මං නැති වුණත් බෞද්ධයා නාළිකාවෙන් ලක්ෂ සංඛ්‍යාත ජනතාව බණ අහයි


දරණාගම කුසලධම්ම හිමියන්ගේ අවසන් දම් දෙසුම

ලොව කොතැනක හෝ සිට උතුම් ධර්මය අසන්නට සැලැස්වීමේ පරමාර්ථයෙන්​ බෞද්ධයා නාළිකාව අරඹමින්, සුවහසක් ජනතාවගේ දහම් පිපාසය නිවාලූ එක් සරත් සඳක් නොබෝදා සඳහටම සැඟව ගියේය.   
කොළඹ 7, ශ්‍රී සම්බෝධි මහා විහාරස්ථානයේ විහාරාධිපති මෙන්ම බෞද්ධයා මාධ්‍ය ජාලයේ නිර්මාතෘවරයාණන් වූ ගෞරව ශාස්ත්‍රවේදී දරණාගම කුසලධම්ම හිමියන්ගේ හදිසි අපවත්වීම සමස්ත බෞද්ධ ලෝකයටම පිරිමැසිය නොහැකි පාඩුවකි. බුදු දහමේ හරය ලොව වටා ගම් දනව් ඔස්සේ රැගෙන යමින් ලොවට යහමඟ පෙන්වා වදාළ කුසලධම්ම නාහිමියන් විසින් කරන ලද දහම් සේවාව මිල කළ නොහැකිය.   
අද බෞද්ධයා නාළිකාව සහ ශ්‍රී සම්බෝධි විහාරය අපේ රටේ ජනතාවට ඉමහත් සේවාවක් සිදුකරන පින්බිමකි. මඩිහේ පඤ්ඤාසීහ මාහිමියන්ගේ සෙවණේ ගොඩ නැඟුණු ශ්‍රී සම්බෝධි විහාරය, පූජ්‍යපාද පියදස්සි නාහිමිපාණන් වහන්සේ සහ පානදුරේ අරියධම්ම නාහිමිපාණන් වහන්සේ වැනි හිමිවරුන් විහාරාධිපතිත්වය දරමින් ශ්‍රී ලංකාද්වීපය තුළ මහත් බෞද්ධ ප්‍රබෝධයක් ඇති කරමින් ජනතා සේවය සැලසුවේ කිසිදු ලාභ අපේක්ෂාවකින් තොරවය. ඉන් අනතුරුව ශ්‍රී සම්බෝධි විහාරය භාරවන්නේ පූජනීය දරණාගම කුසලධම්ම නාහිමිපාණන් වහන්සේටය.   


කුසලධම්ම නාහිමිපාණන් වහන්සේ වචනයට පමණක් සීමා නොවී ක්‍රියාවෙන්ම සිංහල බෞද්ධයින්ට සේවාවන් සිදු කළේත් බුදුදහම ලොව පුරා ප්‍රචාරය කළේත් මහානර්ඝ පිංකම් සිදුකළෙත් තම ස්වඋත්සාහය හා කැපවීම මුළු මහත් ලෝකයටම ප්‍රදර්ශනය කරමිනි.   


උන්වහන්සේ කිසිදා කිසිවෙකු නිසාවෙන් බැබලුණේ නැත. උන්වහන්සේ නිසා බෞද්ධ සමාජය බැබලුණි. සඟරුවන ද බැබලුණි. නිකාය භේදයකින් තොරව සියලුම ස්වාමීන් වහන්සේලාට ධර්මදේශනා ලබා දුන්නේ සංඝ භේදය තුරන් කිරීමේ අදිටනෙනි. ඒ අනුව රට පුරා ලොව පුරා මහානර්ඝ පිංකම් සංවිධාන කෙරිණ.   


දුෂ්කර විහාරස්ථාන සඳහා උදව් උපකාර කිරීම, දුෂ්කර ගම්මානවලට උදව් උපකාර කිරීම, පාසල් දරුවන්ට පොත් පිරිනැමීම, වකුගඩු රෝගයෙන් පීඩා විඳින අයට වතුර ෆිල්ටර් බෙදාදීම, ස්වභාවික විපත්පත් ජනතාවට උදව් උපකාර කිරීම, මරණයට කැපවූ ගවයින්ට අභයදානය දීම, රෝගීන්ට රෝද පුටු සහ අත්වාරු ප්‍රදානය ඉන් සමහරකි.   


