මහජනයාට දුක් දෙමින් තැපෑලත් වර්ජනයේ


 

දෙතුන් සතියකට පෙර පෙට්‍රල් ඩීසල් මිල ඉහළ ගියේය. ඉනික්බිති ගාස්තු වැඩි විය. තැපැල් ගාස්තු වැඩිවීම ද කරළියට පැමිණ ඇත. තවත් අතකින් හරිහැටි හඳුනා නොගත් රෝග භීතිකාවක අඳුරු සෙවණැලි රටේ දකුණු පළාත පුරා විහිදේ. මහ මඟ අනතුරු කොයි මොහොතක හෝ ජීවිතයක් බිලිගැනීමට පුල පුලා සිටියි. ඒ අතරතුර එළැඹි තැපැල් වර්ජනය හඬන්නට සිටි ඇසට ඇඟිල්ලෙන් ඇනීමක් හා සමානය.


ග්‍රාමීය උපතැපැල් කාර්යාලයට ගොස් විශ්‍රාම වැටුප හෝ මහජන ආධාරය ලබාගැනීමට මසක් පුරා දින ගනිමින් සිටි වියපත් වැඩිහිටියෝ තැපැල් වර්ජනය නිසා කබලෙන් ළිපට වැටී සිටිති.


හෙම්මාතගම ප්‍රදේශයේ වැඩිහිටියෝ මහජන ආධාර ලබාගැනීම සඳහා පොලිස් ස්ථානය අසල පෝලිම් ගැසී අසීරුවෙන් සිටින ආකාරය අපගේ හද කම්පනය කරවන අයුරින් ඡායාරූප මගින් ඉකුත් දිනෙක මාධ්‍යය වාර්තා කොට තිබුණි.


පළමුවැනි ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගැනීමේ අයැදුම්පත්‍ර තැපෑලෙන් යැවීම ද විවිධ විභාගවලට අයැදුම්පත් ඉදිරිපත් කිරීම ද රථවාහන වැරදිවලට දඩ ගෙවීමේ අසීරුතා ද තැපැල් වර්ජනය හේතුවෙන් උද්ගත වී ඇත. සති ගණනකට පෙර තැපැල් කළ ලිපි සහ භාණ්ඩ තැපැල් කාර්යාලවල ගොඩගසා ඇත.


සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දුම්රිය සහ විදුලි බලමණ්ඩල ආදියේ වැඩවර්ජන පිළිබඳව ද නිතර අනතුරු ඇඟවීම් සිදුවේ. මේ සියල්ලෙහි අවදානමට මුහුණ පෑ යුත්තේ පොදු ජනයාය. බලතල වරප්‍රසාද අහිමි, ජනතාව දඩමීමා කරගනිමින් වර්ජනයේ හස්තය දිගුකොට ස්වකීය වෘත්තීය අරමුණු සාක්ශාත් කරගැනීමට අපේ රටේ රාජ්‍ය අංශවල වෘත්තිකයෝ පුරුද්දක් කරගනිමින් සිටිති.


සේවක ගැටලු මතුවීම පොදු කරුණකි. නමුත් ඒවා විසඳා ගැනීමට දැඩි තීරණ මත පිහිටා වැඩවර්ජන කිරීම කොතෙක්දුරට සාධාරණ දැයි හදවතට එකඟව සිතා බැලිය යුතුය. සේවකයෝ පාලකයන්ටත් පාලකයෝ නැවත වරක් සේවකයන්ටත් පන්දුව මාරු කරමින් ජනතාව අත්විඳින පීඩාවේ වගකීම පැහැර හරිමින් සිටිති. අපේ රටේ මුළු ශ්‍රම බළකායෙන් රාජ්‍ය අංශයට ඇතුළුවන පිරිස ඉතා සීමිතය. අඩු වැටුප්, අවම වරප්‍රසාද මැද වැඩි ශ්‍රමයක් වැය කරමින් රටේ ආර්ථිකයට සක්‍රීය දායකත්වයක් සපයන පෞද්ගලික අංශ සේවකයන්ට රට වෙනුවෙන් ඉටු කළ යුතුව ඇති වගකීම් ප්‍රමාණය අපරිමිතය.


