පිළිකාවක් කලින් හඳුනා ගනිමු


ලොව පුරා රෝගීන් බහුලව මියයන රෝගයක් ලෙසට “පිළිකා රෝගය” හඳුනා ගෙන ඇත්තේ අනාදිමත් කාලයක සිටය.   
 
වසරකට පිළිකාව හේතුවෙන් ලොව පුරා පුද්ගල මරණ මිලියන 9.6 පමණ වාර්තා වෙන අතර එය සැබෑවටම අවාසනාවන්ත තත්ත්වයකි. සෞඛ්‍ය දත්තයන් පෙන්වා දෙන්නේ දකුණු ආසියානු රටවලට සාපේක්‍ෂව බටහිර රටවල පිළිකාවට ගොදුරු වන්නන්ගේ වැඩි ප්‍රවණතාවක් දක්නට ලැබෙන බවය. 
 
බටහිර රටවල ජීවත්වන ආසියානුවන්ට පවා එරට ජීවත් වන්නන්ට සාපේක්‍ෂව පිළිකා ඇතිවීමේ අඩු ප්‍රවණතාවක් දක්වන බව හඳුනාගෙන ඇත. 
 
මෙරට දත්තයන්ට අනුව වසරකට 23000 ක් පමණ පිළිකා රෝගය හඳුනාගත් නවක රෝගීන් රජයේ රෝහල්වලට ප්‍රතිකාර සඳහා යොමු කෙරේ. එසේම පෞද්ගලික අංශයෙන් ප්‍රතිකාර ගන්නා රෝගීන් මෙම සංඛ්‍යා දත්තයන්ට ඇතුළත් නොවෙන බැවින් වාර්ෂික රෝගය අලුතින් හඳුනාගන්නා රෝගීන් මීට වඩා වැඩිවිය හැකි බව සෞඛ්‍ය අංශ පෙන්වා දේ. 
පිළිකාවක් යනු සිරුරේ සෛලවල ඇති අසාමාන්‍ය වර්ධනයකි. එසේත් නොමැති නම් සිරුරේ යම් ස්ථානයක විකෘති සෛල වර්ධනයකි. එම අසාමාන්‍ය සෛල වර්ධනයේදී අවට පටක විනාශ වීමක් හෝ අවට පටකවලට පැතිරීමක් දක්නට ලැබීම පිළිකාවකදී සාමාන්‍ය පරිදි දැකගත හැකිය. 
 
ගැහැනු - පිරිමි බේදයක් නොමැතිව වැළඳෙන පිළිකා වර්ග අනුව වැඩිපුරම රෝගීන් වාර්තා වන්නේ පිරිමින් අතර බහුල ලෙසට වැළඳෙන පිළිකාව ලෙසට හඳුනාගෙන ඇති මුඛ සහ උගුර ආශ්‍රිත පිළිකාවන් බව සෞඛ්‍ය අංශ කියයි. 
 
පෙනහලු පිළිකා, ගලනාල පිළිකා, මහ බඩවැළ ආශ්‍රිත පිළිකා සහ පුරස්ථි ග්‍රන්ථය ආශ්‍රිත පිළිකා වශයෙන් අනතුරුව රෝගීන් වැඩිපුරම වාර්තා වේ. 
 
ශ්‍රී ලංකාවේ කාන්තාවන් අතර බහුලව දක්නට ලැබෙන්නේ පියයුරු පිළිකාවය. ගැබ් ගෙල පිළිකා, තයිරොයිඩ් ග්‍රන්ථියේ පිළිකා, ඩිම්බ කෝෂ පිළිකා සහ මහ බඩවැල ආශ්‍රිත පිළිකා අනුපිළිවෙළින් රෝගීන් වාර්තා වේ. 
 
පිළිකාවට බලපාන හේතූන් 
 
* දුම්පානය, මත්පැන් පානය සහ බුලත්විට කෑම වැනි සෞඛ්‍ය පිරිහෙන ඇබ්බැහි කාරකයන්ට පුරුදු වී සිටීම. 
* මානව පැපිලෝමා වෛරසය (Hpv) ශරීගතවීම. (ගැබ් ගෙල පිළිකාව ඇතිවීමට ඍජු ලෙසම බලපානු ලබයි.) 
* පාරිසරික සාධක 
* එළවළු, පලතුරු ආහාරවේලට අඩුවෙන් එක්කර ගැනීම. 
* තෙල් බහුල ආහාර, සැකසූ ආහාර සහ කෘත්‍රිම ආහාර වැඩිපුර ආහාරයට එක්කර ගැනීම. 
* ව්‍යායාම අඩුකම හෝ ව්‍යායාම නොකිරීම. 
* ස්ථූලභාවය. 
* සිරුරේ පරිවෘත්තිය ක්‍රියාවන් නිසි පරිදි සිදු නොවීම. 
 
