මහවැස්සට හේතුව


 

 

බතට බුලතට වගාවට නැතිවම බැරි වැස්ස, කවියට මෙන්ම ප්‍රේමවන්ත හිත්වලට අපූරු සුන්දරත්වයක්, චමත්කාරයක් එක් කළ වැස්ස, ගම් බිම් යට කරමින් ඉවුරු කඩා බිඳ දමමින් මහ වරුසාවක් බවට පත් වී මිනිසුන්ට කර ඇති වින්නැහිය ගණන් බැලීමට බැරි තරම් විශාල ය.   


දින ගණනාවක් පුරා ඇද හැලුණු මහා වර්ෂාවෙන් රටේ උන්හිටි තැන් අහිමි වූ පිරිස 15,470 ක් පමණ වෙයි. තද වැසි සමඟ ඇතිවු ගංවතුර හා නාය යෑම් අවදානම හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික් 13 කට බලපෑ ආපදා තත්ත්වය මේ වන විට පහව යමින් පැවතියත් මේ පිරිස තවමත් අවතැන්ව සිටින බව පවසන්නේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයයි.   
පාරිසරය උණුසුම් වීම, වනාන්තර අවම වීම, කැලෑ එළිපෙහෙළි කිරීම සහ සියල්ල රටේ ජනගහනය වැඩි වීමත් සමඟ සිදුවන කාරණා ය. මේ නිසා ඇතිවන දේශගුණික විපර්යාස ද බොහෝ ය. ජනගහනයත් පවත්වා ගෙන, පරිසරයත් රැකගනිමින් සමතුලිත සංවර්ධන ක්‍රියාවලියක් පවත්වා ගෙන යාම මේ මහ ගංවතුර ව්‍යසන, නියං උවදුරු මෙන්ම ස්වභාවික ව්‍යසනවලින් ආරක්ෂා වීමට ඇති කාරණා ලෙස පරිසර විද්වත්හු පෙන්වා දෙයි.   


මෙම කාරණා සම්බන්ධයෙන් තම අදහස් දක්වමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උප කුලපති, භූ විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා කියා සිටියේ, අලුත් ආණ්ඩු පත්වෙන වාරයක් පාසා මෙම ස්වභාවික උවදුරු ව්‍යසනයන් අවම කිරීම සඳහා විවිධ තොරතුරු වාර්තා ඉල්ලා සිටි හැම වරකම එම වාර්තා තොරතුරු ලබා දුන්න ද ඉන් පලක් වී ඇති බවක් නොපෙනෙන බව ය. එසේම ජනතාව රැවටීම්වලට හසු නොකර ඇත්ත තත්ත්වයන් සැලකිල්ලට ගෙන පිළියම් යෙදිය හැකි නම් මෙම ස්වභාවික උවදුරු අවම කරගත හැකි බව ය.   
ඔහු පෙන්වා දෙන අන්දමට දේශගුණ විපර්යාස සිදුවීමට ප්‍රධාන වශයෙන් බලපාන හේතු අතර පාරිසරික උණුසුම් වීම එක් හේතුවකි. “වනාන්තර අවම වීම. කැලෑ එළිපෙහෙළි කිරීම, ඒවා ඇත්තටම සාමාන්‍යයෙන් ජනගහනය වැඩිවීමත් සමඟ සිදුවන දේවල්. ඒවා අපට නතර කරන්න බැහැ. 1960 ජීවත් වුණු ප්‍රමාණය වගේ නෙමෙයි අද ඉන්නේ. ඒ ප්‍රමාණයට අවශ්‍ය නිවාස ඇතිවෙන්න ඕනේ. වගා බිම් වැඩි වෙන්න ඕනේ. වගා බිම් වැඩිවෙන්න නම් කැලෑ එළිවෙන්න ඕනේ. මිනිසුන්ට ගෙවල් හද්ද්දි සිංගප්පුරුව වගේ ඉහළට ඉහළට යන්න ඕනේ. පොළොව හරි විදියට කළමනාකරණය කරන්න ඕනේ. ඒ විදියට තමයි මේ ප්‍රශ්නයට විසඳුම් සොයන්න වෙන්නේ.   


