මේ දවස්වල කුකුළු මස්වල වස විස තියෙනවද?


 

 

පසුගියදා රටේ සිදු වූ අනපේක්ෂිත ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව මෙරට ප්‍රජාව අතර මාංශ පරිභෝජනය ඉතා පහතට ඇද වැටී ඇතැයි සඳහන් වේ. මේ නිසා පශු සම්පත් හා සත්ව ​ගොවිපළ පවත්වාගෙන යනු ලබන ජනතාව කර්මාන්තය බිඳ වැටීම නිසා ආර්ථිකමය වශයෙන් සහ වෘත්තිය වශයෙන් දැඩි අපහසුතාවකට පත්ව සිටින බව එම ක්ෂේත්‍රයේ නියැළී සිටින බොහෝ දෙනා ප්‍රකාශ කරති.


විශේෂයෙන්ම මෙරට කුකුළු මස් කර්මාන්තය ගැන බොහෝ දෙනා කතා වන්නේ ඒවාට වස විස එක් කර ඇතැයි යන කුතුහලය ඇතිවය. ඒ සම්බන්ධයෙන් සහ මෙම කර්මාන්තයේ වත්මන් තත්ත්වය ගැන මෙරට ප්‍රධාන පෙළේ නිෂ්පාදන ආයතනයක් වන නෙල්නා ෆාම් සමාගමේ අධිපති ගුණපාල නානායක්කාර ඉරිදා ලංකාදීපයට අදහස් ප්‍රකාශ කළේ මෙලෙසිනි. පෝෂණවේදී තොරතුරුවලට අනුව ප්‍රෝටීනවල ඌනතාවක් ජනතාව අතර තිබෙන බව තහවුරු කරගෙන තිබෙනවා. මේ නිසා මෙම කර්මාන්තය ගොඩනැංවීම උදෙසා රුපියල් බිලියන දෙකක විතර ආයෝජනයක් ඇති බව සඳහන් වෙනවා. වතාවක කුරුළු උණ ඇති වූ කාලයේදී මෙම ක්ෂේත්‍රයේ කොපමණ පිරිසක් නියැළි සිටිනවාද යන්න අප සොයා බැලුවා. සෘජුව හා වක්‍රව ලක්ෂ පහකට එහා වූ පිරිසක් මෙම කර්මාන්තය වටා රැඳී කටයුතු කරන බව එහිදී අපට දැන ගන්නට ලැබුණා. ඊට කුකුළු ගොවිපොළ කර්මාන්තය සහ බඩඉරිඟු කර්මාන්තයේ නියැළී සිටින ජනතාව නම් කරන්නට පුළුවනි. ලංකාවේ බඩඉරිඟු කර්මාන්තයේ (වගාවේ) නිෂ්පාදන සියයට 75 ක් විතර භාවිතා කරන්නේ මෙම කුකුළු ගොවිපළ වෙනුවෙනුයි.


බඩඉරිඟුවලට මෙතරම් ඉල්ලුමක් තිබෙන්නේ කුකුළු කෑම සඳහා ඒවා වැඩියෙන්ම යොදා ගන්නා නිසයි.


අද රටේ මාසයකට කුකුළු මස් කි. ග්‍රෑම් මිලියන 15 ක් විතර නිෂ්පාදනය වෙනවා. ඒක පුද්ගල වාර්ෂික පරිභෝජනය වන්නේ කි​ලෝ ග්රෑම් 8 ක්. 2030 වසර වන විට ප්‍රමාණය දෙගුණ වේ යැයි පෝෂණවේදී අංශ සඳහන් කරන්නේ ඔවුන් විසින් කරනු ලැබු පර්‌යේෂණවලට අනුවයි. අනෙක් ප්‍රෝටීන සහිත මාංශවලට සාපේක්ෂව අඩු මුදලකට සහ සුලබව තියෙන්නේ මෙම මාංශවීම ඊට හේතුවයි. කෙසේ වෙතත් අද මෙම මාංශ අනුභව කරන්න එපා යන මතයක් සමාජයේ ශීඝ්‍රයෙන් පැතිර යනවා. විශේෂයෙන්ම වස විෂ මිශ්‍ර කර ඇති වගක් සඳහන් වෙනවා. ඒවායෙහි කිසිදු සත්‍යතාවක් නැහැ. ඒ වගේම හෝමෝන වර්ග යොදා ගන්නවාය යන මතයක් සමාජයේ පවතිනවා. එහිද කිසිදු සත්‍යතාවක් නැහැ. ඒ කියන විදියට හෝමෝන යොදාගන්න බැහැ. කුකුළු ගොවිපළ සතුන් සඳහා ආහාර වශයෙන් අප ලබා දෙන්නේ බඩඉරිඟු, සෝයා සහ සහල්. කුකුළු කෑම මිශ්‍ර කිරීමට යොදාගන්නෙ පොල් තෙල් හෝ සෝයා තෙල්. මේ නිසා කිසිදු විසක් මිශ්‍ර නොවන වග සඳහන් කරන්න පුළුවනි.


