මහ මග අවසන් ගමන් ගිය මල්ශාලා හිමිකරු


‘‘කිමිදෙන්නට යන මිනිහා දිය නූල අල්ලා ගන්නට දෙන්නේ මස්සිනාට’’ යැයි අපේ ඉපැරණි ජන වහරේ කතාවක් තිබේ. ඒ කෙනකුගේ ඉතාම විශ්වාසයවන්තයා මස්සිනා බව ඇඟවීමටය.  


මෙතෙක් අපේ ඉපැරණි ජන වහරේ එන කතාව වෙනස් කරන ආකාරයේ සිදුවීමක් පසුගියද‌ා කළුතරදී සිදු විය.  


එද‌ා ඔක්තෝබර් මස 07 සෙනසුරාද‌ා දිනයයි. වේලාව දහවල් 12.25ට පමණ වන්නට ඇත.  


‘‘සර්... පපඩම් කඩේ හංදියේ එක්කෙනෙකුට දෙන්නෙක් කෙටේරිවලින් කොටනවා.’’  


පොලිස් හදිසි ඇමතුම් අංශයේ 119 අංකයට ආ ඇමතුමෙන් දකුණු කළුතර පොලිසියම ගිනි ගත්තේය.  


වහාම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් දකුණු කළුතර දූව පන්සල පාරේ පපඩම් කඩේ හංදියට යන විටත් තම කාර්යය සිදු කර සැකකරුවන් පලා ගොස් තිබුණි.  


ආරෝහ පරිනාහ දේහධාරී පුද්ගලයකු ලේ විලක් මැද පාරේ වැටී සිටි අතර ඔහු පැමිණි බවට සැක සිතිය හැකි රතු පැහැති යතුරු පැදියද පාරේම පෙරළී තිබුණි. හිස් වැස්ම ගැලවී පසකට විසිවී තිබූ අතර ඝාතකයන්ගේ යැයි සිතිය හැකි වර්ග දෙකක සෙරෙප්පු දෙකක් පාරේ නොපිළිවෙළට විසිරී තිබුණි.  


ඒ වන විටත් පාරේ වැටී සිටි පුද්ගලයා මිය ගොස් තිබූ අතර පොලිස් නිලධාරීහු ඔහු හඳුනා ගත්හ.   


ඔහු කළුතර නාගොඩ සෝභිතාරාම පාරේ පදිංචිව සිටි කළුතර නාගොඩ ලයනල් මල් ශාලාවේ කළමනාකාර අධ්‍යක්‍ෂවරයා වූ මයුර පටබැඳිගේ උපුල් මංජුල පෙරේරා නම් වූ අයයි.  

 

 

වයස අවුරුදු 43ක දෙදරු පියකු වූ ඔහු කවුරුත් හැඳින්වූයේ ‘මංජු’ ලෙසය. කළුතර හා ඒ අවට ප්‍රදේශවල බොහෝ දෙනා ඔහු හොඳින් දන්නා හඳුනන අයෙකි.  


මෙම ඝාතනය සම්බන්ධයෙන් කාගේත් සැකය යොමු වූයේ මංජුගේම මස්සිනා වෙතය.   


මංජුගේ නැගණිය පාසල් ගුරුවරියකි. ඇය විවාහ වී සිටියේ කලක් හමුද‌ා සේවයේ සිට ඉවත් වූ මෙම පුද්ගලයා සමගය. ඔවුන්ද වයස අවුරුද්දක් පමණ වූ කුඩා දරුවකුගේ මාපියන්ය.   


මෙම දෙපිරිස අතර පවුල් ආරවුල් පැවතියේ කාලෙක සිටය. බොහෝ විට ඒවා දේපළ පිළිබඳ ප්‍රශ්නය. ඇතැම් විට බැණ තර්ජනය කිරීම්ය. මෙම සිද්ධීන්වලට අද‌ාළව පැමිණිලි කීපයක්ම දකුණු කළුතර පොලිසියට ලැබී තිබිණි.  