පවුලේ ලේ ඥාතීන් කිහිප දෙනෙකුගෙන් පිළිකා රෝගය වාර්තාද, රෝගයට අවදානමක් විය හැකිය. 
 
එක් එක් පිළිකා වර්ගයට ඇතිවන මූලික රෝග ලක්ෂණ 
 
පියයුරු පිළිකා: පියයුරුවල හෝ කිහිලි ප්‍රදේශයේ ගැටිති ස්වභාවයක් ඇතිවීම, තන පුඩුවලින් ශ්‍රාවයක් හෝ ලේ පිටවීමක් සිදුවීම, පියයුරු බාහිර පෙනුම වෙනස් වීම. 
මුඛ කුහරයේ පිළිකාව: මුඛයේ සුව නොවන තුවාල, සුදු හෝ රතු පැහැ ලප ඇතිවීම
 
උගුරේ පිළිකාවක් වර්ධනය වන විට: සති දෙකකට වඩා පවතින උගුරේ වේදනාව, බෙල්ලේ ගැටිති ඇතිවීම, කටහඬේ වෙනසක් සති දෙකකට වඩා පැවතීම. 
ස්වරාලය ආශ්‍රිත පිළිකා: සති දෙකට වඩා වැඩි කාලයක් කටහඬේ වෙනස්වීම ඇතිවීම. 
 
ගලනාළය සහ ආමාශගත පිළිකාවකදී: ආහාර ගිලීමේ අපහසුතාව සති දෙකකට වඩා වැඩි කාලයක් තිබීම. මෙහිදී ආහාර ගැනීමේදී නිතර සිරවෙන ගතියක් ඇතිවේ, ආහාර අරුචිය, බඩ පිපුම, වමනය සහ ඔක්කාරය සති දෙකෙකට වඩා තිබීම. 
 
පෙනහලු පිළිකාව: සති දෙකකට වඩා පවතින කැස්ස හෝ හතිය 
 
කැස්ස සමඟ ලේ පිටවීම, පපුවේ වේදනාව 
 
මහාන්ත්‍රය සහ ගුද මාර්ගය: මල පහ පිටවීමේ රටාවේ වෙනසක් සති දෙකකට වඩා පැවතීම, උදරයේ වේදනාව, මල සමඟ ලේ පිටවීම, ගුද මාර්ගයේ ගැටිති ඇතිවීම 
ගර්භාෂයේ සහ ගැබ්ගෙල පිළිකාව: යෝනි මාර්ගයෙන් අස්වාභවික ලෙස ලේ පිටවීම (ආර්තවාභාවයෙන් පසු හෝ ආර්තව චක්‍රයේ පිට), ලිංගික ක්‍රිියාවලියෙන් පසු යෝනි මාර්ගයෙන් ලේ පිටවීම, යෝනි මාර්ගයෙන් ශ්‍රාවයක් පිටවීම 
 
ඩිම්බ කෝෂ පිළිකා: බඩ පිපුම, උදරය විශාල වීම සහ උදරයේ වේදනාව, මල පිටවීමේ රටාවේ වෙනසක් සහ දෙකකට වඩා පැවතීම 
 
මුත්‍රාශ්‍රයේ පිළිකා: මුත්‍රා සමග ලේ පිටවීම,
 
වෙනත් පිළිකා තත්ත්වයන්වලදී: දෛනික කටයුතුවල බාධා කරමින් පවතින හිසදරය, කොන්දේ වේදනා සහ ඇස්කහ වීම. 
 
මෙම රෝග ලක්ෂණ තිබූ පමණින් පිළිකා “රෝගයක්” යැයි නිශ්චිතව කිව නොහැකිය. ඉහත රෝග ලක්ෂණ ඇති අයෙකුට යම් සැකයක් ඇතිනම් රෝගය පිළිබඳ විශේෂඥ දැනුම ඇති වෛද්‍යවරයකු වෙත යොමුවී, මූලික පර්යේෂණයට භාජනය වී, රෝගය නිශ්චිතව හඳුනාගැනීම ඉතාම වැදගත්ය. 
ප්‍රතිකාර 
 
ඇතිවූ පිළිකාවේ ස්වභාවය අනුව පිළිකා රෝගීන්ට ශල්‍යකර්ම, විකිරණ ප්‍රතිකාර සහ ඖෂධ ප්‍රතිකාර නියම කෙරේ. 
 
