මැතිවරණ කාලයේ උදව් ලබාගන්න නිසා දේශපාලකයො පාතාලයට ණය ගැතියි


ඇමැති මනෝ ගනේෂන්

 

යළිත් වරක් පාතාලයේ ක්‍රියාකාරකම් හිස ඔසවමින් පවතියි. දිනෙන් දිනම කොහේ හෝ ඝාතනයක්, මංකොල්ලකෑමක්, ස්ත්‍රී දූෂණයක් අසන්නට ලැබේ. පසුගිය වකවානුවේ පාතාලයේ ක්‍රියාකාරකම් සඳහා දේශපාලකයන්ගේ අනුග්‍රහය ලැබීම නිසා දේශපාලනඥයින් බලයට පත් වීමෙන් පසු පාතාලයේ ක්‍රියාකාරකම් වර්ධනය වීමක් දක්නට ලැබුණි. මෙම තත්ත්වය නිසා ජනතාව අතරද බියක් හටගෙන ඇති අතර මෙය වහාම නතර කළ යුතු බව අමාත්‍ය මනෝ ගනේෂන් මහතා ප්‍රසිද්ධියේ සඳහන්කොට ඇත. අමාත්‍යවරයා පාතාලයේ ක්‍රියාකාරකම් වැළැක්වීම සඳහා නිරන්තව අදාළ බලධාරින්ගේ අවධානය යොමු කළේය. පාතාලයේ ක්‍රියාකාරකම් නතර කිරීම සඳහා දිගින් දිගටම කෑකෝ ගැසූ අමාත්‍ය මනෝ ගනේෂන් මහතා සමඟ ‘ඉරිදා ලංකාදීප’ ය කළ සාකච්ඡාවයි මේ.  


ප්‍රශ්නය:- පාතාලය මැඬ පවත්වන්න ඔබ නිරන්තරයෙන් කතා කළ අයෙක්. ඒ පිළිබඳව විස්තර කළොත්?  


පිළිතුර:- ඔව්. මම දිගින් දිගටම මේ පිළිබඳව කතා කළා. ඉදිරියටත් මේ පාතාලයේ ක්‍රියාකාරකම් නවත්තන්න කතා කරනවා. මේ නිසා මටත් නොයෙකුත් තර්ජන ආවා. මම ඒවට බය කෙනෙක් නොවෙයි. මම පාතාලය සමඟ කිසිම සබඳතාවක් නැති නිසා ඒ ගැන කථා කරන්න බයක් නැහැ. ඇතැම් දේශපාලනඥයන් ඍජුවම පාතාලය සමඟ නිරන්තර සබඳකම් පවත්වනවා. ඒකට ප්‍රධාන පක්ෂවල දේශපාලනඥයන් සම්බන්ධයි. මොකද, ඔවුන්ට මැතිවරණවලදී පාතාලයේ සාමාජිකයන්ගේ සහය අවශ්‍යයි ජයග්‍රහණ සඳහා. ජයග්‍රහණයෙන් පස්සේ පාතාල සාමාජිකයන් ඔවුන්ගේ අපේක්ෂාවන් ඉටුකරගන්න හදනවා.  


ප්‍රශ්නය:- පාතාලය යළි හිස ඔසවලා තිබෙනවා නේද?   


පිළිතුර:- හරි කණගාටුදායක තත්ත්වයක් තමයි මේක. අපිට සතියකට සැරයක් හෝ වෙඩි තැබීම්, එයින් මරණයට පත්වීම්, තුවාල සිදුවීම්, රෝහල් ගතවීම් පිළිබඳ අසන්නට ලැබෙනවා. නිල නොවන කණ්ඩායමක් අවි ආයුධ පාවිච්චි කිරීමේ ප්‍රවණතාවක් නිසා තමයි මේ දේවල් සිද්ධ වෙන්නේ. රටේ අවි ආයුධ පාවිච්චි කිරීමේ නිල බලය ලබාදී තිබෙන්නේ ආරක්ෂක හමුදාවට, පොලිසියට වගේම නිත්‍යානුකූලව අවසර ලබාදී ඇති අයට පමණයි ඒවා පාවිච්චි කරන්න බලය ලබාදී තිබෙන්නේ. ඒ කිසිවක් නොමැති අය මේ අවි ආයුධ තබාගෙන තමුන්ගේ ඉලක්ක ඉටුකරගෙන යන බව දැන් පෙනී යනවා.  


