යාපන සරසවි ක්‍රිකට් පිලට නායකත්වය දෙන දඹුල්ලේ චානක


 

යාපනය විශ්වවිද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායමට නායකත්වය දෙන අපූරු ක්‍රිකට් ක්‍රීඩකයකු පසුගියදා අපට හමුවිය.   
මෙම දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයා නමින් චානක කුරුකුලසූරිය වෙයි. ඔහු දඹුල්ල පොහොරන්වැව එකමුතු මාවතේ පදිංචිව සිටී. ඔහු දැනට යාපනය විශ්වවිද්‍යාලයේ කළමණාකරන හා වානිජ පීඨයේ ඉගෙනුම ලබයි.

යාපනය විශ්වවිද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායමට නායකත්වය ලබාදෙන පළමු සිංහල ක්‍රීඩකයා චානක වීම විශේෂත්වයකි. එම කණ්ඩායමේ දමිල ක්‍රීඩකයන් දස දෙනෙකුත් සිංහල ක්‍රීඩකයෝ පස්දෙනෙකුත් සිටිති. මේ සියලුදෙනා එකම අම්මාගේ දරුවන් ලෙස ක්‍රීඩා කිරීම මෙන්ම සිය අධ්‍යාපනය ලබන විශ්වවිද්‍යාලයේ කීර්තිනාමය වෙනුවෙන් ආදර්ශමත්ව කටයුතු කිරීම පිළිබඳව අප අගේ කළ යුතුව තිබේ.   


ජාති බේදය, ආගම් බේදය, වර්ග බේදය, පළාත් බේදය කියන විෂබීජ විශාල වශයෙන් උතුර දකුණ පුරා පැතිර යන මොහොතක යාපනය වැනි විශ්වවිද්‍යාලයක, දඹුල්ල වැනි බහුතර සිංහල වැසියන් පදිංචිව සිටින ප්‍රදේශයක තරුණයකු, බහුතර ද්‍රවිඩ තරුණයන් නියෝජනය කරන සරසවි ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට යොදා ගැනීම ඉතාම ආදර්ශමත් ක්‍රියාවලියකි. සංහිඳියාවකි.   


චානක කුරුකුලසූරිය ක්‍රීඩකයා ලැබූ ජයග්‍රහණ රටේ බොහෝ දෙනෙක්ද දඹුල්ලේ බොහෝ දෙනෙක්ද නොදනිති. මරණාධාර සමිතියක සභාපති වරයෙක් ලෙස පත්වුවද උපහාර ලබන යුගයක යාපනය විශ්වවිද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායමට නායකත්වය ලබාදෙන පළමු සිංහල ක්‍රීඩකයා ඇගයීමට ලක් නොවන්නේ මන්දැයි අපි ඔහුගෙන් මුලින්ම විමසීමක් කළෙමු. හිස පහත් කොට ඉතා සුන්දර සිනාවකින් සංග්‍රහ කළ තරුණ ක්‍රීඩකයා ‘මට මගේ ගුරුවරුන්, දෙමාපියන්, සහෝදර සහෝදරියන් වගේම මගේ සහෝදර ක්‍රීඩකයන්ගෙන් ලැබෙන ඇගයීමට වඩා වෙන කිසිම දෙයක් වැඩක් නෑ. මොකද මට ඒක මහමෙරක් වගේ වටිනවා. අනික මම ඇගයීමක් කියන එක ඒ තරම් හිතුවේ නෑ.... ජයග්‍රහණ තමයි බලාපොරොත්තුව. 

 
ඔහු එසේ සරල පිළිතුරක් ලබාදී ක්‍රීඩකයකුගේ තිබිය යුතු නිහතමානී භාවයත්, විනයගරුක භාවයත් පෙන්වීය. කෙසේ වෙතත් අපි තවදුරටත් චානක කුරුකුලසූරිය නම් වූ ක්‍රීඩකයාගෙන් සිය ක්‍රීඩා දිවිය පිළිබඳව විමසීම් කළෙමු.   
‘මම කුඩා කාලයේ ඉඳලම ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කළා. ඒ නිසා අද මගේ ඉගෙනීම් කිසිවක් අතපසු කර ගන්නේ නැතිව ක්‍රීඩා දිවියත් සාර්ථක කරගන්න මම මහන්සි වුනා.   