මූලික අවස්ථාවේදීම හඳුනාගත් පිළිකාවක් නිට්ටාවට සුවකර ගැනීමට විකිරණ ප්‍රතිකාර සහ ශල්‍යකර්ම වඩාත් යෝග්‍යය. මූලික අවස්ථාවේදී ඖෂධ ප්‍රතිකාර පමණක් සිදුකිරීමෙන් ලැබෙන්නේ අඩු ප්‍රතිඵලයකි. ඖෂධීය ප්‍රතිකාර වලින් බොහෝ විට සිදුවන්නේ පිළිකා ව්‍යාප්තිය පාලනය කිරීමට උපකාරී කිරීමය. 
 
වළක්වා ගැනීමට 
 
ලංකාවේ සමස්තයක් ලෙස බොහෝ පිළිකා රෝගීන් ප්‍රතිකාර සඳහා යොමුවන්නේ රෝගය උත්සන්න වීමෙන් පසුවය. නමුත් රෝග ලක්‍ෂණ මතුවීමට පෙරද වලක්වා ගත හැකි පිළිකා වර්ග කිහිපයක් තිබේ. 
 
ඒවා නම්, 
 
පියයුරු පිළිකා: මැමෝග්‍රෑම් පරීක්‍ෂාවක් මගින් පියයුරේ ඇතිවන වෙනස්කම් කලින් හඳුනාගත හැකි වේ. සාමාන්‍යයෙන් වයස අවුරුදු 50-70 අතර වයසේ පසුවන්නන්ට වසර දෙකකට වරක් මෙම පරීක්‍ෂණය කරගන්නා ලෙසට වෛද්‍යවරු නිර්දේශ කරති. 
 
ගැබ්ගෙල පිළිකා: පැප් පරීක්‍ෂාවක් මගින් මානව පැපිලෝමා වෛරසය ශරීරගත වී ඇද්දැයි කලින් හඳුනාගත හැක. වයස අවුරුදු 35 වැඩි විවාහක කාන්තාවන්ට මෙම පරීක්‍ෂණය සිදුකර ගත හැකිය. 
 
මහා අන්ත්‍රයේ පිළිකා: අසූචි සාම්පලයක් පරීක්‍ෂා කර ඇසට නොපෙනෙන ලේ වහනයක් සිදුවේ යැයි බලා, මූලික අවස්ථාවේදීම මෙම පිළිකාව හඳුනාගත හැක. 
මුඛ පිළිකා: දුම්වැටි, මත්පැන් සහ බුලත්විට කන අයෙකුනම් තම මුඛය ගැන නිරතුරුවම අවධානයෙන් සිටිය යුතුය. මෙම ඇබ්බැහිවීම්වල නිරත වන්නෙකු නම් අවම වශයෙන් මාස 6කට වරක්වත් දන්ත වෛද්‍යවරයෙකු වෙත යොමු විය යුතුය. 
 
පෙනහලු පිළිකා: දුම්පානය කරන්නෙකුට පෙලහලු පිළිකාව ඇතිවේ යැයි සැකයක් ඇත්නම්. සී.ටී. ස්කෑන් පරීක්‍ෂාවකට භාජනය විය හැකිය. 
 
ලේ ඥාතීන් කිහිප දෙනෙකු අතර පිළිකා වාර්තා වීමක් සිදුවන්නේ නම්, ජානමය පරීක්‍ෂාවන්ට රෝගීන් භාජනය කෙරේ. 
 
පිළිකාවක්ද යන්න නිවැරැදිව තහවුරු කරගැනීමට රෝගය වර්ධනය වන බවට විශ්වාස කරන ශරීර කොටසින් පටක වාර්තාවක් ලබාගත හැකිය. 
 
ඊට අමතරව සී.ටී. ස්කෑන් පරීක්‍ෂණ, MR 7 පරීක්‍ෂණ ආදියද මූලික වශයෙන් පිළිකාව හඳුනාගැනීමට අවශ්‍යතාව අනුව සිදුකෙරේ.
 
 
 
 
 
සටහන - අසුන්තා එදිරිසූරිය