බෞද්ධයා නාළිකාව ආරම්භ කළ කුසලධම්ම හිමියන්ට දැන් සුවයි


පානදුරේ අරියධම්ම ස්වාමීන් වහන්සේ ආරම්භ කරපු සංඝබෝධි පන්සල උන්වහන්සේගෙන් පසුව භාර වුණේ වජිරාරාමයේ පියදස්සී ස්වාමීන්ද්‍රයන් වහන්සේට. උන්වහන්සේගෙන් පසුව තමයි එය ශාස්ත්‍රපති දරණගම කුසලධම්ම හිමියන්ට බාර වෙන්නෙ.  


ප්‍රථමවරට ලංකාවේ රූපවාහිනි බෞද්ධ නාළිකාවක් ආරම්භ කරන්නෙ උන්වහන්සේ. 2006 ජුලි මස 27 වැනිදා මේ නාළිකාව ආරම්භ කරන්නෙ එවකට ජනපතිව සිටි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයක දී.  


දැනට මේ බෞද්ධයා නාළිකාව Peo TV, Dialog TV වලට අමතරව බස්නාහිර පළාතට පමණක් සාමාන්‍ය නාළිකාවක් විදිහට නැරඹිය හැකියි.  


බෞද්ධ වැඩසටහන්වලට මූලිකත්වය ලබාදෙන මෙම නාළිකාවේ භාෂාව, සංස්කෘතිය, සාරධර්ම පිළිබඳ කතිකාවන්, කාලීන වැඩසටහන්, ඓතිහාසික සිද්ධස්ථානවල උරුමය පිළිබඳ වටිනාකම් ආදී වැදගත් මාතෘකා පිළිබඳව කතාබහ කෙරෙනවා.  


ඊට අමතරව වජිරාරාමයේ පියදස්සී ස්වාමීන්වහන්සේගේ කාලයේ පටන් ආරම්භ කළ ප්‍රජා සත්කාරක වැඩසටහන් කිහිපයක් ද මෙහිදී සිදු කෙරෙනවා. වසවිසෙන් තොර එළවළු, පලතුරු පොළ තියෙන්නෙත් සම්බෝධි විහාරයේ පමණයි. එය ඉරිදා දිනවල උදේ පහේ සිට සවස 3 ක්වා පමණ පැවැත්වෙනවා. ඒ සඳහා විදේශිකයන් සහ අන්‍යාගමිකයන් ද සම්බන්ධ වෙනවා.  


බෞද්ධයා නාළිකාව මුලින්ම ආරම්භ කළේ සේවකයන් 4 දෙනෙකුගෙන් යුත් සුළු පිරිසකගෙන්. පසුව එය 12 බවට පරිවර්ථනය වී තිබෙනවා. පසුව කුරුණෑගල, මහනුවර, මාතර, රත්නපුර, ගම්පහ ආදී ස්ථානවල ආයතන බිහි වෙමින් ඒ තුළ සේවකයන් 80 පමණ සේවය සඳහා සම්බන්ධ වෙලා ඉන්නවා.  


මෙහිදී පෝය දවසට පැය 24ම විකාශය වෙන්නෙ පෝය සජීවී වැඩසටහන්. උදේ 5.30 සිට හවස 6.30 දක්වා පැය 13ක් සජීවී විකාශනය සිදුවෙනවා. රූපවාහිනි නාළිකාව වගේම ගුවන් විදුලි නාළිකාවක් ද සම්බෝධි සදහම් සඟරාව යනුවෙන් සඟරාවක් ද මෙහිදී නිකුත් කරනවා.  


මේ පන්සල, මේ නාළිකාව බාර ශාස්ත්‍රපති දරණගම කුසලධම්ම ස්වාමීන්වහන්සේ අසනීප තත්ත්වයෙන් මේ දිනවල පසුවෙනවා කියලා ආරංචි වුණා. ඒ වගේම මේ දිනවල විවිධාකාර ගැටුම් එහිදී සිදුවෙනවා කියලත් සමාජජාලා වෙබ් අඩවි, විවිධ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වුණා. ඒ පිළිබඳවත්, හාමුදුරුවන්ගේ අසනීප තත්ත්වය පිළිබඳවත් සොයා බලන්න ‘ඉරිදා ලංකාදීප’ අපිත් බෞද්ධයා නාළිකාවට ගොඩවැදුණා.  


එහිදී අපත් සමග අදහස් දැක්වීමට එකතුවුණේ‍ බෞද්ධයා නාළිකාවේ වැඩසටහන් අධ්‍යක්ෂ කල්‍යාණ අලවත්තේගම.  


මේ දවස්වල හාමුදුරුවො අසනීපෙන් නේද?  


ඔව්, මේ දවස්වල හාමුදුරුවෝ අසනීපෙන් ඉන්නෙ. උන්වහන්සේ ඇමරිකාවෙ ප්‍රතිකාර ගත්තා මාස 3ක්. ඊට පස්සෙ ලංකාවට වැඩම කරවා ගත්තා. දැන් කෙමෙන් කෙමෙන් සුව වෙනවා. දැන් ප්‍රතිකාර ලබන ගමන් ඉන්නෙ නවලෝක රෝහලේ.  


වර්තමාන තත්ත්වය කොහොමද?  