මල් ශාලාවටම යාබද ගොඩනැගිල්ලේ කලක් වාසය කළ එම පවුල මෙම අරවුල් නිසාම ඉවත් කෙරුණු අතර සැකකරු කළුතර දූව පංසල පාරේ පිහිටි තම නිවසට පදිංචියට ගියේ මීට මාස කීපයකට පෙරය.  


මීට මාසයකට පමණ පෙර ‘මංජු’ ගමන් ගත් වෑන් රථය ඉදිරියෙන් ගිය තම මෝටර් රථයේ ගමන් ගත් සැකකරු කඩුවක් ලෙළවමින් ‘මංජුට’ මරණ තර්ජන කළේය.  


වහාම ක්‍රියාත්මක වූ ‘මංජු’ මල් ශාලාවේ සිටින තම සේවකයින් ගෙන්වා සැකකරු ගිය වාහනය ලුහුබැඳ ගොස් ඔහු අල්ලා පහර දී කඩුව උදුරා ගත්තේය. මෙම ගැටුමේදී සැකකරුගේ අත්වලට තුවාලද සිදුවිය.  


මංජු සැකකරුගෙන් උදුරා ගත් කඩුව රැගෙන දකුණු කළුතර පොලිසියට පැමිණියේය. දකුණු කළුතර පොලිසිය මෙම සිද්ධිය කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තා කොට තිබුණි.  


වරින් වර ඇති වූ ගැටුම්වල උච්චතම අවස්ථාව උද‌ා වූයේ ඉකුත් 07 වැනිද‌ාය.  


‘මංජු’ කළුතර දූව පන්සල පාර ඔස්සේ තම යතුරු පැදිය ධාවනය කළේ තම නිවසේ ඉදිරිපස ඉදි කෙරෙන අලුත් ගේට්ටුව සඳහා උපාංග කීපයක් ගෙන ඒමටය.  


නිල් පැහැති මෝටර් රථය නවතාගෙන සිටි සැකකරුවන් ඔහුට හමු වූයේ පපඩම් කඩේ හංදියේදීය. හිසට, පාදවලට, බෙල්ලට, පිටට ආදී ස්ථාන කීපයකටම මුවහත් කෙටේරි පහරවල් එල්ල ​ෙවන්නට වැඩි කාලයක් ගත වූයේ නැත උස මහත දේහයෙන් යුතු සද්දන්ත පුද්ගලයා කෙසෙල් කඳක් මෙන් ලේ විලක් මැද බිම පතිත විය.  


කළුතර වැඩ බලන මහේස්ත්‍රාත් වජිර ලක්‍ෂ්මන් අසුරප්පුලි මහතා සිද්ධිය වූ ස්ථානය හා දේහය නිරීක්‍ෂණයකර පශ්චාත් මරණ පරීක්‍ෂණයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කළුතර නාගොඩ මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියාට නියම කළේය.   
ඒ අනුව පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී එල්.බී.එම්. ප්‍රනාන්දු මහතා වාර්තා කළේ මෙම මරණය තියුණු ආයුධයකින් පහර දීම හේතු කොට ගෙන සුෂුම්නාව පස් පොළකින් කැපී යාම හේතුවෙන් සිදුවූ මරණයක් බවයි.  
මෙම ඝාතනය කළුතර හා අවට පෙදෙස්වල ජනතාවගේ සිත් සසල කරවන්නක් වූ අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් තුනක් යොදවන ලදී.  


ඒ අතරේ ඉකුත් 10 වැනිද‌ා රාත්‍රියේ කොළඹ අධිකරණයක සේවය කරන නීතිඥයෙකු සමඟ මංජුගේ මස්සිනා සහ ඔහුගේ රියැදුරු දකුණු කළුතර පොලිසියට පැමිණ භාර විය.  


