පොලිස් තුවක්කුවෙන් තවත් මරණයක්


ජයවර්ධනගේ සිරුරට වෙඩි වැදී ඇති ස්ථාන පරීක්ෂා කරන පොලිස් නිලධාරීන්

 

පොඩිකර දමා ඇති පොලිස් නිලධාරීන් පැමිණි යතුරුපැදි තුන

 

ජයවර්ධනගේ දේහය නිවසේ තැන්පත් කර ඇති අයුරු

 

ඌරගස්මංහන්දිය කලුවලුගොඩ නිවසක සත් දින මතක බණ පැවති දිනය දා රාත්‍රී පවත්වාගෙන ගිය බූරුවා සූදු පොළකදී කරන්දෙණිය අනුරුද්ධගම පදිංචි හේවා හකුරු ජයවර්ධන ඇත්තටම මිය ගියේ පොලිසිය විසින් තැබූ වෙඩි පහරින්ද නැතහොත් ඔහු පොලිසිය හා පොර බැදීමේදී පොලිස් නිලධාරියාගේ අත තිබූ ගිනි අවිය ඉබේ ක්‍රියාත්මකවීමෙන් දැයි දැන් දන්නේ මුවින් යමක් පැවසීමට නොහැකි උඩ ඉන්න දෙවියන් පමණක්ය. 


 ජයවර්ධනට සිදුවූ දේ එතන ඒ අවස්ථාවේ සිටි පාර්ශ්වයන් හතරක් අනිවාර්යයෙන්ම දැනගත යුතුමය. ඉන් එක් පාර්ශ්වයක් වනුයේ පොලිස් වෙඩි තැබීමෙන් හෝ පොලිස් නිලධාරියාගේ අත තිබූ ගිනි අවිය ඉබේ ක්‍රියාත්මක වීමෙන් හෝ වෙඩි වැදී මියගිය ජයවර්ධනය. අනෙක් පාර්ශ්වය වනුයේ එදා කෙරුණා යයි කියන මේ මහ පොළොව පවා නුහුලනා මේ මහා අපරාධය වැටලීමට ගිය පොලිස් නිලධාරීන්ය. තවත් පාර්ශ්වයක් වනුයේ ඒ අවස්ථාවේ ඒ ස්ථානයේ සිටි නිවැසියන් ඇතුළු සිවිල් ජනතාවය. ඒ අවස්ථාවේ උඩ සිට මේ දෙස බලාගෙන සිටි දෙවියන්ද මෙහි පාර්ශ්වකරුවෝ වෙති. 


 මේ සිව් පාර්ශ්වකරුවන්ගෙන් මියගිය ජයවර්ධනට හෝ දෙවියන්ට මේ ගැන හරිහමන් ප්‍රකාශයක් දිය නොහැක්කේ මේ දෙපාර්ශ්වයටම මුවින් යමක් කීමට බැරිවීම නිසාය. එය පොලිසියට වූ මහත් වාසියකි. සිද්ධිය දුටු සිවිල් ජනතාව මියගිය ජයවර්ධන හා දෙවියන් මෙන් මේ සම්බන්ධයෙන් මුනිවත රකිනුයේ ඇත්ත එළි කළොත් තමන්ට පසු කාලීනව කරදරයක් වනු ඇතැයි යන්න සිතන නිසාය. මේ නිසාද තමන්ගෙන් වරදක් සිදුවූවා නම් එය වහගන්නට පොලිසියට හොඳ අවස්ථාවකි. 


සිද්ධිය දුටු අනෙක් පාර්ශ්වකරු වන පොලිසියෙන් මේ සම්බන්ධයෙන් සත්‍ය තොරතුරක් බලාපොරොත්තු විය නොහැක්කේ මේ අවස්ථාවේදී සමහර විට ඔවුන් දුරදිග බලා ක්‍රියා නොකළත් තමන්ගේ බඩගෝස්තරය රැකගන්නට, තමන්ගේ පිත්තල බොත්තම් ටික රැක ගන්නට ඔවුන් සිය මුවින් මුසා බස් එකක් නොව සිය ගණනක් වුවද ඇදබානු නියත නිසාය. ඒ වෙනුවෙන් තමන්ගේ නිර්දෝෂීභාවය ඔප්පු කිරීමට සාක්ෂි ඇති තරම් රැස්කිරීම අනිවාර්යයෙන්ම සිදු කරයි. ඒ අපේ රටේ නීතිය හා සාමය රැකීමට සිටින ඇතැම් පොලිස් නිලධාරීන්ගේ හැටිය. 


