මියෙන තුරාත් පෙට් ස්කැන් සිහිනය සැබෑ කර නොගත් මොහොමඩ් හුමයිඩ්


ඒ මීට මාස 5 කට පෙර දිනකි. හරියට කිවහොත් අප්‍රේල් 22 වැනිදාය. දෙහිවල ජුම්මා ඔස්ජිඩ් පල්ලියට මුස්ලිම් ජාතිකයකු පැමිණියේ තම සගයින් පිරිසක් සමගය. අවට සිටි අය මේ පල්ලියේ ආගම කියා භූමදානය කරන්නට යන්​ෙන් කුඩා දරුවකුගේ සිරැරක් යැයි සිතා දුක්වෙන්නට වූහ. භූමදානය කරන විට කාගෙත් ඇසට කඳුළක් උනන්නට වූයේ එය දරුවකුගේ උරහිස ළඟින් වෙන් කරන ලද අතක් වීම නිසා වූ විමතියද හේතුවෙනි. භූමදානයෙන් පසු පල්ලිය භූමියේ දණ ගසා ගත් මුස්ලිම් බැතිමතා ඉහළට ඔසවාගත් දෑතින් දෙවියන්ගෙන් වරමක් ඉල්ලන්නට විය.  


‘අල්ලා දෙවියනි, ඔබ වහන්සේ මෙලොවින් මැලේරියා, පැපොල, වසූරිය තුරන් කරන්නට ප්‍රතිකාර සොයා ගන්නට විද්‍යාඥයින්ට දැනුම ලබා දුන්නා. එසේම ඔබවහන්සේ පිළිකාව නැමැති රෝගය මෙලොවින් තුරන් කිරීමට විද්‍යාඥයින්ට දැනුම දෙනු මැනවි. පිළිකාව හේතුවෙන් මාගේ එකම පුත්‍රයාගේ සිරුරේ උරහිස ළඟින් ඉවත් කළ අත ඔබවහන්සේට පඬුරක් ලෙස පූජා කරමි. මා නැවතත් කියන්නේ පිළිකාව නැමැති රෝගාබාධයට ප්‍රතිකාරයක් සොයා ගැනීමට විද්‍යාඥයින්ට ඥානය ලබා දෙන ලෙසයි. තෙවැනුවත් ඔබවහන්සේගෙන් මම එම ඉල්ලීම කරමි.’

 
මේ ඉල්ලීම කළ පුද්ගලයා නමින් එම්.එස්.එම්. මොහොමඩ්ය. ඔහු උපන් ගම් පළාත කළුතරය. කළුතර සිට කොලොම්පුර ගෙන්දගම් පොළවට ඔහු පා තැබුවේ කමිස සාක්කුවේ රුපියල් දහක් දාගෙනය. සුඛෝපභෝගී නිවාස. යාන වාහන, අතට පයට දැසි දස්සන් හෝ රන්මසු කොළඹ එන මොහොමඩ්ට තිබුණේ නැහැ.  


