මෙතෙක් දවස් ඇල්ලූ කුඩු කෝ ?


 

 

“පොලීසිය අල්ලන කුඩුවලට මොකද වෙන්නේ?”   
“මෙතරම් කුඩු මෙරටට එන්නේ කොහේ සිටද?”   
“අල්ලන කුඩු නැවත නැවත යොදා ගනිමින් වැටලීම් කළ බව පෙන්වනවාද?”   
“ඒවා හොර පාරෙන් නැවතත් ජාවාරම්කරුවන් අතට පත් වෙනවාද?”   


අද වන විට ජනතාව අතර කතා බහට ලක්වෙමින් ඇති ප්‍රධාන මාර්තෘකාවක්වී ඇත්තේ පොලීසිය වැටලීම්වලින් අත්අඩංගුවට ගන්නා “කුඩු” නැතහොත් හෙරොයින් වැනි මත්ද්‍රව්‍යවලට සිදුවන්නේ කුමක්ද යන්නය. ඉකුත් වසර කිහිපයට සාපේක්ෂව ගෙවී ගිය 2018 වර්ෂයේදී කුඩු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් වූ ප්‍රවෘත්ති මාධ්‍ය මගින් නිතර නිතර වාර්තා විය. අත්අඩංගුවට ගත්තත් ඒවාට සිදුකරන්නේ කුමක්ද යන්න මාධ්‍ය මගින් ජනතාව එසැනින් දැනුම්වත් කිරීමක් සිදු නොකිරීම පිළිබඳව මහජනතාව අතරේ වුවද ඇත්තේ නොමනාපයකි. කුඩු අල්ලූ බවට නිතර නිතර මාධ්‍ය මගින් පෙන්වීම තුළ අප රටේ මත්ද්‍රව්‍ය භාවිතය වැඩිවීම හෝ නො එසේනම් රට තුළ මත්ද්‍රව්‍ය සංසරණය වීම ශීඝ්‍ර ලෙසින් වර්ධනය වීමක් සිදුවී ඇත්ද යන්න සම්බන්ධයෙන් අදාළ බලධාරීන්ගෙන් විමසා බැලිය යුතු උචිතම කාලය මෙයයි.   


මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අමතරව, සුරාබදු දෙපාර්තමේන්තුව, කොළඹ අපරාධ කොට්ඨාසය, සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය, ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය, දිසා දූෂණ මර්දන අංශ මෙන්ම ප්‍රාදේශීය වශයෙන් සෑම පොලිස් ස්ථානයක්ම මත්ද්‍රව්‍ය වැටලීම් සිදු කරයි. ඒ අනුව එලෙස අත්අඩංගුවට ගනු ලබන මත්ද්‍රව්‍ය අදාළ අධිකරණයන් වෙත ඉදිරිපත් කිරීම්ද සිදුවෙයි. මෑත කාලයේදී විශාල වශයෙන් මත්ද්‍රව්‍ය වැටලීම් සිදු වීමේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නම නිතර නිතර කියැවෙන්නට විය.   
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය නො එසේනම් අප කවුරුත් දන්නා “නාකොටික්” වාර්තා අනුව මත්ද්‍රව්‍ය වැටලීම්වල ශීඝ්‍ර වර්ධනයක් සිදුවී තිබේ. එය ආසන්න 2015 වර්ෂයට සාපේක්ෂව බැලූ කල එම කාර්යාංශය මගින් සිදුකළ වැටලීම් මගින් අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ප්‍රමාණය මෙන්ම සැකකරුවන් ප්‍රමාණය ද ඉතා විශාල අගයක් ගනී නම් වශයෙන් සඳහන් කළ නොහකැකි විෂ මත්ද්‍රව්‍ය අද ​ෙවනවිට අප රට තුළ ව්‍යාප්ත වෙමින් ඇත. විශේෂයෙන් කේරළ ගංජා, හෙරොයින්, කොකේන්, අයිස්, අබිං, සින්තටික් ඩ්‍රග්ස්, හසීස්, කාත් වැනි මත්ද්‍රව්‍ය ඒ අතර වෙයි.   


