මහවැලි ගංපතුල වැලි ජාවාරමට බිලිවෙන හැටි මෙන්න


 

මහවැලි ගඟේ අවසන් කොටස එනම් මුහුදට ගලා බැසීමට ආසන්නම ප්‍රදේශයේ මහා පරිමාණයෙන් ගං පතුල, ගං ඉවුර විනාශ කරමින් ප්‍රසිද්ධියේ වැලි ජාවාරම්කරුවන් විනාශ කරද්දී වගකිවයුතු බලධාරීන් නිහඬව බලා සිටීම නිසා තම වගාබිම් මෙන්ම ජන ජීවිතයට බරපතළ හානි සිදුවන බව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ සිට ප්‍රදේශයේ ස්වෙච්ඡා සංවිධාන බහුතරයක ගොවි සංවිධාන චෝදනා කර සිටිති.


මෙම බරපතළ චෝදනාව පිළිබඳව මහවැලියේ හෝ නීතිය රකින නීතිය බලගන්වන නීති හදන කිසිම අයකුගේ අවධානයක් යොමු නොවූ තැන එම ජනතාව මේ පිළිබඳව රටට කියන්නට ඉදිරිපත් වූහ. එහෙත් අවාසනාවකට රටට කියන බොහෝ දෙනා ද මහවැලි ගං කොමලියට සිදුවන මේ අනතුර වාර්තා කිරීමට පසුබට වූයේ ඔවුන්ගේ ජීවිත අවදානම නිසාවෙනි. මෙය හෙළිදරව් කිරීමට ගිය බොහෝ මාධ්‍යවේදීන්ට සිදුවූයේ රැකියාව අහිමි වීම, එසේත් නොමැති නම් මාධ්‍යවේදී තනතුරෙන් ඉවත් වීම සහ විවිධ චෝදනා යටතේ සමාජයෙන් අවලාද නැගීමටය. වෙනත් චෝදනාවන්වලට ලක්වීමටය .


මෙම අවදානම් සියල්ල උර මත දරාගෙන ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සේරුවිල, මුතුර්, වෙරුගල් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුනේ සිදුකෙරෙන මහා පරිමාණ වැලි කැණීම් ජාවාරමේ අග මුල සොයා දින ගණනාවක ගවේෂණයක නිරත වීමට අප උත්සාහයක නිරත වුණෙමු. උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස මහවැලි ගං කොමළියට සිදුව ඇති බරපතළ විනාශය සියැසින් දැක ගැනීමට අපට හැකියාව ලැබිණි.


සේරුවිල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මුතුර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වෙරුගල් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මෙම මහා පරිමාණ වැලි ජාවාරම ක්‍රියාත්මක වෙයි. මේ හේතුව නිසා අල්ල ගොවිජනපදය සහ කන්තලේ ගොවිජනපදයත් බරපතළ හානියකට ලක්වීම මේ දිනවල සියැසින් දැක ගැනීමට හැකි වීම විශේෂත්වයකි.


සේරුවිල ප්‍රාදේශීය සභාවේ පාලනය නතු ​ෙවන්නේ එක්සත් ජාතික පක්ෂයටය. එහි වර්තමාන සභාපතිවරයා වන්නේ ඒ.ජී. රණසිංහ මහතායි. තම ජනතාවට මෙන්ම ප්‍රදේශයේ වටිනාම වස්තුව මාවිල්ලාරු ජලාශයට මහවැලි ගංගාවට සහ අල්ල ගොවි ජනපදයට ද සිදුව ඇති බරපතළ හානිය පිළිබඳව හෙතෙම අප සමග මෙසේ පැවසීය.


