බුද්ධගයාවට ත්‍රස්ත තර්ජන


ඉන්දීය ප‍්‍රභූවරයකුට හිමි වන ඉහළම ආරක්ෂාව දලයිලාමා තුමාට හිමිවේ. එතුමා බුද්ධගයාවේ ආගමික වැඩසටහන්වලට සහභාගි වන අවස්ථාවක බෝම්බ දෙකක් හමුවීම බරපතළ ආරක්ෂක හිඩැසක් බව ඉන්දීය මාධ්‍ය කියයි. දලයි ලාමාගේ ආගමික වැඩසටහනට ආරක්ෂාව සැපයීම සඳහා තුන්දහසකට අධික පොලිස් නිලධාරීන් පිරිසක් යොදවා තිබියදීත් මෙම බෝම්බ දෙක විහාරය අසලට රැගෙන ආවේ කවරෙක්ද? බෝම්බ හමුවූ හතර වන ගේට්ටුව අසල සිට මහබෝධි විහාර සංගමයට හා ශ‍්‍රී ලංකා විහාරයට ඇත්තේ මීටර් විස්සකි.

 

 සමස්ත බෞද්ධයා සසල කළ පුවතක් යළිත් ඉකුත් සතියේ අපට වාර්තා විණි. ඒ තථාගතයන් වහන්සේ වූ සිද්ධාර්ථ ගෞතමයන් බුද්ධත්වයට පත්වූ ස්ථානය ලෙසින් බෞද්ධ බැතිමතුන් ඇතුළු සමස්ත ලෝකවාසීන්ගේ නොමඳ වන්දනාවට පාත‍්‍ර වන දඹදිව බුද්ධගයා විහාරයට යළිත් වතාවක් ත‍්‍රස්ත තර්ජන එල්ල වීමට පටන් ගැනීමත් සමඟිනි. මේ සිදුවීම හරියටම වාර්තා වූයේ ඉකුත් 19 වැනිදාය.


සමස්ත ලෝකවාසී බෞද්ධ බැතිමතුන්ගේ මුදුන්මල්කඩ වූ බුද්ධගයා විහාරස්ථානයට පිවිසෙන සිව් වැනි දොරටුව අසල සහ ශ්‍රී ලාංකික බෞද්ධ භික්ෂූන් වහන්සේලා වැඩවෙසෙන ආරාමය අසල ඉකුත් 19 වැනිදා බෝම්බයක් පිපිරී යාමෙන් අනතුරුව සිදුකළ මෙහෙයුම්වල දී සඟවා තිබූ තවත් අධිබලැති බෝම්බ දෙකක් සොයා ගැනීමට ඉන්දීය ආරක්ෂක අංශවලට හැකි විණි. බුදුන්වහන්සේ බුද්ධත්වයට පත්වූ ස්ථානය ලෙස ලෝකවාසීන්ගේ නොමඳ වන්දනාවට පාත‍්‍ර වන බුද්ධගයාවේ ඇති වූ මෙම තත්ත්වය ඉන්දියාවේ පිහිටි ඓතිහාසික වටිනාකමක් සහිත ස්ථානයකට එල්ල වූ ප‍්‍රබල තර්ජනයක් ලෙසින් හඳුන්වාදිය හැක. මෙලෙස සඟවා තිබූ බෝම්බ දෙක කිලෝ දහයක් බරැති ඒවා බව පැවසේ.   


පුපුරා ගිය බෝම්බය අඩු බලයකින් යුත් එකක් වූ අතර එය උණුවතුර බෝතලයකට සවිකොට තිබූ බව සඳහන් වේ. බෝම්බය පුපුරා ගොස් ඇත්තේ බුද්ධගයාවේ කාලචක‍්‍ර උද්‍යානය ඉදිරිපිට පිහිටි තේ කඩයක ජෙනරේටරයක් අසල සඟවා තිබියදීය. පිපුරුමෙන් කිසිවකුටක් හානියක් සිදුවී නැත. පිපිරීම සිදුව ඇත්තේ සවස 4.45ට පමණය. පුපුරා ගිය බෝම්බය මෙන්ම සඟවා තිබූ බෝම්බ දෙකද ග‍්‍රාමීය වශයෙන් නිෂ්පාදිත ඒවා බව සඳහන් වේ. අනතුරුව කළ සෝදිසි මෙහෙයුම්වල දී බුද්ධගයාවේ අංක 4 ගේට්ටුව අසලින් සහ බෞද්ධ ආශ‍්‍රමය සමීපයෙන් අනෙක් බෝම්බ දෙක හමුවී තිබේ.   