ප්‍රශ්නය:- පාතාලය සමඟ දේශපාලනඥයන්ගේ සබඳතාවක් තිබෙනවා කියලා මුලින්ම හෙළි කළේ ඔබයි.  


පිළිතුර:- මෙහෙමනේ දේශපාලනඥයෝ මේ පාතාල කණ්ඩායම්වලට නායකත්වය ලබා දෙන්නේ නැහැ. ඔවුන්ට මේ දේවල් මෙහෙම කරන්න, මේ ආකාරයෙන් කරන්න කියලා උපදෙස් දෙන්නේ නැහැ. නමුත් තමන්ට අවශ්‍ය වෙන වෙලාවට පාතාලයේ උදව් උපකාර ලබාගන්නවා. මැතිවරණ කාලයේ විශේෂයෙන්. අනිකුත් අවශ්‍ය කාලවල තමන්ට අවශ්‍ය අවස්ථාවලදී උදව් ලබාගන්නවා. එතකොට පාතාලයේ උදව් ලබාගත්තනම් ඔවුන්ට දේශපාලනඥයන් ණය ගැතියි. එතකොට පාතාලයට උදව් අවශ්‍ය වෙනකොට දේශපාලනඥයන් උදව් කළ යුතුයි. ඒකයි මෙතන තිබෙන ගනුදෙනුව. ඒක තමයි මෙතන තිබෙන වැරැද්ද.  


ප්‍රශ්නය:- මේ ගැන ඔබ දිගින් දිගටම හඬ නැඟුවා. ඒත් පළක් වෙලා නැහැ නේද?  


පිළිතුර:- මේ සම්බන්ධව පොලිසියට හා සාමය හා නීතිය සම්බන්ධ අමාත්‍යවරයා වගේම අනිකුත් නිලධාරීන් සමඟ සාකච්ඡා කළා. ඔවුන් සඳහන් කරන්නේ මේ සඳහා විශේෂ කණ්ඩායම් යොදවලා තිබෙනවා. විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කරනවා. විශේෂ නීති සකස් කරනවා කියලා ප්‍රකාශ කරනවා. නමුත් ප්‍රතිඵල නම් පෙනෙන්න නැහැ. ඒක නිසා කොතන හරි මේ සම්බන්ධව හිඩැසක් තිබෙනවා. කොතන හෝ අඩුපාඩුවක් තිබෙනවා. ඒක නිවැරැදි කළ යුතුයි. අර හිඩැස වසන්න ඕනෑ. මේක මගේ මතය පමණක් නොවෙයි. මහජනතාවගේත් මතය එයයි. මේ සම්බන්ධව හඬක් නගන්න බැරි අසරණ මහජනතාවගේ මතයත් ඒකයි.  


ප්‍රශ්නය:- එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් දේශපාලනඥයන්ට චෝදනා එල්ල වුණා පාතාලයට ඍජුවම සම්බන්ධ බවට. ඒ ගැන කතා කළහොත්?  


පිළිතුර:- එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමැතිවරුන්ට පමණක් මේ ගැන චෝදනා එල්ල කරන්න බැහැ. මේක දීර්ඝ කාලයක් පුරාවටම රටේ ප්‍රධාන පෙළේ නායකයන්ගේ සිට සාමාන්‍ය මන්ත්‍රීවරයකු දක්වා පාතාලයේ උදව් උපකාර ලබාගත්තා. පාතාලය එක්ක සබඳතා පැවැත්වුවා. දැන් එක්සත් ජාතික පක්ෂය පාලන බලයේ සිටින නිසා ඒක කැපී පෙනෙනවා ඇති. මේක එදා ඉඳලම තිබුණා.  