කතාබහ කරන්න ලියන්න කියන්න පුළුවන් දැන්. අප්‍රේල් වගේ​ වෙද්දි හාමුදුරුවන්ට සාමාන්‍ය මට්ටමට වැඩ කරගෙන යන්න පුළුවන් මට්ටමට පත්වෙනවා කියන විශ්වාසය තමයි වෛද්‍යවරුන්ටත් තියෙන්නෙ.  


උන්වහන්සේ බලන්න යන්න පුළුවන් ද?  


කතා කරන්න බලන්න යන්න දෙන්නෙ නෑ. අසනීප තත්ත්වය නිසා. විෂබීජයක්වත් ඇතුළත් වෙයි කියලා.  


හාමුදුරුවො නැති වෙලාවට මේ දේවල් ගැන සොයා බලන්නෙ කවුද?  


හාමුදුරුවෝ යන්න කලින් කමිටුවක් පත් කරලා ගියා. ඉතින් දැන් බොරලන්​ෙද් වජිරඥාන ස්වාමීන් වහන්සේ ඇතුළු ඒ කමිටුව තමයි වැඩ බලන්නෙ.  


මේ දිනවල කතාබහක් යනවා නේද? ඒ හාමුදුරුවො ඇතුළු මේ කමිටුව මේ සියල්ල කඩා වඩා ගන්න යනවා කියලා ?  


ඔව්. ඒත් ඒක අමූලික බොරුවක්. මොකද මේ කමිටුවෙ හැමෝමත් හාමුදුරුවොත් අපේ නායක හාමුදුරුවො පත්කරලා ගිය පිරිස. ඒ අය හැමෝම ඉන්නවා නායක හාමුදුරුවොත් එක්ක. එක එක්කෙනා නොයෙකුත් කතා කියනවා. ඒත් ඒ හැමදේම බොරු. මොකද, හාමුදුරුවන්ට තවම හොඳට සිහි කල්පනාව තියෙනවා. ලියන්න, කියන්න හැමදේම පුළුවන්. කිසිම ගැටලුවක් නෑ. හාමුදුරුවෝ අපිට ලියලා එවන ඒවා පවා තියෙනවා.  


මේ ප්‍රචාරය වෙන දේවල් නම් තනිකරම මඩ. ඕනෑම ආයතනයකට මඩ ප්‍රහාර තියෙනවා. අපේ ආයතනයටත් දැන් අවුරුදු 10ක් නෙ. ඒ අවුරුදු 10 ඇතුළත තවත් නාළිකා ගොඩනැගුණනෙ. ඒවට ඉතින් පහර ගහන්නනේ බලාගෙන ඉන්නෙ. මොකක් හරි වැටීමක් සිදු වුණොත් ඒවට මඩ ගහලා ‘ගොසිප්’ හරහා ඒවා ප්‍රචාරය කරනවා. නමුත් මෙහිදී කිසි ගැටලුවක් වෙලා නෑ. මේ පෝය දවසෙත් අපේ කට්ටිය ගිහින් හාමුදුරුවෝ බැහැදැකලා ආවෙ. තවම හාමුදුරුවන්ගෙ නායකත්වයෙන් තමයි නාළිකාව දිවෙන්නෙ.  


එතකොට ඇයි මේ වගේ මඩ ප්‍රචාර යන්නෙ? කාගෙ වුවමනාවට ද?  


මේ නාළිකාවෙම වෘත්තීය මට්ටමෙන් වැරදි අය ඉන්නවනෙ. ඒ අය ඉවත් කළාට පස්සෙ එළියට ගිහින් එක එක කතා නිර්මාණය කරලා මඩ ප්‍රහාර එල්ල කරනවා. ඒවා තමයි මේ.  


සේවකයන්ගෙ වැටුප් ගෙවීම පිළිබඳ ප්‍රශ්න නැද්ද?  


නෑ. ඒවා වරද්දන්නෙ නෑ. කලට වෙලාවට ඒවා සිද්ධ වෙනවා. කිසිම සේවකයෙකුට අසාධාරණයක් කරන්නෙ නෑ.  


මේ කතාබහ වෙන දේවල් ගැන හාමුදුරුවො දැනුම්වත් ද?  


නෑ. අපි ඒවා දැනුම්වත් කරන්නෙ නෑ. මානසික සුවය, ශාරීරික සුවය ඕනැනේ ලෙඩේ සුවවෙන්න. ඒ නිසා අපි ඒ ගැන මොනවත් කියන්නෙ නෑ. මීට පෙරත් මඩ ගැහුවා. බුදු හාමුදුරුවෝ කිව්වෙත් හැමදේම විඳ දරාගන්න කියලා. ඉතින් ඒ හැමදේම අපිත් විඳ දරාගන්නවා. ඕනෑම කෙනෙකුට දියුණු වෙනකොට මඩ ප්‍රහාර එන එක සාමාන්‍ය දෙයක්නෙ. උදාහරණයක් විදියට ගත්තොත් ජනාධිපතිවරයාට අගමැතිවරයාට කොච්චර මඩ ගහනව ද? ඒත් ඉවසලා ඉන්නෙ. ඒවට නඩු දාන්න, හිරේ දාන්න ක්‍රියාමාර්ග ගත්තොත් වෙනම බන්ධනාගාර හිරගෙවල් අරින්න වෙනවා. ඉතින් මේ මඩ ප්‍රහාරවලට එදා නායක හාමුදුරුවෝ කිව්වෙත් මේ හැමදේම විඳ දරාගෙන සාමාන්‍ය විදියට ඉදිරියට යමු කියලා විතරයි.  

 

 

 

 

 

සටහන - ධනු විජේරත්න