කෙසේ වෙතත් අද මෙම නිෂ්පාදන අංශයේ අඩුවක් වෙලා තිබෙනවා.


හෝටල සහ භෝජනාගාර සේවාවන්හි ඇදවැටීම නිසා 50% කින් විතර නිෂ්පාදන පහත වැටී තිබෙනවා. එසේ වූයේ ලංකාවේ වඩාත් ස්වයංපෝෂිතව තිබූ කර්මාන්තයක් වීම ඉතා කනගාටුදායක තත්ත්වයක්. මේ කර්මාන්තය පමණයි මේ ර​ටේ ජනතාවගේ පරිභෝජනය සඳහා බිත්තර සහ කුකුළු මාංශ නිෂ්පාදන රට ඇතුළේ නිෂ්පාදනය කර ගන්නා එකම කර්මාන්තය. මේ රටේ නිපදවීම හැර පිටරටවලින් ආනයනය කරන්නේ නැහැ.


අපි නෙල්නා ෆාම් සමාගම ගත්තොත් සම්පූර්ණයෙන්ම ශ්‍රී ලාංකීය වූ ප්‍රමිති සහගතව පවත්වාගෙන යන ආයතනයක්. ISO 9001- ISO 22000 යන ප්‍රමිති සහතික දිනා ගත් අපි ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව නිෂ්පාදන කරන අතරේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සමග ඉතා සමීපව කටයුතු කරන ආයතනයක්.


එ් අනුව අපේ ඉදිරි අරමුණ ද වන්නේ ශ්‍රී ලාංකීය සමාගමක් ලෙස නෙල්නා ආයතනය ජාත්‍යන්තරය කරා ගෙන යාමයි. ඒවගේම ඉතා අනර්ඝ නිෂ්පාදන අඩු මිලක් යටතේ අපේ ජනතාවට ලබාදෙන බවත් කියන්න පුළුවනි.


මෙම ක්ෂේත්‍රයේ දී කිලෝවක මිල තීරණය කරන්නේ කවුරුන්ද?


ඉස්සර රජයෙන් පාලන මිලක් තිබුණා. ඒ වගේම මෙම මාංශ අත්‍යාවශ්‍ය ආහාර අතරට ඇතුළත් කර තිබෙනවා. දැන් පාලන මිලක් සඳහා මෙම ක්ෂේත්‍රයේ ඉල්ලීම මත මිල ගණන් පවත්වාගෙන යනවා. නිෂ්පාදන සඳහා වෙළෙඳපොළ ඉල්ලුම අනුව නිෂ්පාදන වියදමට සාපේක්ෂව මිල යොදා ගන්නවා.


දැනට කිලෝවක සිල්ලර මිල රුපියල් 400 ත් 460 ත් අතර වන බව සඳහන් කරන්න පුළුවනි. ලංකාවේ මෙම ක්ෂේත්‍රයේ මහා පරිමාණ ආයතන 10 ක් පමණ සහ මධ්‍යම හා සුළු පරිමාණ වශයෙන් 30 ත් 32 ත් අතර ප්‍රමාණයක් තිබෙන බව වාර්තා අනුව කියන්න පුළුවනි.


නෙල්නා ප්‍රධාන පෙළේ ආයතනයක් ලෙසත් ශ්‍රී ලාංකීය ආයතනයක් ලෙසත් සාඩම්බරව සඳහන් කරන්න කැමතියි. මෙම ක්ෂේත්‍රය නගා සිටුවීම සඳහා අප වෙළෙඳපොළ හිමිකරුවන් වෙත ශීතකරණ පවා ලබා දී ලොකු සේවාවක් කරන බවත් මේ මොහොතේ කියන්න කැමැතියි. අඩුම වියදමකින් පාරිභෝගිකයාට ගත හැකි පරිදි ඉතා හොඳ නිෂ්පාදන ලබාදීම අප නෙල්නා සමාගමේ අරමුණයි.

 

 

සඳුන් ගමගේ