2015 වර්ෂයේ සිට 2018 වර්ෂය දක්වා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් සිදුකර ඇති මෙම සුවිශේෂීත වැටලීම් මගින් කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 657ක්, කෝකේන් කිලෝ ග්‍රෑම් 1,510 ක්, සහ හෙරොයින් කිලෝ ග්‍රෑම් 843ක් අත්අඩංගුවට ගෙන ඇත. මෙම මත්ද්‍රව්‍ය වැටලීම් සමඟ සැකකරුවන් 58 දෙනෙකු සහ එක් සැකකාරියක එම කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම පිරිස් අතර විදේශීය සැකකරුවෝද සිටිති. එසේම, 2017 වර්ෂයේදී ගංජා සම්බන්ධයෙන් පුද්ගලයින් 51788ක්, 2018 වර්ෂයේදී පුද්ගලයින් 54685ක් කොකේන් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පුද්ගලයින් 2911ක් සහ හෙරොයින් සම්බන්ධයෙන් පුද්ගලයින් 2017 වර්ෂයේදී 29588ක් සහ 2018 වර්ෂයේදී 40998ක් වශයෙන් අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇතැයි පොලිස් වාර්තා සඳහන් කරයි.   


මෙම වැටලීම් සැලකිල්ලට ගැනීමේදී ඉකුත් 2018 වර්ෂය සුවිශේෂී වර්ෂයක් ලෙසට සනිටුහන් ​ෙවන බව මත්ද්‍රව්‍ය කාර්යාංශය සඳහන් කරයි. එනම් ඉකුත් වර්ෂයේ පමණක් හෙරොයින් කිලෝ ග්‍රෑම් 732ක් මෙම වැටලීම් මගින් අත්අඩංගුවට ගැනීමට හැකිවීමය.   


මෙම සුවිශේෂී වැටලීම් සම්බන්ධයෙන් ප්‍රධාන හේතුවක් ඇත්දැයි මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතාගෙන් අපි විමසීමක් කළෙමු.   
“ලංකාවේ මත්ද්‍රව්‍ය සංසරණය ඉතාමත් ශීඝ්‍ර ලෙස වැඩිවීමක් දක්නට ලැබෙනවා. ජනගහණයට සාපේක්ෂව එය රටතුළ පාවිච්චි කිරීමක් වැඩිවෙලා. නමුත් 2018 වර්ෂය තමයි මත්ද්‍රව්‍ය වැටලීම් වඩාත් සාර්ථකව නිමකළ වර්ෂය ලෙස හැඳින්වීමට හැකිවෙන්නේ. මේ සාර්ථක්තවයට ප්‍රධානම හේතුව විමර්ශන ක්‍රමවේදය වෙනස් කිරීම. පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ සෘජු මග පෙන්වීම යටතේ පොලිස් විශේෂ කාර්ය බළකාය, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සහ සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතාගේ මෙහෙයවීමෙන් මෙම මෙහෙයුම් දියත් කෙරුනා. විශේෂයෙන්ම විමර්ශන ක්‍රමවේදයන් වෙනස් වීම තුළ අපි පුද්ගලයින් තනි තනි වශයෙන් පරීක්ෂාවට ලක්කිරීම්, නිල සුනඛයින් භාවිතයට ගැනීම් වැනි ක්‍රියාමාර්ග වැඩි කළා. මේ සඳහා අපට පොලිස් විශේෂ කාර්ය බළකාය, ශ්‍රී ලංකා රේගුව, ශ්‍රී ලංකා තැපැල් ආදී අංශ උදව් කළා.”   