ඔහුට තිබුණේ හෘද සාක්ෂියත් කවදා හෝ දැවැන්ත ව්‍යාපාරිකයෙකු වීමේ තිර අදිටනත් පමණි. ඊටත් වඩා ඔහු දැඩි ලෙස විශ්වාස කළේ දෙවියන්වහන්සේ තමන් දෙස ඇසිපිය නොහෙළා බලා සිට ආරක්ෂා කරන බවට වූ විශ්වාසයයි.  
කාලය කෙමෙන් ගත වෙද්දී මොහොමඩ් දැවැන්ත ව්‍යාපාරිකයකු බවට කෙමෙන් පත් විය. මොහොමඩ්ගේ ප්‍රිය බිරිඳ කදිජාය. මොහොමඩ් පීතෘත්වය දියණියන් හය දෙනෙකුට පුදන්නට තරම් පීතෘ ගුණයෙන් යුක්ත විය. මේ මොහොමඩ් කදිජා යුවළට පුතකු උපන්නේ 1992 පෙබරවාරි 2 වැනිදාය. ඒ පුතුට මොහොමඩ් හුමයිඩ් යන නම තැබීය. නමුත් මේ පවුලේ එකම පුත් රුවනට වයස පහළොව පමණ පිරෙද්දී වූ අහඹු සිදුවීමක් දරුවාගේ පියා පැහැදිලි කළේ මෙසේය.  
 ‘පුතා දවසක් උරහිසේ වේඳනාවක් ගැන කිව්වා. ගේ ඉස්සරහ වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ගත්තත් සුව නොවුන නිසා විශේෂඥ වෛද්‍යවරයකුට පෙන්නුවා. එහිදී දැනගන්න ලැබුණේ පුතාට ‘ඔස්ටියෝ සාකෝමා’ කියන අස්ථි පිළිකාවක් තියෙන බව. අපේ මුළු කැදැල්ල ගිනිගත්තා වගේ දැනුණා. අපේ නෑදෑයොත් එදා රෑ අපේ ගෙදරට එක්වුණා. මුළු ගෙදරම මළගෙයක් වගේ. එදා රෑ කෑම කන්නවත් පිරියක් තිබුණේ නැහැ.’  


 මොහොමඩ් කියන පරිදි තම පුතු ගැන ජීවන දත්ත නෙත් පියාගත් ඔහුගේ සිතට එකින් එක දර්ශනය වූයේ අසිහියෙන් මෙනි. හුමයිඩ් පුතා මුල් වරට පල්ලියට ගොස් කුඩා සිඟිති දෑත් අහස දෙසට ඔසවා යාඥා කළ අන්දම ඔහුගේ දෑස් ඉදිරියේ මැවී පෙනී ක්‍රමයෙන් අපහැදිලි ලෙස නොපෙනී යන්නට විය. පුංචි පුතා ඉස්කෝලේ ගිය මුල්ම දවස, පළමු උපන්දිනය සමරපු හැටි එකින් එක එක දිගට මැවී පෙනෙන විට මොහොමඩ්ගේ නෙතඟට කඳුළක් එක්වන්නට වූයේ නිරායාසයෙනි. මොහොමඩ් වහාම තම පුතු ප්‍රතිකාර සඳහා කැඳවාගෙන රැගෙන යන්නේ ඉන්දියාවේ අති නවීනතම රෝහලකටය. මාස 10 ක් තුළ රුපියල් කෝටි දහයක් කාබාසිනියා වූ තැන මොහොමඩ් තීරණය කළේ තමන් පැමිණ ඇත්තේ වැරැදි තැනකට බවය.  


මම අන්තිමට මහරගම අපේක්ෂා රෝහලට පුතා ඇතුළු කළා. මම අදටත් කනගාටු වෙනවා පුතාව මුලින්ම අපේක්ෂා රෝහලට ඇතුළු කරගන්න බැරිවෙච්ච එක ගැන. පුතාට ප්‍රතිකාර කරන කොට මට දැනගන්නට ලැබුණා රෝහලට ‘පෙට් ස්කෑන්’ යන්ත්‍රයක් නැහැ කියලා. මම සගයෝ 80 ක් විතර එකතු කරගෙන ‘ෆයිට් කැන්සර් එකමුතුව’ ගොඩනැගුවා. අද ඒක FIGHT CANCER TEAM TRUST (GURANTEE) බවට පත්වෙලා තියෙනවා.  


 පෙට් ස්කෑන් යන්ත්‍රයකට යන වියදම සොයා බැලූ මොහොමඩ්ට දැනගත හැකි වූයේ එයට කෝටි 20 ක මුදලක් වැය වන බවය.  


