පොහොට්ටුවට ලැබුණු ඡන්ද ප්‍රතිඵලය ​කියන දේ


ඉදිරි වසර හතරක කාලසීමාව සඳහා අපේ රටේ ප්‍රාදේශීය සභා සහ නගර සභා යන පළාත් පාලන ආයතන තුන්සිය හතළිහකට ජනතා නියෝජිතයන් අටදහස් තුන්සීයකට වැඩි ප්‍රමාණයක් තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම් මේ වනවිට අවසන්ය. එහි ප්‍රතිඵලය ආන්දෝලනාත්මක එකක් විය. තවත් අලුත් ආණ්ඩුවක් සමඟ දේශපාලන ක්ෂේත්‍රයේ නව පරිච්ජේදයක් ලියැවේද යන්න පිළිබඳ අදහස් මතුවේ.   


දෙදහස් දහ අට පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පිළිබඳව රටපුරා විවිධ කථිකාවත් මතුවෙද්දී අපද ඒ පිළිබඳ විමසීමක නිරත වූයෙමු. ජනාධිපති නීතිඥ ආචාර්ය ජයතිස්ස ද කොස්තා මහතා ඒ සම්බන්ධයෙන් ඉරිදා ලංකාදීපයට දැක්වූ අදහස් මෙසේ පෙළගැසේ. 

 
ඉකුත් දා පැවැති ඡන්ද විමසීමෙන් පැහැදිලි ලෙසම අපේ රටට පණිවුඩ කිහිපයක් සපයා තිබෙනවා. එයින් පළමුවැනි පණිවුඩය වන්නේ දැනට තිබෙන ආණ්ඩුව ජනතාව විසින් එකහෙළා ප්‍රතික්ෂේප කර තිබේ යන්නයි. අප මෙහිදී ආණ්ඩුව යන්නෙන් අදහස් කරන්නේ ඡන්දය පැවැති අවස්ථාවේ ආණ්ඩු පක්ෂය නියෝජනය කළ ප්‍රධාන කණ්ඩායම් දෙක වන එක්සත් ජාතික පක්ෂය හා බුලත්කොළය ලකුණින් තරගවැදි ජයග්‍රහණය කොට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට එක් වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පිරිස් යන​ ​ෙදපාර්ශ්වයයි. පැහැදිලි වශයෙන්ම ශ්‍රී ලංකාවේ උතුරේ සිට දකුණ දක්වාත් නැගෙනහිර සිට බස්නාහිර දක්වාත් වූ ප්‍රදේශවල සෑම ජන කොටසක්ම ජයග්‍රහණය කරවා ඇත්තේ ආණ්ඩු පක්ෂයට අයත් නොවන පාර්ශ්වයන් වීම දැකගත හැකියි. මෙවර පොහොට්ටුව ලකුණින් ඉදිරිපත් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලැබූ සුවිශේෂ ජයග්‍රහණයක් ලෙස මෙය දැක්විය හැකියි. මෙහිදී අප විශේෂයෙන්ම සඳහන් කළ යුතු කරුණ වන්නේ එය හුදෙක්ම එම පක්ෂය ලැබූ ජයග්‍රහණයකට වඩා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පුද්ගලික ලැබූ ජයග්‍රහණයක් ලෙස මෙය දැක්විය හැකියි. ඒ බව තහවුරු කිරීමට අවශ්‍ය සාධක ද මෙහිදී අපට පෙන්වා දිය හැකියි.   


අනුරාධපුර දිස්ත්‍රික්කයේ තිරප්පනේ ප්‍රාදේශීය සභාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කළ නාමයෝජනා ප්‍රතික්ෂේප වූ බව ඔබට මතක ඇති. එහිදී එම ප්‍රාදේශීය නායකයන් අධිකරණයේ පිහිට ඉල්ලා සිටියා. නමුත් එහිදී ද අවශ්‍ය සහය නොලැබුණු නිසා ඔවුන් කෙටි කාලසීමාවක් තුළ පිළිගත් සුළු පක්ෂයක් යටතේ නාගයා ලකුණින් ඡන්දයට ඉදිරිපත් වූවා. මේ අනුව පොදුජන පෙරමුණින් ඉදිරිපත් වූ මුළු කණ්ඩායමම නාගයා ලකුණින් ඡන්දයට ඉදිරිපත් වුණා. ඒ අවස්ථාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නාමය වෙනුවට භාවිතා වූයේ එක්සත් ලංකා මහ සභා පක්ෂය යන්නයි. පොහොට්ටුව ලකුණ වෙනුවට භාවිතා වූයේ නාග රාජයා සලකුණයි. කෙසේ වෙතත් මෙම කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් හිටපු ජනාධිපතිවරයා තිරප්පනේ ප්‍රදේශයටම ගොස් ජන හමුවක් පැවැත්වීමට කටයුතු කළා. ඒ මැතිවරණ ප්‍රතිඵල අනුව තිරප්පනේ ප්‍රාදේශීය සභාව ජයග්‍රහණය කිරීමට නාගයා ලකුණින් ඉදිරිපත් වූ පොහොට්ටුවේ කණ්ඩායමට හැකිවී තිබෙනවා.   


