බණ්ඩාරනායක මහත්තයා මහජන පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශය කොපිකළා


 

බණ්ඩාරනායකටත් කලින් මධ්‍යස්ථ දේශපාලන පක්ෂයක් බිහිවුනේ 1948 දී හොරණින්  


ප්‍රශ්නය - ගං වතුරෙන් කළුතර දිස්ත්‍රික්කයේ වැඩි කොටසක් යටවෙලා. ගංවතුර ගැන ඔබට බොහෝ අත්දැකීම් ඇති. ඔබේ උපන් දිනයෙන්ම අපි සාකච්ඡාව පටන්ගමු.  
උත්තරය
- මම උපන්නේ 1928 අප්‍රේල් 19 වැනිදා ගිය මාසේ මට වයස 89 ලැබුවා  


ප්‍රශ්නය - පසුගිය වසර 89ටම රෝහලක නේවාසිකව ප්‍රතිකාර අරගෙන තියෙනවාද?  
උත්තරය
- නැහැ. අනික මගේ පුතත් වෛද්‍යවරයෙක් නිසා මට එහෙම අවශ්‍යතාවයක් ඇති වුණේ නැහැ. අපි ​ෙපාඩිකාලේ ගමේ කට්ටඩියයි, වෙදමහත්තයටයි හොඳ කරන්න බැරි වුණ ​ෙලඩා මළගානටයි ඉස්පිරිතාලේ ගෙනිච්චේ.  


ප්‍රශ්නය - උප්පැන්න සහතිකයේ නම සඳහන් වන්නේ කොහොමද?  
උත්තරය -
දොන් මාටිනස් දිවාකර මොහොට්ටි කියල තමයි කියන්නේ  


ප්‍රශ්නය - උපන් ගම දැනගන්නත් පාඨකයෝ කැමති ඇති  
උත්තරය -
ඕක අහන්න දෙයක්ද මොහාට්ටි කිව්වොත් කුඩලිගම තමයි. ගමගේ, කුමාරගේ, විතානගේ, දිවාකර මොහොට්ටිගේ, පතිරගේ වගේම ඉද්දගොඩ වගේ කුල පරම්පරාවන් පැවත එන්නේ කුඩලිගමින්  


ප්‍රශ්නය - කුඩලිගම මහාවංශයේ සඳහන් ඉපැරණි ගමක් නේද?  
උත්තරය -
කුඩාවැලිගම නොහොත් කුඩලිගම යනුවෙන් මාතරට සම්බන්දයක් පැවතෙනවා. ඒක වැලිගම ගැන මායිම් කතාවක්. රයිගම විසූ මහාභරණ කුමරුන් ගැන සඳහන් වෙන ගී කියන කන්ද වරකාගොඩ, වැදිතොඩ ගනේ උඩ, උයන්වත්ත, කැකුලන්දොල, අගලවත්ත , ප්‍රතිරාජ පිරිවෙන, පාලින්ද නුවර මහාවංශය සමග බැඳී තියෙනවා.  


ප්‍රශ්ණය - ඔය ගී කියන කන්ද කියන්නේ මේ රටේ වසර 10ක් අඛන්ඩව මුදල් ඇමති රොනී ද මැල් අයවැය හදපු ස්ථානය නේද?  
උත්තරය -
ඒක ඉස්සර සුදු මහත්තෙයෙකුගේ බංගලාවක් එයා සිංහල කාන්තාවක් බැඳලා හිටියේ. රයිගම විසූ මනා බරණ කුමරුන් පාලින්ද නුවරට පාගමනින් ගිය කතා පුවත අනුව ගීකියනකන්ද පසුකර කුඩලිගම ඔස්සේ මගුරා ගඟ මායිම දක්වා ගමන් කළ බව ලිඛිත ඉතිහාසයේ සඳහන් වෙනවා.  


