මැතිවරණ වර්ජනය කිරීමට තීරණය කළ ගමක්


කපුයාය ගමේ ජීවත්වන ජනතාවගෙන් කොටසක්

 

 

කුමන මැතිවරණයක් ලබාදුන්නත් මෙවර එය වර්ජනය කිරීමට මාතලේ ලග්ගල, පල්ලේගම, කපුයාය ගම්මානයේ ජනතාව තීරණය කර ඇති බව ඔව්හු කියති. 
මොරගහකන්ද කළු ගඟ ජලාශ ඉදිකිරීම සඳහා ඉඩම් ලබාදුන් ජනතාවට විකල්ප ඉඩම් ලබාදීමට තම බඩවියත රැකගත් ඉඩකඩම් දන් දුන් ලග්ගල, පල්ලේගම, කපුයාය ගම්මානයේ ජනතාව දස වසරක් තිස්සේ අනන්ත දුකක් විඳින බවත් එම නිසා තමන්ට සාධාරණය ඉටුකර ගැනීම සඳහා මැතිවරණයේදී කිසිදු පක්ෂයකට තම ගම්මානයේ පවුල් 110ක් ඡන්දය ලබා නොදී මැතිවරණය දිනට ගමේ කළු කොඩි ඔසවන බව ගම්මු කියති. 


ජනතාව වගා කරගත් ඉඩම් මහවැලි අධිකාරියට පවරාගෙන මොරගහකන්ද කළුගඟ ජලාශවලට ඉඩම් අහිමිවූවන්ට, ඇතැමුන්ට විකල්ප ඉඩම් ලබා දී නැත. 
එහෙත් පවුල් 110ක ජනතාවක් අද කන්න අඳින්න බොන්න කිසිවක් නොමැතිව අසරණව ජීවත් වන බවත් වැසිකිළියක් හෝ නොමැතිව දිවි ගෙවන තම ගම්මානයේ ජනතාවට රජයේ නිලධාරීන් සහ දේශපාලනඥයින්ගේ කිසිදු අවධානයක් යොමු නොවන බව ද කියති. රජයේ නිලධාරීන් ද ජනතාව නොසලකා හැරීම නිසා ගම්මු සියලු දෙනාම එක්ව මේ තීරණයට එළැඹි බව කියති. 


මොරගහකන්ද කළු ගඟ ජලාශ ඉදිකිරීම සඳහා ලග්ගල, පල්ලේගම, කපුයාය ගම්මානයේ ජනතාව වගා කරගත් ඉඩම් මහවැලි අධිකාරියට පවරාගෙන ඇත. ඒ මොරගහකන්ද කළු ගඟ ජලාශවලට ඉඩම් අහිමිවූවන්ට විකල්ප ඉඩම් ලබාදීමට පොරොන්දු වෙමිනි. ඔවුන්ගේ වගකීම් ඉටු නොකිරීම නිසා දැඩි වේදනාවෙන් පසුවන මෙම අහිංසක ජනතාවට රජයෙන්, නිලධාරීන් යමක් නොකරන නිසා මෙවර මැතිවරණය වර්ජනය කිරීමට තීරණය කොට ඇත. 

 

කපුයාය ගමේ ජීවත්වන ජනතාවගෙන් කොටසක්

 

 


පෙරදා ගොවිතැනින් ඉතා හොඳට ජීවත් වූ මේ ගම්මානයේ ජනතාව අද අන්ත අසරණ වී සිටිති. 


මෙම ගම්මානයට ගිය විට තම ගමට සිදුවී ඇති හානිය පිළිබඳව අදහස් දැක්වූ ගම්මුන් කිහිපදෙනෙක්. 


වසර 40ක පමණ තම අත්දැකීම් ඉදිරිපත් කළ ඒ. ජී. බේබි මහත්මිය : “මට පුතාලා තුන්දෙනෙක් ඉන්නවා. අපි තුන්දෙනාම එක ගෙදර ඉන්නේ. ඒ අය විවාහ වෙලා. අපිට යන්න එන්න තැනක් නෑ. ගොවිතැන් බතින් බුලතින් ජීවත් වුණ අපට අද බොන්න වතුර නෑ. 


