පුද්ගලයා තනිව කතා කරන්නේ ඇයි ?


ලෙඩක  හැටි

 

සූතිකාගාරයේ සිට ආදාහනාගාරය දක්වා ගෙවා දමන කාලසීමාවේදී පුද්ගලයකු කයින් රෝගී වෙන වාර ගණනට වඩා වැඩි වාර ගණනක් මනසින් රෝගී වෙන බව සැබෑ සත්‍යයකි. 


කායිකව රෝගී වූ කල අත් බෙහෙත් සිට විශේෂඥ වෛද්‍යවරයා දක්වා ගොස් ප්‍රතිකාර ගත්ත ද, මානසිකව රෝගී වෙන අපි එයට කුමක් කළ යුතු ද යන්න නිසියාකාරව දන්නේ නැත. 


තනිව කතා කිරීම... 


ඇතැම් විට ඔබ මේ කරුණ ගැන එතරම් නොසිතුවා විය හැකිය. නමුත් මේ පිළිබඳ අවධානයෙන් සිටිය යුතු බව පහත කරුණු කිය වූ විට අපට පසක් වනු නොඅනුමානය. 


සිඟිති දියණිය අම්මාගේ සාරියක් ඇඳගෙන, උස සපත්තු දෙකක් දාගෙන හෑන්ඩ් බෑග් එකකුත් එල්ලාගෙන ගෙදර මුල්ලක තියෙන පුටුවක වාඩිවෙලා කතාවක. 


ප්‍රශ්න අහන්නෙත්.... උත්තර දෙන්නෙත් සිඟිත්තියමයි. වෙලාවකට හිනාවෙනවා. වෙලාවකට අඬනවා. සැර කරනවා. නළවනවා. මේ හැමදේම හුදෙකලාව කරන සිඟිති හරිම විනෝදෙන් සෙල්ලම් කරන බව දකින කාටත් වටහාගන්න බැරිවුණේ නැහැ. 


ඒත් දවසක් සිඟිතිගේ සීයා වත්ත පුරා ඇවිදින ගමන් කාටදෝ බණිනවා. පරුෂ වචන කියනවා. සමහර අයගේ නම් හයියෙන් කිය කියා අණ කරනවා. 


ඊට දවස් කිහිපයකට පස්සේ බංකුවක වාඩිවෙලා “කතාව”. ළඟ පාතක පේන්න කවුරුත් නැහැ. 


ඈ.... මේ මොකක්ද මේ. 


සීයාට පිස්සු හැදිලාද? 


කෙනෙක් තනියම කතා කරනකොට අපිට ඉබේටම හිතෙන්නේ මානසික ව්‍යාකූලතාවක් නිසා ද යන ගැටලුවය. 


තනිව කතා කිරීම ඍජුව මානසික රෝගයක් ලෙසට හැඳින්විය නොහැකි වුවද, යම් යම් කායික සහ මානසික රෝගී තත්ත්වයන්ගේ රෝග ලක්ෂණ ලෙසට ද කෙනෙකුට මෙවැනි තත්ත්වයක් ඇතිවිය හැකිය. 


රෝගයට බලපෑ හැකි හේතූන් 


1. උග්‍ර මානසික රෝගී තත්ත්වයක් වන හීන්නෝන්මාදය නිසාද, පුද්ගලයකු තනිව කතා කිරීමට පෙළඹේ. 


හීන්නෝන්මාදයේදී ඇතිවන භ්‍රාන්තිය තත්ත්වයේදී රෝගියාට තවත් කෙනෙකු තමා සමග නිතර කතා කරන බව හැඟෙන අතර, අන් අයට නොඇසෙන ශබ්ද හා කටහඬවල් ඇසෙන්නට පටන් ගැනේ. මේ සෑම හඬවල්වලින්ම අප්‍රියජනක, අප්‍රසාද දේ ඇසෙන අතර, ඊට විරුද්ධව රෝගියා පිළිතුරු දෙන්නේ ආවේගයෙන් හෝ විධානාත්මකවය. 


2. පුද්ගලයකු යම් කරුණක් මුල්කොටගෙන ඉතා කලකිරුණු ස්වභාවයෙන් හුදෙකලාව ජීවත්වීමේදී ද තනිව කතා කිරීමට පෙළඹිය හැකිය. හුදෙක් විශාදය නමැති මානසික රෝගය එයට හේතුවෙන බව මනෝ විද්‍යාත්මකව පෙන්වා දේ. මෙහිදී රෝගියා සෑමවිටම තමා ගැන සිතන්නට පෙළඹෙන්නේ ඉතාම අසුභවාදීවය. 