ටිබෙටයේ ආගමික නායක දලයි ලාමා තුමා දස දහසකට අධික දේශීය, විදේශීය බෞද්ධ බැතිමතුන් පිරිසක් පිරිවරා ආගමික වැඩසටහනක් සහ දේශනයක් පවත්වා එතැනින් නික්ම ගිය මෙහොතකට පසුව බෝම්බ දෙක සොයා ගැනීමට හැකිවීම මහා හාස්කමකි. දලයි ලාමා තුමන් එම ස්ථානයෙන් නික්ම යන මොහොතේදීම, ඒ ආසන්නයේම රතිඤ්ඤයක් පුපුරා යන අන්දමේ හඬක් නංවමින් යමක් පුපුරා ගොස් තිබේ. පසුව කළ සෝදිසි මෙහෙයුමකින් පසුව සඟවා තිබූ අධිබලැති බෝම්බ දෙක සොයා ගැනීමට හැකි වී තිබේ. ඉන්දීය මාධ්‍ය සඳහන් කරන ආකාරයට සොයා ගත් එම අධිබලැති බෝම්බ දෙක නේරංජනා ගංගාවට ගෙන ගොස් නිෂ්ක‍්‍රීය කිරීමට එරට ආරක්ෂක අංශ සමත්ව ඇත.   


බුද්ධගයාවට එල්ල වී තිබෙන ත‍්‍රස්ත තර්ජන සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වීමට සිද්ධිය වී දිනකට පසුව ඉන්දියාවේ ජාතික විමර්ශන කාර්යාංශයේ කණ්ඩායමක් එහි පැමිණි අතර එම කණ්ඩායමට බෝම්බ විශේෂඥයෙක්ද ඇතුළත් විණි. එමෙන්ම ප‍්‍රභූ ආරක්ෂක ජාතික ආරක්ෂක ඒකකයේ පිරිසක් ද කල්කටාවේ සිට බුද්ධගයාවට පැමිණ ඇත.   


බුද්ධගයාවේ පිහිටි ටිබෙට් විහාරස්ථානයේ වැඩ වෙසෙමින් ආගමික නායක දලයි ලාමා තුමා ජනවාරි 02 වැනිදා සිට පෙබරවාරි 02 වැනිදා තෙක් බුද්ධගයාවේ පැවැත්වෙන විශේෂ කාලචක‍්‍ර පූජාවකට සහභාගී වෙමින් සිටිති. එම පූජාවට දෙස් විදෙස් බැතිමතුන් රැසක් සහභාගී ෙවන අතර අවම වශයෙන් දිනකට දස දහසත් පහළොස් දහසත් අතර පිරිසක් සහභාගී වෙති.   


බුද්ධගයාවේ වැඩවාසය කරන දලයි ලාමා තුමා සිය දේශන නිමවා ආශ‍්‍රමයට වැඩීමෙන් ටික වේලාවකට පසුව මේ පිපුරුම සිදුවී ඇත. කාලචක‍්‍ර පූජාවට ලොව බොහෝ රටවලින් බෞද්ධයන් පැමිණෙන අතර පිපිරීම සිදුවූ දා දලයි ලාමා තුමන්ගේ අනුගාමිකයකු වූ හොලිවුඩ් නළු රිචඩ් ගියර් ද ඊට සහභාගි වූ දහස් ගණනක් බැතිමතුන් අතර සිට ඇත. බිහාර් ආණ්ඩුකාර සත්‍ය පාල් මලික් සහ මහ ඇමැති නිතිස් කුමාර් ද පසුගියදා බුද්ධගයාව වෙත පැමිණ දලයි ලාමා තුමාගේ ආශීර්වාදය ලබාගත් බව සඳහන් වේ.   