"මේක අදක ඊයෙක ඉඳලා තියෙන ප්‍රශ්නයක් නෙවෙයි. දැන් වසර තුනක හතරක ඉඳලා පවතින බරපතළම පරිසර ගැටලුවක්. මහවැලියේ වැලි කැණීම් බලපත්‍ර ලබාදීම ආරම්භ කළා. මෙහි බලපත්‍ර ලබා දෙන්නේ මේ ප්‍රදේශයේ ජනතාවට වඩා පිට පළාත්වල ඉන්න සල්ලිකාරයන්ට, ප්‍රබල දේශපාලනඥයන්ගේ හිතවතුන්ට. එ් විතරක් නෙවෙයි, රජයේ නිලධාරීන්ගේ ඥාතීන්ට බිරින්දෑවරුන්ට සහෝදර සහෝදරියන්ට කිසිම ඉවක් බවක් නැතිව ඒ අය ලබාගන්නා කැණීම් බලපත්‍ර ජාවාරම්කරුවන්ට අලෙවි කරනවා. මේ බලපත්‍ර එකක් දිනකට රුපියල් 6000 ක සිට ඉහළට අලෙවි කොට මෙම විනාශය සිද්ධ කරනවා. අපි මේ විනාශය පිළිබඳව ජනාධිපතිතුමාගෙ ඉඳලා පහළම නිලධාරියා දක්වා ලිඛිතව දැනුම් දීලා තියෙනවා ඒත් කිසිම කෙනෙකුගේ අවධානයක් යොමු වෙන්නෙ නෑ. අපි ලියුමක් දැම්මාම හිටපු ගමන් ඇවිල්ලා පරීක්ෂණයක් පවත්වලා යනවා. හැබැයි ජාවාරම එහෙමම කරගෙන යනවා.


පසුගිය දවසක ජනාධිපතිතුමා මේ ප්‍රදේශයට ආවම මම ගියා ලියුමක් දෙන්න. හැබැයි මේ පිළිබඳව ලියුම දෙන්නවත් මට ළඟට යන්න හම්බ උනේ නෑ. අපි පත් කරපු ජනාධිපතිතුමා. ඒත් හැබැයි මේ මහවැලිය කාගෙත් සම්පතක්. ආරක්ෂා කළොත් තමයි අපට දේශපාලනය කරන්නත් ජනතාවට ජීවත් වෙන්නත් පුළුවන් වෙන්නේ. දේශපාලන ප්‍රශ්නයක් නැහැ. අපි එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ ශ්‍රී ලංකා පොහොට්ටු පක්ෂය මෙ හැමෝම අපි එකතුවෙලා ඉන්නේ ගොවීන් එක්ක මහවැලි ගඟ බේරගන්න."


සභාපතිවරයා එසේ කියද්දී නැගෙනහිර ජනතා හඬ සංවිධානයේ සභාපති අරුන් හේමචන්ද්‍ර මහතා මෙහි ඇති බරපතළකම පෙන්වා දෙන්නට වූයේය.


"මේක වැලි ප්‍රශ්නයක් විතරක් නෙවෙයි. මහා පරිමාණ පරිසර ප්‍රශ්නයක්. අද අල්ල කන්තලේ ව්‍යාපාරයේ අක්කර තිස්දාහක් පමණ බරපතළ අර්බුදයකට මුහුණපාලා තියෙනවා. කන්තලේ ව්‍යාපාරයේ සියලුම කුඹුරු මේ හානියට නතු වෙමින් පවතිනවා. තොරතුරු දැනගැනීමේ පනත අනුව ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ මහවැලි ගඟේ වැලි කැණීම් බලපත්‍ර 113 ක් පමණයි ලබාදීලා තියෙන්නේ. ඒ රජයේ නිලධාරීන් ලබාදුන් තොරතුරු. හැබැයි ගිහිල්ලා බලන්න පුළුවන් ඕනෑම නිලධාරියෙකුට මේ වනවිටත් 1000 පමණ වැලි තොටුපොළවල්වල වැලි ගොඩදානවා. තොරතුරු දැනගැනීමේ පනත අනුව මේ වන විට වැලි කැණීම් බලපත්‍ර ලබාගැනීම සඳහා හාරදාහක් පොරොත්තු ලේඛනයේ ඉන්නවා. මේක බරපතළ ප්‍රශ්නයක්. මේ පොරොත්තු ලේඛනවල ඉන්න හැමෝම වැලි කැණීම් සිද්ධ කරනවා. මෙහි 95% ක් පමණ බලපත්‍ර තියෙන්නේ දේශපාලන අධිකාරියේ අයවලුන්ට. රජයේ සේවය කරන නිලධාරීන්ට. ඒ පවුල්වල අයට ඉතාම සීමිත ප්‍රමාණයක් තමයි ප්‍රදේශයේ ජනතාවට තිබෙන්නේ.


