මිහිඳු හිමිගේ ධාතු නිධන් කළ රජගල ලෝක උරුමයකට යෝජනා වෙයි


සෙල්ලිපිය සහිත ස්ථානය

ප්‍රතිසංස්කරණය කළ ගොඩනැගිල්ලක්

 

“ගම අසල පිහිටි තේක්ක වත්තක් හරහා වැටී ඇති අඩි පාරකින් රජගලකන්ද නමැති කැලෑබද කන්දකට පැමිණේ. එහි නටබුන් අතර ස්තූපයක හා වටකුරු ගොඩනැගිල්ලක ද ගල් කුලුනු සහිත හතරැස් පායක හා නෙළා අවසන් නොකළ සෙල්මුවා බුදු පිළිමයක ද නෂ්ටාවශේෂයෝ දක්නට වෙත්. අඩි 19ක් උසැති මේ බුදුරුව අවුකන ප්‍රතිමාව සිහිපත් කරවයි.” යනුවෙන් 1959 පුරාවිද්‍යා වාර්තාවක දැක්වේ.   


එදා වනයෙන් වැසී තිබුණු රජගල පුදබිම ඉදිරියේ දී ලෝක උරුමයක් වීමට නියමිත බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මේ සඳහා අවශ්‍ය කටයුතු සියල්ල මේ වනවිට සම්පූර්ණ කර එය යුනෙස්කෝ සංවිධානයට යොමුකර ඇත.   


ශ්‍රී ලංකාවේ පුදබිම් අතරින් රජගලතැන්න යනු යුද්ධය හේතුවෙන් රටෙන් වසන් වී පැවැති භූමියකි. යුද්ධයෙන් පසු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල ඉතිහාස හා පුරාවිද්‍යා අධ්‍යයන අංශයත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවත් එක්ව කරන ලද ව්‍යාපෘතියකින් රජගල තැන්නේ අතීතය යළි මතුකරගෙන එහි කොටස් රැසක් සංරක්ෂණය කර තිබේ.   
රජගල යනු මිහින්තලය, රිටිගල, අරන්කැලේ, කුඩුම්බිල ආදී වනගත භික්ෂු වාසස්ථාන මෙන් අනුරාධපුර යුගයේ දී රට පුරා ප්‍රසිද්ධියට පත්ව තිබූ වනවාසී භික්ෂු මධ්‍යස්ථානයකි. වර්තමානයේ රජගල, රජගලතැන්න, රාස්සහෙළ යන නම් භාවිතයේ පැවැතිය ද අතීතයේ මේ ස්ථානයට ගිරිකුම්භීල යන නම භාවිත කර ඇති බව සෙල්ලිපි සාධක අනුව තහවුරු වේ. සද්ධාතිස්ස රජුගේ පුත් ලජ්ජිතිස්ස කුමාරයා ගිරිකුම්භීල විහාරය කරවූ බවට වංශකතා සාධකවලින් මෙන් ම ශිලා ලිපිවලින් ද පැහැදිලි වේ. මෙවැනි ශිලා ලිපි හතක් රජගලින් ලැබී ඇත.   