බිහාර් පොලීසිය පවසන්නේ බෝම්බ අටවා ඇත්තේ විශාල හානියක් සිදු කිරීමට නොව දලයි ලාමා තුමන්ගේ කාලචක‍්‍ර පූජාවට සහභාගී වන පිරිස් අතර භීතියක් මවා පෑමට උත්සාහයක් ලෙසය. බුද්ධගයාව අයත් පැට්නා නගර කලාපය බාර පොලිස්පති නයියාර් හසේන් ඛාන් කියා සිටින්නේ ප‍්‍රදේශයේ ආරක්ෂාව පිළිබඳ නිරන්තරයෙන් සොයා බැලීම නිසා අධි බලැති බෝම්බ දෙක සොයා ගැනීමට හැකිවූ බවය.   


දලයි ලාමා තුමන්ගේ ආරක්ෂාව සඳහා විහාරස්ථානයේම රැඳී සිටි මගධ ප‍්‍රදේශයේ නියෝජ්‍ය පොලිස්පති විනෙයි කුමාර් මහතා කියා සිටියේ සමස්ත බුද්ධගයා නගරයේම දැඩි ආරක්ෂාවක් යොදා ඇති බවත්, එම ස්ථානයට එන සෑම කෙනෙකුම දැඩි පරීක්ෂාවට ලක් කරනවා පමණක් නොව ලෝහ පරීක්ෂණ දොරටු වලින් ද ඇතුළු කරවමින් අදාළ පරීක්ෂා කිරීම් සිදු කළ බවය. කල් වේලා ඇතිව බෝම්බ දෙක සොයා ගැනීමට හැකි වූ හෙයින් සිදුවීමට තිබූ විශාල හානියක් වළක්වා ගත් බව ද හෙතෙම ඉන්දීය මාධ්‍ය හමුවේ ප‍්‍රකාශ කළේය.   


2013 වසරේ ජූලි මාසයේ දී බුද්ධගයාවේ මහබෝධි විහාරස්ථානයේ ස්ථාන කිහිපයක සැඟවූ බෝම්බ 10ක් පමණ පැයක් ඇතුළත පුපුරා යෑමෙන් බොහෝ දෙනෙක් තුවාල ලැබූහ.   


විමර්ශන කාර්යාංශය මගින් ඒ සම්බන්ධයෙන් ඉන්දියාවේ මුස්ලිම් ශිෂ්‍ය ක්‍රියාකාරිත්වයේ සාමාජිකයන් හතර දෙනකුට නඩු පවරා ඇත. මියන්මාරයේ රොහින්ග්‍යා මුස්ලිම්වරුන්ට සිදුවෙන වදහිංසාවන්ට විරෝධය පෑමට එම බෝම්බ පුපුරවා හැරීම සිදුකළ බව ඔවුහු පසුව ප‍්‍රකාශ කළහ.   


එකී බෝම්බ සිද්ධියත් සමඟ බුද්ධගයාවේ ආරක්ෂාව මධ්‍යම කාර්මික ආරක්ෂක අංශ වෙත භාරදීමට ඉන්දියාවේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය එකඟ විය. එහෙත් එහි ආරක්ෂක අංශයේ සේවාව ලබාගැනීම සඳහා ගෙවීමක් කළ යුතුයි. තමන්ට එම බරපැන දැරිය නොහැකි බව බුද්ධගයා කළමනාකාරිත්වය දැනුම් දෙන ලදී. එනිසා මේ දක්වා බුද්ධගයාවේ ආරක්ෂාවට පෞද්ගලික ආරක්ෂකයන් යොදවා ගන්නා බව ටයිම්ස් ඔෆ් ඉන්ඩියා ආයතනය සඳහන් කරයි.   


