මම බොරු කීවේ නෑ සවුදියේදී මගේ වකුගඩුව ගන්න හැදුවා


 

“අපේ රටේ ජනමාධ්‍යයට පිං සිද්ධවෙන්න මම පණපිටින් ලංකාවට ආවා දරුවෝ බලන්න. දැන් විදේශසේවා නියුක්ත කාර්යාංශය මාධ්‍ය මගින් අරගෙන යන ප්‍රචාරයත් එක්ක ඉන්නවට වඩා මැරෙන එක හොඳයි කියලා මට හිතෙනවා.”


මේ කතාව අපට කීවේ සෞදිඅරාබියේ ගෘහ සේවයට ගොස් නැවත ලංකාවට පැමිණි දඹුල්ල කණ්ඩලම පාරේ පදිංචි ඩබ්ලිව්. ඩබ්ලිව්. ඉන්ද්‍රකාන්ති (36) මහත්මියයි.


ඇය මේ බව කීවේ ඇය සෞදි රටට අපහාස කළ බවටද මින් ඉදිරියට සෞදි රටට ශ්‍රී ලංකාවේ කවුරුන් හෝ අපහාසයක් කළොත් වසර 20කට හිරේ යැවීමත් විශාල මුදලක් වන්දි ගෙවීමට සිදුවන බවටත් ශ්‍රී ලංකාවේ විදේශසේවා නියුක්ති කාර්යාංශය මගින් ලංකාවේ මාධ්‍ය හරහා ගෙනගිය ප්‍රචාරයට පිළිතුරු ලබා දෙමිනි.


ඉන්ද්‍රකාන්ති මහත්මිය සැමියා නොමැතිව දරුවන් තිදෙනෙකු සහ මව ජීවත්කරමින් විශාල වෙහෙසක් දරමින් සිටි කාන්තාවකි. ඇය දරුවන් හා මව ජීවත් කරවීම සඳහා පවුලේ බර කරට ගෙන දරුවන් තිදෙනා මවට හා නැගණියට භාරකර ඔවුන් කුලී නිවසක නවත්වා ගෘහ සේවය සඳහා සෞදි අරාබියට ගියාය. ඒ මීට වසර දෙකකට ඉහතදීය.


ඇය අත්සන් කළ වසර දෙකක කාලය අවසන්ව සිටියදී ලංකාවට පැමිණීමට නොහැකි තත්ත්වයක් උදාවී තිබිණි. එමෙන්ම වසර දෙක අවසන් වී මාස හතරක් ගතවී ගියත් මාසික වැටුපද අහිමි විය. එම තත්ත්වයෙන් මිදීමට නම් ඇයට හාම්පුතුන් විසින් යෝජනා කැර තිබුණේ එම නිවසේ දරුණු වකුගඩු රෝගයෙන් පෙළෙන කාන්තාවකට ඇයගේ වකුගඩුවක් ලබාදෙන ලෙසය.


තමන් පත්ව සිටින බරපතළ තත්ත්වය පිළිබඳව ඇය අවස්ථා කීපයකදී සිය මවත් දරුවනුත් දැනුවත් කැර තිබිණි. මාස කීපයක් ගතවී ගියද යෝජනාවට කැමැත්ත ප්‍රකාශ කරන තුරු ඇයට ලංකාවට ඒමට නොදී තබාගන්නා බවටද තොරතුරු වාර්තා වී තිබිණි.


ඉන්ද්‍රකාන්ති මහත්මියට අත්ව තිබෙන මෙම ඉරණම පිළිබඳව ඇයගේ වැඩිමහල් දියණියවන දීපනී දිල්හාරාත් මව වන ඩී. ස්වර්ණලතා ජයසිංහ මහත්මියත් මාධ්‍යවේදීන් හරහා රට දැනුවත් කරන්නට වූහ. එමෙන්ම මාධ්‍යවේදීන් අන්තර්ජාලය හරහා සෞදියේ සිටි ඉන්ද්‍රකාන්ති මහත්මියද සම්බන්ධ කැරගෙන මාධ්‍ය මගින් හෙළිදරව් කළහ.


