මාතර කොල්ලයට ගිය කල්ලියේ අපරාධ මෙන්න


 

දිවයිනේ ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු වූ මාකඳුරේ මදුෂ් ඇතුළු ගෝලයින්ගේ පාතාල ක්‍රියාකාරකම් මීට පෙර මාතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වුවත් කොස්ගොඩ තාරකගේ කල්ලියෙන් මීට පෙර එවැනි තර්ජනයක් ඇති නොවීය. රට පුරාම තමන්ට රිසි පරිදි බැංකු හා මූල්‍ය ආයතන මංකොල්ලකමින් මහ දවල් මිනිසුන් මරා දමමින් පාතාලය මෙහයවූ කොස්ගොඩ තාරක අවසානයේ පාඩමක් ඉගෙන ගත්තේ මාතරිනි.   


මාතර මිනිස්සු බුද්ධිමත්ව කටයුතු කර ඔවුන්ගේ යතුරුපැදි උස්සා සැඟවූවා පමණක් නොව ඉක්මනින් ඒ බව පොලීසිය වෙත දැනුම් දීමට ද ක්‍රියා ක​ෙළ්ය. මේ නිසා හැම ගසකටම කොට කොටා ගිය කොට්ටෝරුවා කෙසෙල් ගසට කොටන විට හොට පටලවා ගත් ආකාරයටම කොස්ගොඩ තාරකට ද සිදු වූයේ එවැන්නකි. තම ජීවිතය පූජා කර හෝ සටන් කර කොල්ලය නතර කිරීමට පුළුවන් පොලිස් වීරයන් ද මාතර සිටීම තුළ ඔහුගේ උත්සාහය වැරදුණු කුරුමානමක් බවට පත් විය.   


ඒ මාතර කොට්ඨාසය භාර පොලිස් අධිකාරි ගයංග හසන්ත මාරපන මහතා යටතේ පවතින මාතර පොලීසියේ සැරයන් හා පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුගේ වික්‍රමාන්විත සටන්කාමීත්වය නිසාය.   
යම් හෙයකින් පොලිස් කොස්තාපල් සුරංග ප්‍රදීප් වීරසිංහ මහතාගේ ගිනි අවිය අතර අතරමගදී ක්‍රියා විරහිත නොවුණා නම් කොස්ගොඩ තාරක ඇතුළු කල්ලියට සිදු ​ෙවන දෙය සිතා ගැනීමටත් නොහැකි වනු ඇත. අවසානයේ ඔවුන්ට සිදු වූයේ රෝහලෙන් දුන් සුදු රෙදි කැබැල්ලකින් නිරුවත වසා ගෙන බල්ලන් මෙන් රෝහලේ ඇඳවල්වලට වී සිටීමටය. ඔවුන්ගේ සගයෙකු වූ ඉන්ද්‍රජිත් නමැත්තාට පොලිස් අත්අඩංගුවේ සිටිය දී සිදු වූ දෙය පිළිබඳව කිඹුල් කඳුළු හෙළන ඇතැම් දේශපාලනඥයින්ට පොලිස් කොස්තාපල්වරයාගේ බිරිඳගේ අඳෝනාව හෝ ඒ දරු පැටවු දෙදෙනාගේ අසරණකම නොපෙනීම කණගාටුවට කරුණකි. ඒ වගේම කිසිම දෙයකට සම්බන්ධයක් නැතිව පාරේ යමින් සිටියදී පාතාලයින්ගේ වෙඩි ප්‍රහාරයට ලක්ව ජීවිතයත් මරණයත් අතර පසුවන බස් කොන්දොස්තරවරයාගේ බිරිඳට හා දරුවන් සිව් දෙනාට සිදු වූ දෙය අමතකය.   


