පොහොට්ටුවෙන් පත්වූ සභිකයන්ගේ වගකීම


2018 පළාත් පාලන මැතිවරණය අවසන් වන්නේ ශ්‍රී ලාංකේය දේශපාලන දේහය දෙදරවා හරිමිනි. ඒ 2015 ජනවාරි 08 පැවති ජනාධිපතිවරණයේ ජනමතයට ගරු කර හම්බන්තොට මැදමුලනේ තම ගම් පියස වෙත නික්ම ගිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, ඉන් වසර 03 කට පසු එනම් 2018 පෙබරවාරි 10 වන දා තම පරමාදර්ශී නායකත්වයෙන් ගමේ ආණ්ඩු පිහිටුවීමේ පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් කළ ඓතිහාසික දේශපාලන ආගමනය හේතුවෙනි.


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නමින් හඳුන්වනවා වෙනුවට ‘පොහොට්ටු පක්ෂය’ යන නාමය මෑත දේශපාලන ශබ්දකෝෂයේ ජනප්‍රියම ව්‍යවහාරය බවට පත්විය.


මේ ජයග්‍රහණය ලබා ගැනීමේ මෙහෙයුම පිටුපස බැසිල් රාජපක්ෂ මහතාගේ සුවිශේෂී සංවිධාන යාන්ත්‍රණයද ක්‍රියාත්මක වූ බව අමතක කළ නොහැක. ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පත්වන මන්ත්‍රීවරුන් හා ආයතන 200 කට අධික ප්‍රමාණයක නගරාධිපති හා සභාපති තනතුරුද සභික ධූරද දරන්නන් සියලුම දෙනා වටහා ගත යුතු වැදගත් කරුණු කිහිපයක් ඇත.


මෙම මැතිවරණය ජයගත්තේ සාමාන්‍ය වටපිටාවක නොවේ. පෙර නොවූ විරූ ලෙස රටේ ආර්ථිකය කඩා වැටී ඇත. වී, රබර්, කුරුඳු, ගම්මිරිස් ආදී සියලු ආදායම් උත්පාදන බෝග වර්ගවල නිෂ්පාදනයද, මිල මට්ටම්ද පහළ ගොස් ඇත. එසේම ජනතාවගේ සියලු පාරිභෝජන භාණ්ඩ වර්ගවල මිල මට්ටම් ඉහළ ගොස් ඇත. ගමේත් නගරයෙත් රැකියා වියුක්තිය ඉතා ඉහළය. රටේ ආයෝජන හා නිෂ්පාදනය ඇණහිට තිබේ. දරුවාගේ ත්‍රිපෝෂ පැකැට්ටුවේ සිට මහල්ලාගේ පිං පඩිය දක්වා සෑම ක්ෂේත්‍රයකම සියලු සහනාධාර කප්පාදු කරමින් ඇත.


ගමේත් නගරයේත් එක ලෙස වැඩිවෙමින් පවතින්නේ දරිද්‍රතාවයි. ආර්ථික පීඩනයයි. රටේ ආරක්ෂාවද තර්ජනයට ලක්වී ඇති අතර, ජාත්‍යන්තර අත පෙවීම් හේතුවෙන් රටේ ස්වාධීනත්වයටද තර්ජන එල්ල වී ඇත. ඊනියා ජාත්‍යන්තර සම්බන්ධතා පුස්සක් වී රට අසාදු ලේඛන ගත වී ඇත.


රටේ 70 වන නිදහස සැමරීම පවා පරාධීන උත්සවයක් බවට පත්කළ සිරිසේන-වික්‍රමසිංහ පාලනය රණවිරුවන් සිර ගෙවල්වල දමා ෆෙඩරල් ව්‍යවස්ථාවක් ඔස්සේ රට බෙදීමේ කුමන්ත්‍රණයද අරඹා ඇත. රටේ මහ බැංකුව බිඳ මහ දවල් මහා මංකොල්ලයක් සිදු කර රට ආර්ථික ආගාධයේ පතුලටම ඇද දමා ඇත. රටේ සියලු ජාතික සම්පත් විදේශවලට විකුණමින් ද, අධ්‍යාපනය සෞඛ්‍යය වැනි ජනතාවගේ සියලු අත්‍යවශ්‍ය සේවා පෞද්ගලීකරණය කිරීමටද රාජ්‍ය සේවය අකර්මණ්‍ය කිරීමට ද තීරණය කර ඇත.