ඒ අනුව ශ්‍රී ලංකාවේ විදේශසේවා නියුක්ති කාර්යාංශය මැදිහත්වී ඇයව බේරාගැනීමේ විශේෂ වැඩසටහනක් දියත් කරන්නට ක්‍රියාත්මක විය. ඒ සඳහා විෂය භාර ඇමැතිනී තලතා අතුකෝරළ මහත්මියගේද දායකත්වය ලැබිණි.


දින කීපයක් ගතවෙද්දී ඇයව බේරාගත් බවත් ඇය විසින් සිදුකළ ප්‍රකාශය බොරුවක් බවත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් නැවත මාධ්‍ය දැනුවත් කැර තිබිණි. එමෙන්ම එම කාන්තාව ලංකාවට ගෙන්වීමත් සමග නැවත වරක් මාධ්‍ය වාර්තා පළවූයේ මෙම කාන්තාව සෞදි රජයට අපහාසයක් සිදුකැර තිබෙන බවත් ඒ හේතුවෙන් එරට දැඩි තීරණ ගෙන තිබෙන බවත් මින් ඉදිරියට එවැනි අපහාස සිදුවුවහොත් බරපතළ දඬුවම් ලබාදෙන බවත්ය.


කෙසේ වෙතත් ලංකාවට මේ කාන්තාවට එන්නට වරම් හිමිවී තිබිණි. විදේශ සේවා නියුක්ති කාර්යාංශය කරන චෝදනා හා ඇය විසින් මාධ්‍ය මගින් බොරු කීවාද යන්න තොරතුරු සෙවීම සඳහා ඇය ලංකාවට පැමිණි වහා අප ඇයව හමුවීමට දඹුල්ල කණ්ඩලම පාරේ පදිංචි නිවසට ගියෙමු. එහිදී ඇය මුහුණදුන් හා අත්විඳි දේ පිළිබඳව මෙසේ පැහැදිලි කළාය.


“මම මාධ්‍යවලට කිසිම බොරුවක් කළේ නැහැ. මට එහෙම බොරුවක් කියලා එන්න අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. මොකද මම අවුරුදු දෙකක් එකම ගෙදර වැඩ කළේ. මට වැටුපක් දුන්නා. ඒ ගෙදර කාන්තාවකට දරුණු ලෙස වකුගඩු රෝගය වැළඳිලා තිබුණා. එයාගේ පුතා තමයි මට නිතර නිතර කරදර කළේ මගේ වකුගඩුව දෙන්න කියලා. මට ඒ සඳහා මුදල් දෙන්නම් කිව්වා. ඒ රටේ ජීවත් වෙන්න පුළුවන් කිව්වා. ලේ පරීක්ෂණයට යමු කීවා. මම ඒ සියල්ල බැහැ කීවා. ඊට පස්සේ තමයි මට කරදර කරන්න ගත්තේ. පඩිය නොදී හිටියේ. 


මම ඒ සේරම තොරතුරු අම්මටත් දරුවන්ටත් කිව්වා. මට කන්න නොදී සිටියා. එයාලා නිතර නිතර කිව්වේ මේ ගැන කල්පනා කරලා උත්තරයක් දෙන්න, ඒකට කැමැති වෙන්න කියලා. මම කිව්වා බැහැ මට ලංකාවට යන්න ඕනෑ කියලා.


මගේ සේවා කාලය ඉවර උණාම මම ඒ ගැන සෞදි තානාපති කාර්යාලයට පවා කිව්වා. හැබැයි කවුරුත් මා ගැන බැලුවේ නැහැ. ඒ අතරෙදි තමයි මගේ ගෙදර අය මම පත්වෙලා ඉන්න තත්ත්වය ගැන ලංකාවේ මාධ්‍යවලට කිව්වේ. මාධ්‍යවලින් මේ කතාව ප්‍රචාරය උණාට පස්සේ තමයි මා ගැන අවධානය යොමු කෙරුවේ.