ප්‍රශ්නය - අම්මා, තාත්තා ගැන සඳහන් කළොත්?  
උත්තරය
- තාත්තා දිවාකර මොහොට්ටිගේ ජේමිස් අප්පුහාමි, අම්මා බෙල්ලන විතානගේ පොඩිනෝනා. පවුලේ දරුවෝ හත් දෙනයි. දැන් මං විතරයි ඉන්නේ.  


ප්‍රශ්නය - අන්තර්ජාලයේ දැක්වෙන අවුරුදු 108ක් ජීවත්වූ බ්‍රිතාන්‍ය කිරීටයෙත් තානාන්තරයකින් පුදපු දිවාකර මොහොට්ටිගේ ආගිරිස් ඔබේ කවුද?  
උත්තරය -
ඒ මගේ සීයා, මට හොඳට මතකයි, සීයා අඩි හයහමාරක් විතර උසයි. සීයාගේ අත් දනහිසට දිගයි, උස වගේමයි මහත. පුදුම භාෂා දැනුමක් තිබුණු පඬිවරයෙක්. සුද්දන්ගේ මොන තානාන්තර දුන්නත් සීයා හරිම විහිලුකාරයා. සීයා මැරෙනකොට මට අවුරුදු දහයක් විතර ඇති. 1939 මැයි 14 වැනිදා සීයා මළා. උස වැඩි නිසා අලුතින් පෙට්ටියක් හදවන්නත් සිදුධ වුණා. ඊටත් වැඩිය ඒ කාලේ මිනී පෙට්ටි සල්ලිවලට ගන්න තිබුණේ නෑ.  


ප්‍රශ්නය - 1915 මුස්ලිම් ගැටුම ගැන සීයා කියලා තියෙනවාද?  
උත්තරය -
මං උපදිනකොටත් ‘කළුතර’ හිටියේ ඉතාම සීමිත මුස්ලිම් පිරිසක්. කළුතරටම තිබ්බේ එක තම්බි කඩයයි. ඔවුන් බොහෝවිට ගෙන්​ෙගට ගොස් ආරාබියට යවන්න භාණ්ඩ එකතු කළා. එහෙම අාපු සමහරු හිර අරගත්තේ අපේ සිංහල කාන්තාවෝ.

 


ප්‍රශ්නය - ඔවුන් අරාබියට ගෙනයාමට එකතුකළේ මොනවාද?  
උත්තරය -
ප්‍රධාන වශයෙන් කුළු බඩු. පුවක්, කරුන්කා, කොකෝවා, කෝපි, තේ, සාදික්කා, කරදමුංගු, අරළු, බුළු, නෙල්ලි, එනසාල්, කරාබු නැටි. වසාවාසි, ​ඉඟුරු, වෙනිවැල්ගැට, අතිඋඩයෙන්, කටුවැල්බටු, බිංකොහොඹ, ඉරිවේරිය, තීරස්ස පළු වගේ බෙහෙත් බඩු. මේ කියූ සමහර බඩු දැන් දකින්නත් නැහැ.  


ප්‍රශ්නය - ඔබ පාසල් අධ්‍යාපනය ලැබූ පාසල් මොනවාද?  
උත්තරය -
මුලින්ම ගියේ කුඩලිගම මහාවිද්‍යාලයට. ඊට පස්සේ මතුගම සෙන්ට්‍රල් එකට, එහිදී අන්තිමට ස්කෝලේ තිබ්බ SSC Prep විභාගෙට ලිව්වා.  