එබැවින් ඇත්ත වශයෙන්ම මේ ගැන සත්‍ය තොරතුරක් පොලිසියෙන් ඇසීම හොරාගේ අම්මාගෙන් පේන ඇසීමක් වැනි වුවත් යම් සිද්ධියක් සිදු වූ විට අපට සිදුවනුයේ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් පොලිසියේ මතය පෙරට දැමීමය. 


එබැවින් මේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පවසනුයේ ඌරගස්මංහන්දිය කලුවලුගොඩ නිවසක රාත්‍රී කාලයේ බූරුවා සූදු පොළක් පවත්වාගෙන යන බවට තොරතුරක් ලැබුණ අතර, වැටලීමට යතුරු පැදි තුනකින් පොලිස් නිලධාරීන් පස් දෙනෙක් ගිය බවය. පොලිසිය සූදු පොළට පනින විට නිවසේ විදුලිය විසන්ධිකොට සූදු කෙළියේ යෙදී සිටි අය තමන්ට පහර දුන් බවත්, කළුවරේම ඔවුන් මෙල්ල කිරීමට තමන්ට සූදුකරුවන් සමග පොර බදන්නට සිදු වූ බවත්ය. එසේ කිරීමේදී එක් නිලධාරියකු අත තිබූ ගිනි අවිය ඉබේ ක්‍රියාත්මක වී පත්තු වූ වෙඩිල්ලකින් මේ පුද්ගලයා මිය ගොස් ඇති බවත්ය. 


මෙය පොලිසිය පවසන පරිදි සත්‍ය වන්නටද පුළුවන්ය. අසත්‍ය වන්නටද පුළුවන්ය. අප එසේ පවසනුයේ සාමාන්‍යයෙන් කෙනෙකු මුදල් ඔට්ටුවට බූරුවා ගසා අසුවුවහොත් අධිකරණයෙන් පනවන දඩය වනුයේ රුපියල් පන්සීයකි. රුපියල් පන්සීයක වරදකට මිනිසකු වෙඩි තබා මරන්න තරම් අපේ රටේ පොලිසිය තවමත් ඒ මට්ටමට වැටී ඇතැයි නොසිතන නිසාය. 


කවුරු කොහොම කිව්වත් ඒ සිදුවීම කොයි විදිහට සිදුවුවත් හේවා හකුරු ජයවර්ධන දැනට පදිංචි කරන්දෙණිය අනුරුද්ධගම ගම්වාසීන් නම් කියනුයේ පොලිස් වෙඩි පහරින් මියගිය මොහු පොලිසියට තියා බල්ලකු, බළලකුටවත් කවදාවත්ම අතක් නොඋස්සන, කුරුඳු තළමින් ජීවත් වූ අහිංසකයකු බවය. බූරුවා සූදුවට ඉතා ප්‍රිය අයෙකු බැවින් මේ සිද්ධිය දවසේත් ඔහු බූරුවා සූදුවේ නියැළෙන්නට ඇති බව නම් හෙළි කිරීමට අකමැති වූ ගම්වාසීහු කීහ. මෙය මහ පොළොව පවා නුහුලන මහා අපරාධයක් බවත් සිය ප්‍රදේශවල වෙනත් අපරාධයන් පිළිබඳව කොතරම් දැනුම් දුන්නද කඩිනමින් ඒවාට නොපැමිණෙන පොලිසිය මුදල් ඔට්ටුවට පවත්වාගෙන යන බූරුවා සූදු පොළවල් වැටලීමට පොලිසියේ වාහන නැතත් තමන්ගේ යතුරුපැදිවලින් පවා එන්නේ ඇයිද යන්න පිළිබඳව තමන් ඉතා හොඳින් දන්නා බව ද ඔවුහු කියති. 


