මියගිය හස්තියා වෙනුවෙන් අඬාවැළපෙන ‘‘සුදු නෝනා’’


 

 

 මනුෂ්‍ය ලෝකයේ මෙන්ම සත්ව ලෝකයේ ද බැදීම් මහා පුදුමාකාරය. යම් බැඳීමක් හමුවේ එකිනෙකා කුමන තැනක ජීවත් වුවත් ඔවුන් ඉන්න තැනට ද සොයා යයි. මිනිසා මිනිසාට ආදරය කරුණාව දැක්වීම සමාන්‍ය දෙයකි. සතා සිවුපාවෝ ද ආදරය කිරීම සාමාන්‍ය දෙයකි. මිනිසා සතා සිවුපාවාට ආදරය කරනවා සේම සතා සිවුපාවා ද මිනිසාට ආදරය කරුණාව දක්වයි.


තිස්සමහාරාම රජමහා විහාරස්ථානය⁣ට අයත් තිස්ස සමන් අලියා ද එලෙසම ස්විඩනයේ පදිංචි බ්‍රිගිතා කාන්තාවට ආදරය කරුණාව දැක් වුයේ මහා පුදුමාකාර ලෙසය. බ්‍රිගිතා ද තිස්ස සමන්ට ලෙන්ගතු කමින් මහ මෙරක් වු ආදරය හද පතුලෙන්ම පිරිනැමුවාය. දෙදෙනාගේ ආදරය හරියට තරුණ පෙම් යුවලක් පෙම් කරන්නාසේ ඇලීගැලී සිදු වූයේ කාටත් හොර රහසේය.


තිස්ස සමන් අවස්ථා කිහිපයකදීම පුද්ගලයින් කිහිප දෙනෙකුටම පහරදී ඝාතනය කළේය. ඒ නිසාම මිනිස්සු තිස්ස සමන් ළඟට ළං වූයේ නැත. එහෙත් ස්විඩන් බ්‍රිගිතා කාන්තාව හඳුනා ගත් දා සිටම තිස්ස සමන් අලියා කරුණාව වගේම ආදරයත් පෑවාය. බ්‍රිගිතා හඳුනා ගත් කෙටි කාලය තුළ ඇයට කිසිම දවසක කරදරයක් කළේ නැත. ලේන්ගතු කමින් කරුණාව පෑවාය.


තිස්සමහාරාම රජමහා විහාරස්ථානයට තිස්ස සමන් ලැබුණේ විහාරාධිපති දේවාලේගම ධම්මසේන නායක ස්වාමීන් වහන්සේ 1979 වර්ෂයේ එවකට පැවති රජයෙන් කරන ලද ඉල්ලීමකට අනුවය. ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන හා අගමැති රණසිංහ ප්‍රේමදාස මහතාගේත් මැදිහත්වීම මත පින්නවල අලි අනාථාගාරයේ සෙවණ ලබමින් සිටි එවකට 12 හැවිරිදි සමන් 1979 වර්ෂයේ දේවාලේගම ධම්මසේන ස්වාමීන් වහන්සේට ප්‍රදානය කෙරිණ. පින්නවලින් තිස්සමහාරාමයට රැගෙන ගිය සමන් පසුව විහාරාධිපති ස්වාමීන් වහන්සේ විසින් මුලට තිස්ස නමත් එක් කරමින් "තිස්ස සමන්" ලෙස නම ව්‍යවහාර කෙරිණ. පසුව දකුණු පළාතේ කවුරුත් තිස්ස සමන් ලෙස හැඳින ගත්හ.


විහාරාධිපති හිමියන්ගේ සෙවණේ හැදුණු වැඩුණු තිස්ස සමන් තරුණ වියට පැමිණෙනවාත් සමඟම තරමක් දඩබ්බරකම් පාන්නට විය. එහෙත් කිසි දවසක නාහිමියන්හට කරදරයක් කළේ නැත. වාර්ෂිකව තිස්සමහාරාම රජ මහා විහාරයේ සිදු කරනු ලබන පෙරහැරේ කරඬුව වැඩම කරවීමේ උතුම් භාග්‍යය ද සමන් විසින් හිමි කර ගත්තේය. කතරගම දේවාල පෙරහැර ඇතුළු පෙරහැරවල් ගණනාවකට සහභාගිවීමට තිස්ස සමන්ට හිමි වූයේ නිතැතින්ය.