ඒ ආකාරයේම සිදුවීමක් මහරගම නගර සභාවට අදාළවත් සිදුවුණා. එහිදී ද පොදුජන පෙරමුණු නාම යෝජනා ප්‍රතික්ෂේප වූ අතර ඒ වෙනුවට ඔවුන් යතුරු පැදිය ලකුණින් ආ කණ්ඩායමට සහාය පළ කළා.   
මෙහිදී ද පෙර ආකාරයටම වැඩි ඡන්ද ගණනාවකින් මෙම අපේක්ෂකයන් ජයග්‍රහණය කිරීමට හැකියාව ලැබී තිබෙනවා. මහියංගනය ප්‍රාදේශීය සභාවේ ද මෙවැනිම සිදුවීමක් සිදුවුණා. එහිදී පොදුජන පෙරමුණු කණ්ඩායම රයිනෝසිරස් ලකුණින් පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට ඉදිරිපත් වුණා.   


​ෙමහිදී විශේෂයෙන්ම දැක්විය යුතු කරුණ වන්නේ තිරප්පනේ, මහරගම හා මහියංගනය යන ප්‍රදේශ තුනේම මහින්ද රාජපක්ෂ මහතා සහභාගි වූ ජනහමු පැවැත්වීමයි. ඒ අනුව කිනම් පක්ෂයකින් අපේක්ෂකයෙක් ඉදිරිපත් වූවත් මහින්ද රාජපක්ෂ මහතා ඊට නායකත්වය ලබා දෙන්නේ නම් ජනතාව එක හෙළාම එය හිස් මුදුනින් පිළිගන්නා බව තහවුරු වෙනවා.   


මහජනයා ඡන්දය ලබාදී තිබෙන්නේ පක්ෂවලට නොව මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන දර්ශනයට බව මෙහිදී තහවුරු වෙනවා. ‘මහින්ද චින්තනය’ දේශපාලන දැක්ම පිළිබඳව ජනතා විශ්වාසය තවමත් නොනැසී පවතින බව එහිදී තහවුරු වෙනවා. ජනාධිපතිවරයා ලෙස අවස්ථා දෙකදීත් අගමැතිවරයා ලෙසත් ඇමැතිවරයෙක් ලෙසත් මෙන්ම විපක්ෂ නායකයෙක් වශයෙන් ද කටයුතුකොට තිබෙනවා. ක්‍රියාකාරී දේශපාලනය තුළ නොකඩවා වසර පනහක පමණ කාලසීමාවක් තිස්සේ ඒ මහතා කටයුතු කොට තිබෙනවා. එමෙන්ම ළාබාලතම අපේක්ෂකයෙක් ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට පැමිණි අයෙක් ලෙස මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකට වෙනවා.   


ඔහු විසින් කරන ලද සේවා අතර වසර තිහකට වැඩි කාලසීමාවක් පැවැති උතුරේ යුද ගැටුම සමථයකට පත් කිරීම දැක්විය හැකියි. බොහෝ දෙනා කළ නොහැකිය කිවූ දෙයක් මහින්ද රාජපක්ෂ මහතා තම සේනාධිනායකධුරය යටතේ ඉටු කරනු ලැබුවා. ඇතැම් අය යුද්ධය නවත්වනවා නම් ප්‍රභාකරන්ට අවුරුදු දහයකට පාලනය පවරන්නත් සූදානමින් සිටියා. ලෝකයේ තිබූ බලවත්ම හා කෘරතම ත්‍රස්තවාදී කණ්ඩායම පරාජය කිරීමට මහින්ද රාජපක්ෂ මහතාට හැකියාව ලැබුණා. එමෙන්ම රාජපක්ෂ පාලන සමයේ රටට දැනෙන සංවර්ධන ව්‍යාපාර රැසක් සිදුවුණා. අධිවේගී මාර්ග, වරාය, ගුවන්තොටුපළ ආදී සංවර්ධන කටයුතු රැසක් එහිදී පෙන්වා දිය හැකියි.   