මොහොමඩ් තම කෝටි විස්සේ පෙට් ස්කෑන් සිහිනය ගැන මුලින්ම කිව්වේ සිකුරාදාවක දෙහිවල පල්ලියේදීය. ඔහුගේ මිතුරෝ ඔහුගේ යෝජනාව දැඩි අවඥාවට ලක් කරන්නට වූහ.  


‘උඹට පිස්සුද? මොනවා කෝටි 20 ක් කොහින් එකතු කරගන්නද? මේ පල්ලියේ වැඩකට අපිට ලක්ෂ දෙකක් එකතු කරගන්න බැරුව ඉන්නේ. හොඳම වැඩේ උඹව මානසික වෛද්‍යවරයකුට පෙන්නලා චැනල් කරන එක.’   


 තම මිතුරන්ගේ කතාව මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන හුමයිඩ් පුතුට පැවසුවේ දැඩි කනස්සල්ලෙනි. එ් වන විට තම පුතු රෝහලේ සුරතලකු වී හමාරය. පිළිකා රෝගීන් හා ඔවුන්​ෙග් ඥාතීන් හා දානපතියන් පිළිකා රෝගීන් වෙත දක්වන සානුකම්පාව ගැන මොහොමඩ් තම පුතු පහදා දෙන්නට විය.  


‘ඩැඩා බයවෙන්න එපා. කෝටි 20 එකතු කරන්න පටන් ගන්න. ඩැඩාගේ කන්ටැක්ස් වලින් පුළුවන් ඕක කරන්න. පිළිකා වාට්ටුවට දාන දෙන්න එන කෝටිපතියෝ මාත් එක්ක කතා කළා. ජාති භේදයක් නැතුව ‘පිළිකා රෝගියකුට’ කවුරුත් අනුකම්පා කරනවා.’  


 පුතාගේ කතාවට මොහොමඩ් නැවතත් ජවසම්පන්නව නැගී සිටියේ වෙනදාටත් වැඩි ප්‍රමෝදයෙනි. ඔහුගේ මේ කාර්යයට මෙරට ජනසංනිවේදන මාධ්‍ය අව්‍යාජව සහයෝගය දෙන්නට විය. ආධාර බැර කරන්නට ප්‍රකාශයට පත් කෙරුණේ ලංකා බැංකුවේ ගිණුම් අංකයකි. ගිණුමට රු. 50 සිට කෝටි 3 දක්වා පරිත්‍යාග වාර 73,500 කදී බැරවී තිබුණි. කෝටි 3 ක් පරිත්‍යාග කළේ තමන් යැයි විවිධ පුද්ගලයින් පුහු ප්‍රචාර හමුවේ එම මුදල පරිත්‍යාග කළ නියම පුද්ගලයාගේ නම පවා ප්‍රචාරය කිරීමට අවසානයේ සිදුවිය. අවසානයේ 2017.06.13 වැනි දින පෙට් ස්කෑන් ගිණුමට එකතු වූ මුළු මුදල රු. 200,845,495 ක් විය. අවසානයේ එක්වූ මුදල කෝටි 25 කට ආසන්න විය.  


 පෙට් ස්කෑන් යන්ත්‍රය සඳහා මුදල් එකතු වූ විට රජය පවසා සිටියේ පොදු ජනතාව​ෙග් සම්මාදමෙන් ආනයනය කරන පෙට් ස්කෑන් යන්ත්‍රයට අමතරව තවත් යන්ත්‍රයක් රජය මගින් ගෙන්වීමට අද හෙට පියවර ගන්නා බවය. මේ වන විට ලංකාවේ මෙම පහසුකම ලබාගත හැකි එකම රෝහලේ ගාස්තුව රුපියල් ලක්ෂ එකහමාරක් විය.  