 පරහිතකාමී මහා සංඝ පීතෘවරුන් දුර්ලභ වූ මෙවැනි කාලවකවානුවක කොළඹ සම්බෝධි විහාරාධිපති කුසලධම්ම හිමියන්ගේ අපවත්වීම රටදැයට විශාල පාඩුවක් බව පුන පුනා කිව යුතු නැත.   


1963 ඇසළ මස 30 දින බියගම, දරණාගම ග්‍රාමයේ කරලැයින් නෝනා උපාසිකා මාතාවට සහ ගුණදාස කුමාරපේලි පියාණන්ට දාව උපන් ආනන්ද නෙවිල් කුමාරපේලි නමැති පිංවත් කුමරා දියණියන් දෙදෙනෙකුගේ සහ පුතුන් දෙදෙනකුගෙන් යුත් පවුලේ වැඩිමහල් දරුවා විය.   


පෙර භවයක සිට ගෙන ආ ආත්ම පුරුද්දට මෙන් දහමට ළැදි වූ මෙම කුල කුමරා කෙළිලොල් ළමා වියේදී ද තැන්පත් ගත් ලක්ෂණවලින් සමන්විත විය.   


 කුඩා කල සිටම ආගමික පරිසරයක හැදී වැඩුණු උන්වහන්සේ දෙල්ගොඩ කල්‍යාණ ප්‍රදීප පිරිවෙනේ පරිවේණාධිපති සහ විහාරාධිපති දරණාගම සුගතපාල නායක හාමුදුරුවන්ගේ සහ සපුගස්කන්ද රාජමහා විහාරාධිපති දරණාගම ඤාණසිරි හාමුදුරුවන්ගේ ඥාති හිමිනමකි.   


උපාධිධාරිනියක හා විදුහල්පතිනියකව සිට පැවිදි දිවියට ඇතුළත් වූ උන්වහන්සේගේ පුංචි අම්මා වන දරණාගම අමිතා මෑණියෝද ශාසනය වෙනුවෙන් බොහො කැප කිරීම් කළ මාතාවකි.   


උන්වහන්සේගේ සේවය පිළිබඳ අදහස් දැක්වීමට ඓතිහාසික හෙයියන්තුඩුව ප්‍රධාන විහාරාධිපති මාවරමණ්ඩිය ශ්‍රී දේවානන්ද පරිවේණාධිපති වැලමිටියාවේ සීලරතන හිමියෝ ඉරිදා ලංකාදීප සමඟ එක්වූහ.   


“ඒ කාලේ උන්වහන්සේගේ ගැන තාත්තා කිව්වා මට මතකයි. ගිහිකාලෙ කුඹුරු වැඩ කරන්න ගියාමත් අනිත් අය වැඩ කරනවලු. මෙම දරුවා නියරවල් උඩ එක දිගට මැටිවලින් චෛත්‍ය අනුරූප හදනවලු.   


ඒ විදියට පුංචි කාලෙ ඉඳන් ශ්‍රද්ධාසම්පන්නව කටයුතු කරපු කෙනෙක්.   


 මේ අතරතුර මාවරමණ්ඩිය ශ්‍රී දේවානන්ද පිරිවෙණේ නායක හාමුදුරු කෙනෙක් වැඩ සිටියා පුතාණේගම දේවානන්ද කියලා. ඒ කාලෙදි මේ හාමුදුරුවන්ගෙ පන්සලට ආනන්ද දරුවා හැමදාම එනවා. ඇවිල්ලා කියනවා මට මහණ වෙන්න ඕනා කියලා. එතකොට ඒ දරුවා සාමාන්‍ය පෙළ අවසන් කරලා හිටියෙ.   


ඒ කාලෙ මාවරමණ්ඩිය පන්සලේ ධර්ම විද්‍යාලයේ ප්‍රධාන ආචාර්යවරයා වෙලා හිටියෙ මමයි. ඉතින් එතුමා ගිහි කාලෙදි මේ පාසලේ ගුරුවරයෙක් විදියට ඉගැන්නුවා.   


