මරණය මනසින් දුටු රාජ්‍ය නායකයෝ


මරණාසන්න  මනෝ සංඥ‌ා

 

මරණය සිදුවීමට පෙර ඒ පිළිබඳව විවිධ සංඥා හෙළි කළ පිරිස අතර ප්‍රකට රාජ්‍ය නායකයෝ කීප දෙනෙක් සිටිති. මරණය පිළිබඳව සංඥාවක් අනාවරණය වූ ප්‍රථම රාජ්‍ය නායකයා වූයේ ඇ​ෙමරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකු වූ ඒබ්‍රහම් ලින්කන්ය. ඇ​ෙමරිකාවේ 16 වැනි ජනාධිපතිවරයා වූ ඔහු සාහසිකයෙකු ගේ වෙඩි පහරකට ලක්ව මරණයට පත්වූයේ 1865 අප්‍රේල් 15 වැනිදාය. 1861 වසරේදී ජනාධිපතිධුරයට පත්වූ ලින්කන්ට එම ධුරය දැරිය හැකිවූයේ වසර හතරක පමණ කෙටි කාලයකි. 1809 පෙබරවාරි 12 වැනිදා උපත ලද ඔහු මරණයට පත්වන විට 56 වියේ පසුවිය.   


ඒබ්‍රහම් ලින්කන්ගේ මරණය පිළිබඳව සංඥාවක් ඔහුට ලැබී තිබුණේ සිහිනයක් මගිනි. 1861 අප්‍රේල් 11 වනදා ජනාධිපති මැදුරේ නින්දේ සිටි ලින්කන් ජනාධිපති මැදුරේ මළ සිරුරක් තබා තිබෙනු දුටුවේය. එය කාගේදැයි ආරක්ෂක නිලධාරියාගෙන් ඔහු විමසා සිටියේය. ‘‘එය ජනාධිපතිවරයා ගේ’’ යැයි ආරක්ෂක නිලධාරියාගෙන් පිළිතුරු ලැබිණ.   


දින තුනක් ගතවිණි. ඇ​ෙමරිකාවේ නැටුම් සංදර්ශන පවත්වන ෆෝර්ඩ් තියටර්ස් හි පැවැත්වෙන නාට්‍ය සංදර්ශනයක් සඳහා ලින්කන් යුවළට ආරාධනා ලැබිණි. ජනාධිපතිවරයා එහි යාමට සූදානම් වූයේය. ආරක්ෂක නිලධාරියා කියා සිටියේ එම ගමන නොයන ලෙසටය. එහෙත් පැවසුවේ තම බිරියද එයට සහභාගිවීමට ආශාවෙන් සිටින නිසා එහි යා යුතු බවය. ආරක්ෂක නිලධාරියාගේ වදනට අවනත නොවූ ලින්කන් ගමනට පිටත්විය.   
ඒ අවස්ථාවේ සිදුවූයේද වෙනදාට වඩා වෙනස් සමුගැනීමකි. රාත්‍රි කාලයේදී ආරක්ෂක නිලධාරියාගෙන් සමුගන්නා විටදී ‘ගුඩ්නයිට්’ යනුවෙන් සමු ගැනීම සිරිතය. එහෙත් එදින පිටත්වන අවස්ථාවේ ආරක්ෂක නිලධාරියාගෙන් සමුගැනීම සිදු කරනු ලැබුවේ ‘ගුඩ් බායි’ යන වදන පවසමිනි. ඒ අයුරින් ‘ෆෝර්ඩ් තියටර්ස්’ හි නාට්‍ය නරඹමින් සිටි ඒබ්‍රහම් ලින්කන්ට සාහසිකයෙකුගේ වෙඩි පහරකට ලක්වී ජීවිතයෙන් සමුගැනීමට සිදුවිය. මනෝසංඥාවක් ලෙස ජනාධිපතිවරයා සිහිනෙන් දුටු දර්ශනය අයුරින්ම ඔහුගේ සිරුර ජනාධිපති මැදුරේ තැබීමට සිදුවීම මනෝ සංඥා පර්​ෙ‌ය්ෂණ අතරට එක්වී ති​බේ.   
මරණාසන්න මනෝ සංඥාවක් ලෙස පිළිගත හැකි සිදුවීමක් ශ්‍රී ලංකාවේ හිටපු අගමැතිවරයෙකු වූ බණ්ඩාරනායක මහතා මගින්ද අනාවරණය විය. 1956 මහා මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලැබූ අගමැති එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාටද අගමැති පදවිය දැරිය හැකිවූයේ වසර තුනක් පමණි. ඒ මහතා සාහසික වෙඩි පහරකින් මරණයට පත්වූයේ 1959 සැප්තැම්බර් 25 වැනිදාය. 24 වැනිදා උදේ ඒ මහතාගේ මුවින් පිටවූ වදනක් පසුදින ඔහුට සිදුවන අනතුර පිළිබඳව සංඥාවක් බවට පත්වූයේ මරණාසන්න අත්දැකීම් අතරට එක්කරමිනි.   