ඒ රටේ පොලිසියට මාව එක්ක එන්න කියලා දන්වලා තිබුණා. ඒ අතරේ ගෙදර කාන්තාවගේ පුතා මාව කාමරයකට දාලා වහලා එයා විතරක් පොලිසියට ගියා. ආපහු නැවත ඇවිල්ලා මට කිව්වා යන්න ලෑස්තිවෙන්න කියලා. එතනට යනකොට අපේ තානාපති කාර්යාලයේ මිස්කෙනෙක් සර් කෙනෙක් ඇවිල්ලා හිටියා. මට එක මාසයක පඩි දුන්නා ගෙදර කාන්තාවගේ පුතා. එයා පොලිසියට කිව්වේ නෑ පුතා කියලා. එයා කිව්වේ බාබා ඉන්දියාවේ ගිහින් එයාගේ මල්ලි කියලා බොරු කිව්වා. මගේ ෆෝන් එකේ තිබුණා ලංකාවේ ටීවී එකේ ගිය ප්‍රවෘත්තියක්. ඒක බලලා මම පොලිසිය ඇතුළේම මකලා දැම්මා. අරාබි භාෂාවෙන් මොනවදෝ ලියලා මාව භාර දුන්නා ලංකාවේ අයට. එතනදී මගෙන් පොලිසිය ඇහුවේ නැහැ මේ වකුගඩු කතාව හෝ මම වරදක් කළා කියලා කිව්වේ නෑ. ඒ අතරෙදි මාව තානාපති කාර්යාලයට එක්ක යනකොට අපේ අම්මා මට කතා කරලා කිව්වා ලංකාවේ පත්තරවල යනවා මම බොරු කිව්වා කියලා. මම ඒක තානාපති කාර්යාලයෙන් ආපු නෝනාගෙන් අහද්දි කිව්වා ඒවා දැන් වැඩක් නැහැ. මහේ සිදුවූ දේවල් ආයේ මීඩියාවලට දෙන්න එපා. මීඩියා අය ආවොත් කරදර කරනවා කියලා පැමිණිලි කරන්න කිව්වා. මට එන්න ඕනෑ නිසා මම හා කියලා කිව්වා.

මව

 


තානාපති කාර්යාලයේදී මිස් කෙනෙක් මට කිව්වා මගේ ප්‍රශ්න සියල්ල පසෙකදමා මම ලංකාවට යනවා කියලා ලියුමක් ලියා දෙන්න කියලා. මම ලියුම ලියලා දුන්නා. ආයෙත් ඇවිල්ලා කිව්වා ඒ ලියුමෙම ලියන්න වකුගඩු ඉල්ලමු ප්‍රශ්නය ඉල්ලා අස්කර ගන්නවා කියලා. මම ඒකත් ඒ ලියුමේ යටින් ලියලා දුන්නා.


ඒ කරලා මම ලංකාවට ඇවිල්ලා ගෙදර එනකොට ආයෙත් ලංකාවේ මාධ්‍යවල යනවා මම බොරු කිව්වාලු. සෞදි රජයෙන් මාව සමාව දීලා එව්වලු කියලා. මේ කිසිම කෙනෙක් සෙව්වේ නැහැ මම කියන්නේ ඇත්තද බොරුද කියලා. අදටත් ගිහින් බලන්න පුළුවන් මම හිටිය ගෙදර කාන්තාව වකුගඩු රෝගියෙක්. ඒ විතරක් නෙවෙයි මට එහෙම බලපෑම් කළා කියලා ඒ ගෙදර අය ලියුමකින් අපේ තානාපති කාර්යාලයට දීලා තිබුණා. ඒත් අන්තිමට මට ආයේ කවදාවත් රටකට යන්න බැරි වෙන්න තහනම් කරලා. මම වැරදිකාරියක් බවට සමාජයට හංවඩු ගහලා තමයි මට පිහිට වුණේ. මම කියන්නේ මට විතරක් නෙවෙයි අපේ රටේ කිසිම ගෘහ සේවිකාවකට ඒ වගේ කරන්න එපා කියලා ඉල්ලා සිටිනවා.

සටහන, ඡායාරූප : දඹුල්ල
කාංචන කුමාර ආරියදාස