2017 වර්ෂයේ ස්විඩන් ජාතික කාන්තාවක් වන බ්‍රිගිතා ඇතුළු පිරිසක් ලංකාවේ සංචාරයකට පැමිණි අවස්ථාවේදී තිස්සමහාරාම විහාරස්ථානයේ සිටි තිස්ස සමන් අලියා හඳුනා ගත්තාය. ආදරය කරුණාව ලෙන්ගතු බව බ්‍රිගිතා තිස්ස සමන් අලියාටත් අලියා බ්‍රිගිතාටත් කාටත් හොර රහසේ දෙදෙනා අතර සිදු කර ගත්තාහ. බ්‍රිගිතා තිස්ස සමන් අතපත ගාමින් කිට්ටුම ඇසුරක් පැවැත්වූවාය. මෙලෙස කිට්ටුම ඇසුරක් පවත්වාගෙන ගිය බ්‍රිගිතා තිස්ස සමන් අතහැර ලංකාවේ චාරිකාව අවසන් කර යළි තම මව් රට බලා ආපසු පිටත්ව ගියාය.


2018 අප්‍රේල් මස දිනක තිස්ස සමන් රැක බලා ගත් ප්‍රියන්ත නැමති ගොව්වාට තිස්ස සමන් කරන ලද පහරදීමකින් ජීවිතක්ෂයට පත්විය. පසුව තිස්ස සමන්ට හෙණ්ඩු පහරවල් තදින්ම දෙපාවලට වැදුණි. එම තුවාල බරපතළ විය. පසුව විහාරාධිපති ස්වාමීන් වහන්සේ තිස්ස සමන් රත්නපුරයේ ඇලපාත ප්‍රදේශයේ වත්තකට කාටත් හොර රහසිගතව රැගෙන ගොස් බැඳ දමා කෑම බීම ලබා දුන්නේය. සුවදුක් විමසා සිටියේය. හැකි අයුරින් ප්‍රතිකාර කළේය.


පින්නවලවලින් සමන් තිස්සමහාරාම රජමහා විහාරස්ථානයට ප්‍රදානය කළද මුල්ම අයිතිවාසිකම ඇත්තේ පින්නවල අලි අනාථාගාරයටය. පින්නවලින් ප්‍රදානය කරන අලි ඔනෑම අවස්ථාවක යළි අලි අනාථාගාරය වෙත රැගෙන ඒමට නිලධාරින්ට බලය ඇත. එලෙස සමන් අලියා ද තුවාල ලබා රත්නපුර ඇලපාත ප්‍රදේශයේ වත්තක බැඳ ඇති බවට පින්නවල අලි අනාථාගාරයේ පාලන අධිකාරියට දැන ගැනීමට හැකි විය. පසුව සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර තිස්ස සමන් අලියාගේ කකුල්වල දරුණු තුවාල පැවති අවස්ථාවක අලියා වසර 40 ට පසුව 2018 අප්‍රේල් මස 11 දා යළි පින්නවල අලි අනාථාගාරය වෙත රැගෙන ආවේය. අලි අනාථාගාරයේ සත්ව භාර නිලධාරි සංජය රත්නායක මහතා, පශු වෛද්‍ය නිලධාරි මහතා ඇතුළු පිරිසක් තිස්ස සමන්ට ප්‍රතිකාර කිරීම ඇරඹිණ. 2018 පුලි මස 20 පමණ වෙනකොට ප්‍රතිකාර ලබා දීමෙන් සුවය ලැබු තිස්ස සමන් අලි අනාථාගාරයේ සෙවන ලබමින් ජිවත්වෙමින් සිටියේය.


මීට මාස තුනකට පමණ ඉහතදී යළි තිස්ස සමන් අසනීප විය. සමහර දවස්වල දිනකට තිස්ස සමන්ට රුපියල් ලක්ෂයක මුදලක පවා ඖෂධ ලබා දීමට පින්නවල වෛද්‍යවරුන්ට හා කාර්ය මණ්ඩලයට සිදු විය. අවසානයේ තිස්ස සමන්ගේ ශරිරය පුරා තුවාල මතුවන්නට විය. දැඩි අසනීප තත්ත්වයෙන් පසු වෙන බව දැන ගත් ස්විඩන් ජාතික බ්‍රිගිතා තිස්ස සමන් සුවපත් කර ගැනීම සදහා ලක්ෂ ගණනින් මුදල් හදල් ද දුන්නාය. අවසානයේ දැඩි රෝගාතුරව ජීවත්වෙන බව දැන ගත් බ්‍රිගිතා ඉකුත් 22 දා තිස්ස සමන් බැලීමට පින්වලට යළි පැමිණියාය. ඇය පින්නවල ප්‍රදේශයේ තාවකාලික නවාතැන් පොළක රැඳි සිට උදේ සවස තිස්ස සමන් බැලීමට ආව ගියාය. ඇඟපත පිරි මැද්දාය. පෙර තිබු ආදරය කරුණාව එලෙසම තිස්ස සමන්ට බ්‍රිගිතා ලබා ලබා දුන්නා. තිස්ස සමන් බ්‍රිගිතා දෙස ඇස්පිය නොගහ බලා සිටියාය. එහෙත් කොපමණ ආදරය කරුණාව ප්‍රතිකාර කළ ද තිස්ස සමන් ඉකුත් 29 දා අලුයම සඳහටම දෙනෙත් පියාගෙන මෙලොව හැරදා ගියේය.