කෙසේ වෙතත් විමර්ශන ක්‍රමවේදයන් වෙනස් කිරීම තුළින් වැටලීම් විශාල වශයෙන් සිදුකර අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍යවලට සිදුවන්නේ කුමක්ද? යන්න සම්බන්ධයෙන් මහජනතාව තුළ ඇත්තේ කුතුහලයකි. ඒ පිළිබඳව නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙසේ පැවසීය.   


“මේ අල්ලන කුඩුවලට මොකද වෙන්නේ කියලා මහජනතාව අහනවා. ඇත්තටම ජනතාව අතර ඇත්තේ වැරදි අවබෝධයක්. මේ වැරදි අවබෝධය නිවැරදි කරන්න අපි උත්සාහ ගත්තේ නැහැ. දියුණු රටවල නම් අපරාධයන් සඳහා කඩිනමින් දඬුවම් ලබා දෙනවා. ඒත් අපේ රටේ නඩු කටයුත්තක් අවසන් වෙන්න ඉතාමත් දීර්ඝ කාලයක් ගත වෙනවා. ඒ ක්‍රමවේදය ඉතාමත් මන්දගාමීයි. මේ ප්‍රමාදයම තමයි අවාසි තත්ත්වයක් වෙන්නේ. කොහොම වුණත් මේ අල්ලන කුඩු විනාශ කිරීමට නීතිමය ක්‍රමවේදයක් තිබෙනවා. ඒ කියන්නේ නීති රාමුවක් තුළ තමයි මේ ක්‍රමය සිද්ධ වෙන්නේ. මුලින්ම මත්ද්‍රව්‍ය වැටලීම් සිදුකරන පොලිස් බළ ප්‍රදේශය තුළ පිහිටි අධිකරණයේ මහෙස්ත්‍රාත්වරයා වෙත වැටලීම සම්බන්ධයෙන් කරුණු වාර්තා කරනු ලබනවා. අපරාධ නඩු විධාන සංග්‍රහයේ 425 සිට 432 දක්වා වගන්ති ප්‍රකාරව නඩු භාණ්ඩ විනාශ කිරීම සම්බන්ධයෙන් ක්‍රියාපටිපාටිය දක්වලා තිබෙනවා. ඒ අනුව 1984 අංක 13 දරන විෂ වර්ග, අබිං, අන්තරාදායක ඖෂධ වර්ග පිළිබඳ (සංශෝධන) පනත ප්‍රකාරව මෙම මත්ද්‍රව්‍ය විනාශ කළ හැකියි. අධිකරණයේ නියෝග ප්‍රකාරව එනම් මහේස්ත්‍රාත් ආඥාවෙන් පසු එම මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂකවරයා වෙතින් වාර්තාවක් කැඳවනු ලබනවා. ඒ මත්ද්‍රව්‍යවල ශූද්ධබර සෙවීම සඳහායි. ඒ අනුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් නඩුව අවසන් ​ෙවනතුරු නඩු භාණ්ඩ රඳවා තබා තිබෙන්නේ රජයේ රස පරීක්ෂකවරයා භාරයේයි.”   


මෙරට අධිකරණයක නඩු කටයුත්තක් විභාග​ෙවන අවස්ථාවලදී නඩු භාණ්ඩ විනාශ කිරීමක් සිදුනොවෙයි. නඩු කටයුතු ප්‍රමාදවීම තුළම මෙවැනි නඩු භාණ්ඩ එනම් හෙරොයින් තොග රජයේ රස පරීක්ෂකවරයා භාරයේ ගබඩාකොට තිබේ. එමෙන්ම, මහා පරිමාණ නොවන හෙරොයින් ආදී මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් නඩු කටයුතු අවසන් වූ අවස්ථාවලදී අදාළ අධිකරණ මගින් එම මත්ද්‍රව්‍ය මහේස්ත්‍රාත්වරයාගේ අධීක්ෂණය යටතේ විනාශ කෙරයි. විශේෂයෙන්ම අධිකරණවල නඩු භාණ්ඩ කාමරවල මෙම නඩු භාණ්ඩ රඳවා තැබෙන අතර, නඩු කටයුතු අවසන් වීමෙන් පසු ඒවා එලෙස විනාශ කෙරෙයි. ඒ සම්බන්ධයෙන් මාධ්‍ය මගින් සිදුවන අනාවරණයන් ඉතාමත් අල්පවී ඇත්තේ ඒවා අධිකරණ කටයුතු බැවිනි.   


