මළ දරුවකුගේ වකුගඩුවලින් ජීවිතය ලද මව්වරු


ශ්‍රී ලංකා වෛද්‍ය ඉතිහාසයේ පළමු වරට තවත් සුවිශේෂී ශල්‍යකර්මයක් මහනුවර මහ රෝහලේ ශල්‍යාගාරයකදී සිදුකළේ එම රෝහලේ වකුගඩු බද්ධ කිරීමේ ඒකකයේ ශල්‍ය වෛද්‍ය විශේෂඥ චරිත් ප්‍රනාන්දු මහතාය.


ඒ හදිසි අනතුරකට ලක්වීමෙන් මොළය මියගොස් පොළොන්නරුව මහ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ සිටි බාල වයස්කාර දරුවකුගෙන් ඉවත්කරගත් වකුගඩු දෙකක් වකුගඩු රෝගී කාන්තාවන් දෙදෙනකුට බද්ධ කිරීමෙනි.   


මොළේ මියගොස් සිටියදී බාල වයසේ පසුවන දරුවකුගෙන් ලබාගත් වකුගඩු දෙක මෙසේ රෝගීන් දෙදෙනකුට බද්ධකළේ මෙරට වෛද්‍ය ඉතිහාසයේ පළමුවරට බවත් බද්ධ කිරීම සාර්ථක වූ බවත් මහනුවර මහ රෝහලේ ස්ථාපිත කර ඇති මොළේ මියගිය අයගේ අවයව ලබාගැනීමේ සම්බන්ධීකරණ ඒකකයේ ප්‍රධාන අරුණ අබේසිංහ මහතා පැවසීය.   


මෙම වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්මය සිදුවූයේ 6 වැනිදාය.   


බද්ධ කිරීම සඳහා වකුගඩු දෙක ලබාගත්තේ ආර්.ජී. පසිඳු ප්‍රියංකර නමැති දරුවාගෙනි.   


හත් වැනි වියේ පසුවූ පසිඳු පදිංචිව සිටියේ දෙහිඅත්තකණ්ඩිය සමනලතැන්න ඩී පහ 320 කොටසේය.   


පුංචි පසිඳුගේ වකුගඩු දෙකෙන් ජීවිතය ලැබුවේ නිකවැරටිය මහව ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි කාන්තාවක් සහ කටුගස්තොට ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි මාතාවක් ද වෙති.   


කාන්තාවන් දෙදෙනාම ජීවිතය ගැන සියලු බලාපොරොත්තු අතහැර සිටියදී පුංචි පසිඳුගේ වකුගඩු දෙකෙන් ජීවිතය ලැබීම ගැන ඒ දරු පැටියාට ඔවුහු අනේකවාරයක් පිං ලබාදෙති.   


පුංචි පසිඳු ඉගෙනගත්තේ මුරුගස්පිටිය රජයේ පාසලේ දෙවැනි වසරේය.   


ඉස්කෝලේ නිවාඩු කාලයේ පසිඳු ඔහුගේ අක්කා සහ අයියා එක්ක කෙළි​ෙදළෙන් කාලය ගතකර ඇත.   


ගෙදර බිත්තියකට හේත්තුකර තිබූ ට්‍රැක්ටර් රෝදවලට සී සෑමේදී සවිකරණ යකඩ වීල් එකක් තුළ මාරයා දත්විළිස්සා බලා සිටියේ පුංචි පසිඳු ඩැහැගැනීමට මොහොත උදාවෙන තෙක්ය.   


පසිඳු සෙල්ලම් කරමින් සිටියේ යකඩ වීල් එක ආසන්නයේය.   


වීල් එක හේත්තුකර තිබුණේ ගෙදර බිත්තියේය.   


මාරයාගේ හෝරාව එලඹ තිබුණේ ඒ මොහොතේය.   


පුංචි පසිඳුගේ ඇඟට වීල් එක පෙරළුණේ ඔහුට බරපතළ තුවාල සිදුකරමිනි.   


සිහිසන් නොමැතිව සිටි පුංචි පසිඳු මුලින්ම ඇතුළුකළේ පොළොන්නරුව මහ රෝහලටය.   