මත්ද්‍රව්‍ය ප්‍රචලිත කිරීමේ නීති ප්‍රතිපාදන ඇති කරමින්ද, දේශීය සංස්කෘතිය විනාශ කිරීමේ බටහිර ගැති ප්‍රතිපත්තියක පිහිටා මහා සඟරුවනට පවා අවමන් සහගතව සැලකීමද, ආගම් අතර විභේදනයක් තුළින් රටේ අනාගත පරපුර එකිනෙකා නොහඳුනන සංකර දිශාවකට යොමු කිරීමද ඇතුළු සිදුකළ සමාජීය හා සංස්කෘතික හානිය අතිමහත්ය.


රටට වැඩකළ පරිපාලන නිලධාරීන් සිර ගෙවල්වලට යවමින්ද, වෛද්‍යවරුන් ඇතුළු වෘත්තිකයන්ටද, විශ්ව විද්‍යාල සිසුන් ගොවි කම්කරු ජනතාවටද පහර පිට පහර ගසමින් සිදුකළ සිරිසේන-වික්‍රමසිංහ පාලනය දැන් එහි කූටප්‍රාප්ත අවස්ථාවට පත්ව ඇත.


2005 දී මෙන් මෙවරද මේ සියලු සමාජ ආර්ථික දේශපාලනික අර්බුද තුළ කරවටක් ගිලී ගිය රට බේරා ගැනීමේ ඓතිහාසික වගකීමට උර දෙන්නේ මහින්ද රාජපක්ෂ මහතාය. පෙර කී සියලු දුර්දශාවන් පිරි දේශපාලන මජර වළ පුරා නෙලුම් පොහොට්ටුව විකසිත වීමට පටන් ගත්තා පමණි. මෙරටට යළිත් ඓතිහාසික දේශපාලන ජයග්‍රහණයක් උදාකර ගන්නා තෙක් මෙම ජයග්‍රහණයේ පදනම ආරක්ෂා කර ගෙන මහින්ද රාජපක්ෂ මහතා වටා මෙරට ජනතාව තව තවත් එ්කරාශී කිරීම සියලු නව පළාත් පාලන සභිකයින්ගේ වගකීම විය යුතුය.


ලබන මාර්තු 06 වනදා සිට පොදුජන පෙරමුණේ සාමාජිකයින් ලෙස මැතිවරණ ජයග්‍රහණය කළ සියලු පළාත් පාලන මන්ත්‍රීවරුන්, පළාත් පාලන ආයතනවල ප්‍රධානීන් ලෙස හා සභික මන්ත්‍රීවරුන් ලෙස නව වගකීම් භාර ගන්නේ වසර දෙකක කාලයක් තිස්සේ ඒවා තුළ පැවති අරාජිකත්වය නිම කරමිනි. කුමන අඩුපාඩුකම් මැද්දේ වුවද ගතවූ වසර දෙකක කාලය තුළ තම ශක්ති ප්‍රමාණයෙන් මෙම ආයතන පද්ධතිය පාලනය කරනු ලැබූයේ නාගරික කොමසාරිස්වරුන් සහ සභා ලේකම්වරුන් ඇතුළු නිලධාරීන් විසිනි.


සිරිසේන-වික්‍රමසිංහ රජයේ විවිධ දේශපාලන බලපෑම්, නොපනත්කම් හා කුඩම්මාගේ සැලකිලි මැද ගතවූ දෙවසර තුළ එම නිලධාරීන් කළ සේවය මේ මොහොතේ කෘතවේදීව සිහිපත් කළ යුතුය. එම නිලධාරීන් හා යහපත් පරිපාලන සම්බන්ධතාවක් සමගින් සුහදශීලී ලෙස යළිත් පළාත් පාලන ආයතන ගොඩනැගීමේ කාර්යයට උර දීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තේරී පත්වූ සියලු මන්ත්‍රීවරුන්ගේ වගකීමයි.


එසේම පළාත් පාලන ආයතන යනු ගමේ ජනතාවගේ මුල් සේවා මධ්‍යස්ථානයයි. එම සේවා මධ්‍යස්ථාන තුළ නාස්තිය, දූෂණය අවම කර ඒවා ඉහළ ඵලදායී සේවා පියසක් බවට පත්කිරීමත්, ආදායම් උත්පාදන ව්‍යපෘති ක්‍රියාත්මක කරමින් ආර්ථික සංවර්ධනයේ කොටස්කරුවන් බවට පත් කිරීමටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් නායකත්වය ගත යුතුය. විශේෂයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කිරීමේදී මහින්ද රාජපක්ෂ මහතාගේ අධිෂ්ඨානශීලී නායකත්වය ඉදිරියේ ශපථ කර සිටියාක් මෙන් හොරකම, දූෂණය හා නාස්තිය පිටු දකින පළාත් පාලනයක් තුළින් රටට සුභ අනාගතයක ඉඳුවර කුසුම විකසිත වන දිනය වැඩි ඈතක නැත.

 

 

 

කුමාරසිරි හෙට්ටිගේ