“මත්ද්‍රව්‍ය සම්බන්ධ වැටලීම් සාර්ථක ​ෙවන්නේ නඩු විභාගයන් අවසානයේදී සැකකරුවන් වරදකරුවන් වූ පසුවයි. එසේ නොවුනහොත් එම වැටලීම්වලින් පලක් නැහැ. සමහර නඩු භාණ්ඩ මහාධිකරණ නඩු භාණ්ඩ කාමරවල රඳවා තැබෙනවා. රජයේ රස පරීක්ෂකවරයා යටතේ ඇති නඩු භාණ්ඩවලට හෝ අධිකරණවල නඩු භාණ්ඩ කාමරවල තිබෙන නඩු භාණ්ඩවලට පූර්ණ ආරක්ෂාවක් ලැබෙනවා. එම නඩු භාණ්ඩ කිසිම අවස්ථාවක අස්ථානගතවීමක් හෝ වෙනත් පාර්ශ්වයක් වෙත මාරුවීමක් සිදුවෙන්නේ නැහැ. ඒ සම්බන්ධයෙන් වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන්න පුලුවන්.” නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් එසේ පැවසීය.   


මත්ද්‍රව්‍ය විනාශ කිරීම සම්බන්ධයෙන් වන ක්‍රමවේදය පිළිබඳව අප, පොලිස් විශේෂ කාර්ය බළකාය, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සහ සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතාගෙන් ද විමසීමක් කළෙමු.   


“වැටලීම් සිදුකර අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍යවලට සිදුවන්නේ කුමක්ද යන්න සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් විය යුතුමයි. නඩු විභාග අවසන් වීමෙන් පසු අධිකරණ නියෝග මත අදාළ නඩු භාණ්ඩ සම්බන්ධයෙන් නීතිපතිවරයා වෙතින් උපදෙස් ලබා ගැනීමෙන් පසු ඒවා විනාශ කිරීම සඳහා කටයුතු කෙරෙනවා. ඉකුත් 2017 වසරේ ජනවාරි මස 17 වැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහභාගීත්වයෙන් යුතුව කොකේන් කිලෝ 927ක ප්‍රමාණයක් පුත්තලම සිමෙන්ති කර්මාන්ත ශාලාවේ දහනාගාරයේ දමා ප්‍රසිද්ධියේ විනාශ කරනු ලැබුවා. ඒ සඳහා රුපියල් මිලියන 725ක් වැය වුණා. මේ විදියට අල්ලන කුඩු තමයි අධිකරණ නියෝග ප්‍රකාරව එලෙස විනාශ කරනු ලැබුවේ. ඒ වගේම තවත් එවැනිම තොගයක් ඉදිරියේදී විනාශ කිරීම සඳහා මේ ​ෙවනවිට නීතිපතිවරයා වෙතින් උපදෙස් ඉල්ලා තිබෙනවා. දැනට රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව භාරයේ ඇති කොකේන් කිලෝ ග්‍රෑම් 1320ක ප්‍රමාණයක් එලෙස විනාශ කර දැමීම තමයි මේ දෙවැනි අදියර ලෙස සිදුවෙන්නේ.”   