පුංචි පසිඳු දවස් 14ක්ම පොළොන්නරුව මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියේ යන්ත්‍රවල ආධාරයෙනි.   


දරු පැටියාගේ සිරුරට සම්බන්ධ කර තියෙන යන්තර ගැලවූ සැණින් ඔහු මිය යන්නේය. එය වැළැක්වීමට සමතෙක් මිහිපිට නැත්තේය.   


පසිඳුගේ මොළේ මියගොස් ඇති නිසා ජීවත් කිරීමට නොහැකි බව අවසානයේ විශේෂඥ වෛද්‍යවරු තීරණය කර ඒ බව ඔහුගේ මව්පියන්ට දැනුම් දුන්හ.   


මව්පියන් මෙච්චර කාලයක් සිතාගෙන සිටියේ පුංචි එකා ජීවත්වීමට තරම් වාසනාවක් තිබේයැයි කියාය.   


වෛද්‍යවරුන් පැවසූ කතාව අසා හඬා වැටුණේ දරු කැක්කුම නිසාය. 

වෛද්‍ය අරුණ අබේසිංහ මහතා පොළොන්නරුව මහ රෝහලේ වෛද්‍යවරයකුට කතා කර මොළේ මියගිය ළමයෙක් සිටින බවට කරන ලද දැනුම්දීමක් මත එම දරුවාගේ වකුගඩු දෙක රෝගීන් දෙදෙනකුට බද්ධ කිරීම සඳහා ලබා ගැනීමේ කටයුත්ත ක්‍රියාත්මකවී ඇත.   


පසිඳුගේ මව්පියන් වකුගඩු පරිත්‍යාග කිරීමට කැමැත්ත ලබාදීමෙන් පසු අනුරාධපුර මහ රෝහලේ ශල්‍ය වෛද්‍ය විශේෂඥ ජොයෙල් අරුච්චෙල්වම් මහතා පො​ෙළාන්නරුව මහ රෝහලට පැමිණ ශල්‍යකර්මයක් සිදුකර වකුගඩු දෙක ඉවත් කරගෙන තිබේ.   


මහනුවර මහ රෝහලේ ස්ථාපිතකර ඇති මොළේ මිය ගිය අයගේ අවයව ලබා ගැනීමේ ඒකකයේ ප්‍රධාන වෛද්‍ය අරුණ අබේසිංහ මහතාගේ උපදෙස් මත එම එ්කකයේ සහකාර සම්බන්ධීකරණ නිලධාරින් වන හෙද නිලධාරි ටී.එම්. අනුර රත්නායක සහ හෙද නිලධාරි ආර්.එම්. ජයවර්ධන යන මහත්වරුන් විසින් ආරක්ෂිත ක්‍රමවේදයක් අනුගමනය කරමින් දරුවාගෙන් ඉවත් කරගත් වකුගඩුදෙක බද්ධ කිරීම සඳහා මහනුවර මහ රෝහල වෙත රැගෙන එනු ලැබීය.   
පොළොන්නරුව මහ රෝහලේ නිර්වින්දන වෛද්‍ය විශේෂඥ කෝසල ඩෙප්, ළමා රෝග විශේෂඥ වෛද්‍ය රුවන් දිසානායක, ශල්‍ය වෛද්‍ය විශේෂඥ කීර්ති වීරවර්ධන කායික රෝග විශේෂඥ වෛද්‍ය සම්පත් හේමචන්ද්‍ර සහ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි විශේෂඥ වෛද්‍ය පී. සේනාරත්න හා ඔහුගේ කාර්ය මණ්ඩලයෙන් මේ සඳහා සුවිශේෂී දායකත්වයෙක් ලැබුණු බව වෛද්‍ය අරුණ අබේසිංහ මහතා පවසයි.   


පොළොන්නරුව මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සෙසු වෛද්‍යවරුන් හෙද හෙදියන් ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයෙන්ද දරුවාගේ සිරුරෙන් වකුගඩු ඉවත්කර ගැනීමේ කටයුත්තේදී අගනා දායකත්වයක් ලැබී තිබේ.   
වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්මය කළ විශේෂඥ ශල්‍ය වෛද්‍ය චරිත් ප්‍රනාන්දු මහතාට ශල්‍යාගාරයේ සෙසු වෛද්‍යවරුන්ගේ හා සමස්ත කාර්ය මණ්ඩලය සුවිශේෂී දායකත්වයක් ලබා දී ඇත.   


