා විසිරී සිටින බව අප අමතක නොකළ යුතු කරුණකි. ඔවුන් බළමුළුගන්වන අය අතරේ දෙමළ සංක්‍රාන්ති ආණ්ඩුවේ අගමැති යැයි කියා ගන්නා රුද්‍රකුමරන්, තවත් නායකයෙකු යැයි කියන එමිල් කාන්තන්, ගෝලීය ද්‍රවිඩ සංසදයේ එම්මෑනුවල් පියතුමන් , බ්‍රිතාන්‍ය දෙමළ සංසදයේ සුරේන් සුරන්දිරන් ආදී පිරිසක්ද තවමත් ඉතා සූක්ෂම ලෙසින් සිය ජාලගත මෙහෙයුම් පවත්වාගෙන යමින් සිටිති.   


එලෙස සූක්ෂම ලෙසින් සිය මතවාදය පතුරුවා ගෙන යද්දීම ලංකාවේ මානව හිමිකම් ප්‍රවර්ධනයේ හා සංහිඳියාවේ යම් ප්‍රගතියක් පෙන්නුම් කරන බව ලන්ඩනය පදනම් කරගත් ලොව ප්‍රමුඛතම දෙමළ ඩයස්පෝරා සංවිධානයක් වන “ගෝලීය ද්‍රවිඩ සංසදය” වරෙක කියා තිබිණි.එම සංසදය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේ 32වන සැසිවාරයට ජගත් මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් ෂහිද් රා අද් අල් හුසෙයින් කුමරු විසින් මෙරට මානව හිමිකම් තත්ත්වය පිළිබඳ ඉදිරිපත් කළ වාර්තාව සාදරයෙන් පිළිගන්නා අතරම ලංකාව සැලකිය යුතු ප්‍රගතියක් අත්පත් කරගෙන ඇති බව ගෝලීය ද්‍රවිඩ සංසදය කියා තිබිණි.   


ද්‍රවිඩ ජනතාවගේ ඉඩම්වලින් ආරක්ෂක හමුදා ඉවත්කොට එකී ඉඩම් එහි සැබෑ හිමිකරුවන්ට ලබාදීම, දැනට රඳවා සිටින පිරිස් සඳහා නඩු පැවරීම හෝ නිදහස් කරලීම, උතුරු-නැගෙනහිර පළාත්වල හමුදා සීමා කිරීම, ත්‍රස්ත මර්දන පනත අහෝසි කිරීම, වින්දිතයින් ආරක්ෂා කිරීම සඳහා යම් යම් ක්‍රියාමාර්ග ගැනීම සිදුවෙමින් පවත්නා බව ඔවුන් පෙන්වාදී තිබිණි. සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම සඳහා යම් යම් ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණයන් සිදුකෙරෙමින් පැවතීම පිළිබඳවද තම ප්‍රසාදය හිමි වන බව ඔවුන් කියා තිබුණේ කිනම් අදහසකින්දැයි යන්න පැවසීම දැන්ම කල් වැඩිය. මන්ද ජාත්‍යන්තර ප්‍රජාව විසින් දිගු කාලීනව ලංකාවේ සාමය, සාධාරණත්වය හා දේශපාලන බලය බෙදාගැනීම සඳහා කරනු ලබන මැදිහත්වීම තවදුරටත් සිදුවිය යුතු බවද ඔවුන් පැවසීමත් සමඟය.   


ඉකුත්දා පැවැති තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයට තරඟ වදින සියලුම තමිල්නාඩු දේශපාලන පක්ෂ සිය මැතිවරණ ප්‍රචාරණවලදී ශ්‍රී ලංකාවේ දෙමළ ඊලාම් රාජ්‍යයක් ඇති කිරීම වෙනුවෙන් දැඩි අවධානය යොමු කළ යුතු බව හිටපු එල්ටීටීඊ නායකයෙකු වන රුද්‍ර කුමරන් ප්‍රකාශ කළේය. දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් දිනා ගැනීම මේවන විට දැඩි අස්ථාවර භාවයක් බවට පත්ව ඇති වුවද, ප්‍රබල රටවල් කිහිපයක් හා සුළුතර ජාත්‍යන්තර ප්‍රජාවක් පමණක් සිංහල ජාතික වාදී ආණ්ඩුවට සහාය දෙමින් කටයුතු කරන බවක් දක්නට ලැබෙන බවද හෙතෙම කියා තිබිණි. එලෙස හිටපු කොටි නායකයෙකු මෙවැනි දෑ ප්‍රකාශ කිරීමේ යටි අරුත සැබැවින්ම තවදුරටත් සනාථ වන්නේ ඊළමක් වෙනුවෙන් ඔවුන් තුළ ඇති කැපවීමය.   


යුද්ධය හමාරව පවතින අද දවසේ උතුරේ මෙන්ම දකුණේ දෙමව්පියන් තම දූ පුතුන් අහිමිව දශක හතරකට ආසන්න කාලයක් උණු කඳුළු වගුරද්දී සිය කටුක මතකයන් අමතක කර දැමීමට මත්තෙන් සත්‍ය වශයෙන්ම තම දරුවන්ට කොහේ, කුමන ස්ථානයක, කුමන ඉරණමක් අත්වූයේ යැයිද යන්න දැනගැනීමෙන් ඔවුන්ට දැනෙන මානසික අස්වැසිල්ල අන් සියලු දෑ වලට වඩා වටිනා බව පමණක් රට කරවන සියලු දෙනා දැන ගත යුතුවේ. එහෙයින් මෙලෙස ත්‍රස්තවාදී සංවිධානයක් කෙටි කලකට පමණක් නොව දිගින් දිගටම තහනම් කිරීමේ සුවිශේෂී ක්‍රියාදාමයක උපරිම ඵල එම ජනතාවට ලබාදීමද දේශ දේශාන්තරවල සහ මෙරට නායකයින් සියලු දෙනාගේම වගකීමකි.   

 

 

 

 

සටහන
තිළිණි ද සිල්වා