එහෙම නැතුව මේ උණුසුම් වීමේ ප්‍රශ්නයට විසඳුම් සොයන්න බැහැ. එහෙමනම් ජනගහනයේ වර්ධනය නතර කරන්න ඕනේ. නමුත් ඒක කරන්න බැහැ. ඒක නිසා අපි පිළියම් හොයන විට එය කළ යුත්තේ ජනගහනයත් පවත්වා ගෙන, පරිසරය රැක ගැනීම තුළිනුයි. එහෙම නැතුව පරිසරය පමණක් රැකගෙන අනිකුත් ප්‍රශ්න අමතක කිරීම ඵලදායි නැහැ. සමතුලිත සංවර්ධන ක්‍රියාවලියක් පවත්වා ගෙන යාමට අවශ්‍ය දැනුම ලබාදෙන්න ඕනේ තීරණ ගන්නා අයට. එය තමයි අද අවශ්‍යතාව” ඔහු පවසයි.   
“පාරිසරික ගැටලු ගණනාවක් ඒකරාශි වී මෙම අර්බුදය නිර්මාණය වන අතර අවසානයේ ප්‍රතිඵලය ගංවතුර කියන සාධකය රට පුරාම දකින්නට ලැබෙන බව” ඔහු කීවේය.   
“ලෝකයේ පාරිසරික වෙනස්වීම් සමඟ සාමාන්‍ය පරිසරයේ තියෙන උෂ්ණත්වය වැඩිවීම හේතුකොට ගෙන වායු ධාරා ගලායෑම්, වායු ගෝලයේ නොයෙක් වෙනස්කම් සිද්ධ වෙලා තියෙනවා. සාමන්‍යයෙන් සෘතු වලට අනුව තමයි ලෝකයේ මෙවැනි සිදුවීම් වෙනස්වීම් ආවේ. නමුත් දැන් දැන් මේ සිද්ධ වෙන උෂ්ණත්වයේ වෙනස් වීම් නිසා ඒ කලින් සිදුවුණු ආකාරයටම නෙමෙයි මේ වාතයේ චලනය වීම් සිද්ධ වෙන්නේ. ඒ වගේම පීඩන අවපාත තත්ත්වයන් ඇති වෙන්න දැන් ගොඩාක් වෙනස්.   
ඒ නිසාම වර්ෂාපතනයන් රටාවන් එනම් සාමන්‍යයෙන් සිද්ධ වෙන ක්‍රමය දැන් වෙනස් වෙලා තියෙනවා. හැබැයි පහුගිය අවුරුදු 30 ක කාලය ඇතුළත සිදුවුණු වර්ෂාපතනය ගණනය කරලා බැලුවොත් එහෙම විශාල ප්‍රමාණයක් පොළොවට වැටෙන වර්ෂාවේ ප්‍රමාණය වෙනස් වෙලා නැහැ. නමුත් වැටෙන තීව්‍රතාව වෙනස් වෙලා තියෙනවා . අවුරුද්දේම වැටිලා තියෙන වර්ෂාපතනය ගණනය කරලා බැලුවොත් එහෙම වැටිලා තියෙන ප්‍රමාණය සියයට දශම ගාණක තමයි වෙනසක් වෙලා තියෙන්නේ.   


පහුගිය අවුරුදු 30 කාලය ගත්තොත් වර්ෂාපතනය කලින්ට වඩා අඩුවෙලා තියෙනවා. නමුත් වැටෙන ප්‍රමාණය බැලුවොත්, අවුරුද්ද පුරා වැටෙන ප්‍රමාණය එක හා සමානයි. නමුත් ඒක වැටෙන තීව්‍රතාව තමයි වෙනස් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ඉතාම කෙටි කාලයක විශාල පරිමාවකින් පොළොවට වර්ෂාව පතිත වෙනවා. ඕක තමයි ඇත්තටම වෙලා තියෙන්නේ.   