එල්ලාවල මේධානන්ද හිමියන් පවසන්නේ පාලි භාෂාවෙන් කුම්භීල යනු කිඹුලාට කියන නමක් බවයි. ගොනාගොල්ල ප්‍රදේශයේ සිට බලනවිට වැතිරී සිටින කිඹුලකු ලෙසින් අදට ද රජගල කඳුවැටි දර්ශනය වේ. එබැවින් අතීතයේ කිඹුල් කන්ද යන අර්ථය ඇතිව කුම්භීලගිරි යන නම මෙයට භාවිත කරන්නට ඇති බව මේධානන්ද හිමියෝ කියති.   
සද්ධාතිස්ස රජු දුටුගැමුණු පාලන කාලයේ දී යුව රජු ලෙස දීඝවාපියේ සිටි බව වංශකතාවල දැක්වේ. මේ කාලයේ දී ඔහුගේ පුත් ලජ්ජිතිස්ස රජු මේ විහාරය කරවන්නට ඇති බව පිළිගත හැකි කරුණකි.   
රජගල පුද බිමෙහි සීත ලෙන් 25ක් කරවූ බව අතීත වාර්තාවල දක්නට ලැබෙයි. කඳුවැටි හරහා හමා එන සීත සුළඟ ගල්පර අතරින් ගල්ලෙන තුළට හමා ඒමට සලස්වා ලෙන් ඇතුළත උෂ්ණත්වය අඩුකර ඇති ආකාරය අදට ද දැකිය හැකි බව පුරාවිද්‍යාඥයෝ කියති.   
මෙහි තිබූ සෙල්ලිපි පිටපත් කිරීම ආරම්භ කර ඇත්තේ 1935 වර්ෂයේ දී ය. 1950 වර්ෂයේ සිට රජගල භූමියේ තෝරාගත් ස්ථාන කිහිපයක කැණීම් කරමින් පිරික්සුම් කටයුතු සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යොමුවී සිටි බව එහි පැරණි වාර්තාවල දැක්වේ.   

 

ප්‍රතිසංස්කරණය කරන ලද දාගැබ

ගල් පාත්‍රයක්

 


රජගල ව්‍යාපෘතියේ උපදේශක මහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පවසන්නේ ක්‍රිස්තු පූර්ව දෙවැනි සියවසේ දී ගිරිකුම්භීල විහාරය ඉදිවීමෙන් පසු තවත් සියවස් දහයකට වැඩි කාලයක් එය භික්ෂු වාසස්ථානයක් ලෙස අඛණ්ඩව පැමිණ ඇත බවයි. මේ කාල පරාසය තුළ වරින් වර මුල් ඉදිකිරීම්වලට අමතරව වරින් වර ඇතිවන අවශ්‍යතා පිරිමසාගැනීම සඳහා නොයෙකුත් ඉදිකිරීම් හා නවාංග එයට එකතු කර තිබේ.   
පුරාවිද්‍යාඥයන් විසින් මෙම භූමියේ කරන ලද සොයා බැලීම්වලින් පුරාවිද්‍යා ස්මාරක 700කට වැඩි ප්‍රමාණයක් හමුවීමෙන් ම ඒ බව තහවුරු වෙයි. රජගලින් මෙතෙක් හමුවී ඇති ශිලා ලේඛන අතර වැදගත්ම ලේඛනයක් වන්නේ මිහිඳු මහ රහතන් වහන්සේගේ සහ ඉට්ඨිය තෙරුන් වහන්සේගේ නම් සඳහන් කර ඇති ලිපියයි. තැනිතලා ප්‍රදේශයේ සිට කඳු මුදුනට නැගෙන විට පැරණි මාර්ග දෙක එකිනෙකට හමුවන තැන පිහිටි ගල් තලාවේ මේ ශිලා ලිපිය දක්නට ලැබෙයි. ඒ ගල්තලාව මත දාගැබ් දෙකක් ද ඇත.   
එම සෙල්ලිපියේ දැක්වෙන්නේ,   
“යෙ ඉමදිප පටමය ඉදිය අගතන ඉඩික (තෙර ම) හිදතෙරහ තුබෙ”   