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙවර පළාත් පාලන ඡන්ද විමසීමෙන් ජයග්‍රහණය ලැබුවේ විශාල අභියෝග බාධක ප්‍රමාණයක් මැදවීම තවත් විශේෂත්වයක් වෙනවා. නාමයෝජනා සකස් කිරීමේදී ගැටලු මතුවීම එහිදී ප්‍රධාන වෙනවා. එම පෙරමුණ යටතේ ​අපේක්ෂකත්වය ඉල්ලා සිටි හැට දහසකට අධික අපේක්ෂකයන් සිටියත් නාමයෝජනා සඳහා ඇතුළත් කර ගැනීමට නියමිතව තිබුණේ අට දහසක පමණ ප්‍රමාණයක් වීම ගැටලුවකට හේතු වුණා.   


අපේක්ෂකත්වය නොලද සාමාජිකයන් අතර පැරණි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන් මෙන්ම මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන දැක්ම අනුමත කරන එයට කාලාන්තරයක සිට සහයෝගය දක්වන අයත් සිටියා. ඒ වගේම මහජන එක්සත් පෙරමුණු සාමාජිකයන් ආදී අයටත් නාමයෝජනා නොලැබීම නිසා ඔවුන් පක්ෂයෙන් ඉවත්ව ගොස් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ පාර්ශ්වයට සහයෝගය දැක්වීම සඳහා ඉදිරිපත් වූවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන්නේ ඉතාම මෑත කාලීනව පිහිටවූ පක්ෂයක්. ඒ සඳහා අංග සම්පූර්ණ පක්ෂ කාර්යාලයක් පවා තිබුණේ නැහැ. දුෂ්‍කරතා රැසක් මැද පවත්වාගෙන යන ලද කාර්ය මණ්ඩලයක් විසින් එම පක්ෂය මෙහෙයවනු ලැබුවා.   


උතුරු නැගනෙහිර ඇතුළු ඇතැම් ප්‍රදේශවල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු නාමයෝජනා ප්‍රතික්ෂේප වීමටත් ඉහත කී දුෂ්කරතා හේතු වුණා. ඒ තත්ත්වය තුළ පවා මිලියන පහකට වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබාගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හැකිවීම විශේෂත්වයක් ලෙස දැක්විය හැකියි.   


පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධානය ලැබූ ඡන්ද ඉපැරණි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන් ඡන්ද මත පදනම් වූ එ්වා බව එම ප්‍රතිඵල පිළිබඳව විමර්ශනය කිරීමේදී අපට හඳුනාගත හැකියි. එම පක්ෂයේ හිටපු නායකයන් වන මෛත්‍රීපාල සේනානායක මහතා ද පක්ෂය කඩා බිඳ ගෙන එළියට ආවා. හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක ද ඒ ආකාරයටම දෙවතාවකදීම පක්ෂය කඩා බිඳගෙන එළියට ආවා. එසේ නික්ම ගිය සෑම අවස්ථාවකදීම නැවතත් ඔවුන් පක්ෂයට එක්වූ බව දේශපාලන ඉතිහාසය තුළ සඳහන් වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව ගිය සාමාජිකයන්ට දේශපාලන අනාගතයක් නැතැයි සමහරුන් කීවද මහින්ද රාජපක්ෂ මහතා ගත් තීරණයෙන් ඔහුගේ දේශපාලන ගමනට බාධාවක් වී නොමැති බව හඳුනාගත හැකියි.  