විශේෂඥ ශල්‍ය වෛද්‍ය චරිත් ප්‍රනාන්දු මහතා උදේ සිට රෑබෝවෙන තෙක් පසිඳුගේ සිරුරෙන් ඉවත්කරගෙන ආ වකුගඩු කාන්තාවන් දෙදෙනාට සාර්ථක ලෙස බද්ධ කර අවසන් කරනු ලැබීය.   


මහනුවර මහ රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය සමන් රත්නායක මහතාගෙන්ද මෙම වකුගඩු සැත්කම සාර්ථක කර ගැනීමට මුල සිටම සහයෝගය ලැබී තිබිණි.   


පසිඳු ප්‍රියංකර දරුවාගේ මව සහ පියාවන කල්‍යාණි චන්ද්‍රකුමාරි මහත්මිය සහ රංජිත් රාජපක්ෂ මහතා ලංකාදීපය සමඟ දුරකථනයෙන් සම්බන්ධ වෙමින් මෙසේ පැවසූහ.  

 
‘‘අපිට තව පුතෙක් හා දියණියක් ඉන්නවා. පසිඳු අපේ බාල දරුවා. ගෙදර සෙල්ලම් කර කර ඉද්දී බිත්තියකට හේත්තු කරලා තිබුණ ට්‍රැක්ටර් රෝදයක වීල් එකක් පෙරළිලා පුතාගේ හිසටත් තුවාල සිදුවී තිබුණා. පුතා පොළොන්නරුව මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියා. දොස්තර මහත්වරු කිව්වා දරුවාගේ මොළේ මිය ගිහින් තියෙන්නේ ඒ නිසා නැවතත් ජීවත් කරවන්න පුළුවන්කමක් නැහැ කියා. කැමතිනම් වකුගඩු දෙක පරිත්‍යාග කරන්න හැකියාව තිබෙනවා කියා ඒ වෙනකොට පුතා දවස් 14ක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබාගෙන තිබුණා.   


අපේ ගෙදර හිටිය පුංචි හුරතලා අපිට නැතිවීම ගැන කියන්න බැරි වේදනාවක් තියෙන්නේ. දරු පැටියාගේ වකුගඩු දෙකෙන් තවත් අහිංසක රෝගීන් දෙදෙනකුට ජීවිතය ලැබෙන නිසා ඒ ගැන කල්පනා කරලා අපි දෙන්නා අපේ පුංචි පැටියාට පිං තකා වකුගඩු දෙක පරිත්‍යාග කරන්න තීරණය කළා. අපේ පුංචි පැටියා නිසා තවත් දෙන්නෙකුට ජීවිතය ලැබෙනවා කියා අපිට හිත හදාගන්න පුළුවන් යැයි මව්පිය යුවළ පැවසූහ.   


පසිඳුගේ පියා ගොවිතැන් කර දරුපවුල නඩත්තු කර ඇත.   


කෙනෙකුගේ මොළේ මියගිය පසු ආයෙත් ඔහු හෝ ඇය ජීවත්කරන්න පුළුවන්කමක් නොමැති බවත් එවැනි අයගේ වකුගඩු පරිත්‍යාග කිරීමට පවුලේ අය ඉදිරිපත් වන්නේ නම් එය මහා පුණ්‍යකර්මයක් බවත් නිර්වින්දන වෛද්‍ය විශේෂඥ කෝසල ඩෙප් මහතා පැවසීය.   


මේ පුංචි දරුවාගේ මව හා පියාද කළේ උතුම් පුණ්‍යකර්මයක් බවද ඔවුන් කළ මේ පරිත්‍යාග නිසා තවත් රෝගීන් දෙදෙනකුට ජීවිතය ලැබුණු බවත් විශේෂඥ වෛද්‍යවරයා පෙන්වාදෙයි !

 

ශ්‍රිනාත් ප්‍රසන්න ජයසූරිය