පෞද්ගලික බැංකු මුදල් කොල්ලයෙන් මතු​ෙවන සැක සංකා


කොල්ලයට පැමිණි සැප රිය ආරක්ෂක කැමරාවල සටහන්ව තිබූ අයුරු.

 

උල් ආයුධ පෙන්වා බියගන්වා මංකොල්ලකෑමේ යුගය අවසන් කරමින් පසුගිය කාලයේ ගිනි අවි භාවිතකොට කොල්ලකෑම ඉදිරියට පැමිණියේය. නවීන පන්නයේ ගිනි අවි, උල් ආයුධ අභිභවා යමින් මාස කීපයක සිට මුදල් මංකොල්ලයට යොදාගත හැකි ප්‍රහාරක අවියක් සේ මිරිස්කුඩු පෙරට විත් තිබේ. මෑත කාලයේ මෙවැනි සිදුවීම් දෙකක් වාර්තා විය. එක් සිදුවීමක් වාර්තා වූයේ පසුගිය මැයි මස 03 වැනිදාය. ඒ වත්තල ඇළකන්ද ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවකිනි. මුදල් අයකැමිට මිරිස්කුඩු ගසා කවුන්ටරයේ තිබූ රුපියල් 11,082,160ක් කොල්ලකා පලායාමට තැත් කරද්දී ආරක්ෂක නිලධාරි හා බැංකුවේ සිටි ගනුදෙනුකරුවන් පිරිසක් එක්ව සැකකරු අල්ලා පොලිසියට භාරදෙනු ලැබිණ.   


එම කොල්ලය ආදර්ශයට ගනිමින් එහි අඩුපාඩු මකා දමා වඩාත් සාර්ථක කොල්ලයක් කිරීමට හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පසුගිය 28 වැනිදා පස්වරු 5.30ට පමණ සමත් විය. ඔවුන්ගේ ඉලක්කය වූයේ පෞද්ගලික බැංකුවක් සිය ඒ.ටී.එම්. යන්ත්‍රවල තැන්පත් කිරීම සඳහා මුදල් රැගෙන යමින් තිබූ වාහනයකි. මුදල් රැගෙන යමින් තිබූ වෑන් රථයේ සිටියේ රියැදුරුත් සමග සිව්දෙනෙකි. කොල්ලය සිදුවෙන්නේ බුලත්සිංහල, ගෝවින්න, පහළ නාරගල ප්‍රදේශයේ තේ කඩයක් ආසන්නයේ දීය.   


කොල්ලකරුවන් පැමිණියේ නවීන පන්නයේ සැප පහසු වෑන් රථයකිනි. මුදල් රැගත් වාහනය නුගේගොඩ, කළුතර ප්‍රදේශවල ඒ.ටී.එම්. යන්ත්‍රවල මුදල් තැන්පත් කර හොරණ දෙසට ගමන් කළේ බුලත්සිංහල ප්‍රදේශයේ ඒ.ටී.එම්. යන්ත්‍රවල මුදල් තැන්පත් කිරීමටය. සුපුරුදු පරිදි ඔවුහු ගෝවින්න, පහළ නාරගල ප්‍රදේශයේ අවන්හලක් ඉදිරිපිට වාහනය නවතා තේ ටිකක් බොන්නට ගියහ. එක් මුදල් අයකැමියකු වාහනයේ නවතා යාමට ඔවුහු සැලකිලිමත් වූහ. ඔහු ඉදිරිපස අසුනේ සිටිය දී ආරක්ෂක නිලධාරියා ද තේ බොන්නට ගිය අතර ඔහු තමන් සන්තකයේ තබාගත යුතු ගිනිඅවිය වාහනයේ ඉදිරිපස අසුන අසල තබා ගියේය. 