එයින් පරිසරයට සිදුවන බලපෑම තවත් කාරණා නිසා තව වැඩි වෙලා තියෙනවා. එනම් පොළොව දැන් ජලය උරා ගැනීමට නිරාවරණය නොවීම. පොළොවේ දැන් පස නිරාවරණය වී තිබුණු ස්වභාවික තත්ත්වය නෙමෙයි අද තියෙන්නේ. සාමාන්‍යයෙන් නගර ආශ්‍රිතව හෝ වේවා, ගම්බදව හෝ වේවා මේ පාරවල්, වහලවල්, පොළොවේ වසා තිබෙන තැන්. දැන් එන්න එන්නම නිවාස වැඩිවන නිසා, ජනතාව වැඩි වන නිසා ජලය පොළොවට උරා ගැනීමට තියෙන, නිරාවරණ වුණු පස තියෙන ප්‍රමාණය, සාපේක්ෂව ගත් විට හුගාක් අඩුවෙලා තියෙනවා. ඒක නිසා පොළොවට ඉතා කෙටි කාලයක් ඇතුළත වැටෙන වර්ෂාපතනය අවුරුද්ද පුරා වැටෙන ප්‍රමාණය එකම වුණාට පොළොවට උරාගන්නා ප්‍රමාණය දැන් බෙහෙවින් අඩුවෙලා තියෙනවා.   


එහෙම අඩුවෙන නිසා තමයි වැටෙන වර්ෂාව කානුවලින්, ඇළදොළවලට යන නිසා තමයි විශාල වශයෙන් වර්ෂාවක් ඉවරවුණාට පස්සේ, වැව්වලට ජලය ගලාගෙන යාම වැඩි වෙන්නෙ. වැව් ඉක්මනින් පිරිලා යනවා. ඒත් එක්කම වැව් පිරුණට පස්සේ වාං දොරවල් අරිනවා, ඊට පස්සේ ඒ ආශ්‍රිතව තියෙන ගම්මාන ගංවතුරින් යට වෙනවා. ඇත්තටම මේ තත්ත්වය කලිනුත් වෙන්න තිබුණා. හැමදාමත් වෙන්න තිබුණා. නමුත් එහෙම වුණේ නැත්තේ අර පාරිසරික සාධක නිසා. ඒ කියන්නේ පොළොවෙන් ඒ ජලය උරාගත්තා. තෙත් බිම් වලින් ඒ ජලය රඳවා ගත්තා. ඒ කරලා ගංගාවලට ගිය ජලය ඉතා අඩු ප්‍රමාණයක් තමයි ගියේ. ඒ හොඳ සමතුලිතතාවයක් තිබුණු හින්දා. නමුත් අද අර කිව්ව කාරණා වර්ෂාව ඉතා කෙටි කාලයක ඉතාම තිව්‍ර වෙලා ඇද හැලෙනවා. ඒත් එක්කම ජලය, පොළොවට උරාගන්නෙත් නැහැ. ඒ වගේම ඒ ජලය ඉක්මනින් ගලාගෙන ගිහිල්ලා පිරෙන්න තෙත් බිම් නැහැ. තෙත් බිම් නැති නිසා ගංගාවලට ගලාගෙන ගිහිල්ලා ගංගා උතුරන්න ගන්නවා. මේක නිසා තමයි මේ පාරිසරික ගැටලු ගොඩාක් ඒකරාශි වෙලා තමයි අවසානයේ ප්‍රතිඵලය මේ ගංවතුර කියන සාධකය අපිට රට පුරාම දකින්න ලැබෙන්නේ. ඕක තමයි ප්‍රශ්නය. “ඒ මහාචාර්යවරයා පෙන්වා දෙන කාරණා ය.   


