යුද්ධයෙන් දුප්පත්කමින් විනාශ වූ ගෝතමාලාව


වළ පල්ලට ගිය රටවල්   

 

ජනතාව විසින් දේශපාලකයින්ට ලබාදෙන බලය තාවකාලිකය. මෙය තම ජීවිතාන්තය දක්වා පවතින ස්ථිර බලයක් බව සිතන පතන දේශපාලකයන් සිටින රටවල් කාබාසිනියාවේ. එවැන්නන් සිදු කරන්නේ සදාචාර විරෝධී ක්‍රියාවන්ය.   


වළ පල්ලට ගිය රටවල් තීරුව යටතේ මා හඳුන්වා දුන් පාලකයින් සියලු දෙනාම ජන මතයට පිටුපෑ පුද්ගලයන්ය. තමන් යන ගමන් මාර්ගය වැරදි බව ඔවුන්ට කිසිදාක අවබෝධ වන්නේ නැත. ඒ මුදලට ගිජුකම නිසාය. මෙම අඥාන අදූරදර්ශී, පාලකයින් හරියට පිරිත් කියන කොට විරිත්තන භූතයින් වගේය. ඔවුන්ට හොඳ නරක නොතේරේ.   
නෙල්සන් මැන්ඩෙලා, මාටින් ලූතර් කිං, මහත්මා ගාන්ධි වැනි ශ්‍රේෂ්ඨයින්ගේ ප්‍රතිපත්ති අනුගමනය කරන බවට ජනතාවට පොරොන්දු වී බලය ලැබුණ වහාම තම ඥාති වර්ගයාගේ අභිවෘද්ධිය සාක්ෂාත් කරලීම සඳහා පමණක් ඇප කැප වෙන පාලකයින් සිටින රටවල් අගාධයට තල්ලු වී ගිය අයුරු පසුගිය වසරක කාලයක් මුළුල්ලේ පෙන්වා දුනිමි. අදත් හඳුන්වා දෙනු ලබන්නේ ලතින් ඇමෙරිකාවේ විනාශ මුඛයට පත් වෙමින් පවතින තවත් රටකි.   


විනාශ මුඛයට ගිය ගෝතමාලාව   


ඒ ගෝතමාලා ජන රජයයි. (GUATEMALA) මධ්‍යම ඇමෙරිකාවේ ජනගහනය වැඩිම රට ගෝතමාලාවයි. මැක්සිකෝව, බේලිස්, හොන්ඩුරාස්, එල් සැල්වදෝරය යන රටවලට මැදිව පිහිටි මේ රට ලොව දරිද්‍රතාවයෙන් පෙළෙන තවත් දේශයකි.   


රටේ විශාලත්වය ව.කි.මී. 1,08,889ක් හෙවත් ව.සැ. 42,042කි. ජනගහනය 1,72,63,239කි. 1960 සිට 1996 දක්වා මෙහි සිදුවූ සිවිල් යුද්ධයෙන් රට නැත්තටම නැති වුණේය. අතුරුදන් වූ පවුල් සංඛ්‍යාව 45,000කට වැඩිය. ගම්මාන 450ක් විනාශ විය. මියගිය සංඛ්‍යාව ලක්ෂ 2කට වැඩිය.   


දස ලක්ෂයකට වැඩි පිරිසක් අවතැන් වූහ. මේ යුද්ධය පැවතුණේ රජයේ හමුදාවන් සහ ගරිල්ලා සංවිධාන අතරය. මේ රට ස්පාඤ්ඤයෙන් නිදහස ලබාගෙන (1821දී) දැනට වසර 98ක් ගත වී ඇතත් රටේ කිසිදු ප්‍රගතියක් සිදුවී නැත.   


ජනපති වූ විකට නළුවා   


රට පුරා ඇති ගිනි කඳු 37කින් නික්මෙන ගින්දරට වඩා මේ රටේ අසරණ ජනතාවගේ දුක් ගින්දර පිළිබඳ කතාන්දරය උණුසුම්ය. ජනපතිවරුන් 35 දෙනකු විටින් විට මෙහි පාලන බලය මෙහෙයවනු ලැබුවත් ඔවුන්ගෙන් රටට සෙතක් සිදුවී නැති බව කිව යුතුය. මේ රට පාලනය කරනු ලබන්නේ විධායක බලය ඇති ජනපතිවරයෙකි. අගමැතිවරයකු නැත. සිටිනුයේ උප ජනාධිපතිවරයෙකි.   


වත්මන් ජනපති ජිමී මොරාලෙස් (JIMMY MORALES) ය.  සර්කස්කාරයකු වශයෙන් දිවිය අරඹා පසුව රිදී තිරයේ විකට නළුවකු විය. ඔහුට එරෙහිව දැනටම විවිධ දූෂණ චෝදනා රැසක් එල්ල වී තිබේ.   


භූමිකම්පා, සුළි සුළං, ගිනිකඳු පිපිරීම් ආදී ස්වභාවික විපත්වලින් රටට සිදුවූ හානියට වැඩි හානියක් මේ රටේ දේශපාලකයින් විසින් රටට සිදුකර තිබේ. එම හානිය වසර 36ක සිවිල් යුද්ධයෙන් සිදුවූ විනාශයටත් වඩා විශාලය.   