ප්‍රශ්නය - ඊළගට හොරණ ශ්‍රීපාලියට ඇතුල් වුණේ කොහොමද?  
උත්තරය -
මම යාලුවෙක් එක්ක ගෙදරින් පැනල ගියා මහනුවරට අරමුණක් නැතුව. රෑ වුණාමයි නවතින්න තැනක් මතක් වුණේ ගමේ කෙනෙක් මහනුවර හිටියා ඩොනල්ඩ් කියලා. මාව දැකලා කොළඹ එක්කන් ආවා. රේල්ලුවේ. යාලුවා මාව බයකලා ඔය පොලිසියට භාර දෙන්න යන්නේ කියලා. මම කොටුවෙන් රේල්ලුවෙන් පැනල මොරටුවට එනකං පයින් ආවා. පාරෙදී ලොකු අයියට අහුවෙලා ගෙදර ගෙනාවා, ලැජ්ජාවට ගෙදර සොල්දරේට වෙලා හිටියා. එතන පරණ පත්තරේක විල්මට් ඒ පෙරේරා ගේ ශ්‍රීපාලිය ගැන විස්තරයක් තිබුණා. ගැන එයා ඒකාලේ පාර්ලිමේන්තු මංත්‍රී. මං කොටකලිසමකුත් ගහගෙන මතුගම විල්මට් මහත්තයාගේ කාර්යාලයට ගියේ තනියෙන්.  


ප්‍රශ්නය - මතුගම පාර්ලිමේන්තු මංත්‍රී විල්මට් පෙරේරා ඔබ වැනි පාසල් සිසුවකු දැකලා මොකද කිව්වේ?.  
උත්තරය
- මං එතුමට කිව්වා මට ශ්‍රීපාලියට අැතුල් වන්න ඕනෑ කියලා. පුතා අනිත් දවසේ තනියෙන් එන්න එපා. අයියා හරි තාත්තා හරි එක්කං එන්න කිව්වා. මේක ගෙදර ගිහින් කිව්වම අයියා පිළිගත්තෙම නෑ. අම්මා පිළිගත්තේ නෑ. ඒ සැරේ මම ඇඬුවම අම්මා කිව්වා අයියට මාව ව්ල්මට් මහත්තයා ගාවට එක්කන් යන්න කියලා. එත් අයියා විල්මට් මහත්තයා ගාවට යන්නත් බයවුනා. විල්මට් මහත්තයා මාව ශ්‍රීපාලි​යට ඇතුල්කරන්න ඉංග්‍රීසියෙන් ලියුමක් දුන්නා. මම ශ්‍රීපාලි​යට ඇතුල් වුණා. ප්‍රින්සිපල් ජී.පී. ආරියරත්න මහත්තයා. එයාගේ පුතා තමයි ලේක්හවුස් හිටපු රෝහණ ආරියරත්න. ඩබ්. ධනපාලගේ පුතා සුරනිමල නැවතිලා හිටියේ රෝහණගේ ගෙදර. දෙන්නම එක පන්තියේ ඉගෙන ගත්තේ.  


ප්‍රශ්නය - ඒකාලේ අධ්‍යාපනය ලැබුවේ මුළුමනින්ම ඉංග්‍රීසියෙන් නේද?  
උත්තරය
- සිංහලෙන් කතා කළොත් සතයක් දඩ ගහනවා. ඊට වඩා සිංහල පන්ති ඇතුළේ ඔක්කොම වැඩ කළේ ඉංග්‍රීසියෙන්. සිංහල වචනයක්වත් සිංහල පන්තිය ඇතුළේ කතා කළේ කලාතුරකින්.  


ප්‍රශ්නය - ශ්‍රීපාලියේ කවිමඩු එදා ජනප්‍රිය අංගයක්ද?  
උත්තරය
- සති දෙකකින් කවි මඩුවේ මූලාසනය ගත්තා ගුණදාස අයියා. රැස්වීම පටන්ගත්තේ මෙහෙම කවියකින් මා දිහා බලලා.  


අද දින කවිමඩුවයි  
හිටුවනකවි ගොමුවයි  
අලුත් මුහුණක් මතුවෙයි  
සැමට තිසරණ සරණයි  


මමයි දිවයින කතෘ වූ දයාසේන ගුණසිංහයි ඉගෙන ගත්තේ එක පංතියේ. දයාසේන එකපාරටම කවියක් කිව්වා.  