බුද්ධගයාව යළි අනාරක්ෂිත වී ඇත. මෙයට වගකිව යුත්තේ කවරකුද? බුද්ධගයාව හින්දු නොවන ආගමික පුද බිමක් නිසා එහි ආරක්ෂාව ගැන තැකීමක් නොකරයිද? 2013 වසරේදී ඉන්දීය මුජහදීන්වරුන් විසින් බුද්ධගයාවට එල්ල කළ බෝම්බ ප‍්‍රහාරයෙන් පසු මේ පුදබිම බරපතළ අනාරක්ෂිත තත්ත්වයට පත්ව තිබේ. වඩා සුවිශේෂ කරුණ වන්නේ ටිබෙට් අාධ්‍යාත්මික නායක දලයි ලමා තුමා පුරා මාසයක් බුද්ධගයාවේ කාලචක‍්‍ර වැඩසටහන සඳහා සහභාගි වී සිටින අවස්ථාවක මෙම බෝම්බ හමුවීමයි.   


ඉන්දීය ප‍්‍රභූවරයකුට හිමිවන ඉහළම ආරක්ෂාව දලයිලාමා තුමාට හිමිවේ. එතුමා බුද්ධගයාවේ ආගමික වැඩසටහන්වලට සහභාගි වන අවස්ථාවක බෝම්බ දෙකක් හමුවීම බරපතළ ආරක්ෂක හිඩැසක් බව ඉන්දීය මාධ්‍ය කියයි. දලයි ලාමාගේ ආගමික වැඩසටහනට ආරක්ෂාව සැපයීම සඳහා තුන්දහසකට අධික පොලිස් නිලධාරීන් පිරිසක් යොදවා තිබියදීත් මෙම බෝම්බ දෙක විහාරය අසලට රැගෙන ආවේ කවරෙක්ද? බෝම්බ හමුවූ හතරවන ගේට්ටුව අසල සිට මහබෝධි විහාර සංගමයට හා ශ‍්‍රී ලංකා විහාරයට ඇත්තේ මීටර් විස්සකි.   


මෙම පුපුරන ද්‍රව්‍ය හමුවීමත් සමඟ බුද්ධගයා විහාරය අවට ප‍්‍රදේශයට සම්පූර්ණයෙන්ම යුද බළකොටුවකට ලබාදෙන ආරක්ෂාව ලබාදී ඇත. බුද්ධගයාව දෙසට එන සෑම වාහනයක්ම මීටර් 500ක් ඈතීන් නවත්වා සම්පූර්ණ සෝදිසියකට ලක්කරන අතර පයින් ගමන් කරන්නන්ද පූර්ණ සෝදිසියකට ලක්කෙරේ. මහබෝධි විහාරයට ඇතුළුවන බැතිමතුන් තුන් තැනක දී පරීක්ෂාවට ලක්කෙරේ. බුද්ධගයා විහාරය අයිති වන ගයා දිස්ත‍්‍රික්කයේ සියලුම පොලිස් ස්ථානවල ආරක්ෂාව තරකර ඇති අතර අමතර පොලිස් නිලධාරීන් අසල ජෙහානාබාද් හා අවුරන්ගබාද් දිස්ත‍්‍රික්කවලින් ගයාවෙත එවා තිබේ. ගයා දිස්ත‍්‍රික් මහෙස්ත‍්‍රාත් අබිෂෙක් සින් පවසන්නේ බුද්ධගයා පූජාවන් කඩාකප්පල් කිරීමේ උත්සාහ පොලිසිය හා ආරක්ෂක අංශවල මැදිහත්වීමෙන් වළක්වන ලැබූ බවයි.   