මෙම ජනතාවගේ හඬත් සමග අප මෙම මහවැලි ගඟ ප්‍රදේශයට යන්නට පිටත් වුණෙමු. සේරුවිල අලිඔළුව හන්දියට ගොස් මුතූර් මාර්ගයේ කිලෝමීටර් 12ක් පමණ ගමන් කරද්දී දෙහිවත්ත ප්‍රදේශයේ මහවැලි ගඟ ආසන්නයේ සවිකොට ඇති පානීය ජල ව්‍යාපෘතිය සහිත ජල පිරිපහදුව පිහිටි ස්ථානයේ අපේ වාහන නවතා හොර රහසේ මහවැලි ගඟට ඇතුළු වුණෙමු.


අප සමග එම ප්‍රදේශයට ගමන් කිරීමට පැමිණි මඟ පෙන්වන්නන් දැඩි බියකින් පසු වන්නට වූ අතර ඔවුන් අපට කීවේ මෙම ගමනේදී බොහෝ විට තොරතුරු හෙළිකර ගැනීමට හැකියාව ලැබුණත් සමහර විට ජීවිතයෙන් වන්දි ගෙවීමට පමණක් නොව අතපය අහිමි වීමට පවා ඉඩ ඇති අවදානම් ගමනක් බව ය.
එවැනි අවදානමක් පවතින රාමුවක කාලවකවානුවක අපි පසුගිය අඟහරුවාදා දිනයේ වැලි කැණීම් බලපත්‍ර සදහා අවසර නොමැති දිනයක මහවැලියට ගියෙමු.


අප මුලින්ම මහවැලි ගඟ නිරීක්ෂණය කරද්දී දැක ගැනීමට හැකියාව ලැබුණේ මීට මාස කීපයකට ඉහතදී මහවැලි ගඟ ඉවුරේ පැවති මහා පරිමාණ කුඹුක් ගස් මේ වනවිට මහවැලි ගඟ මැද තිබෙන ආකාරයයි. තවත් දින කිහිපයකින් එම ගස් මහවැලි ගං පතුලේ සිර වෙන්නට ඔන්න මෙන්න ආකාරය දැක ගැනීමට අපට හැකියාව ලැබිණි.


මහවැලි ගඟේ විශාලත්වය එමඟින් අපට පැහැදිලි විය. මුළු ප්‍රදේශයටම ජලය බෙදාහරින ජල පිරිපහදුවට ජලය ලබා ගන්නා ස්ථානයේ බැම්ම මේ වනවිටත් මහවැලි ගඟට බිලි වී හමාරය. තව සති කිහිපයකින් බීමට ජලය පවා අහිමි වීමේ අවද‌ානමක් අපි දුටුවෙමු.


ජල පිරිපහදුවේ සිට වමට හැරී මහවැලි ගඟ දිගේ කිලෝ මීටර් එකක් පමණ පාගමනින් ගිය අපට දැක ගැනීමට හැකි වූයේ වැලි මංකඩකය. එම වැලි මංකඩ දෙහිවත්ත නිලපොළ ආදී එම ප්‍රදේශවල පදිංචි ජනතාවගේ වැලි කැණීම් ස්ථානයකි. එම ස්ථානයට ගමන් කිරීමේ අවස්ථාවේ කම්කරුවන් විශාල පිරිසක් එහි රැස්ව සිටින ආකාරයත් ඔවුන් වැලි තොටුපොළවල් ඉතාමත් අලංකාරව ගඟට හානියක් සිදුවීම අවම වන ආකාරයකට පවත්වාගෙන යන ආකාරය දැක ගැනීමට හැකියාව ලැබිණි. එමෙන්ම ඔවුන් තම හිස මතින් වැලි ගොඩට ගෙනත් දමන්නේ ඉතාමත් පරිස්සමෙන් බව අපි දුටුවෙමු. මහාපරිමාණ වැලි ජාවාරම්කරුවන් සහ මෙම ගමේ ජනතාව අතර වෙනස අපට එහිදී දැක ගැනීමට හැකියාව ලැබිණි. මෙහි වැලි කැණීම් බලපත්‍ර ලාභී තරුණයන් මෙන්ම කාන්තාවන් ද කියා සිටියේ මහවැලි ගඟේ මුතුර් ප්‍රදේශයට වෙන්න එක නීතියක් ක්‍රියාත්මක වෙන බවත් ප්‍රදේශවාසී තමන්ට වෙනත් නීතියක් ක්‍රියාත්මක වෙන බවය. ගඟට වාහන බැස්සවීම තහනම් කොට තිබෙන බවත් හිසෙන් බාල්දිවලින් කූඩවලින් වැලි ගොඩ දැමීම සිදු කළ යුතු බවත් සඳහන් කළහ.
එම ජනතාව අපට කියා සිටියේ මහවැලි ග​ෙඟ් එගොඩ ප්‍රදේශය එනම් මුතුර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ප්‍රදේශයේ කිසිදු නීතියක් ක්‍රියාත්මක නොවී මහා පරිමාණයෙන් ට්‍රැක්ටර් රථ ගඟට බස්සවා වැලි කැණීම් සිදුකරන ආකාරය තමන්ට පෙන්වා දිය හැකි බව ය. පෙන්වාදීම තුළින් සිදුවන්නේ බොහෝ දුරට ගමේ වැලි ගොඩ දමාගෙන ඉන්න අහිංසක තමන්ට බරපතළ හානියක් බවය. එහෙත් මෙම මහවැලිය ආරක්ෂා කර ගැනීම සඳහා තමන්ට එම ජාවාරම් පෙන්වන්නට හැකි බව ඔවුහු අපට කියන්නට වූහ. පසුව එම ජනතාවගේ යතුරුපැදිවලින් මහ වනය මැද මහවැලි ගඟේ මහා පරිමාණයෙන් වැලි ජාවාරම ක්‍රියාත්මක වන ප්‍රදේශයට අපි පිටත් වුණෙමු.