පස්දුන් රට පරසිදු කුඩලිගමින්  
සබයට පැමිණ දිවකර නව මුහුණුවරින්  
දෙඅදර විවරකර රසවත් වදන් වලින්  
සරසවි වඩිනු ඇත සවසට බමර සරින්  


දයාසේනගේ කවියත් එක්කම අත්පොළසන් නාදයක් ආවා. මාත් අතහැරියේ නැහැ. මාත් හිටිවන කවියක් කිව්වා.  


කවියක් කියන්න ට  
ආරාධනා කළ ම ට  
ඒ උගත් කිවිඳු ට  
දමමි මල්දම් රැගෙන ගෙලවට  


ඉංග්‍රීසි ​ෙජ්‍යෂ්ට විභාගයට පෙනීසිටි නිසා එදා ගුණදාස සභාපතිකමෙන් ඉල්ලා අස්වුනා  


ප්‍රශ්නය - මේ කියන යුගයේ විල්මට් පෙරේරා මහතා ප්‍රකෝටිපති වතු අධිරාජ්‍යක්. ඊටත් වඩා පාර්ලිමේන්තු මංත්‍රි. එතුමා හමුවෙන්න අාපු රටේ එවකට ප්‍රධාන දේශපාලඥයින් කවුද?  
උත්තරය -
ඩබ්. ධනපාල මහත්තයා කොහොමත් ආවා ගියා. සුරනිමල බලන්න. බණ්ඩාරනායක මහත්තයා, කොල්වින් අාර්ද සිල්වා කොල්වින්ගේ මල්ලි වෝල්ටින් ඒ. සිල්වා, ලෙස්ලි ගුණවර්ධන, පිලිප් ගුණවර්ධන , වල්පිල රාහුල, හේන්පිට ගෙදර ඥානසීහ හාමුදුරුවෝ එනව මම දැකලා තියෙනවා. ඩඩ්ලි, සර්ජෝන් .ඩී.බී. ජයතිලක වගේ අය ආව ගියා කිව්වට මම දැකලා නෑ. සමසමාජ නායකයෝ මුලින්ම 1947 අගෝස්තු ඡන්දෙට ආවේ හොරණට.  


ප්‍රශ්නය - 47 ඡන්දෙට ධනවාදි අන්තයකට ගිය එජාපයටත් මාක්ස්වාදි අන්තයකට දිවගිය සමසමාජ කාරයින්ටත් අන්තවාදී නොවී මධ්‍යස්ථ පක්ෂයක් ගොඩ නැගෙන්නේ ඔය කියන වකවානුවේ ග්‍රීපාලි භූමියේ නේද?  
උත්තරය
- ඔය කියනකොට බණ්ඩාරනායකත් ඕක හිතල නැතුව ඇති. මධ්‍යස්ත දේශපාලන පක්ෂය පිහිටුවන සාකච්ඡාව තිබ්බේ ශ්‍රීපාලියේ ‘අවන්ති’ ශාලාවේ. හොස්ටල් එකේ හිටපු මටත්, ගුණයටත් රණවීරටත් (පසුව සන් පත්‍රයේ ප්‍රවෘත්ති කර්තෘ) භාරවුනේ ආපු කට්ටියට තේ අදින්න. ඔය සිද්දියට සම්බන්ද දැනට ජීවතුන් අතර ඉන්න එකම පුද්ගලයා මමයි. පක්ෂයට නම තිබ්බේ ‘මහජන පෙරමුණ’ කියලා.  


ප්‍රශ්නය - මහජන පෙරමුණේ නිලධාරි මණ්ඩලයේ හිටියේ කවුද?  
උත්තරය
- පක්ෂයේ සභාපති වුණේ නීතිඥ එම්.ඩබ්ලිව්. එච් ද සිල්වා, ලේකම්, දණ්ඩගමුව මන්ත්‍රී, අයි.එම්.ආර්.ඒ. ඊරියගොල්ල, පාර්ලිමේන්තුව තුළ පක්ෂය නියෝජනය කරන්න තෝරාගත්තේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක විල්මට්.ඒ. පෙරේරා බලපිටියේ වොල්වින් ඒ ද සිල්වා, බණ්ඩාරවෙල කේ.සී.නඩරාජා, උප ​ෙල්කම්වරු වුණා.  