“එනම් මේ දිවයිනට පළමුවෙන් සමෘද්ධිය සඳහා පැමිණි ඉත්තිය තෙරුන්ගේ ද මහින්ද තෙරුන්ගේ ද ස්තූපය යන්නයි.   
එම ලිපිය හේතුවෙන් මිහිඳු මහ රහතන් වහන්සේගේ සහ ඉට්ඨිය හිමියන්ගේ ධාතු නිදන් කර මේ ස්තූප දෙක කරවන්නට ඇති බවට විශ්වාසයක් පවතී.   
යුද්ධයෙන් පසු 2012 වර්ෂයේ සිට වසර පහකට වැඩි කාලයක් රජගල පුරාවිද්‍යා භූමියේ සිදුකළ කැණීම් හා ගවේෂණ කටයුතු තුළින් පොළොන්නරු යුගයට හෝ ඊට පසු රාජ්‍ය සමයකට අයත් කිසිදු ඉදිකිරීමක් හෝ ප්‍රතිසංස්කරණයක් ගැන සාධක ලැබී නැත. අනුරාධපුර යුගය අවසානයේ දී මෙම භූමිය අතහැර දැමීමෙන් පසු මෑතක් වනතුරුම එය වනයෙන් වැසී තිබෙන්නට ඇති බව ඒ අනුව පැහැදිලිය.   
එතරම් කාලයක් මහා වනාන්තරයෙන් වැසී මිනිස් වාසයෙන් තොරව පැවතිය ද අනුරාධපුර යුගයේ දී තැනූ බිත්ති හා වහලය තවදුරටත් ආරක්ෂා වී තිබූ ගොඩනැගිල්ලක් සොයා ගැනීමට ද පුරාවිද්‍යාඥයෝ සමත්වූහ. වර්ග අඩි 36ක පමණ වූ ගල්වලින් ම තනා ගල් පතුරු දෙකක් සෙවිළි කර තිබූ මේ ගොඩනැගිල්ල භාවනා කුටියක් විය හැකියැයි මහාචාර්ය හෙට්ටිආරච්චි මහතා පවසයි.   
මෙරට වෛද්‍යවරයකු වූ ආර්.එල්. ස්පිට්ල් සිය වනගත චාරිකාවල විස්තර කර ඇත්තේ මේ ස්ථානය ඔහු සංචාරය කරන කාලයේ වැද්දන් වාසය කරන තැනක් බවට පත්ව තිබූ බවයි.   


“දිවුලාන සිටි එකම වැද්දා වන නාගකච්චා ළමා කාලයේ ම රාස්සගලට පැමිණ ගල් ගුහාවක විසූ අතර ඔහුගේ පිරිස ගල් ගුහා හතරක හෝ පහක පමණ විසිරී විසූහ.” ඔහු තබා ඇති මේ සටහන සත්‍යයක් බව සනාථ වන්නේ ගල් ලෙන්වල පසුකාලයක ඇඳ ඇති වැදි චිත්‍ර හමුවීමෙනි. එමෙන්ම ආදිවාසීන් විසින් භාවිත කරන්නට ඇතැයි සිතිය හැකි කෙටේරියක් ද මේ භූමිය ගවේෂණයේ දී හමුවී තිබේ.   
වනගතව පැවැති කාලයේ දී මේ භූමිය නිධන් හොරුන්ගේ ද දඩයම්කරුවන්ගේ ද තෝතැන්නක් බවට පත්ව තිබිණි. මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් මෙහි ඇති ස්මාරකවලට බරපතළ හානි සිදුවූයේ විසිවන සියවස තරම් මෑත කාලයේ දී යැයි පුරාවිද්‍යාඥයෝ විශ්වාස කරති. අතීත රජ දරුවන් තැනූ මේ නිර්මාණයන් වන ප්‍රවාහය විසින් සියවස් දහයකට අධික කාලයක් රැකගෙන සිටිය ද නූතන මිනිසුන් විසින්ම ඒ භූමිය විනාශ කර තිබීම ඛේදජනකය.   
මහාචාර්ය හෙට්ටිආරච්චි මහතා මෙසේ පවසයි.   
“අපි මේ භූමියේ ගවේෂණ කටයුතු ආරම්භ කරන අවස්ථාවේ එහි පැවැති දාගැබ් දෙකම පිහිටි පොළොව මට්ටමෙන් අඩි පහළොවක් විතර යටට හාරා තිබුණා. මේවායේ යම් පූජා වස්තු තිබුණා නම් නිදන් සෙවූ පුද්ගලයන් විසින් ඒවා රැගෙන යන්න ඇති. එක් දාගැබක තිබුණා යැයි සිතිය හැකි පළිඟු කරඬුවක කොටසක් ද‌ාගැබ් මළුවේ තිබී හමුවුණා. ඒ විතරක් නෙවෙයි මේ භූමියේ සඳකඩපහන්, මුරගල්, ඡත්‍ර, බුදු පිළිම, මල් ආසන සියල්ල කඩා බිඳ දමා පෙරළා තිබුණා. යකුන් නැටූ සොහොන් පිටියක් වගේ. මෙහි හාරා විනාශ කර නොදැමූ එකම ස්මාරකයක් හෝ සොයාගත නොහැකි වුණා.”   


