මහ වැස්සෙන් අලුත් දියඇලි හැදිලා


රාවණා ඇල්ල

 

මාර්ග දෙපස ඉදිවූ තාවකාලික දිය ඇලි

 

 

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට මෙන්ම මේ දිනවල ඌවේ ප්‍රදේශ රැසකට ද මහ වැසි ඇද වැටෙමින් පවතී.   


හේන් සහ කුඹුරු ගොවිතැන සිය ප්‍රධාන ජීවිකාව කරගත් ඌවේ ගොවියාට වර්ෂාව ආශිර්වාදයකි. එසේ වූවත් මේ දිනවල ඔවුන් බලාපොරොත්තු නොවූ අන්දමින් ඇද හැළෙන අකල්වැස්ස ඔවුන්ගේ දෛනික කටයුතුවලට විශාල බාධාවක් බවට පත්වෙමින් තිබේ. දිගින් දිගටම ඇද හැළෙන මහ වැසි හේතුවෙන් මේ ​ෙවන විටත් නාය යාම්, ගිලා බැසීම් මෙන්ම විවිධ වූ ආපදාවන් රැසක්ම පළාතේ ප්‍රදේශ රැසකින්ම වාර්තා වෙමින් පවතී.   


නොකඩවා ඇද හැළෙන මහ වැසි හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කය තුළ පමණක් ඉකුත් අඟහරුවාදා (22) දහවල් 12ට පමණ ​ෙව​​න විට නිවාස 63කට අර්ධ හානි සිදුව තිබූ අතර පවුල් 51කට අයත් 207 දෙනෙකු අවතැන් කඳවුරු දෙකක් තුළ කොටුවී ඇතැයි ද ජීවිත හානි දෙකක් වාර්තාවී ඇතැයි ද බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂක ඊ.එම්.එල්. උදය කුමාර මහතා සඳහන් කළේය.   


මීට අමතරව බදුල්ල දිස්ත්‍රික්කයේ පවුල් 123කට අයත් පුද්ගලයන් 516 දෙනෙකුට මහ වැසි හේතුවෙන් බලපෑම් එල්ලවී තිබේ. තවමත් ඇද හැළෙන මහ වැසි හේතුවෙන් එම තත්ත්වය තවත් වර්ධනය වීමට ඉඩ ඇතැයි ද හෙතෙම තවදුරටත් සඳහන් කළේය.   


වර්ෂාවත් සමග මතුවිය හැකි අනතුරුදායක තත්ත්වයන් සම්බන්ධයෙන් නිරන්තර අවධානයෙන් පසුවන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දිගින් දිගටම ජනතාව දැණුවත් කරන්නේද ඒ නිසාය.  


මේ දිනවල ඇද හැළෙන මහ වැසි සමග ඌව පළාත වඩ වඩාත් සුන්දර වී ඇත්තේ පළාතේ උස් කඳු මුදුන් රැසකින් මතුවී ඇති අඩි සිය ගණන් උසැති විවිධ ප්‍රමාණයේ දිය ඇලි නිසාය. වර්ෂා සමයේදී පමණක් මතු​ෙවන මෙම දිය ඇලි සිය ගණනක් මේ දිනවල පළාතේ උස් කඳු ශිඛරයන්ගෙන් පහළට ඇද වැටෙන්නට පටන්ගෙන තිබේ. විශේෂයෙන්ම මේ වන විට බදුල්ල-කොළඹ ප්‍රධාන මාර්ගයේ බදුල්ල සිට බලංගොඩ දක්වා වූ මාර්ග කොටස තුළ පමණක් මෙවැනි දිය ඇලි 20 කට අධික සංඛ්‍යාවක් දැක ගන්නට ඇති අතර ඒ බොහොමයක්ම වර්ෂාවත් සමඟ මතුවී ගලා හැළෙන තාවකාලික දිය ඇලි බව එම ප්‍රදේශවල ජනතාව පවසති.   


 විශේෂයෙන්ම මෙම මාර්ගයේ බෙරගල සහ හපුතලේ නගරය අතර පිහිටි අඩිසිය ගණනක් උස කඳුවැටිය මතින් මෙවැනි දිය ඇලි රැසක් කඩා හැළෙන්නට පටන් ගෙන ඇති අතර මාර්ගයේ යන එන සංචාරකයෝ එම දිය ඇලි නැරඹීමෙන් මහත් තෘප්තියක් අත් විඳින්නට පටන්ගෙන ඇතැයි එම ප්‍රදේශවල ජනතාව පවසති.   