මේ වෙඩි තැබීමෙන් මියගිය පනස්හතර හැවිරිදි හේවා හකුරු ජයවර්ධන තිදරු පියෙකි. ඔහුගේ වැඩිමහල් දරුවා විසිඅට හැවිරිදි හේවා හකුරු ධනුෂ්කය. දෙවෙනියා විසිහය හැවිරිදි හේවා හකුරු ප්‍රියංගිකාය. විසිහතර හැවිරිදි හේවා හකුරු ජයන්ත පවුලේ බඩ පිස්සාය. 


සිය පියාගේ මරණය සම්බන්ධයෙන් කතා කළ ජයවර්ධන පවුලේ වැඩිමලා වන හේවා හකුරු ධනුෂ්ක මෙසේ කීවේය:- 


‘‘අපේ තාත්තා බොහොම අහිංසක කෙනෙක්. කාටවත් කරදරයක් නැති, අරක්කු, සිගරැට් නොබොන, හැබැයි බුලත්විටක් හපන ඔහු කුරුඳු කාර්මිකයෙක්. ඉඳහිට මුදලට බූරුවා ගහනවා. තාත්තා දැනට මෙහෙ පදිංචි වෙලා හිටියට ඔහුගේ උපන්ගම මේ සිද්ධිය වූ කලුවලුගොඩ. ඒ ගමේ තාත්තාගේ මියගිය ඥාතියෙකුගේ හත් දවසේ බණ ගෙදරකටයි එදා ඔහු ගියේ. හත් දවසේ බණ ඉවරවෙලා කට්ටිය බූරුවා ගහන්න පටන් අරගෙන තියෙනවා. 


ඊට පස්සේ තමයි එතනට පොලිසිය ඇවිල්ලා තියෙන්නේ. පොලිසිය එනකොටම නිවසේ විදුලිය නැතිවෙලා තියෙනවා. ඒ එක්කම බූරුවා ගගහා හිටි අයගෙන් සමහරු දුවලා ගිහිල්ලා තියෙනවා. තාත්තා නම් දුවලා නැහැ. එතන සිටි සිවිල් ඇඳුමෙන් ආපු පොලිස් නිලධාරීන් අතර ගැටුමක් ඇතිවෙලා තියෙනවා. ඒ එක්කම පොලිසිය එක වෙඩිල්ලක් උඩට තියලා තියෙනවා. තවත් දෙකක් වෙඩි පත්තුවෙලා තියෙනවා. ඒ දෙක තමයි තාත්තාට වැදිලා තියෙන්නේ. පොලිසිය එතනට පැනපු වෙලාවේ මගේ අහිංසක තාත්තා අත් දෙක පෙන්නලා කියලා තියෙනවා. ‘‘අනේ සර් මම කුරුඳු තළලයි ආවේ මෙන්න අත්දෙක කියලා’’ පොලිසියට එහෙම බැගෑපත් වුණු අහිංසකයකුටයි පොලිසිය මෙහෙම වෙඩි තියලා තියෙන්නේ. දැන් ඒ අය නීති හදනවා. ඔවුන් බේරෙන්න සාක්කි හදනවා. ඒ විතරක් නෙමෙයි පොලිසියට අවාසි වෙන සාක්කි නැති කරනවා. 


හැබැයි පොලිසිය නීතියෙන් බේරුණත් මේ අහිංසක අපේ තාත්තා වෙඩි තියලා මරලා දැම්ම පොලිස් නිලධාරීන්ට නම් දෙවියන්​ෙගන් නම් බේරෙන්න බැහැ’’. 


සිය පියා අහිමිව මේ පුත්‍රයාගේ මේ අඳෝනාවට හෙට දිනයේ දෙවියන්ගෙන්වත් සාර්ථක පිළිතුරක් ලැබෙනු ඇත්දැයි අපි බොහොම සීරුමාරුවට බලා සිටිමු. 

 

 

 

 

 

සටහන, ඡායාරූප - කරන්දෙණිය - 
එම්. සුසිල් ප්‍රියන්ත