2020 අවසන් කිරීමට නියමිතව තිබූ රජගල තැන්න ව්‍යාපෘතිය තවත් වසර කිහිපයකින් දීර්ඝ කිරීමට ද නියමිතය. තවදුරටත් එහි කැණීම් කටයුතු, සංරක්ෂණ කටයුතු, භූමි සැකසුම් මෙන්ම නඩත්තු කටයුතු ද සිදුවෙමින් පවතී.   
මේ වනවිට කිලෝ මීටර එකහමාරක් දිගට අතීතයේ ඉදිකර තිබූ පියගැටපෙළ මාර්ගය මුළුමනින්ම සංරක්ෂණය කර අවසන්ය. මේ භූමියේ වර්ග කිහිපයක ලෙන් දක්නට ඇති අතර මේ අතරින් ලජ්ජිතිස්ස රජුගේ ‘ශානිකා’ නමැති බිසව විසින් සාදවන ලද ලෙන සංරක්ෂණය කර අවසන්ව ඇත. එම ලෙන ඇතුළත නිදන් සොයන්නන් විසින් විශාල වළක් හාරා තිබූ බැවින් මුලින්ම මේ ලෙන සංරක්ෂණය කළ බව පුරාවිද්‍යාඥයෝ කියති.   
පැරණි බැමි සැලකිය යුතු ප්‍රමාණයක් ඉතිරිව තිබූ ලෙනක් හමුවූ අතර එහි බිත්ති ඇලවී විනාශ වී යාමට ආසන්නව තිබූ බැවින් එම ලෙන ද සංරක්ෂණය කිරීමට කටයුතු කර ඇත. එමෙන්ම කඳු මුදුනේ තිබූ ගල් උළුඅස්ස ද තවදුරටත් එසේම තිබුණහොත් පෙරැළී යා හැකි බැවින් එය ද සංරක්ෂණය කිරීමට කටයුතු කර ඇත.   
“රජගල තැන්නෙන් හමුවූ කුඩා දාගැබ් දෙකත් අපි සංරක්ෂණය කළා. මේ දාගැබ්වල පැරණි හැඩය බුබ්බුලාකාරයි. එහි විශේෂත්වය වන්නේ පැරණි යූප ගලයි, ඡත්‍රයයි තිබෙන ආකාරයෙන් දැන් සංරක්ෂණය කර තිබෙනවා. ඒ දාගැබ් දෙක අතරින් එක දාගැබක පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතුව තිබූ ධාතූන් තැන්පත් කළා. දැන් එතැනට බෞද්ධයන් පුද පූජා සිදුකරනවා. දාගැබ වටේ ඇති ප්‍රාකාරයත් සංරක්ෂණය කර අවසන්. ඒ වගේම බෝධිඝරයත් අතීත භික්ෂූන් වහන්සේලා පිරිකර ඇතුළු ප්‍රත්‍යය බෙදා ගන්නා ලහබත්ගෙය නමැති ගොඩනැගිල්ලත් අපි සංරක්ෂණය කළා.”   

