මල්වතුඔය හරහා ඉදිකර තිබෙන පුරාණ වැල්පාලමත් පරිසරයත් ආරක්ෂා කර දෙන්න


මල්වතුඔය හරහා ඉදිකර තිබෙන පුරාණ වැල් පාලම  

 

 

මන්නාරම මඩු ප්‍රදේශය ආසන්නයේ කුංචිකුලම ගම්මානයේ මල්වතුඔය හරහා ඉදිකර තිබෙන පුරාණ “වැල්පාලම” ඓතිහාසික මඩු දේවස්ථානය වන්දනා කිරීමට පැමිණෙන බොහෝ දෙනෙක් දැක බලාගැනීම සඳහා යන තැනකි.  


මැදවච්චිය - මන්නාරම ප්‍රධාන මාර්ගයේ මඩු දේවස්ථානයට හැරෙන හන්දියේ සිට කිලෝ මීටර් එකහමාරක් (1 1/2) මැදවච්චිය දෙසට වෙන්නට පිහිටි කුංචිකුලම හන්දියෙන් වමට හැරී අතුරු මාර්ගයේ තවත් කිලෝමීටර් එකහමාරක් පමණ ඉදිරියට ගමන් කරද්දී මල්වතුඔය හරහා ඉදිකර තිබෙන මේ අපූරු වැල් පාලම හමුවේ.  


ඉංග්‍රීසීන් අපේ රට පාලනය කළ සමයේ එක්දහස් නවසිය තිහේ දශකයේ ඉදිකර තිබෙන මේ වැල් පාලම මීටර් 100කට වඩා දිගින් යුක්තය. ශක්තිමත් කම්බි යොදා ඉදිකර තිබෙන නිසා මේ වැල් පාලම මතින් දැනුත් ජනතාව ගමන් කරති.  


දර්ශනීය පරිසරයක ඉදිකර තිබෙන මේ පුරාණ වැල් පාලම, අවුරුදු තිහකට ආසන්න කාලයක් රටේ පැවැති යුදමය වාතාවරණය නිසාත්, ඉන් පසු මේ දක්වාත් රජයේ අදාළ වගකිවයුත්තන්ගේ අවධානයට යොමු නොවීම නිසාත් මේ වනවිට යම් තරමකට අබලන් වී තිබේ.  3

 

වැල් පාලම අසල ඉදිකර තිබෙන දැනට වසා දමා තිබෙන සංචාරක නිකේතනය  

 


යුද්ධය නිමා වී රටේ සාමකාමී වාතාවරණයක් උදා වූ නිසා මේ වැල් පාලම නරඹන්නට බොහෝ පිරිසක් පැමිණීමට පටන් ගත් නිසා උතුරු පළාත් සභාව මගින් එම ස්ථානය ආසන්නයේ ඉදිකළ සංචාරක නිකේතනය 2016 වසරේ මාර්තු 16 වැනිදා විවෘත කරනු ලැබීය. නමුත් ඒ සංචාරක නිකේතනය මේ වෙනවිට වසා දමා තිබේ.  


ඒ ගැන අප කළ සොයා බැලීමේදී දැනගන්නට ලැබුණේ මඩු දේවස්ථානයේ මංගල්‍යය පැවැත්වෙන කාලයේදී පමණක් එය විවෘතව තැබෙන බවයි. දිනපතාම පාහේ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් බොහෝ පිරිස් වැල් පාලම නරඹන්නට හා මල්වතුඔයෙන් දිය නා විනෝදවීමට පැමිණෙන නිසා එය සෑම දිනකම විවෘත කර තැබීමට උතුරු පළාත් සභාවේ සංචාරක අමාත්‍යාංශයේ වගකිවයුත්තන් පියවර ගන්නේ නම් එය වැදගත් වනු ඇතැයි එතැනට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයෝ පවසති.  


නමුත් එතැනට ගිය අපට සිදුකර තිබෙන පරිසර විනාශය දකිද්දී ඇති වූයේ මහත් කනගාටුවකි. වැල්පාලම නරඹා මල්වතුඔයෙන් දිය නා විනෝද වී ගිය සමහරුන් ඔවුන් කෑම ගෙනා පොලිතින්, කඩදාසි, ෂොපින් බෑග් පමණක් නොව හිස් මත්පැන් බෝතල් හා ටින් ආදිය තැන තැන දමාගොස් තිබේ. මත්පැන් පානය කළ සමහරුන් බෝතල් බිඳ වීදුරු කටුද තැන තැන දමාගොස් ඇත්තේ එතැනට පැමිණෙන අන් අය ගැන කිසිදු හැඟීමකින් තොරවය.  


ඊට අමතරව හිස් වතුර බෝතල්, යෝගට් කෝප්ප ඇතුළු හිස් ප්ලාස්ටික් භාජනද තැනින් තැන දමාගොස් තිබේ.  


මේ අය දමා යන ඉඳුල් මිශ්‍ර පොලිතින් කෑමට එතැනට පැමිණෙන වන සතුන් පුරුදු වී සිටින නිසා, උන්ගේ ජීවිතවලට ද එයින් තර්ජනයක් ඇතිවී තිබේ.  

 

වැල් පාලම නැරඹීමට පැමිණෙන ඇතැමුන් පොලිතින්, ඉඳුල්, හිස් මත්පැන් බෝතල් හා ටින් තැන තැන දමා පරිසරයට සිදුකර තිබෙන හානිය.  

 


සමහරුන් කරන මේ පරිසර විනාශය ගැන එතැනට පැමිණෙන වැඩි දෙනෙක් අප්‍රසාදය පළ කරති. උතුරු පළාත් සභාවේ වගකිවයුතු නිලධාරීන් උනන්දු වූවහොත් මේ පරිසර හානිය වළක්වා ගත හැකි බව ඔවුහු කියා සිටිති.  


උතුරු පළාත් සභාවට කිසියම් ආදායමක් උපයාගත හැකි අයුරින් මේ පුරාණ වැල් පාලම ප්‍රතිසංස්කරණය කර පරිසරය ද ආරක්ෂා කිරීමට අදාළ වගකිවයුතු නිලධාරීන් කටයුතු කළහොත් එය බෙහෙවින් වැදගත් බව අපගේ හැඟීමයි.  

 

 

සටහන හා සේයාරූ - අතුල බණ්ඩාර