ඔහු පෙන්වා දෙන අන්දමට අවුරුද්දේ එක කාලයක ගංවතුර ඇතිවෙන්නත්, අනික් කාලයේ නියගය ඇතිවෙන්න හේතුව වන්නේ ද එයමය. එසේම රජයන් විසින් විවිධ ආයතනවල නිලධාරින් මේ සම්බන්ධයෙන් පුහුණුවිම් ලබාදීම සඳහා විදේශගත කරනු ලැබුවත් ඉන් ඵල ප්‍රයෝජන රටට ලැබී නැති බව පෙනේ.   
“වතුර ඉතාම ශීග්‍රයෙන් මුහුදට ගලා ගෙන යනවා. වතුර රඳවා ගන්න ක්‍රමයක් නැහැ. වැව්වල ජලය මුදා හරිනවා. වැව් හුගාක් ගොඩ වෙලා තියෙන නිසා ධාරිතාව අඩුයි. ඒ ඔක්කොම කාරණා එකතු වුණාම එක කාලෙකට නියඟය. එක කාලෙකට ගංවතුර ඇතිවෙනවා. ඇත්තටම මේ දෙක නිසි ලෙස කළමනාකරණය කරගන්න රජයකට පුළුවන් වෙන්න ඕනේ. නමුත් අපේ රජයවල් 1980 ගණන්වල සිට මේ කාරණය හොඳින් අධ්‍යයනය කරලා නැහැ.   

 

 


ඩොලර් මිලියන 20 ගාණකට වඩා වියදම් කරලා තියෙනවා ආපදා කළමනාකරණ සම්බන්ධ නිලධාරින් පුහුණු කිරීම සඳහා පමණක්. හැබැයි, තාමත් හැම අවුරුද්දකම නියගය. හැම අවුරුද්දකම ගංවතුර. ඒ කියන්නේ අර පුහුණු කිරීම් හෝ කිසි දෙයක් ජනතාව අතරට ගලාගෙන ගිහිල්ලා නැහැ. ඒ කිසි දෙයක් සිද්ධ වෙලා නැහැ. මොකද ඒ සඳහාම දැනුම්වත් වුණු, ඒ සඳහාම යොමුවුණු උගතුන් මේ ප්‍රශ්නයට කර ගහලා නැති එකයි ප්‍රශ්නය.   


මොකද ඔය ආයතන තියෙනවා. ඔය ආයතනවලට නොයෙකුත් නිලධාරින් පත් කරනවා. ඒ අය අලුත් ආණ්ඩුවක් ආවට පස්සේ අලුත් අය පත් කරනවා. අවුරුදු 4-5 ක් ඉඳලා ලියුම් අත්සන් කිරීම වැනි දේ කරලා ඒ අය යනවා. ඒ අයත් අර කාර්යය තමයි කරන්නේ. ලියුම් අත්සන් කරනවා පුහුණුවිම්වලට පිටරට යනවා. මොන මොනවා හෝ තමන්ගේ වැඩ ටික කරනවා. තමන්ගේ විෂයට අදාළ දේ කරන්නේ නැහැ. “ මේ ඔහු නගන චෝදනා ය.   


මෙම වැසි හානි අවම කරගන්න ක්‍රමවේද පිළිබදව ද අපි විමසුවෙමු.   


“අලුතින් ආණ්ඩුවක් ආවම මේ ගැන අපිට කතා කරනවා කාර්ය සාධන වාර්තා හදනවා. අපිත් එක්ක ඒවා ගැන සාකච්ඡා කරනවා. අපි කරුණු කියනවා. වාර්තා දෙනවා. මේ වාර්තා හත් අට වතාව දීලා තියෙනවා. රජ කාලේ අවුරුදු 2000 කට විතර ඉස්සර කරපු ක්‍රමවේදම තමයි අදත් පාවිච්චි කරන්න තියෙන්නේ. හොඳ උදාහරණයක් තමයි වැව් ගැඹුරු කිරීම. වැව් අවුරුදු ගාණක් තිස්සේ පිරිලා පිරිලා අපි හිතමු අපේ වර්ෂාව සියයක් නම් වැටෙන්නේ ඒ සියයෙන් සියයම ග්‍රහණය කරගන්න පුළුවන් වැව් පද්ධතියක් ලංකාවේ තිබුණා. නමුත් ඒ වැව් පද්ධතියේ තුනෙන් දෙකක් මඩවලින් පිරිලා ඉවරයි.   