බණ්ඩාරනායක මහතාගේ එම මනෝ සංඥාව පිළිබඳව එවකට එතුමාගේ ලේකම්වරයාව සිටි බ්‍රැඩ්මන් වීරකෝන් මහතාගේ මවිතයටද හේතු වී තිබිණි. එය සිදුවූයේ බණ්ඩාරනායක මහතා විසින් අත්සන් කළ යුතු වැදගත් ලිපියක් ලේකම්වරයා විසින් බණ්ඩාරනායක මහතාට ඉදිරිපත් කළ අවස්ථාවේදීය.   
එක්දහස් නවසිය පනස් හයේ මහා මැතිවරණයෙන් ජයගෙන අගමැති පදවියට පත්වූ බණ්ඩාරනායක මහතාට එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනය අැමතීමට ආරාධනාවක් ලැබිණ. ඒ සඳහා ඔහුට ඇ​ෙමරිකාව බලා පිටත්ව යාමට නියමිතව තිබිණි. සම්මේලනය ඇමතීම සැප්තැම්බර් 28 වනදාට යෙදී තිබිණි. සැප්තැම්බර් 24 වනදා වන විටත් බණ්ඩාරනායක මහතා රටින් පිටවන විට වැඩබලන රාජ්‍ය නායකයෙකු පත්කර නොතිබිණි.   
අග්‍රාමාත්‍ය ලේකම්වරයා වූ බ්‍රැඩ්මන් වීරකෝන් මහතා අගමැති බණ්ඩාරනායක හමුවී ඒ බැව් සිහිපත්කර දුන්නේය. වැඩබලන රාජ සභනායකයා, ලෙස ඩබ්ලිව්. දහනායක මහතා පත්කරන නියෝගය සකස්කරන ලෙස ලේකම්වරයාට උපදෙස් ලැබිණි. රාජ්‍ය නායකයෙකු රටින් පිටවන විට ව්‍යවස්ථාව අනුව රාජ්‍ය නායකයෙකු පත්කරනු ලබන්නේ ඔහු රටින් පිටව යන විටෙකදී හෝ ඔහු කිසියම් දුබලතාවකට පත්වූ විටෙකදීය.   


අගමැති බණ්ඩාරනායක මහතාගේ උපදෙස් අනුව වැඩබැලීම සඳහා දහනායක මහතා පත්කිරීම සඳහා ලේකම්වරයා විසින් ලිපිය සකස් කළේය. ඒ ලිපියට අදාළව ව්‍යවස්ථාවේ සඳහන් කොටසද ලේකම්වරයා විසින් එයට ඇතුළත් කර තිබිණි. එහි සඳහන් වදන් වූයේ (INCAPACITATION) ඉන්කැපසිටේෂන් (දුබලතාවට පත්වීම) හෝ ​ (OUT OF COUNTRY) රටින් පිටවීම යනුවෙනි.   


ලිපිය අතට ගත් බණ්ඩාරනායක මහතා එය කියවීය. එහි සඳහන් ඉන්කැපසිටේෂන් යන වදන වරක් කියවූ ඔහු එය නැවත නැවත දෙවරක් කියවීය. අනතුරුව ලේකම්වරයා දෙස බලා ටෙම්පරරි ඉන්කැපසිටේෂන් යනුවෙන් නැවතත් හඬ නගා පවසා එහි අත්සන් තැබීය. කිසිවිටෙක එකම වදන කීප විටක් ප්‍රකාශ නොකරන බණ්ඩාරනායක මහතා ඒ අයුරින් එය කියවීම බ්‍රැඩ්මන් වීරකෝන් මහතාටද අමුතු දෙයක් ලෙස පෙනුණි.  


ලිපිය රැගෙන ගොස් එවකට හිටපු අග්‍රාණ්ඩුකාරවරයා වූ සර් ඔලිවර් ගුණතිලකට එය බාර දුන්නේය. එහි සඳහන් වූයේ අගමැතිවරයා රටින් පිටව සිටින කාලය තුළ වැඩ බැලීමට දහනායක මහතා පත් කරන බවය. පසුදින කාර්යාලයට ගිය ලේකම්වරයා බණ්ඩාරනායක මහතා ඇ​ෙමරිකාව බලා ගිය විට එහි වැඩ සටහන සකස් කරමින් සිටියේය. රොස්මිඩ් පෙදෙසේ බණ්ඩාරනායක මහතාගේ පෞද්ගලික ලේකම්වරයාගෙන් වීරකෝන් මහතාට දුරකථන පණිවුඩයක් ලැබිණ. එමගින් කියවුණේ බණ්ඩාරනායක මහතාට සාහසිකයෙකු වෙඩි තැබූ බවය. බණ්ඩාරනායක මහතා දුබල සිරුරකින් යුක්තව රෝහල්ගත කැරිණි. ඒ මහතාට ශල්‍යකර්මයක් සිදු කිරීමට ශල්‍යාගාරයට රැගෙන යනු ලැබිණ.   