ඊළඟට මමත් උන්වහන්සේත් දෙන්නා කන්දඋඩ භාවනා මධ්‍යස්ථානයකට ගිහින් භාවනා කළා. මුලින්ම එය සති දෙකක් ඉඳලා පස්සේ ජල්තර මධ්‍යස්ථානයේ සති දෙකක් භාවනා කළා විටින් විට පුළුවන් වෙලාවට.   
ජල්තර හිටියා හාමුදුරු කෙනෙක් කොළතොට විමලධර්ම කියලා. උන්වහන්සේ මේ පළාතට ඇවිල්ලා භාවනා වැඩසටහන් කළා. ඒ අතරතුර කටුකුරුන්දවත්ත ප්‍රදේශයේ දසනායක කියලා අම්මා කෙනෙක් උන්වහන්සේට ඉඩමක් පරිත්‍යෘග කළා. නවලෝක මුදලාලිගෙ මූලිකත්වයෙන් එහි ගොඩනැගිල්ලක් ඉදි කළා.   


ඒ ජල්තර පන්සල තමයි උන්වහන්සේ වැඩසිටි පළමු පන්සල. උන්වහන්සේ පැවිදි පත්වෙන්නෙ 1985 දී. එතකොට උන්වහන්සේට අවුරුදු 18 යි.   


පැවිදි වීමෙන් පසුව උන්වහන්සේ බම්බලපිටියේ වජිරාමයට සම්බන්ධ වෙලා වජිරාරාමයේ පියදස්සි හාමුදුරුවො එක්ක සමීපව කටයුතු කළා. වජිරාරාමයේ දහම් පාසල මේ හාමුදුරුවන්ගෙ භාරකාරත්වයෙන් තමයි කරගෙන ගියේ. එතැනින් පසුව වජිරාරාමෙට සම්බන්ධ පානදුර අරියධම්ම හාමුදුරුවො වැඩ හිටපු සම්බෝධි විහාරය භාරකාරත්වයට පත්වුණේ අපේ හාමුදුරුවො. ඉන්පසුව උඩුගම බුද්ධරක්ඛිත නායක හාමුදුරුවන්ගේ සිසුවෙකු විදියට නැවත උපසම්පදාව ලැබුවා.   


 කුසලධම්ම හාමුදුරුවො මහා වාසනා සම්පන්න චරිතයක්. උන්වහන්සේ ත්‍රෛනිකායික සියලුම මහානායක හාමුදුරුවරු සිව් නමම පුණ්‍යකර්ම උත්සවය සඳහා නිතරම වැඩම කෙරෙව්වා. සාමාන්‍ය කෙනෙකුට හෝ දේශපාලනඥයෙකුටවත් බැහැ මහානායක හාමුදුරුවරු සිව් දෙනාම එකවර වැඩම කරවාගන්න. නමුත් මේ හාමුදුරුවො ඒ දේත් කළා. ඒ විතරක් නෙමෙයි අරණ්‍යගත හාමුදුරුවරුන් සියලුම නිකායවල හාමුදුරුවරුන් අවශ්‍ය වෙලාවට වැඩමකර ගත්තා.   


 ඒ වගේම ලංකාවෙ පළමුවරට තමයි බෞද්ධ නාළිකාවක්, ගුවන්විදුලි නාළිකාවක් ආරම්භ කරන්නෙ. ඊට අමතරව ආගමික ශාසනික වශයෙන් බොහෝ දුර්ලභ දේවල් කළා.   


උඩුගම බුද්ධරක්ඛිත නායක හාමුදුරුවරන්ගේ උපන්දිනය මුල්කර ගෙන මේ හාමුදුරුවො දළදා මැදුරේ ආරක්ෂක දොරවල් දෙක හැදුවා. ඒ වෙනුවෙන් විශාල වියදමක් දැරුවා. අනගාරික ධර්මපාලතුමාගෙන් පස්සේ බරණැස විහාරයේ කෝටි 5 ක් වියදම් කරලා රත්තරන් උඩුවියන් ආවරණයක් බුදුහාමුදුරුවන් උදෙසා හැදුවා.   


 ඒත් එක්කම ‘සුරකිමු ලක්මව’ කියලා වැඩසටහනක් ආරම්භ කළා. වස විසවලින් තොර ආහාර නිෂ්පාදනය ඇරඹුවා.   