“මටමමයි ප්‍රශ්න, මම හැමදාම ලෙඩින්, මට සල්ලි නෑ’’ ආදී වශයෙන් නිතර නිතර සිතමින්, කලකිරුණු ස්වභාවයෙන් තනිව කතා කරන්නට පෙළඹේ. 


ග්‍රස්ථිය නමැති මානසික රෝගයේ ද එක් රෝගී ලක්ෂණයක් වනුයේ එකම සිතුවිලි නැවත නැවත සිතට ඇතුළු වීමය. මෙහිදී බොහෝ විට වචන සහ අදහස් ලෙස සිතට ඇතුළුවනුයේ අසත්‍ය හෝ නින්දා සහගත දේ වීම විශේෂත්වයකි. 


ඇතැම් ස්නායු ආබාධ හේතුවෙන් ද කලාතුරකින් රෝගීන් පිරිසක් තනිව කතා කිරීමේ තත්ත්වයට පෙළෙඹෙන අතර, උග්‍ර මේනියා රෝග තත්ත්වයන්හිදී ද රෝගීන් මෙවැනි අන් අයගේ අවධානයට ලක්වෙන තත්ත්වයන්ට පත්විය හැකිය. ඇතැම් දරුවන්ට වයස අවුරුදු 8-10 කාලයේදී ශරීරයේ යම් යම් අවයව අත, බෙල්ල ආදිය චලනය කිරීම ඉබේ සිදුවෙන අතර, මෙය හඳුන්වනුයේ “ටික් ආබාධය’’ (Tic Disease) ලෙසය. මෙය බරපතළ ස්නායු රෝගී තත්ත්වයක් නොවූව ද, පසුකාලීනව මෙවැනි පුද්ගලයන්ට ද තනිව වචන හෝ වාක්‍ය කිහිපයක් පිටකිරීමේ අපහසුව ඇතිවිය හැකිය. 


මානසික ව්‍යාකූලතාවක් හේතුවෙන් තනිව කතා කිරීමට පෙළඹෙන බොහෝ දෙනකු තමාට දේව බැල්මක් ඇතැයි කියා දෙවියන් සමග සංවාදයේ යෙදෙන්නා ලෙස කතා කරන අතර, රටේ සිටි වීරවරුන් තමන් රට ජාතිය බේරා ගැනීමට එවා ඇති බව කියමින් පුරසාරම් දෙඩීම ද සිදු කරති. 


කුඩා කාලයේදී යහළු මිත්‍ර ආශ්‍රයෙන් මිදී ජීවත්වූවන් ද පසුකාලීනව තමාගේ සිතට දැනෙන දුක මෙන්ම සතුට ද තනිව ප්‍රකාශ කිරීමට පෙළඹේ. 


කෙසේ නමුත් තනිව කියවීම සාමාන්‍ය දෙයක් කියා සිතා ඇත්හැරීම නොකළ යුත්තක් බව මෙහිලා මතක් කළ යුතුය. 


රෝගීන් හඳුනා ගැනීම 


සුදුසුකම් ලත් මානසික වෛද්‍යවරයකු වෙත යොමු වී ප්‍රතිකාර ගැනීම රෝග නිවාරණයට සේම, රෝගී සංකූලතා අවම කර ගැනීමට හේතු වේ.

 
හීන්නෝන්මාදය, විශාදය, ග්‍රාස්ථිය, මානසික ආතතිය හෝ යම් මානසික ව්‍යාකූලතාවක් හේතුවෙන් රෝගියා තනිව කියවන තත්ත්වයට පත්ව ඇත්නම් ඒ සඳහා නිසි ප්‍රතිකාර කඩිනමින් කිරීම ඉතාම වැදගත්ය. 


ප්‍රතිකාර:- 


මෙවැනි රෝගීන්ට ඖෂධ ප්‍රතිකාර, මනෝ ප්‍රතිකාර සහ චර්යාත්මක ප්‍රතිකාර ලබාදිය හැකි අතර, රෝගියාට ලබාදිය යුතු ප්‍රතිකර්මය තීරණය කරනුයේ මනෝ වෛද්‍යවරයාය. ​ 

 

 

 

 

සටහන - අසුන්තා එදිරිසූරිය