බලයේ සිටින ආණ්ඩු පක්ෂයක් අභිබවා සුළු පක්ෂයක් මෙබඳු ඡන්ද විමසීමකින් ජයග්‍රහණය කළ ප්‍රථම අවස්ථාව මෙය ලෙස දැක්විය හැකියි. එවැනි තත්ත්වයක් ඉන්දියාව මහා බ්‍රිතාන්‍ය වැනි අප දන්නා කිසිදු ප්‍රජාතන්ත්‍රවාදී රටක සිදු වී නැහැ. මහින්ද රාජපක්ෂ මහතා තම දේශපාලන ගමන තුළ තවදුරටත් ඉදිරියට යායුතු බව මේ මගින් තහවුරුකොට තිබෙනවා. ඔහු සතු​ පෞරුෂය, නායකත්වය, ජනතාවට අාමන්ත්‍රණය කිරීමේ ශෛලිය, ඒ මහතා සතු පැහැදිලි සන්නිවේදන ශක්තිය මෙම ජයග්‍රහණයට හේතු වී තිබෙනවා. මහින්ද රාජපක්ෂ මහතාගේ පියා ඒ මහතාගේ අනෙක් දේශපාලන නෑදැයින් පවා ඔවුන් එක්දහස් නවසිය තිහ වැනි කාලසීමාවක සිට හම්බන්තොට දේශපාලනයේ පුරෝගාමීන් බවට පත් වුණා.  


නිදහස ලදදා පටන් අපේ රටේ දේශපාලනය ගොනුවී තිබුණේ ප්‍රධාන බලකඳවුරු දෙකක් වටා බව පැහැදිලියි. ඩී.එස්. සේනානායක, එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක වැනි නායකයන් එහි ආරම්භයේ පෙරමුණ ගෙන සිටියා. පසුව ඩඩ්ලි සේනානායක සර් ජෝන් කොතලාවල, ජේ.ආර්. ජයවර්ධන දක්වා එය විහිදී ගියා. ආරම්භයේ එක්සත් ජාතික පක්ෂය සමඟ ප්‍රතිවිරුද්ධ කඳවුර ලෙස පැවතියේ වාමාංශික පක්ෂයි. එහිදී කොමියුනිට්ස් පක්ෂය, ​ෙබල්​ෙෂවික් ලෙනින් පක්ෂය, සමසමාජ පක්ෂය වැනි කණ්ඩායම් නියෝජනය කළා. එම කාලසීමාවේ එක්සත් ජාතික පක්ෂය දෙමළ පක්ෂ හා සුළු පක්ෂ එක්ව ජයග්‍රහණය කරනු ලැබුවා. එක්දහස් නවසිය පනස් දෙක පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට ලැබුණේ ආසන පනස් දෙකක් වැනි ප්‍රමාණයක් පමණයි. එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආසන නවයක්, ඇන්.ඇම්. පෙරේරා මහතාගේ ලංකා සමසමාජ පක්ෂයට ආසන නවයක් ලැබුණා. නමුත් ඉන් අනතුරුව එක්දහස් නවසිය පනස් හය මැතිවරණයෙන් එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා මෙවැනිම පෙරළියකින් ජයග්‍රහණය කරනු ලැබුවා.  


එක්දහස් නවසිය පනස් හය පෙරළිය මේ රටේ දේශපාලන පෙරළියක් වගේම සමාජ පෙරළිය් ලෙස ද හැඳින්විය හැකියි. එය සමාජ විප්ලවයක් ලෙස ඒ යුගයේ හැඳින්වූවා. ඒ වකවානුවේ ලංකාදීප පුවත්පතට ලිපියක් ලියමින් මාර්ටින් වික්‍රමසිංහ මහතා මෙය ‘‘බමුණු කුලයේ බිඳ වැටීමක් ලෙස හඳුන්වනු ලැබුවා’’. පනස් හය මැතිවරණය පැවැත්වුණේ කාණ්ඩ තුනක් යටතේ. එහිදී තුන්වැනි දවස වනවිට බණ්ඩාරනායක මහතා නියෝජනය කළ පක්ෂය ජයග්‍රහණය කළේ බලවේග රැසක් පෙරටුකොට ගෙනයි. දහනායක මහතා නියෝජනය කළ භාෂා පෙරමුණ, හැවැන්පොළ ආනන්ද හිමි ප්‍රමුඛ භික්ෂු පෙරමුණ වැනි පක්ෂ එකතු කරගෙන එක්සත් ජාතික පක්ෂය පරදවා බණ්ඩාරනායක මහතා සුවිශේෂ ජයග්‍රහණයක් කරනු ලැබුවා. ඉන් අනතුරුව එක්දහස් නවසිය හැට මාර්තු මැතිවරණයේ සුළුතර ආණ්ඩුවක් පිහිටුවීමට නැවත වරක් එක්සත් ජාතික පක්ෂයට හැකියාව ලැබුණා. ඒ කාලයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයා වුණේ සී.පී. ද සිල්වා මහතා එම පක්ෂය ආසන 46ක් ලබද්දී එජාපයෙන් ඉදිරිපත් වූ ඩඩ්ලි සේනානායක මහතාට ආසන පනහක් ලබාගත හැකි වුණා. නැවතත් එක්දහස් නවසිය හැට ජූලි මාසයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පෙර ආකාරයටම වාම පක්ෂ සමඟ ගිවිසුම්ගතව ජයග්‍රහණය කරනු ලැබුවා.  