මහා පරාක්‍රමබාහු රජතුමා සිහිපත් කරලා පොළොන්නරුවෙ කිරි ආහාර බුද්ධ පූජාවක් පැවැත්වූවා. අවුරුදු දෙකෙන් දෙකට අනුරාධපුර රුවන්වැලිසෑය ඇතුළු අටමස්ථානවල දී එක වෙලාවට කිරි ආහාර බුද්ධ පූජා පැවැත්වූ අතර ඖෂධ වර්ග 108 සහිත ගිලන්පස පූජා වෑංජන වර්ග 1008 සහිත ආහාර පූජා ඒ අතරින් සුවිශේෂයි. ඒ වගේ දේවල් සාමාන්‍ය කෙනෙකුට කරන්න පුළුවන් දේවල් නෙමෙයි.   


ජාත්‍යන්තර වශයෙන් උන්වහන්සේ ලන්ඩන්වල බෞද්ධ මධ්‍යස්ථානයක් ආරම්භ කළා. ඉන්දියාවෙ සිදුකළ උසස් පින්කම් වැඩසටහන් ගණනාවක් සජීවිව විකාශය කළා.   


 බරණැස සහ බුද්ධගයාවේ උසස් කඨින පිංකම් කළා. බංගලිදේශයේ බෞද්ධයන්ට වුණ ප්‍රශ්න නිසා සියයකට ආසන්න ළමයි ගෙනල්ලා පැවිදි කළා. චීනයේ බෞද්ධ සංගමයේ විහාර ඇතුළු ඒ සම්බන්ධ කටයුතු පාහියන් හාමුදුරුවො මුල් කරගෙන බුදදහම සම්බන්ධ වැඩසටහන් විකාශය කෙරෙව්වා.   


 ඒ මෙහෙවර වෙනුවෙන්ම තායිලන්ත රජතුමා ඇතුළු චීනයෙන්, බුරුමයෙන් ආදී රටවලින් මේ හාමුදුරුවන්ට පදවි නාම පවා පිරිනැමුවා.   


ඒ වගේම වැදි ජනතාව ඒ සිදුකරන දඩයම් වළක්වන්න ඕනෑ කියලා ඒ හැම පවුලකටම ගවයො දීලා ඒ දඩයම් නැවැත්තුවා. ගවයො 50,000 පමණ නිදහස් කළා.   


ගංවතුර, සුනාමි අවස්ථාවලදී ඒ ප්‍රදේශවලට ගොස් වියළි ආහාර ලබා දුන්නා. ගැබිනි මව්වරුන්ට දුප්පත් පවුල්වලට රටේ අවශ්‍ය හැමදේටම උදව් උපකාර කළා.   

 


අරණ්‍යගතව සිටි හාමුදුරුවන්ට ධර්ම දේශනා කරන්න අවස්ථාවක් දීලා මැදපෙරදිග ආදී රටවලත් මසකට වරක් හෝ ධර්ම දේශනා පැවැත්වූවා.   


මෙරට හිමිවරු විදෙස් ධර්ම ප්‍රචාර සඳහා යවා බෞද්ධයන් සමඟ පමණක් නොවෙයි, කතෝලිකයන්, මුස්ලිම්, ද්‍රවිඩ ඇතුළු හැමදෙනාත් එක්කම සමීපව වැඩ කළා. වෙසක් ආදී සෑම උත්සව අවස්ථාවලටත් අන්‍යාගමික නායකයන් සම්බන්ධ කරගෙන ළඟින් වැඩ කළා.   


 දරණාගම කුසලධම්ම හාමුදුරුවො පැය 3 ක් වගේ තමයි දවසටම නිදාගත්තෙ. සාමාන්‍යයෙන් 12 පහුවෙලා නිදාගෙන පාන්දර 3 ට විතර නැගිටිනවා.   


මෑත භාගයේ පහළවුණු සංඝරාජ හාමුදුරු කෙනෙක් වගේ විශාල සේවාවන් රැසක් ඉටුකළත් එකම දේශපාලන පක්ෂයකටවත් උන්වහන්සේ බැඳිලා හිටියෙ නෑ. පොදුවෙ තමයි මේ සියලුම දේවල් කළේ. හැබැයි සිංහලකම හෙළ ජාතිය ගැන නොබියව කරුණු ඉදිරිපත් කළා.   


 උන්වහන්සේගේ තිබුණු විශේෂම දෙයක් තමයි උදේ පූජාවල් තියද්දි සියලුම මියගිය රණවිරුවො සිහිපත් කරලා පින් දීම.   