අපේ රටේ බහුතරයක් තවමත් රාජ්‍ය අංශයේ රැකියාවන්ට එකතුවීමේ අපේක්ෂාවෙන් පසුවෙති. ඒ සියල්ලේ ඇත්තේ රාජ්‍ය අංශ සේවයේ වරප්‍රසාද ලැබීමේ අපේක්ෂාවය. තත්ත්වය එසේ තිබිය දී රාජ්‍ය අංශ සේවකයන් ස්වකීය අභීලාස මත වැඩවර්ජන ක්‍රියාවට නැංවීම ඔවුනොවුන්ගේ රැකියාවේ සුරක්ෂිතභාවයට ද බලපෑමක් වනු ඇත.


අපේ රාජ්‍ය අංශයේ සේවාව සුදු අලියෙකුගේ තත්ත්වයට පත්විය යුතු නැත. ණය බර, බදු බර මත ජීවන වියදම් වැඩිවීමෙන් අසීමිත වූ ආර්ථික දුෂ්කරතා අත්විඳින රටේ පොදු ජනයා වෙනුවෙන් මේ සියලු පාර්ශ්වයන්ට වැඩි වගකීම් කොටසක් පැවරෙන බව සිහි තබා ගත යුතුය.


විසිහත් දහසකට ආසන්න අපේ රටේ තැපැල් දෙපාර්තමේන්තු සේවකයන් දින දොළහක පමණ සිට සිය රාජකාරිය වර්ජනය කරමින් පසුවෙති. සාමාන්‍ය තැපෑලෙන් නිවසට ලැබෙන ලිපියක සිට අධිවේගී තැපැල් සේවාව, ලොජි පෝස්ට් සේවය, ටෙලි මේල් සේවය, ව්‍යාපාරික තැපැල් සේවය, මුද්දර, රක්ෂණ වාරික ගෙවීම්, පොලිස් රථ වාහන දඩ ගෙවීම්, විභාග ගාස්තු ගෙවීම් ආදී තැපෑලෙන් ඉටුවන සේවා සියල්ල මේ වනවිට අඩපණ වී ඇත.
විසිහතර පැය සේවා සම්පාදකයෙක් වන තැපැල් සේවයේ රට පුරා උපතැපැල් කාර්යාල 3410ක් ද තැපැල් කාර්යාල 653ක් ද නියෝජිත තැපැල් කාර්යාල 524ක් ද ග්‍රාමීය නියෝජිත තැපැල් කාර්යාල 101ක් ද හා වතු නියෝජිත තැපැල් කාර්යාල 07ක් ආදී වශයෙන් ව්‍යුහගත වේ.


තැපැල් සේවයේ වෘත්තීය සමිති විසිපහක් පමණ වන අතර එයින් පහළොවක් පමණ සිය වෘත්තීය අරමුණු දිනාගැනීම වෙනුවෙන් සක්‍රීයව සිය කාර්යභාරය ඉටු කරනු ලබයි.


තැපැල් වැඩවර්ජනය සම්බන්ධයෙන් ලංකා තැපැල් සේවා සංගමයේ සභාපති ජගත් මහින්ද මහතා මෙසේ කරුණු පැහැදිලි කළේය.


‘‘6/2006 හය දෙදහස් හය චක්‍රලේඛය ක්‍රියාත්මකවීම මත තැපැල් සේවය අයදුම්කරුවන් බඳවා ගැනීම නිසා ඇතිවූ ගැටලුකාරී තත්ත්වය මෙම වර්ජනයට හේතු වී තිබෙනවා. එම චක්‍රලේඛයට අනුව සිදුකෙරෙන බඳවා ගැනීම් හේතුවෙන් දෙපාර්තමේන්තුවේ නිලධාරී ශ්‍රේණි සහ කනිෂ්ඨ කාර්ය මණ්ඩල සේවකයන්ට අදාළව බඳවා ගැනීම්, උසස්වීම් වැටුප් තල ආදිය විශාල වෙනසකට භාජන වුණා.


දැනට වසර දොළහක සිට සේවකයන් මෙම ගැටලුව නිසා පීඩාවට පත්ව සිටිනවා. මෙම පීඩාව නිසා සිය සේව පිළිබඳ දැඩි අතෘප්තියකට ඔවුන් පත්ව සිටිනවා. මෙයට පෙරද වෘත්තීය ක්‍රියාමාර්ග සිදුකළත් ඉහළ පරිපාලනයේ රැවටිලිකාර බව නොමග යැවීම් ආදිය නිසා ගැටලුව යටපත් වූවා.