 

 

මම මුලින්ම පහවසර දක්වා ​ඉගෙන ගත්තේ දඹුල්ල නගරයට ආසන්න අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් කිදල්හිටියාව ප්‍රාථමික විදුහලේ. පස්සේ අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළු වුනා. ඒ පාසලේදී තමයි මට කෝසල අරවින්ද සර් හමුවුණේ. එතුමා මගේ බලාපොරොත්තු තවත් පෝෂණය කළා. කීර්ති ගුණරත්න සර් ඇතුළු ගොඩක් දෙනා මගේ ක්‍රීඩා විලාශය නිසාම මට මේ ගමන එන්න උදව් කළා.   


මම 11න් පහළ සිට 19න් පහළ දක්වාම විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායමේ විවිධ තනතුරු දරමින් ක්‍රීඩා කළා. විද්‍යාලයට විශාල ජයග්‍රහණ ගෙනත් දෙන්න දායක වුනා. ඒ වගේම අනුරාධපුර ක්‍රිකට් ක්‍රීඩා සමාජ කීපයකම මට සෙල්ලම් කරන්න අවස්ථාව වගේම තනතුරු ලැබුණා.   


2014 වසරේ තමයි මම යාපනය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා වානිජ පීඨයට ගියේ. එහේදීත් මගේ ඉගෙනුම්වලට අමතරව ක්‍රිකට් කණ්ඩායමට එකතුවෙන්න අවස්ථාව උදාවුණා. එහිදී උපනායකයා ලෙසත් දැන් කණ්ඩායම් නායකයා ලෙසත් කටයුතු කරනවා. මගේ කණ්ඩායමේ දමිල සහෝදරයෝ 10ක්, සිංහල සහෝදරයෝ පහක් ඉන්නවා. අපි එක අම්මාගේ දරුවෝ ව​ගේ තමයි ක්‍රීඩා කරන්නේ.   


අපි පළාත් විශ්වවිද්‍යාල ක්‍රීඩා තරගවලින් යාපනේ විශ්වවිද්‍යාලයට ජයග්‍රහණ රැසක් අත්කර දුන්නා. විශ්වවිද්‍යාලයේ අපේ පුහුණුකරු ඩැනියල් මතියලගන් සර් අපිව හොඳට පුහුණුකරලා ආදරයෙන් කටයුතු කරනවා. මගේ උප නායක ජනන්දන් සහෝදරයා හා කණ්ඩායමේ සියලු සහෝදරයෝ මට ගොඩක් ආදරෙයි.   


බොහෝදෙනෙක් සමාජයේ ජාති භේදය, ආගම් භේදය ඇති කරන්න උත්සාහ කළත් අපි ක්‍රීඩාවෙන් අපේ රටේ එකමුතුභාවයට ​ගොඩක් උදව් කරනවා. ආදර්ශ දෙනවා. ඉදිරියටත් මම මගේ සහෝදරයන් සමග මේ ක්‍රීඩා දිවිය සාර්ථක කරගන්නවා. මගේ ජයග්‍රහණ සියල්ල පිටුපස විශාල ශක්තියක් වුණේ මගේ ආදරණීය තාත්තා කේ.එස්.ඩී. සරත්චන්ද්‍ර, අම්මා වසන්තා ඒකනායක වගේම මගේ සහෝදර සහෝදරියන්.


මගේ තාත්තා, අම්මා නිරන්තරයෙන් ඉතා දුක්මහන්සිවෙලා අපිව මේ තත්ත්වයට ගන්න කළ කැප කිරීම් මම අගේ කරනවා. ඒ නිසා තමයි මට අද දකුණේ ඉපදිලා උතුරේ ක්‍රිකට් කණ්ඩායමට නායකත්වය දෙන්න හැකියාව ලැබුණේ.’

 

 

 

 

 

 

දඹුල්ල 
කාංචන කුමාර ආරියදාස