වැඩබලන රාජ්‍ය නායකයා ලෙස සර් ඔලිවර් ගුණතිලක විසින් දහනායක මහතා පත් කරනු ලැබීය. එය සිදුවූයේ ලිපියේ සඳහන් වූ ඉන්කැපැසිටේෂන් හෙවත් දුබලතාවට පත්වීම සනාථ කරමිනි.  


බණ්ඩාරනායක මහතා පෙරදින ලිපිය අත්සන් කරන අවස්ථාවේ දුබලතාවට පත්වීම යන ඉංග්‍රීසි වදන දෙතුන් විටක් හඬගා කීම මනෝ සංඥාවක් ලෙස පර්‌යේෂණ අතරට එක්වී තිබේ.  


මරණාසන්න මනෝ සංඥාවක් ඉදිරිපත්වූ රාජ්‍ය නායිකාවක් වූයේ ඉන්දියාවේ අගමැතිවරිය වූ ඉන්දිරා ගාන්ධිය. සාහසික වෙඩි පහරකට ලක්වී ඇගේ මරණය සිදුවූයේ 1984 ඔක්තෝබර් 31 වැනිදාය. ඇගේ නිවසේ සිට කාර්යාලයට යන අතරතුරු වෙඩි තැබීම සිදුවී තිබිණි.  


විවිධ ප්‍රදේශවල මහජන රැස්වීම් ඇමතීමේදී ප්‍රබල වාග් ප්‍රහාර ඉදිරිපත් කිරීම ඇගේ සිරිත විය. එහෙත් ඒ කිසිදු අවස්ථාවක ලේ ගැටුම් පිළිබඳව හෝ රුධිරය සම්බන්ධ ප්‍රකාශ ඇගෙන් පිට නොවුණි. එහෙත් ඇගේ මරණය සිදුවීමට පෙර දින ඇගේ මුවින් පිටවූ වදනක් කාගේත් විමතියට හේතු වී තිබිණි.  


ඉන්දියාවේ ඔරිස්සා ප්‍රදේශයේ පැවති රැස්වීමක් අමතමින් සිටි ඉන්දිරා ගාන්ධි ‘‘මගේ සිරුරෙන් පිටවන හැම ලේ බිංදුවක්ම ජාතියේ බලයක් වෙනවා’’යයි ප්‍රකාශ කළාය. එම රැස්වීමට සහභාගි වී සිටි ආධාරකරුවෝද ඇගේ මෙම ප්‍රකාශය පිළිබඳව මවිතයට පත්වූයේ ඇගේ මුවින් එවැනි වදනක් පෙර කිසිදිනෙක ප්‍රකාශ නොවීම නිසාය.  


පසුන උදේ ඇය නිවසේ සිට කාර්යාලයට යන අතර තුර එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් ඇගේ සිරුරෙන් රුධිය ගලා ගියේ ඇගේ ප්‍රකාශය මනෝ සංඥාවක් බවට පත් කරවමිනි.  


ඉන්දියාවේ ජන නායකයෙකු වූ මහත්මා ගාන්ධි මගින්ද මරණාසන්න මනෝ සංඥාවක් පළ වූ සිදුවීමක්ද පර්​ෙ‌ය්ෂණ අතර දක්නට ලැබේ. මහත්මා ගාන්ධි ප්‍රකාශ කළේ ඔහු මරණයට පත්වන විටෙක රාම් රහීම් නම් වදන මුවින් පිටකිරීමට ඉඩක් ලදොත් ඔහුට එය සැනසීමක් වන බවය. 1948 ජනවාරි 30 වැනිදා ගාන්ධිටද වෙඩි ප්‍රහාරයකට ගොදුරුවීමට සිදුවිය.  


වෙඩි වැදීමට ප්‍රථම ඔහු කළ එම ප්‍රකාශය ගාන්ධි පිළිබඳව සඳහන් ග්‍රන්ථයක ඇත්තේ මෙලෙසිනි.  


EYEN I AM KILLED I WILL NO NOT GIVE UP REPEATING THE NAMES OF RAM AND RAHIM WHICH MEAN TO ME THE SAME GOD WITH THESE NAMES ON MY LIPS I WILL DIE CHEERFULLY) ලෙස සඳහන් වේ. එම ප්‍රකාශය පරිදිම ඔහුට වෙඩි වැදී බිම වැටීමත් සමග දෙතොලෙන් පිටවූ වදන වූයේ ‘රාම් රහීම්’ යනුවෙනි. මහත්මා ගාන්ධි ගේ මෙම සංඥාවද මරණාසන්න මනෝ සංඥාවලට ඇතුළත් වී තිබේ.

 

 

තිස්ස ජයවර්ධන