ඉකුත් ජූනි එකොළොස් වැනිදා සිට අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට අප තීරණය කරනු ලැබුවේ ඒ අනුවයි. වර්ජනය දින අටක් වනවිට දිවයින පුරා තැපැල් සේවකයන් පන්දහසක් පමණ කොළඹට පැමිණ එසේ උද්ඝෝෂණයකට එළඹීම නිසා ඉහළ පරිපාලනයේ ඉහ මොළ රත්වෙන තරමට පත් වුණා.


ඒ අනුව අග්‍රාමාත්‍ය කාර්යාලයේ මැදිහත්වීමෙන් තැපැල් සේවකයන් සමග සාකච්ඡාවකට එළඹුණා. එම සාකච්ඡාවේදී වැටුප් කොමිසමේ සභාපතිවරයා තුන් වැනි ශ්‍රේ‍ණි නිලධාරී ස්ථරය ඉවත් කිරීමට අප සමග එකඟ වුණා.
කනිෂ්ඨ කාර්ය මණ්ඩල දාහත දක්වා අවම කිරීමටත් එහිදී එකඟ වුණා. පවතින ගැටලුකාරී තත්ත්වයත් නිරාකරණය කිරීමට ඔවුන් අපගෙන් සති දෙකක කාලසීමාවක් ඉල්ලා සිටියා. ඔවුන් දුන් පොරොන්දු විශ්වාස කළ නොහැකි නිසා වර්ජනය ඉදිරියට ක්‍රියාත්මක කිරීමට අපට සිදුවුණා. ඒ අනුව සටන මේ වනවිටත් ක්‍රියාත්මක වෙනවා. තැපැල් සේවය අත්‍යවශ්‍ය සේවයක් බවට පත්කොට සේවයට වාර්තා නොකරන අයගේ සේවය අත්හැර ගියා සේ සලකා කටයුතු කරන බව ද රජය මගින් නිවේදන කර තිබුණා. අනියම් ආදේශ සේවකයන්ගේ සේවා අහෝසි කරන බව සඳහන් කරමින් ඔවුන් මෙම සටන දියාරූ කිරීමට නැවත වරක් උත්සහ දැරුවා.
නමුත් තැපැල් සේවකයන් රජයේ වහසිබස්වලට නොරැවටී සිය වෘත්තීය අරමුණු වෙනුවෙන් මෙම සටනට එක්ව සිටිනවා. රට පුරා සියලුම තැපැල් කාර්යාල මේ වනවිට අක්‍රීයව තිබෙනවා.


සේවක කැපවීම් හේතුවෙන්ම තැපැල් සටන මේ වනවිට ජයග්‍රාහී අදියරක පවතින බව අප සතුටින් ප්‍රකාශ කරනවා.


තනතුරුවලට අදාළ වැටුප් තල නැවත සකස්කොට 6/2006 චක්‍රලේඛයෙන් මතු වූ වියවුල්කාරී තත්ත්වයන් සමථයට පත්කරන බව තැපැල් විෂයභාර අමාත්‍යංශ ලේකම්තුමා අප වෙත දැනුම් දෙනු ලැබුවා. සකස් කරන ලද වැටුප් ලේඛන වැටුප් කොමිසමට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම තීරණ වෘත්තීය සමිතිවලට දැනුම්දීමෙන් පසු මෙම සටන නිමා කරනවාද? නැද්ද? යන්න තීරණය කෙරෙනවා.


වසර දොළහක් තිස්සේ බලපෑ මෙම ගැටලුවට නිශ්චිත විසඳුමක් ලබාදීමට තවදුරටත් අපොහොසත් වුවහොත් සටන ඉදිරියටම ගෙනයාමට අප බලාපොරොත්තු වෙනවා.


තැපැල් දෙපාර්තමේන්තු සේවකයන්ට බලපාන ගැටලු රාශියක්ම තිබෙනවා. අපේ රටේ උපතැපැල් කාර්යාලවල සේවයේ නිරත උපතැපැල් ස්ථානාධිපතිවරියන් කාලයක් තිස්සේ ගැටලු රැසකට මුහුණ පා සිටිනවා. රාජ්‍ය සේවයේ ප්‍රසූත නිවාඩු වසරක් දක්වා ලබාගත හැකිවෙනවා. නමුත් තැපැල් සේවිකාවන්ට ලැබෙන්නේ දින විසිනවයකට පමණක් සීමිත වූ ප්‍රසූත නිවාඩු ප්‍රමාණයක් පමණයි. එතනත් ඇත්තේ ගැටලුවක්.