සියයක් වැටුණම සියයම ග්‍රහණය කරගන්න බැහැ. දැන් ග්‍රහණය කරගන්න පුළුවන් 25 යි. එතකොට ඉතිරි 75 ගංගාවල්වලට ගිහිල්ලා, ගම් බිම් යටකරගෙන යනවා. ඒක තමයි අද වෙන්නේ. ඒ නිසා වැව් පද්ධතිය යථාවත් කරගන්න ඕනෑ. ඊළඟට අපේ ඇළවල් පද්ධතියක් තිබුණා වැව් එකිනෙකට යා කරලා යෝධ ඇළවල් කියලා. ඒවා කරලා තිබුණේ ඒ රජකාලේ විහිළුවට නෙමෙයි. ඒවා කිලෝ මීටර් 60-70 ක් දිගයි. ඒවා ඇළවල් කිව්වට ඒවා ඇළවල් නෙමෙයි ඒවා වැව්. එක වැවක් අනික් වැවත් එක්ක සම්බන්ධ කරලා තිබුණේ තවත් වැවක් විදියට. කන්දක් වටේට බැම්මක් බැඳලා වගේ තියෙනවා. එවිට කන්දට වැටෙන වතුර ටික සේරම බැම්මට එකතු වෙනවානේ. ඒ විදියට තමයි තියෙන්නේ. එක වැවකට වතුර වැටුණහම තවත් වැවකට යනවා. අපතේ යන වතුර ටිකත් එකතු කරලා වැව්වලට වැටෙන ක්‍රමයක් තිබුණේ.   


වතුර ටික සේරම පොළොවට උරාගන්නවා. භුගත ජලයත් සශ්‍රික වෙනවා. වැව් පද්ධතිය සක්‍රිය කිරීම සහ ගංවතුර පාලනය කිරීමෙන් මේ හානි අවම වෙනවා. එවිට නියඟයක් ඇති වෙන්නේත් නැහැ. ගංවතුරත් පාලනය වෙනවා. නියඟයත් පාලනය වෙනවා. වැව් පද්ධතිය යථාවත් කිරීම අනිවාර්යයෙන්ම කළ යුතුව තිබෙනවා. ආණ්ඩු මාරු වෙන මාරු වෙන ගාණට අපිත් ගිහින් වාර්තා දෙනවා. නමුත් කිසි දෙයක් සිද්ධ වෙලා නැහැ. මිනිසුන් රැවටීම විතරයි වෙන්නේ.   


අන් කාලවලට වඩා මෙවර සෝමාවතිය, කතරගම යටකරගෙන මහවැසි ඇද හැලීමට ජලාශවල පිරී තිබු ජලය එළියට දැමීම ද හේතු වී ඇති බව ඔහුගේ අදහස ය.   
මහ වැසි ඇද හැලෙන්න සුර්යා කැරකෙන නිසා ඍතු වෙනස් වීම සිද්ධ වෙනවා. භුමියේ පරිහරණය වෙනස් වීම නිසා වර්ෂාව අක්‍රමවත් විදියට වැටීම තමයි ප්‍රධාන ප්‍රශ්නය. වර්ෂාව ඉතා කුඩා කාලයක මාස 6 ක වැටෙන්න ඕනේ එක දවස් 2 කින් වැටුණහම තමයි ඔය ප්‍රශ්නය එන්නේ.   
සමහර වෙලාවට පෞද්ගලිකව මට පොඩි පොඩි සැකයන් මතු වෙනවා. පහුගිය කාලේ අලුත් ජලාශ ඇතිවුණා. ජලාශවලින් අපි බලාපොරොත්තු වන්නේ ජලය ඒකරාශි කිරීමනේ. නමුත් වෙන්නේ ඉතා කුඩා කාලයක් ඇතුළත වර්ෂාව වැහැලා වතුර එකතු වුණාම කරන්නේ ජලය වර්ෂාපතනයෙන් එළියට දානවට වඩා, ජලාශයෙන් එළියට දැමීම. එතකොට අර මිනිස්සු බලාපොරොත්තු වුණු විදියේ සාමාන්‍ය ගංවතුර ගැලීමක් නෙමෙයි මහ ව්‍යසනයක් විදියට මහ ගංවතුරක් ගැලීමයි. මොරගහකන්ද ජලාශයත් මේකට බලපාන්න ඇති කියලා මම විශ්වාස කරනවා.   