පක්ෂ, පාට, ආගම්, ජාති භේදයකින් තොරව මේ සඳහා විරුද්ධ වෙන්න ඕනැ. ඒක කාටත් දැනුම් දෙන එක මගේ වගකීමක්. මම දැනුම් දුන්නට ප්සසේ දැන ගත්තා කියලා කියන්න බැහැ. ඒක ගැන කව්රුත් දන්නවා. සෑම පක්ෂ නායකයෙක්ම දන්න කාරණයක්. සැමෝම තමුන්ගේ පක්ෂයේ සිටින සාමාජිකයන් මෙයට සම්බන්ධ වෙන්න එපා කියලා කියන එක පක්ෂ නායකයන්ගේ වගකීමක්.  


ප්‍රශ්නය:- මේ පිළිබඳ අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමු කරන්න ක්‍රියා කළා නේද?  


පිළිතුර:- මීට පෙරත් මම මේ ගැන කථා කළා. ඉදිරියේදී තව දුරටත් මේ පිළිබඳ කථා කරන්න බලාපොරොත්තු වෙනවා.  


ප්‍රශ්නය:- පාර්ලිමේන්තුව තුළ හඬක් නගන්න බලාපොරොත්තු වෙනවාද?  


පිළිතුර:- මේක සාමය සහ නීතිය පිළිබඳ ප්‍රශ්නයක්. අමාත්‍ය මණ්ඩලය තුළ වගේම පාර්ලිමේන්තුව තුළත් මේ පිළිබඳව කථා කරන්න ඕනෑ. ඒ පිළිබඳව මම ඉදිරියේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා.   


ප්‍රශ්නය:- මේ නිසා මැති ඇමැතිවරුන්ටත් තර්ජන එල්ලවී තිබෙනවා නේද?   


පිළිතුර:- අනිවාර්යයෙන්ම මෙය තව දුරටත් වර්ධනය වෙන්නට ඉඩ දුන්න නම් ඉන්න සැමෝටම බලපාන්න පුළුවන්. තමුන්ගේ රාජකාරිය නිසි ලෙස ඉටු කරගන්න බැරි තත්ත්වයකට පත්වෙයි. ඒ නිසා බුද්ධියක් තිබෙන රටට ආදරය කරන සංස්කෘතියක් තිබෙන රටේ පුරවැසි කව්රුත් මේකට හැමෝම තරයේ විරුද්ධ වෙන්න ඕනැ. නමුත් සාමාන්‍ය ජනතාවට හඬක් නගන්න බැහැනේ. ඒ නිසා නායකයන්ට වගකීමක් තිබෙනවා මෙය නවත්වන්න. ඒ වගේම පොලිස්පති ඇතුළු පොලිසියේ සියලුම නිලධාරීන්ට මේ සඳහා වගකීමක් තිබෙනවා. මෙයට එරෙහි වෙන්න.  


ප්‍රශ්නය:- දැන් පසුගිය දිනක වාර්තා වුණා පාතාල සාමාජිකයකුගේ විවාහ උත්සවයකටත් පොලිස් ආරක්ෂාවක් දුන්නා කියලා.  


පිළිතුර:- ඔව්. ඒ සිද්ධිය මටත් වාර්තා වුණා. නමුත් ඍජු තොරතුරු මට වාර්තා වුණේ නැහැ. ඒ වගේ ආරංචියක් මටත් දැන ගන්න ලැබුණා. මේ වගේ දෙයක් සිදුවෙලා තිබුණා නම් ඒක ඉතාමත් වැරැදියි. බරපතළයි. ඒ පිළිබඳව අපක්ෂපාති පරීක්ෂණයක් පැවැත්විය යුතුයි. මේ සිද්ධිය නිසා මහජනතාවට පොලිසිය පිළිබඳ තිබෙන විශ්වාසය බිඳ වැටෙනවා. ඒවගේ දේවල් සිදුවිය යුතු නැති දේවල්. මෙතන තිබෙන තවත් කාරණයක් තමයි මම දකින විදිහට පාතාල සාමාජිකයන් අත්අඩංගුවට ගන්නවා වෙනුවට ඔවුන් සමඟ සබඳතා පැවැත්වීම නිසා පොලිසියේ ගෞරවය අඩු වෙනවා.  