 මීට පෙර 2013 වසරේ ජුලි මාසයේදී බුද්ධගයාවට එල්ල වූ ප‍්‍රහාරයෙන් භික්ෂුන් වහන්සේ දෙනමක් ඇතුළු පස්දෙ​ෙනක් තුවාල ලැබූහ. එදින බෝම්බ දහයක් පුපුරා ගිය අතර සියලු පිපිරීම් සිදුවූයේ පැයක් ඇතුළතය. මෙම ප‍්‍රහාරයට සම්බන්ධව අත්අඩංගුවට ගනු ලැබූ ඉන්දීය මුජහිඩින් සාමාජිකයන් සිවුදෙනා ප‍්‍රකාශ කළේ රොහින්‍්ග්‍යා මුස්ලිම්වරුන්ට එල්ල වෙන ප‍්‍රහාරවලට එරෙහිව බුද්ධගයාවේ බෝම්බ සවිකළ බවයි.   


 බිහාර් පොලිස් අධ්‍යක්ෂ පී. කේ. තාකූර් ප‍්‍රකාශ කරන්නේ දැනටමත් සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවයි. මීට මාස හතරකට පෙර ඉන්දීය මුජහිඩීන් ප‍්‍රබල ක‍්‍රියාකාරිකයෙක් ගයා හිදී අත්අඩංගුවට පත්විය.   
බුද්ධගයා විහාරය පිහිටා ඇත්තේ පැට්නා නගරයේ සිට කිලෝ මීටර් 110ක්ව ඈතිනි. දහස් ගණනක් සිංහල බෞද්ධයෝ සෑම වසරකම බුද්ධගයාව වැඳ පුදා ගැනීමට පැමිණෙති. ලොව පුරාම බෞද්ධයන්ගේ වඩාත් පූජනීය පුද බිම වෙන්නේ බුද්ධගයාවයි. නමුත් මෙහි ආරක්ෂාව සම්බන්ධව වගකිම ගයා පොලිසියට පවරා කර ඇරීමට දිල්ලි මධ්‍යම රජයට නොහැකිය.   


 නමුත් පසුගිය සිකුරාදා දිනයේ ඉලක්කය කවුරු ද? බුද්ධගයා විහාරය ද? දලයි ලමා තුමා ද? ඉන්දීය බලධාරීන් විසඳා ගත යුතුව ඇත්තේ එයයි.   


බුද්ධගයා විහාරය ආසන්නයේ ඇතිවූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දියාවේ නවදිල්ලි හි ශ්‍රී ලංකා මහකොමසාරිස් චිත‍්‍රාංගනී වාගීෂ්වර මහත්මිය ඉරිදා ලංකාදීපයට අදහස් දක්වමින් මෙසේ කීවාය.   


‘‘ඉකුත් සිකුරාදා (19) ඉන්දියාවේ බුද්ධගයා විහාරස්ථානය ආශ‍්‍රිත ප‍්‍රදේශයක බෝම්බ තිබී හමු වූවත් මේ සම්බන්ධයෙන් ලාංකිකයන් අනියත බියක් ඇති කර නොගත යුතුයි. විශේෂයෙන්ම ඉන්දීය ආරක්ෂක අංශ මේ වෙනවිට ප‍්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කර තිබෙනවා.   


‘‘සාමාන්‍යයෙන් මේ දිනවල ගයා ප‍්‍රදේශයට ලාංකික වන්දනා නඩ පැමිණීමේ අඩුවක් තිබෙනවා. ඒ මේ දිනවල පවතින ශීත කාලගුණය නිසයි. නමුත් තනි තනිව පැමිණෙන ලාංකික වන්දනාකරුවන් සිටිනවා. ඒ කොහොම වුණත් එහි ආරක්ෂාව ගැන අපට බලධාරීන් සහතිකයක් ලබා දී තිබෙනවා.   


‘‘අවශ්‍යතාවක් මතු වුවහොත් බුද්ධගයාව ආශ‍්‍රිතව පවතින ආරක්ෂක තත්ත්වය පිළිබඳව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය සමඟ සාකච්ඡා කරන බව ද වාගීෂ්වර මහත්මිය වැඩිදුටත් කියා සිටියාය.

 

 

 

 

 

 

 


සටහන
තිළිණි ද සිල්වා