මේ තත්ත්වය පිළිබදව අප කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා අනූෂා වර්ණසූරිය මහත්මියගෙන් ද විමසුවෙමු.   
“අපි දැන් ඉන්නේ ඊසාන දිග මෝසමේ. සාමාන්‍යයෙන් නම් ටිකක් වැස්ස වැඩියි. 2015 වර්ෂයෙන් පස්සේ ටිකක් සක්‍රීය මෝසම් තත්ත්වයක් දකින්න ලැබුණේ මේ සැරේ තමයි. සාමන්‍යයෙන් නම් මෝසම සක්‍රීය වෙන්න ඕනේ. ගෝලීය කරුණු හේතුවෙන්. සාමාන්‍යයට වඩා ඉන්දියන් සාගරයේ උෂ්ණත්වය අඩු වැඩි වුණාම සාමාන්‍ය සුළං රටාව වෙනස් වෙනවා. ඒක එක හේතුවක්. ඊළඟට පැසිපික් සාගරයේ ඌෂ්ණත්වය නියමිත තැන්වල සාමාන්‍ය අගයට වඩා අඩු වැඩි වුණාම ගෝලීය සුළං රටාව වෙනස් වෙනවා. එතකොට සාමාන්‍ය මෝසම ඇතිවෙන සුළං රටාව වෙනස් වෙලා, වෙනස් විදියේ අඩු වැඩි වීම් වෙන්න පුළුවන්.   
ලංකාවේ සාමාන්‍ය අගයක් තියෙනවා නේ මේ කාලයට වහින්න ඕනේ ගාණක් තියෙනවානේ. ඊට වඩා මේ දෙසැම්බර් මාසේදී වැස්ස වැඩියි. මහ ලොකු කාලයක් ගැන ඉස්සරහට අපිට වැසි තත්ත්වයක් ගැන අපිට කියන්න අමාරුයි. දැනට තද වැසි තත්ත්වය තාවකාලිකව අඩු වෙලා තියෙනවා. කොහොමත් ජනවාරි මාසය වෙන කොට මේ තත්ත්වය වෙනස් වෙන්න පුළුවන්.   


දීර්ඝ කාලීන අනාවැකි කියන්න අමාරුයි. මාසික අනාවැකි කියනවනේ. ඒ වාගේ විදියට ජනවාරි මසේත් සාමාන්‍යයෙන් ඊසාන දිග මෝසම් තත්ත්වය බලාපොරොත්තු වෙන්න පුළුවන්. පෙබරවාරි මාසෙදි නම් සාමාන්‍ය තත්ත්වයට වඩා අඩුයි කියලා තමයි දැනට අනාවැකි පළ කරලා තියෙන්නේ. මෝසම් කාලයේදි එක එක පැත්තටනේ වහින්නේ. නිරිතදිග මෝසමේ දි නිරිතදිග පැත්තට වහිනවා. ඊසාන දිග මෝසමේ දි ඊසානදිග පැත්තට වහිනවා. 2015ට පස්සේ සක්‍රිය වුණු අවුරුද්දක් තමයි මේ අවුරුද්ද.   
මේ අතර මහ වැස්ස මේ වන විට නතර කෙරුණ ද තවමත් අවතැන් කඳවුරු ගණනාවක 15,470 ක් අවතැන්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි.   