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මැතිවරණ ජයග්‍රහණ ලැබූ සෑම අවස්ථාවකදීම වාමාංශික පක්ෂ සමඟ ගිවිසුම් ගතවීමක් හෝ නිතරඟ ගිවිසුමක් යටතේ මැතිවරණවලට ඉදිරිපත්වීම දක්නට ලැබුණා. එසේ නොවන අවස්ථාවල ශ්‍රීලනිපයට ජයග්‍රහණය කිරීමට හැකියාව ලැබුණේ නැහැ. එක්සත් ජාතික පක්ෂය පවා ජයග්‍රහණය කළේ ද්‍රවිඩ පක්ෂ හා වෙනත් පක්ෂවලින් ලැබුණු සහයෝගය මතවීම දැක්විය හැකිය. එක්දහස් නවසිය හැත්තෑවේ ඇති වූ සමගි පෙරමුණු රජයත් මෙවැනි පක්ෂවල එකමුතුවක් ලෙස දැක්විය හැකියි. හැත්තෑව මැතිවරණයෙන් තුනෙන් දෙකක බලයක් ලබාගත හැකි වුණා.  


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ මැතිවරණ ජයග්‍රහණයට අවශ්‍යම සාධකයක් නොවෙයි. එක්සත් ජාතික පක්ෂය පැරදවීමට නම් ඊට ප්‍රතිවිරුද්ධ පක්ෂයට පක්ෂ එකමුතුවකින් යුතු සන්ධාන ගතවීමක් අවශ්‍ය බව ඉතිහාසය පුරාම සනාථ වෙනවා. ඒ වගේම මෙවර මැතිවරණයෙන් ඒ බව තහවුරු වෙනවා. අත ලකුණ, බුලත් කොළය, නිල් පැහැය හෝ ඩාලි පාරේ පක්ෂ කාර්යාලය නොව යූඑන්පී විරෝධී ප්‍රගතිශීලී ව්‍යාපාරයක් අවශ්‍ය බව එයින් තහවුරු වෙනවා. බටහිර ගැති, අධිරාජ්‍යවාදී නොවන රාජ්‍ය දේපළ විකුණන ප්‍රතිපත්තිවලට විරුද්ධ සමාජවාදී ප්‍රගතිශීලී පක්ෂ අපේ රටේ දේශපාලන ක්‍රමයේ පැවැත්මට අවශ්‍ය වෙනවා.  


පරගැතිභාවයට විරුද්ධවීම මෙවරද හොඳින් දක්නට ලැබුණා. හැත්තෑවැනි නිදහස් සමරුවට රජ පවුලේ කුමාරයෙක් සහභාගි කරගැනීමට විරුද්ධත්වය දහවැනිදා මැතිවරණ ප්‍රතිඵලයෙන් දක්නට ලැබුණා. අපේ රටේ ස්වාධීනත්වයට අත පෙවීමට ඉන්දියාවට හෝ බටහිර රටවලට ඉඩ නොදිය යුතුයි. ඒ වගේම මේ කාලසීමාවේ රටේ පවතින ආර්ථික ගැටලු මෙම ආණ්ඩුව පරාජයට හේතු වුණා. බැඳුම්කර සිදුවීමත් ආණ්ඩුවේ පරාජයට හේතුවක් වුණා. රටේ ආර්ථිකයේ මර්මස්ථානය වන මහ බැංකුව කොල්ලකෑමට එරෙහිව ජනතාව පිළිතුරු ලබා දී තිබෙනවා.  


මෙම ඡන්ද විමසීම හුදෙක් ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමකින් එහා ගිය ආණ්ඩුවට එරෙහි විශ්‍වාසභංගයක් බව හැඳින්විය හැකියි.  