ඔවුන්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඝාතනය සඳහා යොද‌ාගත් කෙටේරි දෙක සහ ඔවුන් ගමන් ගත් රථය පොලිසිය සොයා ගත්තේ තෙබුවන ප්‍රදේශයෙනි.   


ප්‍රධාන සැකකරුගේ බාප්පා කෙනෙකුට අයත් නිවසක් අසල මෝටර් රථය නතර කර තිබූ අතර කෙටේරි දෙක සොයා ගත්තේ එම ඉඩමේම දර මඩුවක සඟවා තිබියදීය.  


කෙටේරි දෙක හමුවීමත් සමඟ ‘මංජුගේ’ සිරුරේ කැපුම් තුවාලවලට අමතර වූ සිදුරුවලට හේතුව පැහැදිලි විය. ඒ එම කෙටේරිවල එක් පැත්තක මුවහත් තලය හා අනෙක් පැත්තේ ‘උල්’ වශයෙන් පිහිටා තිබීමයි.  


සැකකරුවන් පොලිසියට ප්‍රකාශ කර තිබුණේ ‘මංජු’ එම කෙටේරි තම යතුරු පැදියේ රදවාගෙන ආ බවත් ඉන් තමන්ට පහර දෙන්නට උත්සහ කළ අවස්ථාවේ ඒවායින් පෙරළා පහරදීමට සිදුවූ බවත්ය.  


පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසුව නිදහස් කරන ලද මංජුගේ දේහය පිළිබඳ ඊළඟ කාර්යය වූයේ දේහය අවසන් කටයුතු සඳහා සකස් කිරීමයි.   


එහෙත් මළ සිරුරු සිය දහස් ගණනක් සකස් කර පළපුරුදුකරුවන් වූ එම මල් ශාලාවේ සේවකයන් තම ස්වාමියාගේ දේහය සකස් කිරීමට අකමැති වූහ. එ් වෙනයම් හේතුවක් නිසා නොව තම ස්වාමියා කෙරෙහි වූ ආදරය නිසාමය. ඒ අනුව දේහය සකස් කිරීම සඳහා කළුතර සිට කොළඹ ප්‍රධාන පෙළේ මල් ශාලාවකට ගෙන ඒමට සිදු විය.  


මංජුගේ අවසන් කටයුතු සිදු කෙරුණේ ඉකුත් 11 වැනි බද‌ාද‌ා සවසය. කළුතර මැද පාර ඔස්සේ සුසාන භූමිය කරා දේහය රැගෙන ගියේ හෙලිකොප්ටරයකින් හෙළු මල් වරුසාවක් සමගය.  


පොලිසියට භාර වූ සැකකරුවන් දෙදෙනා කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත් භාරතී විජේරත්න මහත්මිය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීම සඳහා ඔක්තෝම්බර මස 20 වැනි දින දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලදී.   
කළුතර දිසා භාර නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු, කළුතර කොට්ඨාස භාර පොලිස් අධිකාරී උපුල් නිල්මිණ ආරියරත්න, සහකාර පොලිස් අධිකාරී කපිල ප්‍රේමද‌ාස යන මහත්වරුන්ගේ උපදෙස් මත කළුතර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් බණ්ඩාර, පොලිස් පරීක්ෂකවරුන් වන සවින්ද අමරසේකර, චන්න අමරසේකර, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක ලක්‍ෂිත වීරසිංහ, උප පොලිස් පරීක්‍ෂක බුද්ධික නලින්, සැරයන් (30273) වන්නිආරච්චි, කොස්තාපල්වරුන් වන සුරංග (35953), සමන් (46226), අමරනාත් (64407) හා රුක්ෂාන් (90456) යන මහත්වරු මේ පිළිබඳව වැඩිදුර පරීක්‍ෂණ පවත්වති.

 

 

 

 

 

 

 

 

සටහන හා ඡායාරූප කළුතර 
සුනිල් එස්. තන්ත්‍රිආරච්චි