එසේම එම පිරිස ආරක්ෂිත ස්ථාන 109 ක රදවනු ලැබ සිටින බව ද ඒ මහතා සඳහන් කර සිටියේ, ත්‍රිවිධ හමුදාව පොලිසිය සමඟ ඒකාබද්ධව සිය මධ්‍යස්ථානය කටයුතු කරන බවත් ඇතිවන ඕනෑම ආපදා තත්ත්වයකට මුහුණ දී ජනතාවට සහන සැලසීමට කටයුතු කරන බවයි.   
“තද වැස්ස තමයි වාන් දොරටු ඇරීමත් සමඟ එන්නේ. පහත් බිම් යට වීම තමයි මේ සැරේ තියෙන්නේ. මේ සැරේ ලොකුවටම ආවේ නැහැ. මේ තත්ත්වය පාලනය වෙලා තියෙන්නේ. ඉදිරියේදීත් වැස්ස ටිකක් වැඩි වෙන්න පුළුවන්. නමුත් මේ දවස්වල වැස්ස අඩු වෙනවා. ඇතිවන ඕනෑම ආපදා තත්ත්වයකට මුහුණ දීම සදහා අපි කටයුතු කරනවා.   
හදිසි පණිවිඩ ලබාදීමේ ක්‍රමවේදය තියෙනවා. ඉවත් වීමේ ක්‍රමවේදය ගැන ජනතාව දැනුම්වත් කර තිබෙනවා. ආරක්ෂිත ස්ථාන හඳුනාගෙන තියෙනවා. ඒවාට ජනතාව යොමු කිරීමට දිස්ත්‍රික් ලේකම්වරුන්ට පෙර සූදානම් කිරීමට යවා තිබෙනවා. නිවාස හානි වෙනුවෙන් නිවාසයක් වෙනුවෙන් ලක්ෂ 25 ක් වෙනකම් උපරිමයකට රක්ෂණය කර තිබෙනවා. ජිවිත හානියට ලක්ෂ දෙකහාමාරක් රක්ෂණයකර තිබෙනවා.   


ඒ විදියට උපරිමයෙන් සහන පැකේජ ලබාදීමටත් කටයුතු කරනවා. දැනට සොයා ගැනීමේ, බේරා ගැනීමේ කණ්ඩායම් පුහුණු කරලා හැම දිස්ත්‍රික්කයකම යොමු කර තිබෙනවා. ඔවුන්ව බේරා ගැනීමේ උපකරණ ලබාදීලා තියෙනවා. ත්‍රිවිධ හමුදාව පොලිසිය එක්ක අපි පැය විසිහතර පුරාම හදිසි මැදිරි ඒකකය ක්‍රියාත්මකයි. දිස්ත්‍රික් කළමනාකරණ ඒකක 25 ම ක්‍රියාත්මකයි.   


ඊට අමතරව ජාතික ආපදා සේවා මධ්‍යස්ථානය සෑම මැතිවරණ කොට්ඨාසයකටම ගිහින් තියෙනවා සහන ලබාදීම වෙනුවෙන් . ඒ වගේ ලොකු වැඩ පිළිවෙළක් තියෙනවා. තාක්ෂණික දත්ත ලබාදීමේ වැඩ පිළිවෙළක් ක්‍රියත්මකයි. භාෂා තුනෙන්ම නොමිලේ පැය විසිහතර පුරාම දැනුම් දෙන්න පුළුවන් 117 දුරකථනයෙන් ඒකට කතා කළොත් සියළුම සේවාවන් ටික ලබාදීමට අපි කටයුතු කරනවා. 

 

 

පද්මිණි මාතරගේ