එදා වේල පිරිමසා ගැනීමටවත් නොහැකි දුගී දුප්පත් ජනතාවගේ ප්‍රතිශතය සියයට 59.3ක් පමණ වන මෙවන් රටක ජන ජීවිතය පිළිබඳ කවර කතා ද? මෙහි සෑම ළමයින් 10 දෙනකුගෙන් 8 දෙනකු විවිධ ශාරීරාබාධවලින් පෙළෙන, විශේෂයෙන්ම ස්නායු දුබලතා නිසා දුක්විඳින බව සඳහන් කරන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) යි.    

 


දේශපාළුවන් රකින මත්ද්‍රව්‍ය ජාවාරම   


මෙහි වගාකර ඇත්තේ ව.කි.මී. 3375ක භූමි ප්‍රමාණයක පමණකි. රට හරහා ගලා යන ගංගා 100කට වැඩි සංඛ්‍යාවක් ඇතත් බලයට පත්වන දේශපාලකයින් මෙම ගංගා ජලය ආශ්‍රිතව රටේ කෘෂිකර්මාන්තය නගා සිටුවීමට නිසි පියවර ගෙන නැත. මෙහි ළදරු මරණ සංඛ්‍යාව එන්න එන්නම වැඩි වෙමින් පවතී.   


ඒඩ්ස් රෝගය වැලඳුණ අයගේ සංඛ්‍යාව 46,000 ඉක්මවයි. අධ්‍යාපනය සඳහා වෙන් කරනුයේ ජාතික ධනයෙන් සියයට 1ක පමණ සොච්චම් මුදලකි. රට පුරා ලෙඩ රෝග පැතිරී යනු ලබන්නේ ජනතාවට සෞඛ්‍ය පහසුකම් ලබාදීමට රජය ක්‍රියා නොකිරීම නිසාය. කැළි කසළ උවදුර රට වනසයි.   


දරුණු අපරාධ මිනීමැරුම් විශාල වශයෙන් සිදුවන රටකි. පාතාල කල්ලි, රජ කරන මත්ද්‍රව්‍ය උවදුර තදින් පවතින ගෝතමාලාව අද ලෝකයෙන් කොන් වී ඇති රාජ්‍යයකි. පාතාල කල්ලි සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවනු ලබන්නේ ඇතැම් දේශපාලකයින්ය.   


වැඩිපුරම දූෂණය කර ස්ත්‍රීන් මරා දමන රටක් වන ගෝතමාලාව කිසිදාක ගොඩ එන බවක් පෙනෙන්නට නැත. ඊට හේතුව රටේ පවතින දේශපාලන බල අරගලයයි. මේ රටේ ද විවිධ පුද්ගලයින් ව්‍යාපාරිකයින්ගේ ආධාරයෙන් විවිධ දේශපාලන පක්ෂ අටවාගෙන දේශපාලන බලය ලබාගැනීම සඳහා කරන ක්‍රියාදාමයන් පිළිකුල් සහගතය.   


මෙහිද පාලකයන්ට සිදුවී ඇත්තේ තමන්ට තනතුරු ලබාගැනීමට ධනය හා ශ්‍රමය වැය කළ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට අවනත වීමයි. ගෝතමාලාව ලතින් ඇමෙරිකාවේ මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ මධ්‍යස්ථානයක් වී ඇත්තේ මේ නිසාය.   


ගිනිකඳු 37 සහ ජනපතිවරු 35 දෙනා   


මේ රටේ මෙතෙක් පාලන බලය ලබාගත් ජනාධිපතිවරුන් 35 දෙනාගෙන් රට පුරා ඇති ගිනිකඳු 37න් රටට සිදුවූ හානියට වැඩි හානියක් සිදුවිය. පාලකයින් මේ කියන ගෝතමාලාව වළ පල්ලට යැවූ හැටි දැක්වෙන උදාහරණ කීපයක් පමණක් දැක්වීම කාලෝචිත වන්නේය. රියෝස් මොන්ටි (RIOS MONTI) මෙහි හිටපු ජනාධිපතිවරයෙකි. රට පුරා සිදුවුණ අමානුෂික ක්‍රියාවන් සියයකට වැඩි සංඛ්‍යාවක් සම්බන්ධයෙන් ඔහු බලයෙන් පහවී වසර ගණනාවකට පසු එනම් 2012 දී ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය. මිනීමැරුම් 1771ක්, ස්ත්‍රී දූෂණ 1445ක් ආදී චෝදනා ද ඔහුට එරෙහිව එල්ල විය.   


ඔහු මෙහෙය වූ රජයේ සියලු නීති විරෝධී ක්‍රියාවලට ඔහු වගකිවයුතු බව ගෝතමාලාවේ ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය. 2013 මැයි මාසයේ දී ඔහුට වසර 80ක සිර දඬුවමක් ශ්‍රේෂ්ඨාධිකරණය මගින් නියම කළේය. ඒ වනවිට ඔහුගේ වයස අවුරුදු 85කි.   