 

 

ගල් පාත්‍ර සහිත ස්ථානය

සම්පූර්ණයෙන් ම නිමවා නැති හිටි පිළිමය

 


මෙම පුදබිමේ හමුවී ඇති ගොඩනැගිලි අතර සුවිශේෂීතම ගොඩනැගිල්ලක් වන්නේ ගල්කණු 132කින් සමන්විත ඕවලාකාර හැඩය ගන්නා සුවිසල් දාන ශාලාවයි. දැනට මෙරට හමුවන ඕවලාකාර හැඩැති එකම දානශාලව වන මෙය දැන් සංරක්ෂණය කර තිබේ. එය තනි මහල් ගොඩනැගිල්ලක් බව ද හෙට්ටිආරච්චි මහතා පැවසීය.   
දානශාලාව ආසන්නයේ පිහිටි ස්වාමීන්වහන්සේලා ස්නානය කළ ජන්ථාඝරය ද පොහොය ගෙය ද සම්පූර්ණයෙන් ම සංරක්ෂණය කර තිබේ. එමෙන්ම ජන්ථාඝරය අසල ම ඇති කුඩා ගොඩනැගිල්ලක් සොයාගත් පුරාවිද්‍යාඥයෝ එය සංරක්ෂණය කළ ද මෙතෙක් එය හඳුනාගැනීමට හැකි වී නැත. පුරාවිද්‍යාඥයන් විශ්වාස කරන්නේ මේ ගොඩනැගිල්ල අතීතයේ ගබඩාවක් ලෙස භාවිත කරන්නට ඇති බවයි.   
මෙම භූමියේ දක්නට ඇති දොරටු පැන් මඩුව ද විශේෂිත ඉදිකිරීමකි. විශාල ගල් පාත්තර දෙකක් සහිත සම්පූර්ණ ගොඩනැගිල්ල දැන් සංරක්ෂණය කර අවසන්ය. කන්ද මුදුණේ සිට ස්වභාවිකව පැමිණෙන ජල මාර්ගයකින් මේ ගල් පාත්තර දෙක පිරෙන්නට සලස්වා තිබී ඇති ආකාරය අපූරුය. පුරාවිද්‍යාඥයන් පවසන්නේ වසර මුළුල්ලේ ම ජලයෙන් අඩුවක් නොමැති මෙහි ජලය දැඩි වියළි කාලයේ දී පවා සිසිල් බවයි.   
මෙම ගොඩනැගිලිවලට අමතරව මීටර 100ක් දිගැති බැම්ම සහිත වැව සංරක්ෂණය කර තිබේ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය බවට පසුව පත්වූ විද්‍යෝදය විශ්වවිද්‍යාලය බිහිකළ සෝරත හිමිගේ නමට උපහාරයක් ලෙස දැන් එම වැව සෝරත ජලාශය ලෙස හඳුන්වන අතර මේ සඳහා වැය වූ සම්පූර්ණ මුදල වූ රුපියල් ලක්ෂ 30ක මුදල ලබා දී ඇත්තේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙනි.   


පුරාවිද්‍යාඥයන් පවසන්නේ පුද බිමේ ඉහළ කොටසේ නිදන් සොයන්නන් විසින් සම්පූර්ණයෙන් ම විනාශ කර තිබූ පිළිමගෙයක් හමුවූ බවයි. එය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා දැඩි වෙහෙසක් දැරූ බව ද ඔවුහු කියති. මේ අතර අටපට්ටම් හැඩැති ගොඩනැගිල්ලක් ද මෙහි හමුවී තිබේ. ඉතා දුර්ලභ හැඩයක් ගන්නා මේ ගොඩනැගිල්ල ධාතු මන්දිරයක් විය යුතු යැයි ද ධාතු මන්දිරය සහ පිළිමගෙය යන දෙකම දෙමහල් ගොඩනැගිලි ලෙස ඉදිකර තිබූ ඒවා බව ද තහවුරු වී ඇත.   
සංරක්ෂණය කළ පියගැට පෙළෙහි එක් ස්ථානයක ඇළට ඉහළින් ඇති ගල් පාලම ද සුවිශේෂී නිර්මාණයකි. එය මුල් ස්වරූපයෙන් ම පැවති බව හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.   
මෙයට අමතරව පුද බිමේ ඇති මහ ලෙන නමින් හඳුන්වන ලෙනක් ඉන්දියාවේ පුරාවිද්‍යාඥයන් කණ්ඩායමක් හා එක්ව කැණීම් කර තිබේ. එහි අරමුණ වූයේ මේ භූමියේ ප්‍රාග් ඓතිහාසික මානව සාධක තිබේ ද යන්න සොයා බැලීමයි.   
“අපිට මේ කැණීම්වලින් පැරණි ප්‍රාග් ඓතිහාසික මානවයාගේ ගල් ආයුධ රාශියක් හමුවුණා. ඒ වගේම ඔවුන් ආහාරයට ගත් සතුන්ගේ අස්ථි කොටස් දක්නට ලැබුණා. මේ අවශේෂ විද්‍යාත්මක කාලනිර්ණය සඳහා යොමු කර තිබෙනවා. අදින් වසර 3000-7000ත් අතර කාලයේ මේ භූමියේ ප්‍රාග් ඓතිහාසික මානව ජනාවාස තිබෙන්නට ඇතැයි විශ්වාස කළ හැකියි. ” හෙට්ටිආරච්චි මහතා පැවසීය.   