මේ ගමේ එක්කෙනෙක් දෙන්නෙක් නෙවෙයි සියලුමදෙනා එකම විදිහට දුක් විඳින්නේ. අපි මීට අවුරුදු දහයකට කලින් බොහොම හොඳින් හිටපු මිනිස්සු. කාගෙන්වත් ඉල්ලන් කන්න ගියේ නෑ. අපි පිටින් ගෙනාවේ සබන් කැටයයි ලුණු ටිකයි විතරයි. අනිත් සියල්ල අපි වවාගෙන කෑවේ. අද අපිට කන්න බොන්න නැතුව බඩගින්නෙ වේළෙන්න වෙලා. ඒකට වගකියන්න ඕනෑ මහවැලි අධිකාරිය. එයාලා තමයි අපිට විකල්ප ඉඩම් දෙනවා කියලා අපි ගොවිතැන් කරමින් හිටපු ඉඩම් ටික ගත්තේ.” 


බී. ජී. ගුණදාස මහතා : “අපේ ගම පිහිටලා තියෙන්නෙත් කළු ගඟ අසබඩ ඉතාම කුඩා භූමියක. එක ගෙදර පවුල් තුන හතර ජීවත්වෙනවා. අක්කර කාලක ඉඩමක පවුල් දෙක තුන ගෙවල් හදාගෙන ඉන්නවා. ඉඩක් නැති නිසා යන්න එන්න තැනක් නැති හින්දා මිනිස්සුන්ගේ පෞද්ගලිකත්වය පවා අහිමි වෙලා තියෙනවා. අඩුම තරමේ වැසිකිළියකට යන්න තියෙන අවස්ථාව අහිමි වෙලා. අපි හරියට වෙනත් රටකින් ගෙනල්ල දාපු මිනිස්සු වගේ. දේශපාලනඥයෝ ළඟට කියන්න ගියාම කොහෙද ගම කපුයාය ද කියලා අහනවා.
එ්. ජී. හේමලතා මහත්මිය : “අපේ කපුයාය ගමට කරපු අපරාදෙට මෙදා අපි කිසිම කෙනකුට ඡන්දය දෙන්නේ නැහැ. ඡන්දය ඉල්ලන්න ආවොත් එහෙම අපි ගම සංවිධානය කරලා ගහලා තමයි එළවන්නේ. මොකද ඒ අයට රෙද්දක් ඇඳගෙන කලිසමක් ඇඳගෙන අපේ ගමට ඇවිල්ලා ඡන්දයක් ඉල්ලන්න බෑ කිසිම දේශපාලන පක්ෂයකට. ඒ තරම් අපිව විනාශ කළේ. 

 

පයින් ගමන් කරන පාසල් දරුවෝ

 


අපි එක වේලක් කන්නේ. දරු පැටවුන්ට ඉගෙන ගන්න විදිහක් නෑ. කිලෝමීටර් දෙකහමාරක් තුනක් පයින් යන්න ඕන. කලන්තේ දාලා වැටෙනවා දරුවෝ බඩගින්නේ. අඳින්න ඇඳුමක් නෑ. කෙල්ලො ඉන්නවා ගමේ. අඩුම තරමේ විවාහයක් කරලා දෙන්න විදිහක් නෑ. කොල්ලෝ ඉන්නවා ගමේ ගෙදරටම නාකි වෙලා. එක ගෙදර පවුල් හතරක් පහක් ජීවත් වෙනකොට ආපහු පවුලක් කරවන්නේ කොහොම ද. මේක සමාජ ප්‍රශ්නයක් බවට තේරෙන් නෑ මේ මිනිස්සුන්ට. හැබැයි අපිට කියලත් ජීවත් වීමේ අයිතියක් තියෙනවා. අපි වන සත්තු නෙවෙයිනේ. මේක බලධාරීන්ට තේරෙන්නෙ නෑ. ලග්ගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගියාම බැණල එළවනවා. මහවැලි අධිකාරියට ගියාම ලියකියවිලි පුරවලා ගොන්නක් හදනවා අවුරුදු දහයක් තිස්සේ. හැබැයි මේ සැරේ අපි මුලින්ම මේ ගැන මාධ්‍යයට හෙළිදරව් කරනවා. ඊට පස්සේ දෙවනුව බලධාරීන්ගේ ජනාධිපතිවරයාගේ ඇස් දෙක ඇරුණේ නැත්නම් ලග්ගල හන්දියෙන් සම්පූර්ණයෙන්ම පාර වහලා හිරේ ගියත් ගම සංවර්ධනය කරලා දෙනකම් අපේ ඉඩම් ටික දෙනකම් පාරවත් අරින්නෙ නැතුව ඉන්න තමයි බලන්නේ. මරල දැම්මත් අපි ඒ දේ කරනවා.” 