මෙම මත්ද්‍රව්‍ය විනාශ කළ යුතු ​ෙවන්නේ සෙල්සියස් අංශක 2200ක උෂ්ණත්වයකින් යුක්තව බවත් එවැනි උෂ්ණත්වයකින් යුතු ස්ථානයක් ලෙසට මෙරට හඳුනාගෙන ඇති එකම ස්ථානය පුත්තලම සිමෙන්ති කම්හල බවත් පොලීසිය පවසයි. එමෙන්ම විනාශ කරනු ලබන මෙම මත්ද්‍රව්‍යවලින් මනුෂ්‍ය ශරීරයට කිසිදු ආකාරයක හෝ ප්‍රතික්‍රියාවක් සිදු නොවීමට ජාතික විලවුන්, උපකරණ, ඖෂධ නියාමන අධිකාරියෙන් වාර්තා කැඳවනු ලබනවා. මෙම මත්ද්‍රව්‍ය විනාශවීම තුළින් නැවත කිසිම සංඝටකයක් ඉතිරි නොවිය යුතුය, ඉන් පරිසර හානියක් සිදු නොවිය යුතුය සහ මනුෂ්‍යන්ට කිසිදු හානියක් සිදු නොවිය යුතුය යන කාරණා තුන පදනම් කර ගනිමින් මෙම වාර්තාව සැකසෙන අතර, අනතුරුව එම වාර්තා පදනම් කර ගනිමින් මෙම මත්ද්‍රව්‍ය විනාශ කරනු ලබයි.   


ජාත්‍යන්තර හෙරොයින් මාෆියාවේදී මත්ද්‍රව්‍ය සංසරණය වෙන හොඳම ස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත්ව ඇත්තේ අප රට පිහිටා ඇති ස්වභාවික පිහිටීම හේතුකොටගෙන බව අප කවුරුත් දනිමු. එයම මෙරට ජාවාරම්කරුවන්ට සිය ජාවාරම සඳහා රුකුලක්ව ඇත. රට තුළම මත්ද්‍රව්‍ය ගලා ඒම නැවැත්වීමට ශ්‍රී ලංකා පොලීසිය, නාවික හමුදාව මෙන්ම ශ්‍රී ලංකා රේගුවද විශාල දායකත්වයක් දක්වයි. කෙසේ වෙතත් ආරක්ෂක අංශවල දැලෙන් රිංගා ගොස් මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම ප්‍රබල ලෙස කරගෙන යාමට මේ කියන ජාවාරම්කරුවන් සමත්වී ඇත.  


රටක් වශයෙන් මේ මත් උවදුර දෙවැනි වන්නේ යුද්ධයකට පමණි. එසේනම්, යුක්තිය පසිඳලන සියලු ආයතන මෙන්ම පොදු මහජනතාව ඇතුළු සමස්ත සමාජයම මේ පිළිලය රටින් තුරන් කර දැමීමට එක්රොක් විය යුතුවෙයි. විනාශ කිරීමට කුඩු එකතුවන්නේ ඒවා රට තුළට එන බැවිනි. එසේම අප විසින් ඒවා තරයේ ප්‍රතික්ෂේප කරනු ලැබුවහොත් විනාශ කිරීමට දෙයක් ඉතුරු නොවෙයි. විශේෂයෙන්ම බලධාරීන් මේ පිළිබඳව වගකීමෙන් යුතුව වැඩ කළ යුතුය. අධිකරණවල පවතින නඩු ප්‍රමාදය වළක්වාලමින් නව නීති සම්පාදනය කරමින් දඬුවම් ලබාදීමේ ක්‍රමවේදය ඉක්මන් කළ යුතුවෙයි. අද රට ගිලගෙන ඇති මේ මත්කුඩු රකුසාගෙන් රට බේරාගැනීමේ මහා වගකීම පැවරී ඇති නිසි බලධාරීන්ගේ ඇස් වහා විවෘත විය යුතු වෙයි. තවමත් අපරට මේ මත් උවදුරෙන් බේරාගත හැකි මට්ටමින් ඇත. ඒ සඳහා සමාජයක් වශයෙන් වූ සාමූහික හැඟීම අප සියලුදෙනාගේම සිත් සතන් තුළ ජනිතවෙනු ඇතැයි සිතමු. 

 

 

 

නිමන්ති රණසිංහ