මහ බැංකුවම මළ ගෙයක් කළ කොටි බෝම්බය


 

එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් විසින් ශ්‍රී ලංකා මහ බැංකුව පරිශ්‍රයේදී බෝම්බයක් පුපුරවා මහා මිනිස් ඝාතනයක් සිදු කරනු ලැබුවේ 1996 ජනවාරි 31 වැනිදාය. එම ප්‍රහාරය සිදුවී වසර 24 ක් දැන් ගතවී තිබේ. එම අධිබැලති බෝම්බය පිපිරවීම නිසා මහ බැංකු සේවකයන් 41 දෙනෙකු මරණයට පත්වූ අතර අවට ගොඩනැගිලි තුළ සහ මහ මග ගමන් ගනිමින් සිටි පිරිසක්ද මරණයට පත්විය. එමගින් තුවාල ලැබූ පිරිසද අති විශාලය. 

 
කොටි ත්‍රස්තවාදීන් විසින් වරින් වර පුපුරවා හරින ලද බෝම්බ අතරින් මහ බැංකුව ඉදිරිපිට පුපුරවන ලද්දේ විශාලතම බෝම්බය බැව් අනාවරණය විය. කොළඹ කොටුවේ ගොඩනැගිලි රැසකටද මෙම අධි බැලැති බෝම්බය පිපිරීමෙන් හානි සිදුවිය. එදා මෙම බෝම්බය පිපිරවීමට ත්‍රස්තවාදීන් පැමිණියේ ලොරි රථයක් මගිනි.  
බෝම්බ සහිත ලොරිය තව අඩි කීපයක් බැංකු පරිශ්‍රය තුළට ඇතුළු වූවා නම් සිදුවිය හැකිව තිබුණේ ඊටත් වඩා විශාල විනාශයකි. එසේ වූවානම් මුළු බැංකු ගොඩනැගිල්ලම සුනු විසුනු වීම නොවැළැක්විය හැකිය. බැංකු ගොඩනැගිල්ල තුළට ලොරි රථය ඇතුළු කිරීමට ඔවුන් ගත් උත්සාහය වැළකී ගියේ බැංකුව ගොඩනැගිලි පරිශ්‍රයේ තනවා තිබූ මාර්ග බාධකය නිසාය. බෝම්බය කොතරම් බලගතුවීද යන්න පැහැදිලි වූයේ එය පිපිරීමත් සමඟ බැංකු පහත මාලය මුළුමනින්ම කඩාවැටීමෙනි. අනතුරුව ක්ෂණයෙන් බැංකු ගොඩනැගිල්ල ගිනිගත්තේය. 

 
මාර්ග බාධකය සවිකර තිබූ අති විශාල සිමෙන්ති ආධාරකය අඩි සිය ගණනක් ඈතට විසිවී ගොස් තිබිණි. මෙම බෝම්බ පිපිරවීමෙන් මියගිය වැඩි පිරිසක් ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සිටි සේවක පිරිස විය. එහි සේවය කළ පහළොස් දෙනෙක්ම මරණයට පත්වූහ. මහ බැංකු පළමු මාලයේ සිටි පුස්තකාලයේ සේවක පිරිසගේ සිරුරු කැබලි බවට පත්වූයේ ක්ෂණයකිනි. ඇතැම් සේවකයින්ගේ සිරුරු කැබලි බවට පත්වූයේ අතිශය කණගාටුදායක ලෙසිනි.   


බෝම්බය පිපිරීමෙන් සුනු විසුණු වී ගිය කැබලි සහ වීදුරුවලට කැපී තුවාල වූවෝද අති විශාල පිරිසක් සිටියහ. සිරුරුවලට ඇතුළු වූ වීදුරු කැබලි නිසා අද වන තුරුත් ඇතැමුන් පීඩා විඳිති. සේවකයින් හත් දෙනෙකු පමණ අන්ධ භාවයට පත්වී සිටිති. මුළු සිරුරම රුධිරයෙන් නැහැවී දෙනෙත් සදාකාලිකව අහිමි එක් සේවකයෙකු වූයේ පියදාස විජේසිංහ මහතාය. එදා ඔහු රැඳී සිටියේ පහත මාලයේ පිහිටා තිබූ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේය.   


ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ වීඩියෝ කැමරා ශිල්පියා ලෙස සේවය කළ පියදාස විජේසිංහ මහතා අද දෙනෙත් අහිමිව සිටියි. සිරුරට සිදුවී තිබූ තුවාල නිසා ඔහු එදා ඇතුළත් කරනු ලැබුවේ කොළඹ හදිසි අනතුරු වාට්ටුවටය. අනතුරුව නයනාරෝග්‍ය රෝහලටත් ඇතුළත් කෙරිණි. ඔහුගේ දෙනෙත්වලට සිදුවී තිබූ බරපතළ තුවාල නිසා නැවත පෙනීම ලබා ගැනීම සඳහා ඔහු ඉන්දියාවේ නේත්‍රා රෝහල වෙතද රැගෙන ගියේය.   


එහිදී සිදු කළ ශල්‍යකර්ම කීපයකින් පසු යළිත් ඔහු ඉන්දියාවේ අග්‍රවාල් රෝහලටද ඇතුළත් විය. එහෙත් ඔහුගේ දෙනෙත් සුවකර පෙනීම ලබාදීමට වෛද්‍යවරුන් ගත් උත්සාහය පල නොගැනිනි. මුළුමනින්ම ඔහු අන්ධභාවයට පත්වූයේය. තම දෙනෙත් සදාකාලිකව අන්ධ භාවයට පත් වී ඇති බැව් ඔහුට දැනුන අවස්ථාවේ ඇතිවූ මානසික තත්ත්වය වරක් ඔහු අප සමඟ විස්තර කළේ මෙසේය.   


එදා උදේ මම කාර්යාලයට ගිහින් රාජකාරි ආරම්භ කරමින් සිටි අවස්ථාවේ තමයි බෝම්බය පුපුරා ගියේ. මගේ ඇස් දෙක අහිමිවී ඇත් බැව් මට බිරියගෙන් දැනගන්නට ලැබුණා. ඒ අවස්ථාවේ තවදුරටත් මෙලොව ජීවත් නොවිය යුතු යයි කියා මට සිතුනා. එහෙත් තම ආදරබර බිරිය ඔහු වෙනුවෙන් ගත් වෙහෙස පිළිබඳ ​ඔහු මෙනෙහි කළේය. අනතුර සිදුවූ දා සිට ඔහු වෙනුවෙන් බිරිය ගත් වෙහෙස ඇය විසින් ඔහුට පහදා දුන්නාය. එයට සවන් දුන් ඔහුට බිරිය ගත් උත්සාහය මැවී මනසින් දක්නට ලැබිණි. පියදාස අදත් පවසන්නේ තම බිරිය ඔහු වෙනුවෙන් කළ කැප කිරීම මුළුමහත් කාන්තා පරපුරටම ආදර්ශයක් ලෙසය.   


පියදාස විජේසිංහ මහතා එදා බෝම්බය පුපුරන අවස්ථාවේ සිටි අයුරු වරක් අපි ඔහුගෙන් විමසුවෙමු. ඔහු දුන් පිළිතුරු මෙසේය.   


ප්‍රශ්නය - එදා ඔබ කාර්යාලයට ගොස් රැඳී සිටියේ කොතැනද?  
පිළිතුරු - පහත මාලයේ මගේ මේසය ළඟ වාඩිවී සිටියා.  
ප්‍රශ්නය - බෝම්බය පුපුරණ හඬ ඔබට ඇසුණාද?  
පිළිතුර - ඔව් හඬක් ඇසුණා බැව් මට මතකයි.  
ප්‍රශ්නය - ඊට පසුව සිදුවූයේ කුමක්ද?  
පිළිතුර - මා දන්නේ නෑ.  
ප්‍රශ්නය - ඊට පසුව ඔබට දැනුනේ කුමක්ද?  
පිළිතුර - රෝහලක සිටින බව දැනුණා.  


මේ අයුරින් ඔහුට සිදුවූ අනතුර පිළිබඳව හෝ ඔහුට අවබෝධයක් නොවීය. එතැන් සිට ඔහුට සිදුවූ සියල්ල ඔහු දැනගන්නේ බිරිය මගිනි.   