2016 ජූනි 13වැනිදා වන විට පෙට් ස්කෑන් යන්ත්‍රය ගෙන ඒමට සියලු වියදම් ජනතාව එකතු වී ගිණුමට බැර කර හමාරය. දින මාස කෙමෙන් ගෙවී අවුරුද්දක්ද ගෙවී ගියේය. අවුරුද්දක් ගෙවී ගොස් මාස තුනක් පිරෙන්නට යද්දී මෙම සැප්තැම්බර් 11 වැනි සඳුදා රාත්‍රී 10 ට මුළු ලොවටම සමුදී මොහොමඩ් හුමයිඩ් මෙලොවින් සමුගත්තේ සියලු බැඳීම් වලින් දුරස්​ වෙමිනි.  


 ඔහුට තිබූ ජීවිතයේ එකම අරමුණ තම කෙටි ජීවන කාලය තුළ තමන්ගේ පියාගේ මූලිකත්වයෙන් මුදල් එක් කළ පෙට් ස්කෑන් යන්ත්‍රයක් ගෙන තමන්ට මුහුණ දෙන්නට වූ ජීවන ඉරණම අනෙක් දරුවන්ට අත්වෙන්නට ඉඩ නොදීමයි.  


මාස 16 ක් ගතවිත් මෙරටට පෙට් ස්කෑන් යන්ත්‍රයක් ගෙනවිත් සවිකරන්නට මෙරට අදාළ බලධාරින් ක්‍රියා නොකළේ කුමන කාරණයක් නිසා දැයි සොයා බැලිය යුතුය. පැහැදිලිව කිව හැක්කේ බලධාරියකුගේ දරුවකුට පිළිකා රෝගයක් වැළඳෙන තුරු හෝ මෙරට ප්‍රධාන පාලකයකුගේ දරුවකුට පිළිකාවක් වැළඳෙන තුරු මෙම යන්ත්‍රය අපේක්ෂා රෝහලට නොලැබෙන බවය. රජයේ ගිණුමට බැර නොකොට පෞද්ගලික පිළිකා ගිණුමකට මෙම මුදල් බැර කළේ නම් මාස 2 ක් තුළ මෙම යන්ත්‍රය ගෙනවිත් සවිකරගත හැකිව තිබුණේ එතැනදී රාජ්‍ය මුදල් රෙගුලාසි බල නොපාන නිසාය. මෙම යන්ත්‍රයක් එකලස් කිරීමට ජර්මනියේදී ගතවෙන්නේ මාස 2 කට අඩු කාලයකි.  


අප කළ නිරීක්ෂණයේදී පෙනීගියේ පොදු ජනතාවගෙන් එකතු වූ කෝටි 25 කට අධික මුදලින් භාණ්ඩාගාර බිල්පත් මිලදී ගැනීම තුළින් දැන් කෝටි 30 දක්වා වර්ධනය වී ඇති බවය. දේශපාලනඥයින්ට සුඛෝපභෝගී වාහන ආනයනනයට කෝටි ගණන් වැය කරන ආණ්ඩුවෙන් මුදල් අයදින්නට​ පෙට් ස්කෑන් යන්ත්‍රය වෙනුවෙන් මෙරට ජනතාව පියවර ගත්තේ නැත. පෙට් ස්කෑන් යන්ත්‍රය ආනයනය කිරීමට අදාළ අමාත්‍යාංශය, අමාත්‍යවරයා මෙන්ම නිලධාරින් රොත්තම මාස 16 ක් ගෙවී ගියත් තවම ණයවර ලිපියක්වත් නිකුත් නොකිරීම මෙරට වෙළාගත් ‘පිළිකාවට’ වඩා භයානකය. ලජ්ජාසහගතය. හිරිකිතය.  