එම උපතැපැල් ස්ථානාධිපතිවරියන්ට සෙනසුරාදා දිනවලට අදාළව සේවය කිරීමේ දීමනා ලබාදෙන්නේ නැහැ. තැපැල් දෙපාර්තමේන්තුවට අයත් නොවන ගොඩනැගිලිවල පවත්වාගෙන යන උපතැපැල් කාර්යාලවලට බදු/කුලී ගෙවීම් තම මුදලින්ම ගෙවා ගැනීමට උපතැපැල් ස්ථානාධිපතිවරුන්ට සිදුවී තිබෙනවා. ග්‍රාමීය ප්‍රදේශවල වුවත් ගොඩගැනිල්ලකට මසකට රුපියල් හයදහසක් වැනි මුදලක් ගෙවිය යුතු වෙනවා.


නමුත් දෙපාර්තමේන්තුව තැපැල් කාර්යාල පවත්වාගෙන යෑමට අදාළව ගෙවන්නේ රුපියල් දෙසිය පනහත් - තුන්සිය පනහත් අතර සීමිත මුදලක්. මෙම ගැටලුව දිගින් දිගටම පවතින අවස්ථාවේ ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක විසින් විෂයභාර අමාත්‍යවරයාගෙන් පාර්ලිමේන්තුවේ මේ පිළිබඳව ප්‍රශ්න කිරීම නිසා තැපැල් කාර්යාලවලට ගෙවන කුලිය වැඩි කිරීමක් සිදුවුණා.


නමුත් ගම්බද කාර්යාලයකට රුපියල් හත්සිය පනහක්, නාගරික කාර්යාලයකට රුපියල් එක්දහස් පන්සියයක් වශයෙන් සුළු වැඩිකිරීමක් පමණක් එහිදී සිදුවුණේ. තැපැල් කාර්යාලයක කුලිය ගෙවීමට එම මුදල කිසිදු අයුරකින් හෝ ප්‍රමාණවත් වන්නේ නැහැ. සේවක වැටුපෙන් කාර්යාල පවත්වාගෙන යෑම කාර්යාල නඩත්තු කිරීම් ආදිය සිදුකිරීමට දෙපාර්තමේන්තු සේවකයන්ට සිදුවී තිබෙනවා.


තැපෑලට වැය කෙරෙන මුදලින් සියයට පනහක්ම නැවත උපයාගත හැකි බවට දෙපාර්තමේන්තු වාර්තා මගින් තහවුරු කොට තිබෙනවා. රජයට එම ආදායම උපයා දෙන දෙපාර්තමේන්තු සේවකයන්ට මේ ආකාරයට නොසලකා හැරීම දැඩි ආසාධාරණයක් බව අප සඳහන් කළ යුතුයි. ඇතැම් තැපැල් කාර්යාලවලට කාන්තාවන්ට වැසිකිළි පහසුකමක්වත් නැහැ. හිඳ ගැනීමට පුටුවක් හෝ නැති උපතැපැල් කාර්යාල කොපමණක් අපේ රටේ තිබෙනවාද?


තැපැල් ගාස්තු වැඩි කිරීමට මේ වනවිට රජය තීරණය කර තිබෙනවා. සේවක වැටුප් වැඩිකිරීම් සම්බන්ධ අපගේ ඉල්ලීමට සමගාමීව තැපැල් ගාස්තු වැඩිකිරීමෙන් ඔවුන් සමාජයට යමක් කියාපෑමට උත්සහ කරනවා. සේවක වැටුප් වැඩිකිරීමට තැපැල් ගාස්තු වැඩි කිරීමට සිදුවුණා යනුවෙන් මහජනතාවට පෙන්වීමට රජය කූට උත්සාහයක නිරත වෙනවා. ජනතාව මත පැටවෙන තැපැල් ගාස්තුවේ බර තැපැල් සේවකයාගේ වැටුපත් අතර ප්‍රශ්නයක් නැහැ. වසර දෙදහස් හයට පෙර පැවැති 2006 වසරේ දී කප්පාදු කළ වැටුප පමණයි අප ඉල්ලා සිටින්නේ කියලා මා සඳහන් කරන්න කැමැතියි.