මුල්ම කාලෙ උන්වහන්සේ ප්‍රසිද්ධ වෙලා හිටියෙ භාවනා වැඩසටහන් කරපු හාමුදුරු කෙනෙක් විදියට. ඒ වගේම භාවනා පිළිබඳ පොත් පිංචවල් ගණනාවක් ලිව්වා. ඉංග්‍රීසි භාෂාවෙන් සහ සිංහල භාෂාවෙන් ලියූ ධම්ම පදය සිංහල හා ඉංග්‍රීසි භාෂාවලින් නැවත සංස්කරණය කළා.   


සියඹලාපේ, දරණාගම විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා දක්ෂතා නිසාම කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත්ව දීප්තිමත් ශිෂ්‍යයෙකු ලෙසට කටයුතු කර උසස් අධ්‍යාපනය සඳහා කැලණිය විශ්ව විද්‍යාලයට ඇතුළත් වෙලා බුද්ධ ධර්මය, බෞද්ධ සංස්කෘතිය සහ සිංහල විෂයන් ප්‍රගුණ කර ගෞරව ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගන්නට උන්වහන්සේ සමත් වුණා. 

 
‘අඬන්න ඕනෑ ශාසනයට වැඩක් කරලා නැත්නම්. ගෙවල්වල ඉන්න අම්මලා බණ අහලා සාදු කියනවා. සංසාර ලෝකේ නොයෙක් ප්‍රශ්න තියෙනවා.   


දුටුගැමුණු රජ්ජුරුවො රුවන්වැලි මහ සෑය කළා. ඒ දිහා බලාගෙනයි නැති වුණේ. මිහිදු මහරහතන් වහන්සේ පිරිනිවන් පෑවා. සංඝමිත්තාව, අසූ මහා ශ්‍රාවක රහතන් වහන්සේලා, මෑත කාලයේ මඩිහේ නායක හාමුදුරුවො, සෝම හාමුදුරුවො කොච්චර ශ්‍රේෂ්ඨ උත්තමයෝද? ඒ ඔක්කොම අපවත් වුණා.   


 ඉතින් අවුරුදු සීයක් අපි ඉන්නෙ නැහැනේ. අපි හිතන් ඉන්නෙ අවුරුදු සීයක් ඉන්නවා කියලා. ඉතින් මං නැති වුණත් බෞද්ධයා නාළිකාවෙන් ලක්ෂ සංඛ්‍යාත ජනතාව බණ අහයි. ධර්මයෙන් සැනසෙයි. ඒක ශාසනික සේවයක්.’   


ඒ උන්වහන්සේගේ අවසන් ධර්ම ​දේශනයයි.   


උන්වහන්සේගේ සරල බව මෙන්ම සංසාරයේ අනිත්‍යතාව පිළිබඳව උන්වහන්සේ තුළ පැවැති අවබෝධය හා ජීවන අභිලාෂය මින් නිරූපණය වෙනවා.   


 බුද්ධ පුත්‍රයෙකු වශයෙන් එතුමන් ජීවිතයේ අනිත්‍ය බව ලොවට පෙන්වා දුන්නාක් මෙන්ම තමන් ද දැන කියාගෙන සිටියහ. 

 
පනස් හතර වියේ පසුවූ උන්වහන්සේ හදිසියේ ගිලන් වීමෙන් ප්‍රතිකාර ලැබීම සඳහා ඇමෙරිකාවේ හුස්ටන් නුවර සුප්‍රසිද්ධ රෝහලකට ඇතුළත් කරන ලදි. යළි ශ්‍රී ලංකාවට වැඩමකොට ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ වැඩ වාසය කරමින් සිටියදී 2018 මැදින් මස තුන්වන දින මනා සේ කල්පනාවෙන් යුතුව අපවත් වී වදාරන්නට යෙදුණා වූ අතිපූජ්‍ය දරණාගම කුසලධම්ම හිමියන්ගේ අපවත්වීම සමස්ත බෞද්ධ ජනතාවට මෙන්ම ශ්‍රී ලංකාව තුළ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතියටම සිදුවූ විශාල පාඩුව කිසිදා සපුරාගත නොහැකිය.   


දම්දියෙන් ලොවක් තෙමා ලූ යතිවරයාණනි, ඔබවහන්සේට අමා මහ නිවන් සංතුෂ්ටියම සාක්ෂාත් වේවා!  

ධනු විජේරත්න