ප්‍රශ්නය:- මේ වෙනවිට දේශපාලනඥයින් පාතාලයේ අතකොළු බවට පත්වෙලා තිබෙනවා. මෙවැනි තත්ත්වයක් තුළ දේශපාලනඥයන් ගැනත් ජනතාව කලකිරෙනවා නේද? කළු පැල්ලමක් ලැබෙනවා නේද?   


පිළිතුර:- අනිවාර්යයෙන්ම. සමහර දේශපාලනඥයින්ට කළු පැල්ලම ලැබිලා ඉවරයි. සමහර වෙලාවට එක එක අවශ්‍යතා ඉටුකරගන්නවානම් පාතාලය පාවිච්චි කරලා ඔවුන්ගේ ඉලක්කය ඉටු වූවාට පසු ශාන්තුවරයන් වගේ ඉන්න බලනවා. ඒත් කළු පැල්ලමක් වැටුණොත් වැටුණම තමයි. ඒක ආපහු මකන්න බැහැ. ඒක අයින්කර ගන්න අමාරුයි.   


ඒ වගේ දේශපාලකයන් අපේ රටේ ඉන්නවා. ජනතාව ඔවුන් පිළිබඳ තීරණයක් ගන්න ඕනැ. ජනතාව දැන් ඉස්සරට වඩා බුද්ධිමත්. ඒ නිසා එවැනි අය පිළිබඳව ජනතාව බුද්ධිමත් වෙලා සිටින්නේ.  


ප්‍රශ්නය:- ඉදිරියේදි ජනතාව ඔවුන් කෙරෙහි තීරණයක් ගන්න අවශ්‍යයි නේද?  


පිළිතුර:- අනිවාර්යයි. අනිවාර්යයි. මේ වගේ සොරකම් කරන අය, දූෂණයට භීෂණයට සම්බන්ධ අය, එපමණක් නොවෙයි පාතාලයට, ප්‍රචණ්ඩත්වයට, නීති වි​ෙරා්ධි අවි ආයුධ කල්ලි සමඟ සබඳතා පවත්වන අය, ස්ත්‍රී දූෂකයන්, මංකොල්ලකරුවන්, මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ජනතාව ප්‍රතික්ෂේප කරන්න ඕනෑ. පක්ෂ, පාට භේදයකින් තොරව ඔවුන්ව ප්‍රතික්ෂේප කරන්න ඕනැ. එතකොට තමයි රටක් හදන්න පුළුවන්. එතකම් රට හදන්න බැහැ.  


ප්‍රශ්නය:- පාතාලය සමඟ මත් ද්‍රව්‍ය ජාවාරමත් එක හා සමානව යනවා නේද?  


පිළිතුර:- නැතුව, පාතාලය, මත් ද්‍රව්‍ය, ගණිකා ජාවාරම මේ තුනම එකට එක අත්වැල් බැඳගෙනයි යන්නේ. හරියට දම්වැලක් වගේ. එකට එක සම්බන්ධව මිශ්‍ර වෙලයි තිබෙන්නේ. පාතාලයට අනිවාර්යයෙන් මත් ද්‍රව්‍ය ව්‍යාපාරිකයන්ගේ සම්බන්ධකමක් තිබෙනවා. එහෙම කරන අය අනිවාර්යයෙන් ගණිකා ජාවාරමත් කරනවා. තුනම වෙන් වෙන් වශයෙන් ගණනය කරන්න බැහැ. රජයේ දෙපාර්තමේන්තු වගේ වෙන්, වෙන්ව කරන්න බැහැ. ගණිකා ජාවාරම් දෙපාර්තමේන්තුව, මත් ද්‍රව්‍ය ජාවාරම් දෙපාර්තමේන්තුව, පාතාල දෙපාර්තමේන්තුව වගේ කියලා වෙන් කරන්න බැහැ. මේ තුනම එකම ජාලයක්. මේ තුනම එකතුවෙලා එක සංස්ථාවක් නිර්මාණය වෙලා තිබෙනවා. නීති විරෝධී සංස්ථාවක්. ඒක නිසා ඒ සංස්ථාව තමයි අපි සියලු දෙනා එකතුවෙලා බිඳ දමන්න ඕනෑ. 

 

 

 

 

 

සාකච්ඡා කළේ:- 
නිශාන්ත කුමාර බණ්ඩාර