ගඟේ එක පසෙක සිට අනෙක් පස දෙස බලන විට ට්‍රැක්ටර් රථ ගඟ මැදට ගෙනැවිත් වැලි පටවන ආකාරය ඔවුහු අපට පෙන්වා දුන්හ. එහෙත් අපට මඟ පෙන්වීමට පැමිණි ප්‍රදේශවාසී ජනතාව මෙම පිරිසට දැඩි බියකින් පසුවීම නිසා ඔවුහු සැඟවී සිට අපට මෙම දර්ශන පෙන්වීමට අමතක නොකළහ. ඔවුන් කියා සිටියේ තමන් මේ ජාවාරම පෙන්වූ බව දැනගතහොත් මුතුර් ප්‍රදේශයේ පිරිස සහ දේශපාලන අධිකාරිය රාජ්‍ය නිලධාරීන් තමන්ගේ වැලි තොටුපොළවල්වලට හානි කිරීම නිවෙස්වලට පැමිණ පහර දීම අනිවාර්යෙන්ම සිදු ​ෙවන බවය. එය සිදුකරනු ලබන්නේ ප්‍රදේශයේ ප්‍රබල දේශපාලන ආධාරකරුවන් බවත් එමෙන්ම රාජ්‍ය නිලධාරීන්ගේ කණ්ඩායම් බවත් ජනතාව අප සමග කියන්නට වූහ.


වැලි පටවමින් සිටි පිරිසක් අප දැක ට්‍රැක්ටර් රථ ද අරගෙන පැන යන ආකාරයත් අපට දැක ගැනීමට හැකියාව ලැබිණි. කෙසේ වෙතත් ට්‍රැක්ටර් රථ රැසක් මහවැලි ගඟ තුළට දමා වැලි ප්‍රවාහනය කරන ආකාරය අපගේ දෑස්වලට දර්ශනය වීම විශේෂත්වයකි. ඉතාමත් හොර රහසේ ට්‍රැක්ටර් රැසක් මහවැලි ගං කොමළිය තුළ වැලි පටවා ගෙන යන ආකාරයේ රූප රාමු පෙළක් එහි සිටි ප්‍රදේශවාසියකු අපට ලබාදීම ද මෙහි විශේෂත්වයකි. ඔහු මේ රූප රාමු පෙළ ඉතා හොර රහසේ පටිගත කර ගත් බව සඳහන් කළේය.


ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සේරුවිල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට එක නීතියක් ක්‍රියාත්මක වෙද්දී මුතුර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජන කොටසකට වෙනත් නීතියක් ක්‍රියාත්මක ​ෙවන බවත් එමෙන්ම රාජ්‍ය නිලධාරීන්ට වෙනත් නීතියක් ක්‍රියාත්මක වෙන බවත් දේශපාලන අධිකාරියට වෙනත් නීතියක් ක්‍රියාත්මක වන බවත් ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.