පොරොන්දු දීම පාලකයා කරන කූට කටයුත්තක්. අප ඔවුන් විශ්වාස කරන්නේ නැහැ. වැටුප් වැඩිකිරීම් සඳහා කැබිනට් අනුමැතිය ලැබෙනතෙක් අප මේ පිළිබඳව සෘජු අවධානයකින් පසු වෙනවා.


තැපැල් වර්ජනය සමයේ පාලකයන් අපගේ නිවාඩු අවලංගු කරමින් යම් යම් තහංචි පනවනු ලැබුවා. එ් සියල්ල අහෝසි කොටගෙන සේවයේ පුරක්ෂිතතාව වෙනුවෙන් අප අපට සිදුකළ හැකි සියලු කැපකිරීම් සිදුකිරීමට ඉදිරියේදී කටයුතු කරනවා.


‘‘රජය තැපෑල පෞද්ගලීකරණය කිරීමට යම් උත්සහයක් දරන බවද අපට පෙනී යනවා. ඉදිරියේ දී එයට එරෙහිවද අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට අප බලාපොරොත්තු වෙනවා’’යැයි ජගත් මහින්ද මහතා සඳහන් කළේය.
ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති එකමුතුවේ සමකැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා තැපැල් වර්ජනය පිළිබඳ මෙසේ අදහස් දැක්විය.


මේ වනතුරුත් සේවක ගැටලු සම්බන්ධ නිශ්චිත විසඳුමක් ලබාදී නැහැ. මේ වෙද්දී තැපැල් සේවයේ කනිෂ්ඨ කාර්ය මණ්ඩල තනතුරු දහඅටක් අහෝසි කොට තිබෙනවා.


එම තනතුරු නැවත ලබා දෙන ලෙස අප ඉල්ලා සිටිනවා. නිලධාරී ශ්‍රේණියේ අනවශ්‍ය තුන් වැනි පෙළක් ඇති කිරීමෙන් තනතුරු උසස්වීම් ලබාගැනීම සම්බන්ධ බාධාවක් ඇති වී තිබෙනවා. නිලධාරීන් ලැබිය යුතු ඉහළම උසස්වීම ලබන්න වයස අවුරුදු හැට හත දක්වා කල් ගෙවීමට පවතින චක්‍රලේඛය හරහා සිදුවී තිබෙනවා.


මෙම ගැටලුකාරී තත්ත්වයන් නිවැරදි කොට සේවයේ ස්ථාවර බව තහවුරු කිරීමට කටයුතු යෙදිය යුතු වෙනවා.


තැපැල් සටන සමග මේ වනවිට වෘත්තීය සමිති විසිහතක් පමණ එක්ව තිබෙනවා. දුම්රිය, බැංකු, වරාය, අධ්‍යාපන, සෞඛ්‍ය, වතු කම්කරු ආදී වෘත්තීය සමිති, සම්මේලන මේ වනවිට අපට සහයෝගය ප්‍රකාශ කරමින් සිටිනවා. සේවක ඉල්ලීම් ලබාදෙන තුරු සටන ඉදිරියට ගෙන යෑමට අප දැඩි ස්ථාවරයක පසු වෙනවා. චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේය.


තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු පිළිබඳ අමාත්‍යවරයා සඳහන් කරන ආකාරයට තැපැල් වර්ජනය ආණ්ඩුව අපහසුතාවයට පත්කිරීම සඳහා ක්‍රියාවට නංවන්නකි.


ගැටලුව පිළිබඳව අමාත්‍යංශ හා දෙපාර්තමේන්තු මට්ටමේ සාකච්ඡා තවමත් ක්‍රියාත්මක වේ. නමුත් තවමත් ස්ථිර විසඳුමක් මේ සම්බන්ධයෙන් ලැබී නැත.


පවතින තත්ත්වය යටතේ වැඩ වර්ජන ක්‍රියාවලිය තවදුරටත් දික්ගැසෙනු ඇතැයි ආරංචිමාර්ග සඳහන් කරයි.

 

 

 

 

 

සටහන - සමන්තිකා මාධවී