කොස්ගොඩ, නානතොට, නෙල්ලිගස් කැලේ පදිංචි ධර්ම කීර්තී තාරක පෙරේරා විජේසේකර නොහොත් කොස්ගොඩ තාරක හිටපු යුද හමුදා ඉංජිනේරු බළකා සෙබළෙකි. නමින් ධර්මකීර්ති වුවත් හැම විටම අධාර්මිකව කටයුතු කළ ඔහු පාතාල කල්ලි නායක මාකඳුරේ මදුෂ්ගේ ප්‍රතිවාදී කල්ලි නායකයෙකු ලෙස සැලකේ. එමෙන්ම මදුෂ්ට හිතවාදී කොස්ගොඩ සුජීගේ කල්ලිය සමග නිතර ගැටුම් ඇති කර ගන්නා ඔහුගේ නම ඉදිරියේ නම ගිය අපරාධ රැසක් සටහන් වී තිබේ.   


2017 වසරේ නොවැම්බර් මස 29 වැනි දින ගිනි අවිවලින් වෙඩි තබා ඌරගස්මංහන්දිය යුද පිටියේ දී ගජමුණි මහින්ද ප්‍රේම රාජා ද සොයිසා, අයේෂ් ධනංජය ද සොයිසා හා දුමිදු විශ්මිත ද සොයිසා යන තිදෙනා ඝාතනය කිරීම ඔහු ඇතුළු පාතාල කල්ලිය විසින් සිදු කර ඇත.   


එදිනම කොස්ගොඩ මැණික් ගම්මානයේ පදිංචි උස්වත්ත ආරච්චිගේ කපිලරත්න නමැති අය වෙඩි තබා ඝාතනය කර තිබේ. තවද එම දිනය තුළදීම කොස්ගොඩ කුරුඳුගස්පිටියේ පදිංචි සදීප සුරංජන් සිල්වා යන අයට වෙඩි තබා බරපතළ තුවාල සිදු කර තිබුණි.   


ඉකුත් අප්‍රේල් මස 21 වැනි දින නිට්ටඹුව පොලිස් වසමේ අත්තනගල්ලේ දී ගිනි අවියකින් වෙඩි තබා අවුරුදු උත්සවයේ සංගීත සංදර්ශනයකට සහභාගි වී සිටි පස් ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරීම හා තවත් සිව් දෙනෙකුට බරපතළ තුවාල සිදු කිරීම කොස්ගොඩ තාරක ඇතුළු පාතාල කල්ලියක් විසින් සිදු කර ඇත.   


2017 වසරේ මැයි මස 26 වැනි දින මීරිගම නගරයේ පෞද්ගලික බැංකුවකට ඇතුළු වී ගිනි අවි පෙන්වා රුපියල් විසි තුන් ලක්ෂ තිස් හය දහසක් කොල්ලකෑම මෙන්ම එදිනම මීරිගම ඉන්ධන පිරවුම්හල අසල දී රුපියල් එක් ලක්ෂ විසි දහසක් වටිනා යතුරුපැදියක් කොල්ලකා තිබේ.   


2017 වසරේ දෙසැම්බර් මස 05 වැනි දින තංගල්ල කුඩාවැල්ල රජයේ බැංකුවක් තුළට කඩා වැදී ගිනි අවි පෙන්වා ලක්ෂ 56ක මුදලක් කොල්ලකෑවේ ද කොස්ගොඩ තාරක ඇතුළු පාතාල කල්ලිය විසිනි.   


2015 මාර්තු 05 වැනි දින කොස්ගොඩ දී වෑන් රථයක් කොල්ලකා ඇති අතර එම නඩුව ලබන නොවැම්බර් 11 වැනි දින බළපිටිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවීමට නියමිතව ඇත.   