එමෙන්ම සේරුනුවර ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු වන දෙහිවත්ත කොටස භාර සුගත් රාමනායක මහතා අප සමග විශේෂ ප්‍රකාශයක් කරන්නට විය.


"2013 වසරේ ඉඳලා තමයි මෙම වැලි කැණීම්වලට බලපත්‍ර දෙන්න පටන් අරගෙන තිබුණේ. දැන් ඒක සීයට ලක්ෂ ගාණකින් වැඩි වෙලා. කිසිම නිලධාරියෙක් රජයට බය නැහැ. නීතියට බය නැහැ. මොකද ඒ අය නීතිය කොහොමද කරන්නේ කියලා සියල්ල දන්නවා. අඩුම තරමේ ජනමාධ්‍ය කාටවත් මේ දිස්ත්‍රික්ක රාජ්‍ය නිලධාරීන් බිය වෙන්නේ නැහැ. මොකද මෙවැනි ජාවාරම් මාධ්‍යකින්වත් හෙළි කරන්නේ නැහැ කියලා ඒ අයට විශ්වාසයි. ඒ තරම් ඒ අයගේ සල්ලි බලවත් වෙලා තියනවා. මේ ප්‍රදේශයේ මාර්ග සියල්ල විනාසයි වැලි ප්‍රවාහනය කිරීම නිසා. අපි සියලුම දේශපාලන පක්ෂ එකට කතා කළා".


"මාවිල්ආරු ජලාශය අද සිතියමේ බරපතළ අවද‌ානමක් තියෙනවා."


"අපි මේක කිව්ව ජනාධිපතිතුමාට. එක්සත් ජාතික පක්ෂ නායකයින්ට. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයින්ට. ප්‍රදේශයේ මහා සංඝරත්නයට. ඒ විතරක් නෙමෙයි ටී.එන්.ඒ. එකේ මන්ත්‍රීවරුන්ට පවා අපි කිව්වා මේ මාවිල්ආරු ජලාශයෙන් ජලය සැපයෙන මේ මහා පරිසර පද්ධතිය වගේම ජීවත්වීමට තියෙන කුඹුරු ටික බේරලා දෙන්න කියලා. මුහුදු ජලය ළිංවලට එකතු වෙනවා. ළිං හිදෙනවා මේ ජාවාරම නවත්තලා දෙන්න කියලා. හැබැයි කිසිම කෙනෙකුගේ අවධානයක් තවමත් යොමුවෙලා නැහැ. අපිට දේශපාලනය කරන්න නම් ජනතාව ජීවත් වෙන්න ඕනෑ. ජනතාව ජීවත් වුණොත් තමයි අපට දේශපාලනය කරන්න පුළුවන් වෙන්නේ. අද අපේ ප්‍රදේශයේ ජනතාවට සිද්ධ වෙලා තියෙන්නෙ මුහුදට පනින්න විතරයි. හැබැයි ළඟදීම මාවිල් ආරු දෙවැනි සටන අප සේරුනුවරින් ආරම්භ කරන්න පසුබට වෙන්නේ නෑ."


අප මේ පිළිබඳව ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් එන්. පුෂ්පකුමාර දිසානායක මහතාගෙන් විමසීමේදී කීවේ මේ ප්‍රදේශයේ හොර රහසේ වැලි කැණීම් සිදු කරන බවත් නාවික හමුදාව හා පොලිසිය යොදවා දිවා කාලයේ වැටලීම් සිදුකළ ද රාත්‍රී කාලයේ මෙය ක්‍රියාත්මක ​ෙවන බවය.


මධ්‍යම පරිසර අධිකාරියේ හා භූ විද්‍යා කැණීම් අංශයේ නිලධාරීන් අවසර ලබාදී ඇතිමුත් නිසි අධීක්ෂණයක් නොකිරීම බරපතළ ප්‍රශ්නයක් බවද අමතර සේවකයන් යොදවා පරීක්ෂා කිරීමක් සිදු නොවීම නිසා තත්ත්වය බරපතළ බව ද ඔහු කීවේය.

 

 

 

දඹුල්ල කාංචන කුමාර ආරිය‌ද‌ාස