රට වැනසූ හිටපු ජනපති   


මෙහි මුල් පුටුවේ සිටි තවත් අයෙකි අල්පොන්සෝ පෝටිලෝ (ALFONSO PORTILLO) ඔහු ද දූෂිතම ජනපතිවරයෙකි. මුළු පවුලටම රටේ ප්‍රධාන තනතුරු ලබාදී තම උපන් ප්‍රදේශය පමණක් දියුණු කරමින් ජීවිතාන්තය තෙක් බලයේ රැඳී සිටීමට වෙර දැරූ දේශපාලකයෙකි. ජනතා විරෝධය මධ්‍යයේ ඉල්ලා අස්වූ ඔහු 2010 ජනවාරි මස ගෝතමාලාවෙන් පලා යද්දී අත්අඩංගුවට ගනු ලැබීය.   


මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට අතදීම සම්බන්ධයෙන් ඇමෙරිකාවේ නිව් යෝර්ක්හි ඔහුට එරෙහිව විභාග වූ නඩුවක දී සිරදඬුවම් හිමි විය. ඔහු ගෝතමාලාවේ මහා භාණ්ඩාගාරයෙන් සොරකම් කළ මුළු මුදල ඩොලර් බිලියන 2කට වැඩි බව අනාවරණය විය.   


මා ඉහතින් දැක්වූයේ මේ විනාශ මුඛයට පත්වූ දේශයේ හිටපු දූෂිත පාලකයින් දෙදෙනකුගේ පැටිකිරියෙන් බිඳක් පමණකි. මෙවැනි රටවල් වළ පල්ලට යනවා මිස වෙන කොහෙ යන්නද?   


වත්මන් ජනපති රට කන හැටි  


වත්මන් ජනපති වූ හිටපු විකට නළුවාවට ද දැන් දැන් විවිධ දූෂණ චෝනා එල්ල වී තිබේ. ඔහුගේ සහෝදරයා සහ වැඩිමහල් පුත්‍රයා මාර්ගයෙන් ඔහු රාජය දේපොළ අවභාවිත කරන අයුරු ජාත්‍යන්තර මාධ්‍යයන්ට රහසක් ​නොවීය.   


 ඔහුගේ ලොකු අයියා වූ සැමුවෙල් සහ ලොකු පුතා වූ මොරලෙස් ඔහුටත් වඩා ඉහලින් පාලන තන්ත්‍රය මෙහෙයවන බව විදේශ මාධ්‍යයන්හි මතයයි. රජයේ ඉහළම තනතුරු දරන්නේ මොවුන්ය. කැබිනට් මණ්ඩලය ද මොවුන්ට අවනතය. රාජ්‍ය දේපොළ අවභාවිත කිරීම. මුදල් විශුද්ධි කරණය ආදී චෝදනා රැසක් ඔවුන්ට එරෙහිව එල්ල වී තිබේ. මෙවැනි රටක ජීවත්වන ජනතාවට කාගේ පිහිටද? විකට නළුවෙකු තම පාලකයා බවට පත්කර ගැනීම මේ රටේ අමන ජනතාව සිදුකළ අමන ක්‍රියාවක් නොවන්නේ ද?   


ගෝතමාලාවේ වත්මන් ජනපති ජිමී මොරාලෙස්ට එරෙහිව ලිංගික අපචාර පිළිබඳ චෝදනා රැසක් ද එල්ල වී තිබේ. ඔහු ජනපති තනතුරේ බලය යොදවමින් රජයේ විවිධ අමාත්‍යාංශවල සේවය කරන තරුණියන්ට ලිංගික අතවර සිදුකළ බවට එල්ල වූ චෝදනාවලට ඔහුට මුහුණ පෑමට සිදුව තිබේ.   


සේනාධිනායක වශයෙන් ජනපති තනතුරට ලැබෙන කෝටි ගණනක වැටුපට අමතරව ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් මාස් පතා ඩොලර් 7300ක (රුපියල් ලක්ෂ 13ක්) දීමනාවක් ඔහු විසින් ලබාගෙන ඇති බව හෙළි කළේ ද ජාත්‍යන්තර මාධ්‍යයි.   


මෙය නීති විරෝධී ක්‍රියාවක් බව හෙළිවීමෙන් පසු ජනපතිවරයා තමා ආරක්ෂක අමාත්‍යාංශයෙන් ලබාගත් ඩොලර් 60,000ක මුදලක් (රුපියල් නම් ලක්ෂ 108ක්) රජයට ආපසු ගෙවා දැම්මේය.   


මා ඉහතින් දැක්වූයේ විවිධ රටවල් වළ පල්ලට යන අයුරු දැක්වීමේ උදාහරණ කීපයක් පමණකි. මෙවැනි දූෂිත ක්‍රියා සිදුවන රටවල් වළ පල්ලට යන්නේ පොදු ජනතාවගේ මරහඬ මධ්‍යයේය.   

 

 

 

 

සිරී හීන්පැල්ල   
නිව් යෝර්ක් නුවර සිට ලියයි.