 
තේ බී අවසන් කළ පසු රියැදුරු අවන්හල ඉදිරිපිට තිබූ ජල කරාමය වෙත ගොස් සිටියදී සුඛෝපභෝගි රථයකින් පැමිණි පිරිසක් ඉන් බැස අවන්හල දෙසට පැමිණියහ. ඉන් එක් අයෙක් රියැදුරුට මිරිස්කුඩු ප්‍රහාරයක් එල්ල කළ අතර ඔහු අතේ තිබු වීදුරුව බිම වැටී බිඳී යනු ඇසී අවන්හලේ හිමිකාරිය ඒ දෙසට පැමිණියාය. එවිට ඇයට ද මිරිස්කුඩු ප්‍රහාරයක් එල්ල විය. අවන්හල ඇතුළටම පැමිණි පිරිස බැංකුවේ සේවකයින් තේ බොමින් සිටි මේසය කරා පැමිණ අනෙක් දෙදෙනාටද මිරිස්කුඩු ප්‍රහාරයක් එල්ල කළේය. ඉන්පසු වෑන් රථය වෙත ගිය මේ ප්‍රහාරකයෝ අයකැමිට තර්ජනය කර දොර වීදුරුව පහත් කරවා ගත්හ. ඉන්පසු ඉදිරිපස තිබූ ගිනි අවිය තමන් භෘරයට ගත්හ. සියල්ල සූදානම් කර තිබුණා සේ වාහනයේ පිටුපසට ගිය ප්‍රහාරකයෝ පිටුපස දොර ඇරියහ. එය යතුරු දමා වසා තිබුණේ නැත. එසේ වූයේ කෙසේද? ඇයි ඔවුන් පිටුපස දොර අරින ලෙස කිසිවෙකුටත් බල නොකරම ගොස් එහි දොර විවෘත කළේ? ඔවුන් එය යතුරු දමා නැති බව දැන සිටියේද? එසේ නම් ඒ තොරතුර ගියේ කාගෙන්ද? කෝටි විසිතුනක මුදලක් ප්‍රවාහනය කරන, එම මුදල් වාහනයේ පිටුපස සැකසු කුටියක තැන්පත් කර ඇති වාහනයක පිටුපස දොර යතුරු දමා වසන්නට තරම් රියැදුරු නොසැලකිලිමත් වී ඇත. ඇතැම්විට එය අමතක වීමක් වන්නටද හැකිය. එහෙත් එය වසා නැති බව මංකොල්ල කරුවන් දැනගෙනද තිබේ. එසේම ආරක්ෂක නිලධාරියා තමන් සතු ගිනි අවිය වාහනයේ තබා ගොස් ඇත. කොල්ලකරුවන් පැමිණ එය තමන් භාරයට ගෙන ඇත. මේ සියල්ල නාට්‍යයක්ද? එසේත් නැත්නම් අහඹු සිදුවීම්ද? පොලිසිය ඒ ප්‍රශ්නවලට පිළිතුරු සොයා පරීක්ෂණ අරඹා ඇත.   

 

මුදල් රැගෙන ගිය වාහනයේ කොල්ලකරුවන්ට අසුනොවී ඉතිරිව තිබු මුදල් සහිත මලු කිපයක් පොලිස් නිලධාරින්ගේ පරීක්ෂාවට ලක්වූ අයුරු.

 


විනාඩි දහයක් වැනි කෙටි කාලයක් තුළ වාහනයේ පිටුපස සවිකළ ලෝහමය කුටි කීපයක ඉබ්බෝ කඩා දැමු කොල්ලකරුවෝ ඒවායේ තිබූ මුදල් මලු 19න් 12ක්ම කොල්ල කෑහ. එම කොල්ල කෑ මලු තුළ කෝටි දෙකකට ආසන්න මුදලක් තිබෙන්නට ඇතැයි බැංකු සේවකයෝ පොලිසියට පවසා ඇත. ඉතිරි වූ මලු හතේ 11,562,700ක මුදලක් තිබූ බව පොලිසිය කරන ලද පරීක්ෂණවලදි හෙළි වී තිබේ. 

 
මුදල් තැන්පත් කළ කුටිවලට යොදා තිබු ඉබ්බන් ඉතාමත් දුර්වල පහසුවෙන් කඩා දැමිය හැකි ඒවා බවද පොලිසිය පවසයි. කොල්ලකරුවෝ ඉබ්බන් කැඩීමට යොදාගෙන තිබුණේද කුඩා මිටියකි. මෙවැනි දුර්වල ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් මෙතරම් මුදලක් ප්‍රවාහනය කරන්නේ ඇයිද යන්න පිළිබඳව පරීක්ෂණ සිදුකරන පොලිස් කණ්ඩායම් විමතිය පළ කරති.   


මිරිස්කුඩු ප්‍රහාරය කාගෙන පාරට පැමිණි රියැදුරු ඒ වෙනවිටත් සිදුවෙමින් පැවති මංකොල්ලය දැක මාර්ගයේ ගමන් කරමින් සිටි කාන්තාවකට කතා කර තමන් පැමිණි වාහනය කිසියම් පිරිසක් කොල්ලකන බවත් කොල්ලකරුවන් පැමිණි වාහනය ඒ අසල පවතින බැවින් එහි අංකය තමන්ට ලියාදෙන ලෙසත් ඉල්ලූ බවද ඒ අනුව ඔවුන් වාහනයේ අංකය තමන්ට ලියාදුන් බවද රියදුරු පොලිසියට පවසා ඇත. 

 
පොලිසියට මතුවූ විවිධ සැක සංකා අනුව වාහනයේ රියැදුරු හා ආරක්ෂක නිලධාරියා අත්අඩංගුවට ගෙන මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර පැය 48 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට බුලත්සිංහල පොලිසිය කළ ඉල්ලීමට අධිකරණයෙන් අවසර ලැබිණ. ඒ අනුව රඳවාගෙන ප්‍රශ්න කරන ලද සැකකරුවන් දෙදෙනා පසුගිය තිස් වැනිදා එක් අයෙකුට රුපියල් කෝටියක් බැගින් වූ ශරිර ඇප දෙකක් මත මුදාහැරීමට මතුගම මහේස්ත්‍රාත් නියෝග කළේය.   