එල්. ජී. චන්ද්‍රලතා මහත්මිය : “අපේ ගමේ දරුවො මන්දපෝෂණයෙන් පෙළෙනවා. අරන් බලන්න දරුවන්ගේ ළදරු කාඩ් එක. හැම දරුවෙක්ම රතු ඉරේ යන්නේ. පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් කියනවා කන්න දෙන්න කියලා. අපි මොනවද කන්න දෙන්නේ. 


නාන්න තිබුණ වතුර ටික මඩ කරල එවනවා. වතුර ටික බොන්න නෑ. ප්‍රාදේශීය සභාවේ සතියට සැරයක් බැරල් එකට ගෙනල්ලා දාන වතුර තමයි බොන්නෙ. වතුර බොන්න නිදහස නෑ. කන්න නිදහසක් නෑ. අඳින්න නිදහසක් නෑ. නිදාගන්න නිදහසක් නෑ. මහවැලි අපට කළේ මහා හෙණ ගහන අපරාධයක්. හැබැයි ඒ අය බොරු කියලා අපිව විනාශ කළා. කවදා හරි අපි මේ තියෙන ශාපය මේක කරපු උන්ට වදින එක වදිනවා. ඒ ශාපෙන් මිදෙන්න බෑ. ඒ අය වෙනත් නීතියක් හදාගන්න යනවා. මොරගහකන්ද ජලාශය කළු ගඟ ජලාශය ඉඩම් ලබා දුන්නු අයට වන්දි දෙනවා. ගෙවල් දුන්නා. අපි ඒ අයට ඉඩම් දෙන්න අපේ බත්පත පූජා කළා. හැබැයි අපිට අඩුම තරමේ හාල් කිලෝ එකක්වත් දෙන්නෙ නැහැ, අපේ බත්පත ගියාට.” 

 

ගමේ කටුමැටි ගැසූ කුඩා නිවසක්

 

 


මේ පිළිබඳව මොරගහකන්ද කළු ගඟ ජලාශ ව්‍යාපෘති අධ්‍යක්ෂ ඩී.එම්. විජේරත්න මහතාගෙන් විමසීමේදී කියා සිටියේ මේ ගම්මානයේ පිරිසකට පිට පළාතකින් ඉඩම් කොටස් පෙන්වා ඇති බවයි. තවත් පිරිසක් අවශ්‍ය නීත්‍යනුකූල ලිපි ලේඛන සම්පූර්ණ කර නැති බවය. එම පවරාගත් රජයේ ඉඩම්වල වගා කළ අයට මහවැලිය වගා වන්දියක් ගෙවා තිබෙන බව ද කීවේය. 


 අප මේ පිළිබඳව ලග්ගල ප්‍රාදේශීය ලේකම් පියල් ජයසූරිය මහතාගෙන් විමසීමේදී කීවේ එම ගම්මානයේ ජනතාවගේ දුක් ගැනවිල්ල සත්‍ය බවය. තමන් අවස්ථා කිහිපයකම මේ ගමට ගොස් ජනතාව සමග කතා කොට මේ ප්‍රශ්නයට විසඳුම් ලබාදීමට උත්සාහ කළ ද ලග්ගල ප්‍රදේශයේ රජයේ ඉඩම් නොමැති නිසා ඒ අයට ඉඩම් සෙවීම ප්‍රශ්නයක්ව පවතින බවය. 


ගම්මානයේ ජන ඝනත්වය වැඩි නිසා සීමිත ඉඩම් කොටස්වල පවුල් රැසක් එකට පදිංචි වී සිටින බවය. කළු ගඟ අසබඩ ජීවත්වන මේ ජනතාව එම ප්‍රදේශයෙන් ඉවත්ව යාමට ද අකැමැත්තක් දක්වන බව ද කීවේය. 


කෙසේ වෙතත් මේ ජනතාවට ඉතා ඉක්මනට විසඳුමක් ලබාදීමට අවැසි බව කීවේය.

 

පවුල් 5ක් පාවිච්චි කරන වැසිකිළියක්

 

 

 

සටහන හා සේයාරූ :  දඹුල්ල
කාංචන කුමාර ආරියදාස