 

ප්‍රතිමා ගෘහය

 


ඔහු වැඩිදුරටත් පවසන්නේ පිළිමගෙය, ධාතුගරය සහ ගඩොලින් ඉදිකර ඇති මීටර පහක පමණ විෂ්කම්භයෙන් යුතු කුඩා දාගැබක් කැණීම් කර සංරක්ෂණය කිරීමට බලාපොරොත්තු වන බවයි.   


මෙයට අමතරව රජගල ඓතිහාසික භූමිය නැරඹීමට පැමිණෙන පුද්ගලයන් වෙනුවෙන් මෙම ව්‍යාපෘතිය යටතේ ම යටිතල පහසුකම් රැසක් සපයා ඇත. පියගැට පෙළ සංරක්ෂණය කර ඇත්තේ ඔවුන්ගේ පහසුව වෙනුවෙනි. ඊට අමතරව රථ ගාල් දෙකක් ද ඉදිකර ඇති අතර වැසිකිළි පහසුකම් පහළ භූමියේ හා ඉහළ භූමියේ සකසා තිබේ. එමෙන්ම රජගල පිළිබඳ තොරතුරු මධ්‍යස්ථානක් ද පිහිටුවා ඇති අතර එහි පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට විනාඩි 10ක දැනුම්වත් කිරීමේ වීඩියෝවක් නැරඹීමට ද අවස්ථාව උදා වේ.   
රුපියල් ලක්ෂ 90ක වියදමින් පුදබිම සඳහා විදුලි සැපයුම් ලබා දී ඇති අතර පුරාවිද්‍යා නිලධාරීන් වෙනුවෙන් නවාතැන් පහසුකම් ද ඉදිකර තිබේ.   


මහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි මහතාට අමතරව ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය දඹර අමිල හිමි, මහාචාර්ය ප්‍රශාන්ත මණ්ඩාවල මහතා, මහාචාර්ය පද්මසිරි කන්නන්ගර මහතා, මහාචාර්ය ඇලෙක්සැන්ඩර් කපුකොටුව මහතා ද මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සුවිශේෂී මෙහෙවරක නිරත වෙති.   


අනුරාධපුරය, පොළොන්නරුව වැනි පැරණි රාජධානිවල පැවැති දැවැන්ත ආරාම සහිත පුදබිම්වලට අමතරව අනුරාධපුර මුල් යුගයේ පටන් මෙරට වෙනත් ප්‍රදේශවල ද සුවිසල් සංඝාවාස ඉදිවූ බවට මනා සාක්ෂියක් වූ රජගල ඓතිහාසික භූමිය ඉදිරියේ දී ලෝක උරුමයක් ලෙස පිළිගන්නේ නම් එය මෙරට පිහිටි නම වැනි ලෝක උරුමය වනු ඇත.   

 

 

 

සටහන සහ ඡායාරූප 
සජීව විජේවීර