ප්‍රශ්නය - මහජන පෙරමුනේ ප්‍රතිපත්ති ප්‍රකාශයක් ලෙස එළිදක්වන ලද්දේ කවදාද?  
උත්තරය
- 1948 සැප්තැම්බර් 26 වැනිදා මහජන පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශය ප්‍රකාශයට පත්වෙලා. ඊට අවුරුදු 3කට පස්සේ තමයි බණ්ඩාරනායක මහත්තයා නිදහස් පක්ෂය හැදුවේ. මහජන පෙරමු​ෙනත් නිදහස් පක්්‍ෂයේත් අරමුණු බොහෝදුරට සමානයි. මහජන පෙරමු​ෙණ් ප්‍රතිපත්ති ප්‍රකාශය නිකුත්කරලා හරියටම දසවසරක් පිරුණු දවසේ බණ්ඩාරනායක මහත්තයා මළා.  


ප්‍රශ්නය - ඒ කාලේ සිංහල පත්තර කන්තොරුවක ඇතුළේ වැඩ කෙරුනේ කොහොමද?  
උත්තරය -
ආව ගියාට පත්තරේක වැඩට ගත්තේ නැහැ. ඉංග්‍රීසි දැනුම අනිවාර්යයි. (CUB Reporter) කබ් රිපෝටර් හැටියට අවුරුදු ගානක් පුහුණු වුණාට පස්සේ තමයි ප්‍රවීණයකු යටතේ වචනයක් දෙකක්වත් ලියන්නට අවසර ලැබෙන්නේ. පත්තරේ සිංහලෙන් ගැහුවට සියලුම පරිපාලන කටයුතු විතරක් නෙමෙයි Subbing කරන්නෙත් ඉංග්‍රීසියෙන්. ඒ කාලේ පත්තරවල හිටපු උදවිය ඇවිදින විෂ්වකෝෂ වගේ මහා ද්විභාෂා උගත්තු.  


ප්‍රශ්නය - එ්කාලේ ඔබටත් කතෘමණ්ඩලයේ මේසයක් පුටුවක් තිබුණාද?  
උත්තරය -
මොන පුටුද? උදේට ධනපාල මහත්තයා ඇවිල්ල විශේෂඥ ලේඛකයින්ව එලවනවා. ඉඳගෙන හිටියොත් අලුත් විශේෂාංගයක් අරන් එන්න කියලා. ඔය දැන්වගේ ටෙලිපෝන් වලින් විශේෂාංග කළේ නැහැ.  


ප්‍රශ්නය - වාර්තාකරුවකු ලෙස පසුගිය වසර 65 පුරා ඔබ කළුතර දිස්ත්‍රික්කය පුරා දැක ඇති ගංවතුර හා නායයෑම් ගැන මතකය කෙබඳුද?  
උත්තරය
- පසුගිය වසර 65 පුරා හැම ගංවතුරක්ම, නායයෑමක්ම කළුතර දිස්ත්‍රික්කයේ වාර්තා කිරීම ගැන මට අත්දැකීම් තියෙනවා. ඒත් මේතරම් ව්‍යසනයක් මම අත්දැක නැහැ. මට තාමත් ඩේලිනිවුස් එකක් ලේක්හවුස් එකෙන් එවනවා. ඒකාලේ මේ වගේ ස්වභාවික විපත් අපි වර්තා කළාම පූර්වනිගමන වලට එළඹිලා අනතුරු නිවාරණයගැන සිත්වයොමු කළානම් මීට වඩා හානිය අවම කරගතහැකිව තිබුණා.

සටහන - ජී. ඩී. ලියනගේ   
ඡායා - ඇ​ෙලක්සැන්ඩර් බාලසුරිය