හපුතලේ කඳුවැටියේ එක් ස්ථානයකින් බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගය වෙතට දිය ඇලි හය හතකින් සමන්විත දිය ඇලි ගොන්නක් එක විට කඩා හැළෙන්නේ අපූරු චමත්කාරයක් පරිසරයට එක්කරමිනි.   


 මහ වැසි ඇද වැටෙද්දී එම දිය ඇලි සියල්ල එක්වී අඩි සිය ගණනක් පළල සුවිසල් දිය ඇල්ලක් නිර්මාණය වී එය තව තවත් විචිත්‍රවත් ​ෙවන බව ද ප්‍රධාන මාර්ගය දෙපස වෙ​ෙළඳාමේ නිරත පිරිස් අප සමග පැවැසූහ.   
මීට අමතරව බදුල්ල පස්සර හරහා බිබිල මාර්ගයේ ද, මහියංගන 18 වංගුව මාර්ගයේ ද, බදුල්ල නුවරඑළිය මාර්ගවල ද යන එන්නන්ට මේ දිනවල වර්ෂාවත් සමඟ නිර්මාණය වූ මෙවැනි දිය ඇලි රැසක් දැක බලා ගැනීමේ අවස්ථාව උදාවී තිබේ.   


 මග දෙපස මේ අයුරින් තාවකාලික දිය ඇලි නිර්මාණය වෙද්දී පළාත තුළ පිහිටි රාවණා, දුංහිඳ, බඹරකන්ද, දියලුම, පීස්ස, නකල්ස් මායිමේ පිහිටි, රත්නඇල්ල ආදී දිය ඇලිවල ජල ප්‍රමාණය ද දෙතුන් ගුණයකින් ඉහළ යාමෙන් ඒවායේ සුන්දරත්වය වඩ වඩාත් ඉහළ ගොස් තිබේ.   


මේ දිනවල පවත්නා වර්ෂාවත් සමඟම පළාතේ බොහෝ කඳුවැටි ඝණ මිහිදුම් පටලයකින් වැසී ගොස් ඇති අතර සැබැවින්ම එය සංචාරකයන් අමන්දානන්දයට පත්කරවන්නට තරම් සමත්වී ඇත.   


පවත්නා සුවදායි දේශගුණික තත්ත්වයත් සමඟ ප්‍රදේශයේ බොහෝ වනාන්තරවල තුරුලතාවන්ට නව පණක් ලැබී තිබේ. වෙනත් වසරවල දී කේඩෑරි ගැසී ඇති හග්ගල උද්භිද උද්‍යානයට ද වර්ෂාවෙන් නව ජීවයක් එක්වී ඇති අතර විවිධ වූ වර්ණයන්ගෙන් සුසැදි මල් ගොමුවලින් එය විචිත්‍රවත් වී ඇත.   


හිටි හැටියේම කඩා වැටුණු අකල්වැසි හේතුවෙන් තමන් පදිංචි නිවස, යන එන මහ පාර කොයි මොහොතක ගිලා බසීදැයි සිතමින් භය භිරාන්තව සිටින ඌවේ ජනතාවට ඇතැම් විට මේ සුන්දර පරිසරය මද අස්වැසිල්ලකි. 

 
උදේ සවස දකින මේ සුන්දරත්වය ඇතැම් විට ඔවුන්ට සාමාන්‍ය දර්ශනයක් වූවත් මේ දිනවල මෙම ප්‍රදේශයන්හි යන එන දෙස් විදෙස් සංචාරකයන්ට නම් කලකින් දැක ගන්නට ලැබෙන මේ සොඳුරු දසුන් අපූරුම අත්දැකීමක් බව නොරහසකි.   


වැසි තුරල්වෙන තුරු කුඩ ඉහළාගත් දෙස් විදෙස් සංචාරක පිරිස් මෙම මාර්ගවල රැඳී සිටින්නේ මෙම සුන්දරත්වයේ ආස්වාදය ඒ තරමටම සොඳුරු නිසාය.

 

 

 

 

 

සටහන සහ ජායාරූප :
වියලුවේ නිශාන්ත කුමාර