 මෙරට සෞඛ්‍ය ඇමැතිවරයාට හෝ ජනපතිවරයාට සැබෑ උවමනාවක් තිබුණා නම් රාජ්‍ය මුදල් රෙගුලාසි පසෙක තබා කැබිනට් තීරණයක් මත මෙම පෙට් ස්කෑන් යන්ත්‍රය ආනයනය කළ හැකිව තිබුණි. මෙම උපකරණය සවි කිරීමට ගොඩනැගිය යුතු ගොඩනැගිල්ලට වැයවන මුදල රු. මිලියන 40 කි. මේ ගොඩනැගිල්ල ඉදිකිරීමට නිරීක්ෂණයේ දී අපට පෙනී ගියේ පෙට් ස්කෑන් යන්ත්‍රය ආනයනය කළද ගොඩනැගිල්ල නිමවන තුරු එය අපේක්ෂා රෝහලේ මිදුලේ තබා ගත යුතු තරම් ඉබි ගමනේ ඉදිකිරීම් සිදුවන බවය.  


 ‘ෆයිට් කැන්සර් කණ්ඩායම’ මීට සති ගණනකට පෙර ජනාධිපතිතුමාට මෙම කාරණය ගැන දැනුවත් කිරීමට පියවර ගෙන තිබුණි. කැබිනට් පත්‍රිකාවක් මගින් පෙට් ස්කෑන් යන්ත්‍රය ගෙන්වීමට වහාම පියවර ගන්නා බව ජනපතිවරයා මෙහිදී සඳහන් කොට ඇත. එහෙත් අද දක්වාත් ගත් ප්‍රායෝගික පියවරක් නම් අපට සොයා ගත නොහැකි විය. මේ ගැන මියගිය හුමයිඩ්ගේ පියා කතා කළේ දැඩි හැඟීම්බරවය.  


‘මෙච්චර දෙයක් වෙලත් කිසිම අනුකම්පාවක් නැහැ පිළිකා රෝගීන් ගැන. පිළිකා රෝගීන් සමාජයෙන් කොන් කරන්නේ ඇයි? මම මගේ පුතාව කැන්සර් කියලා හැංගුවේ නැහැ. පුතාව මාකට් කරලා මේ රටේ තියෙන ප්‍රධාන සෞඛ්‍යමය අඩුපාඩුවක් නැති කරන්න අරමුදල් රැස් කරලා දුන්නා. පුතාගේ එකම ආශාව වුනේ එම පෙට් ස්කෑන් යන්ත්‍රයෙන් තමන්ගේ වයසේ අය ප්‍රයෝජන ගන්නා හැටි බලාගන්න එක.  


 කිසිම ජාති භේදයක් නැතිව අපි කිසිදාක දැක නැති ජනතාවක් පුතාගේ අවමගුලට සහභාගි වුණා. මේක තමයි සංහිඳියාව, සිංහල වුණත්, දෙමළ වුණත්, අපි වගේ මුස්ලිම් වුණත් පිළිකාවෙන් ගැලවෙන්න බැහැ. මේක තේරුම් ගත්ත නැති එකම පිරිස සෞඛ්‍ය අමාත්‍යංශයේ ලොක්කොයි මේ රටේ ​පාලකයො විතරයි. අපි රාජ්‍ය විරෝධියෝවත් දේශපාලනය කරන අයවත් නොවෙයි.’  


අප්‍රමාණ දරු ස්නේහයෙන් කම්පනයට පත් මේ පියාගේ වේදනාව දුටු විට පෙට් ස්කෑන් යන්ත්‍රය මිලදී ගන්නට ආධාර ඉල්ලා පුවත්පතකට ලිපියක් ලියූ පී.ඒ. ලියනගේ මහතා කරාපිටිය රෝහ​ෙල් පිළිකා රෝගියකු ලියූ කවියක් අවසනට මෙසේ පළ කරමු.  


අනේ පිළිකා කියන රෝගය හැදෙනවා දැං හැදෙනවා  
තනේ කිරි ටික උරන දැරුවත් විඳිනවා දුක් විඳිනවා  
වුනේ මේවා කරපු පාපෙකි හැඟෙනවා දැං හැඟෙනවා  
දිනේ පැමිණි මරුව එනතුරු ගනිනවා දින ගනිනවා

 

 

 

 

 

වජිර ලියනගේ