 

විනාඩි දහයක් වැනි කෙටි කාලයක් තුළ වාහනයේ පිටුපස සවිකළ ලෝහමය කුටි කීපයක ඉබ්බෝ කඩා දැමු කොල්ලකරුවෝ ඒවායේ තිබූ මුදල් මලු 19න් 12ක්ම කොල්ල කෑහ. එම කොල්ල කෑ මලු තුළ කෝටි දෙකකට ආසන්න මුදලක් තිබෙන්නට ඇතැයි බැංකු සේවකයෝ පොලිසියට පවසා ඇත.


සැකකාර රියැදුරු වසර අටක සිට මෙම ආයතනයේ සේවය කරන්නකු වන අතර ආරක්ෂක නිලධාරියා මාස දෙකකට පමණ පෙර මෙහි සේවයට පැමිණි අයෙකි. ඔහු නාවික හමුදාවේ හිටපු සෙබළකු බවද පොලිසිය පවසයි. පොලිසිය අත්අඩංගුවට ගත් මිටියේ ඇඟිලි සලකුණු තුනක් තිබු බවද එය වැඩිදුර පරීක්ෂණ සඳහා ඇඟිලි සලකුණු අංශයට යොමු කළ බවද පොලිසිය පවසයි.   

 

මුදල් රැගෙන යමින් තිබූ වාහනයේ ආරක්ෂක කුටිවල ඉබ්බන් කඩා ඇති අයුරු පොලිසිය පරික්ෂාවට ලක්කරමින්.

 


කොල්ලකරුවන් පැමිණි වාහනයේ අංකය අනුව මෝටර් රථ දෙපාර්තමේන්තුව ඔස්සේ කරන ලද පරීක්ෂණවලදී එය නුගේගොඩ ප්‍රදේශයේ පුද්ගලයෙකුට අයත් බවට හෙළි වී ඇත. එහෙත් එම පුද්ගලයා පොලිසියට ප්‍රකාශයක් ලබාදෙමින් වසර කීපයකට පෙර එය රාගම ප්‍රදේශයේ අයෙකුට විකුණා ඇති බව පවසා තිබේ. වාහනය පිළිබඳව වැඩිදුරටත් කරන ලද පරීක්ෂණවලදී එය හිටපු අමාත්‍යවරයෙකු වූ ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ මහතා මෙන්ම කළුතර ප්‍රදේශයේ හිටපු නියෝජ්‍ය ඇමැතිවරයකු ද භාවිත කරන ලද වාහනයක් බව හෙළි වී තිබේ. නුගේගොඩ හිමිකරුගෙන් වාහනය මිලදී ගත් රාගම පදිංචි පුද්ගලයා පිළිබඳවද පොලිසිය පරික්ෂණ ආරම්භ කර තිබේ.   


ආරක්ෂක කැමරා ආශ්‍රිතව කරන ලද පරීක්ෂණවලදී කොල්ලකරුවන් පැමිණි වාහනය හොරණ සිට බුලත්සිංහල දෙසට ගමන් කර ගෝවින්නෙන් නැවත හරවා අවන්හල අසළට පැමිණ ඇති බවද කොල්ලයෙන් පසු එය නැවතත් හොරණ දෙසටම ගමන් කර ඇති බවද හෙළි වී තිබේ. එසේම මෙම වාහනය හොරණ බැල්ලපිටියත් ගෝවින්නත් අතර ස්ථානයක නවතාගෙන පැය දෙකහමාරක් පමණ සිටි බවටද පොලිසියට තොරතුරු වාර්තා වී තිබේ.   


සිද්ධිය සම්බන්ධයෙන් බුලත්සිංහල පොලිසිය, පානදුර කොට්ඨාස නීතිය බලගැන්වීමේ ඒකකය, කළුතර දිසා අපරාධ ඒකකය, කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය, මතුගම කොට්ඨාස නීතිය බලගැන්වීමේ ඒකකය ඇතුළු පොලිස් කණ්ඩායම් හයක් පරික්ෂණ සිදුකරනු ලබයි.   


ඒ අනුව පානදුර කොට්ඨාස භාර පොලිස් අධිකාරී උපුල් නිල්මිණි ආරියරත්න, සහකාර පොලිස් අධිකාරී පී.වී.එන්. ජයසිරි මහත්වරුන්ගේ උපදෙස් පරිදි බුලත්සිංහල පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක කෝසල රංග පෙරේරා, අපරාධ පරීක්ෂණ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක උපුල් චමින්ද, පොලිස් කොස්තාපල්වරුන් වන තරංග, රෝහිත, ශ්‍රීමාල්, කාන්තා පොලිස් කොස්තාපල් ජයකොඩි, පානදුර නීතිය බලගැන්වීමේ ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක අසංක රාජකරුණා ඇතුළු නිලධාරින් පිරිසක් වැඩිදුර පරීක්ෂණ සිදුකරති.   

 

 

 

සටහන :
මුදිතා දයානන්ද 
සමග 
බිමල් ශ්‍යාමන් ජයසිංහ