2011 ජූලි මස 18 වැනි දින කොස්ගොඩ රාජ්‍ය බැංකුවකට ඇතුළු වී රුපියල් විසි තුන් ලක්ෂ තිස් පන්දහසක් වටිනා මුදල් හා රන් ආභරණ ද බෝර 12 තුවක්කුවක් කොල්ලකෑම ද සිදු කර ඇත්තේ ඔහුගේ මූලිකත්වයෙනි.   
2015 මාර්තු 17 වැනි දින මොරටුව පොලිස් වසමේ සිදු වූ කොල්ලයකට ද ඔහු සහභාගි වී ඇත. 2012 ජනවාරි 13 වන දින පිස්තෝලයක් හා උණ්ඩ තුනක් ළඟ තබා ගැනීම හා 2015 ජුනි 15 වැනි දින ජීව අත්බෝම්බයක් හා රිවෝල්වරයක් ළඟ තබා ගැනීම යන වැරදිවලට ඔහු කොට්ටාව පොලීසිය සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.   

 

පොලීසියට එල්ල කරන්නට උත්සාහ කළ අත් බෝම්බය

 


කොස්ගොඩ තාරකගේ සහෝදරයා වන ධර්මකීර්ති මදුක පෙරේරා නමැත්තා ද එම අපරාධ රැසක සැකකරුවකු වන අතර ඊට අමතරව 2017 නොවැම්බර් 29 වැනි දින කොස්ගොඩදී උස්වත්ත ආරච්චිගේ විමලරත්න යන අයට වෙඩි තබා ඝාතනය කිරීම හා 2015 ජනවාරි මස 06 වැනි දින මහින්ද ප්‍රේම රාජගේ නිවසට පැන තියුණු ආයුධවලින් පහරදී තුවාල සිදු කිරීම යන චෝදනාවන්ට ලක්ව තිබේ.   


මාතරදී පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් පසු සඟවා ඇති බෑගයක් පෙන්වීමට යාමේදී පොලීසියට අත්බෝම්බයක් එල්ල කිරීමට උත්සාහ කළ විට පොලිස් වෙඩි පහරින් මරුමුවට පත්වූ බව කියන වේයන්ගොඩ මාලිගාතැන්න පදිංචිව සිටි තුවක්කුවේ කංකානම්ලගේ චාමර ඉන්ද්‍රජිත් ජයසුන්දර නොහොත් චාමර හිටපු යුද හමුදා කොමාන්ඩෝ සෙබළෙකි.   


2016 දෙසැම්බර් 24 වැනි දින වේයන්ගොඩ දී ගිනි අවියකින් වෙඩි තබා උදම්මිට සමරේ ඝාතනය කිරීම හා තවත් අයෙකුට වෙඩි තැබීම, 2016 මාර්තු මස 03 වැනි දින දෙමටගොඩ දී බන්ධනාගාර බසයක ගමන් කළ පාතාල කල්ලියකට වෙඩි තැබීම, 2009 දෙසැම්බර් 19 දින වේයන්ගොඩ නයිවල දී ගිනි අවි පෙන්වා රුපියල් හැත්තෑපන් දහසක් කොල්ලකෑම, ඉකුත් මැයි 24 වන දින නිට්ටඹුව පනාවලදී කාන්තාවකට වෙඩි තබා ඝාතනය කර ඇගේ දරුවාට තුවාල සිදු කිරීම ආදී අපරාධ රැසක් සිදු කර තිබේ. ඒ කොස්ගොඩ තාරක සමග සිදු කළ අපරාධවලට අමතරවය.   


ඔහුගේ විශාලතම කොල්ලය වන්නේ 2010 වසරේ නොවැම්බර් මස 23 වැනි දින පොලිස් නිල ඇඳුමින් සැරසී පෑලියගොඩ පෞද්ගලික බැංකුවකින් රුපියල් ලක්ෂ 632ක් කොල්ලකෑමය.   


අනුරාධපුර දුටුවැව පදිංචි හිරන්දෙණිය ගෙදර අතුල කිත්සිරි නොහොත් මලා හිටපු යුද හමුදා ඉංජිනේරු බළකා සෙබළෙකි. ඔහුට මාරවිල පොලිස් වසමේ රන් මාල කොල්ලකෑම් නඩු ගණනාවක් පවතින අතර 2017 දෙසැම්බර් 05 වන දින හික්කඩුව හෙන්නාතොට දී වෙඩි වැදීමකට ලක්ව තුවාල වූ අයෙකි.   