 

 


පසුව පින්නවල අලි අනාථාගාරයේ සත්ව භාර නිලධාරි ආර්.එම්. සංජය රත්නායක මහතා ඇතුළු සේවක පිරිස තිස්ස සමන් අලියා වෙනුවෙන් ඉතා කඩිනමින් ආගමික වතාවක් ඉටු කිරීමට කටයුතු කෙරිණ. බ්‍රිගිතා ද පැමිණ මිය ගිය තිස්ස සමන්ගේ හිස හොඩවැල පිරිමදිමින් කඳුළු සලන්නට වුවාය. ඇය ඉකි ගසා හැඬුවාය. පැය ගණනාවක් තිස්ස සමන් අසලින් නොගිය බ්‍රිගිතා සමන් වෙනුවෙන් කරන ලද අවසන් ගෞරවයට සහභාගි කරවා ගැනීම ද නිලධාරිහු අමතක නොකළාය.


තිස්සමහාරාම රජ මහා විහාරාධිපති පුජ්‍ය දේවාලේගම ධර්මසේන ස්වාමීන් වහන්සේ වෙනුවෙන් විහාරාධිකාරී පුජ්‍ය දෙනගම සුමන ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ ගරුතර මහා සංඝරත්නය තිස්ස සමන්ගේ ආගමික වතාවත්වලට වැඩම කෙරිණ. පංචශීලයෙහි පිහිටුවීමේන් අනතුරුව මතක වස්ත්‍ර පැන් වඩා මිය ගිය තිස්ස සමන්ට කළ හැකි උදාර ආගමික වතාවත් ටික මහ ඉහළින්ම සිදු කළේය. බ්‍රිගිතා ද සියලුම ආගමික වතාවත් වලට සහභාගි වූයේ හැඩු කඳුලින් බෞද්ධ කාන්තාවක් මෙනි. දෙනෙතින් රූරා වැටෙන කඳුළු කැට ඔය අතර පිස දැමුවාය. ආගමික වතාවත් වලින් අනතුරුව තිස්ස සමන් ගේ දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා අනතුරුව අලි අනාථාගාරයේ පසෙක ඉර බැස යන සන්ධ්‍යාවේ 52 හැවිරිදි වියේ පසු වූ තිස්ස සමන් මිහිදන් කෙරුණේ පැමිණ සිටි සියලුම දෙනාගේ නෙතට කඳුළක් එක් කරමින්ය.


තිස්ස සමන් අලියාගේ අවසන් කටයුතු සිදු කිරීමේන් අනතුරුව බ්‍රිගිතා මෙලෙස ප්‍රකාශ කළාය.


‘‘මා ස්විඩනයේ පෙර පාසලක දරුවන්ට අධ්‍යාපනය ලබා දෙනවා. නිවාඩුවකට ලංකාවට පැමිණි අවස්ථාවක මට තිස්ස සමන් හඳුනා ගන්න ලැබුණා. මම සමන් නාවලා තියෙනවා. මම ඒ සතාට ගොඩක් ආදරේයි. සමනුත් මට කරුණාව දක්වනවා. වර්තමානයේ මේ රටේ අලි මරා දමනවා. එක හොඳ නෑ. ඒ අයට ආදරය කරුණාව වෛරය තරහ බව හොඳට තේරෙනවා. සමන් අසනීප වෙලා ඉන්නවා කියලා දැන ගත්තා. ඊට පස්සේ මම නිවාඩු අරගෙන කෙළින්ම පින්නවලට ආවා. එතකොට සමන්ට ගොඩක් අමාරු බව ⁣මට පෙනී ගියා. මම කතා කළාම මා දිහා බැලුවා. පින්නවල පශු වෛද්‍යවරු කාර්ය මණ්ඩලය ⁣ඇත් ගොව්වන් සමන්ට ප්‍රතිකාර කරපු ආකාරය මා ආගිය දින කිහිපය තුළ දැක්කා. ඒ දැකපු නිසා මට පුංචි සතුටක් හිතේ මතු වෙනවා යැයි බ්‍රිගිතා මහත්මිය පැවසුවාය.


විශේෂ ස්තුතිය: සත්වෝද්‍යාන දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා මල්සිංහ මහත්මියට, නියෝජ්‍ය අධ්‍යක්ෂිකා රේණුකා බණ්ඩාරනායක මහත්මියට, පින්නවල අලි අනාථාගාරයේ සහකාර අධ්‍යක්ෂ මිහිරාන් මැදවල මහතාට, සත්ව භාර නිලධාරි සංජය රත්නායක මහතාට.

 

 

ජායාරූප සහ විස්තර 
කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න