මෙවර මැතිවරණයේදී උතුරු හා නැගෙනහිර පළාත්වල ඡන්දය ලබාදීමේ විශේෂත්වයක් දක්නට ලැබුණා. දෙමළ ජාතිකයන් එකරාශි වූ ප්‍රදේශවල ටී.එන්.ඒ. පක්ෂයේ ජය තහවුරු වුණා. නමුත් ඔවුන්ගේ ඡන්ද ප්‍රතිශතයේ යම් පහළ වැටීමක් ලැබී තිබෙනවා. යාපන අර්ධද්වීපය තුළ ඔවුන් සමඟ තරගයට පිවිසෙන්නේ ඊ.පී.ඩී.පී. පක්ෂයයි. නමුත් සමස්ථයක් ලෙස දෙමළ ඡන්ද දෙමළ පක්ෂ වටාම රොක්වීමක් දක්නට නැහැ. මන්නාරම පවා එක්සත් ජාතික පක්ෂයට ජයගත හැකි වුණා. මුස්ලිම් ප්‍රදේශ ඇතැම් එ්වා එක්සත් ජාතික පක්ෂයට ජයගත හැකි වුණේ රාවුෆ් හකීම් මහතා සමඟ හවුල්ව සිටීම නිසා බව දැක්විය හැකියි. මේ රට මව්රට වශයෙන් සලකන ඕනෑම අයෙකුට තමන්ට සුදුසු කැමති ප්‍රදේශයේ ඡන්දයට ඉදිරිපත්ව ජයගැනීමේ හැකියාව තිබිය යුතුයි. එයට වර්ග භේද ආගම් භේද අදාළ වෙන්නේ නැහැ.  


අනාගතයේ අපේ රටේ පැවැත්මට බෞද්ධ දර්ශනයට හිමිවිය යුතු නිසි තැන ලබා දීමට කටයුතු කිරීම නිසැකවම සිදුවිය යුතුයි. රටක බහුතර ජාතිය වන කොට්ඨාසය විශේෂිකරණයකට ලක්විය යුතුයි. ඒ හැර රාජ්‍ය නොවන සංවිධාන හෝ ඩයස්පෝරාවට අවශ්‍ය පරිදි හෝ යුද්ධය කාලයේ හමුදාවට විරුද්ධව ලිපි ලියූ අයගේ අදහස් මත හෝ යැපෙන දේශපාලන ක්‍රමවේදය ප්‍රතික්ෂේප කළ යුතුයි.  


මෙවර පැවැති පළාත් පාලන ඡන්ද විමසීමේදී ජනතා විමුක්ති පෙරමුණ අපේක්ෂිත තරම් ප්‍රතිඵල ලබාගෙන තිබුණේ නැහැ. තිස්සමහාරාමයේ එක් ප්‍රාදේශීය සභාවක් දිනනු  ඇතැයි අපේක්ෂා කළත් දෙවැනි තැනට හෝ පැමිණීමට ඔවුන්ට හැකිවී නැහැ. පොහොට්ටු පක්ෂයේ නාම යෝජනා ප්‍රතික්ෂේප වූ අගලවත්ත, පානදුර වැනි ප්‍රදේශවල පමණක් ඔවුන්ගේ ඡන්ද ප්‍රතිශතය ඉහළ යෑමක් දක්නට ලැබුණා. ජවිපෙ කියන්නේ බලපෑම් කණ්ඩායම් ලෙස ඒ ඒ ප්‍රාදේශීය සභාවල දියුණුවට කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කළ හැකියි.  


ඡන්ද විමසීම නොපැවැති ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්ද පැවැත්වීම අධිකරණය සතු කාර්යයක්. අධිකරණය හමුවේ පවතින කාර්යයක් නිසා ඒ පිළිබඳ අදහස් දැක්වීමක් එක්වර පැවැසිය නොහැකියි. නමුත් ජනාධිපතිවරණයකදී පවා ඡන්ද පෙත්සමක් ඉදිරිපත් වුවහොත් ඒ ගැන නැවත විමසීමක් සඳහා බලයක් තිබෙනවා. හැටපහ මැතිවරණයේදී ආසන දහතුනක අතුරු මැතිවරණ පැවැත්වීමට ඡන්ද පෙත්සම් හේතු වුණා.  
තේරීපත් වූ සභිකයන් ගැසට් කිරීමෙන් අනතුරුව ඡන්ද පෙත්සම් ඉදිරිපත් කිරීමේ හැකියාව ද තිබෙනවා. ඒ සඳහා දින විසිඑකක කාල සීමාවක් ලැබෙනවා. පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් අාඥා පනත යටතේ ඊට අවශ්‍ය බලතල හිමිවී තිබෙනවා.  

 

 

 

 

සටහන - සමන්තිකා මාධවී