දැනට මාතර සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගැනීමට නියමිතව සිටින බළපිටිය රේවත පාරේ යද්දෙහිගේ දිල්ශාන් මධුසංඛ ද සිල්වා යන අය ඉහත කොස්ගොඩ තාරක මෙහෙයවූ අපරාධ හයක චෝදනා එල්ල වී තිබේ.   

 

පොලිස් වෙඩි පහරින් තුවාල ලැබූ පාතාල සාමාජිකයින් ගාල්ල කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලැබූ අයුරු   

 

ඊට අමතරව කොස්ගොඩ නානතොට නදුන් චානක අබේසේකර නොහොත් කොස්ගොඩ චූටි හා හෝමාගම හබරකඩ වසන්ත කුමාර පෙරේරා නොහොත් හබරකඩ වසන්ත යන අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටින දෙදෙනා ද ඒ ආකාරයටම මිනීමැරුම් හා කොල්ලකෑම් ඇතුළු අපරාධ රැසක සැකකරුවෝ වෙති.   


මෙම සැකකරුවන් හත් දෙනාටම මාතර නගරයේ ප්‍රසිද්ධ ස්වර්ණාභරණ ආයතනයක් කොල්ලකෑමට පැමිණ පොලිස් නිලධාරියකුට වෙඩි තබා ඝාතනය කිරීම හා තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු සිව් දෙනෙකුට බරපතළ තුවාල සිදු කිරීම සහ ගිනි අවි පෙන්වා යතුරුපැදි තුනක් කොල්ලකෑම ආදී චෝදනා එල්ල වී තිබේ.   


වසර දහයක පමණ කාලයක සිට මේ තරමට අපරාධ සිදු කරමින් අවස්ථා ගණනාවක දී පොලිස් අත්අඩංගුවට පත්ව රිමාන්ඩ් බාරයේ පසුවී ඇප ලබා ගෙන පිටතට පැමිණ යළි යළිත් එවැනිම අපරාධ සිදු කරන ඔවුන්ට තවමත් හරිහැටි නීතිය ක්‍රියාත්මකවීම ප්‍රමාද වී තිබෙන බව පැහැදිලිව පෙනෙන්නට ඇත. බොහෝ නඩුවල නීතිපති උපදෙස් පොලීසිය ඉල්ලා ඇතත් වසර ගණනක් යන තෙක් නීතිපති උපදෙස් නොලැබීම ද මීට ප්‍රධාන හේතුවකි. නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ වැටුප් පසුගියදා විශාල ලෙස වැඩි කළ ද මෙවැනි අපරාධකරුවන්ට එරෙහිව එම උපදෙස් ප්‍රමාද වීම තුළ ඔවුන්ගේ කාර්යක්ෂමතාව මනාව පිළිබිඹු වෙයි.   


ඊට අමතරව අධිකරණවල ගොඩ ගැසී තිබෙන විශාල නඩු කන්දරාව නිසා ද එම නඩු ප්‍රමාද වී යුක්තිය ඉටු වීම ද දිනෙන් දින කල් යමින් තිබේ. නීතියේ පවතින කුමන හෝ දුර්වලතාවක් නිසා අවසානයේ වටිනා ජීවිත නැති වන්නේය. අපරාධ රැසක සැකකරුවන් වුවත් කෙටි කාලයක් බන්ධනාගාරයට යමින් එමින් ඔවුන් සමාජයට සිදු කරන හානිය සුළු පටු නොවේ.   


එම නිසා පාතාලය මර්දනය කළ යුතු ද එසේත් නොමැති නම් පාතාලය සුරතල් කළ යුතු ද යන්න තීරණය කළ යුතු කාලය එළඹ ඇත.

 

 

 

 

ඡායාරූප හා සටහන - ක්‍රිෂාන් ජීවක ජයරුක්