එදා බෝම්බ පිපිරීම සිදුවන අවස්ථාවේ සේවයේ යෙදී සිටි මහ බැංකු ආරක්ෂක අංශයේ සිටි ආරක්ෂක නිලධාරියෙකු එදා සිදුවීම ගැන වරක් අප සමඟ විස්තර කළේ මෙසේය.   
එදා මට නියමිතව තිබුණේ අධිපතිතුමා හමුවීමට පැමිණෙන අමුත්තන් කැඳවා ගෙන ඒමේ කාර්යයයි. ඒ සඳහා පහත මාලයේ මා රැඳී සිටියා. මම හිටියේ බැංකුවේ ඉදිරි ආලින්දයේ. එක්වරම මට වෙඩි හඬක් ඇසුනා. එය ඇසුනේ බැංකු ගොඩනැගිල්ල ඉදිරිපිට මහා මාර්ගය දෙසින්. මා ඒ දෙස බැලුවා. කිසියම් අයෙක් බැංකුව ඉදිරිපිටම වෙඩි තැබුවා. ඔහු ඇඳ සිටියේ සුදු ඇඳුමක්. මම එක්වරම එහි සිටි අනෙක් ආරක්ෂක නිලධාරීන්ට කෑගසා කිව්වා ගේට්ටුව වසන්න කියා.   


එහි සිටි ආරක්ෂක නිලධාරී මහතෙක් පහත් වී ගොස් ගේට්ටුව වැහුවා. ඒ වෙලාවෙත් ඉදිරිපිටින් වෙඩි තබනවා. ඔහු ගේට්ටුව වසා ඉවත් වුණා. ඒ සමඟම ඉදිරිපස සිටි පොලිස් නිලධාරියා පාර දෙසට වෙඩි තැබුවා. ඒ අවස්ථාවේ ඔහුට වෙඩි වැදී බිම වැටෙනවා මා දුටුවා. ඒ සමඟම මා පහත මාලයට දුව ගියා. එහි සිටි අයට ඉන් ඉවත්ව බැංකුව පිටිපසට යන ලෙස කීවා.   


කිසියම් අනතුරක් සිදුවන්නට යන බැව් මට වැටහුණා. ඒ සමඟම මහ හඬක් නඟමින් පිපිරීමක් සිදුවුණා. එක් වරම සිවිලිම කඩාවැටුණා. දූවිලි දුමාරයකින් මුළු ප්‍රදේශයම වැසී ගියා. මා බිම දිගාවී ඉදිරිපස බැලුවා. එවිට බැංකුවේ ඉස්සරහ මහා මාර්ගයට විවෘත වී තිබුණා. බැංකු ගොඩනැගිල්ලේ බිත්ති කඩාවැටී සුන්බුන්වලට යටවී සිටි අය ඉවතට ගැනීමට උත්සාහ කළා. ලේ පෙරාගෙන සිටි පිරිස අමාරුවෙන් නැගිට්ටුවාගෙන පිටතට ගත්තා. ඒ වන විට ​​ගොඩනැගිල්ලේ වහලක් ගිනිගෙන තිබුණා. තුවාලකරුවන් රෝහල් ගත කිරීමට අනෙක් අයත් සමඟ කටයුතු කළා. වැඩිම පිරිසක් මියගියේ ඉහළ මාලයේ තිබූ පුස්තකාලයේ සේවය කළ පිරිසයි. බෝම්බ ලොරිය බැංකුවට ඇතුළු වීමට වෙර දරා තිබුණත් එය සිදු නොවූ හේතුව වුණේ ආරක්ෂක වැට නිසයි. බාධක වැටේ සිමෙන්ති කොටසකට ලොරියේ රෝදය හිරවීම නිසා තවදුරටත් ඇතුළු කිරීම අපහසුවී තිබුණා. එසේ නොවුණා නම් සිදුවීමට තිබූ විනාශය තවත් වැඩිවෙනවා යයි එදා සිටි ආරක්ෂක නිලධාරියෙකු වූ කේ.ඒ.කේ. බණ්ඩාර මහතා එදා අප සමඟ පැවසීය.

 


සටහන - තිස්ස ජයවර්ධන