පිදුරුතලාගල සිට නුවරඑළිය බලමු


පිදුරුතලාගල කඳු මුදුනට නුවරඑළිය පෙනෙන අයුරු

 

 

මීදුමින් නැහැවුණු සීතලින් පිරුණු තවත් නැවුම් දවසක ඇරඹුමකි. තවමත් මීදුම සළු ගත දවටමින් සිටින හාවාඑළියේ පිහිටි පර්වතය සමග අලංකාර මල් හා ගහකොළ මත පතිතව ඇති පිනිබිඳු  දවස තවත් ප්‍රබෝධවත් කළේය. උදේ 7.000 ට පමණ අධික සීතල වතුරින් ගත දොවාගෙන, ආහාර ගෙන පිටත් වුණේ ලංකාවේ උසම කන්ද වන පිදුරුතලාගල තරණය කිරීමටය. පිදුරුතලාගල යනු මීටර් 2524 ක් උස කන්දකි. නමුත් මෙය මුදුනට යාම ඉතා පහසු කාර්යයක් විය.  


පිදුරුතලාගල කඳු වළල්ල යනු අධි ආරක්ෂාව තිබෙන යුද, ගුවන් හමුදා මගින් පාලනය කරන කඳවුරකි. පිදුරුතලාගල කන්දට යෑමට හැම විටම නොහැකි වන අතර එහි යාමට පෙර දිනයක එම ගමනට සහභාගි වන අයගේ නම්, හැඳුනුම්පත් අංක හා වාහන අංක ලියූ ලිපියක් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ 0112328109 දරන ෆැක්ස් අංකයට යොමු කොට 0112-430860 ට කතා කර එය ලැබුණාදැයි ස්ථීර කරගත හැක. ඉන්පසු ඔවුන් විසින් එදිනම ඉතා ඉක්මනින් අවසර පත්‍ර ලිපිය අප වෙත ෆැක්ස් කරනු ලබයි. එම ලිපිය පිදුරුතලාගල කන්ද පාමුල තිබෙන ඇතුළුවීමේ මුරපොළට ​ෙපන්වා අපට කන්දට පිවිසිය හැකිය. ශ්‍රී ලංකා රූපවාහිනී නාළිකාවේ කුලුනු, CSN නාළිකාවේ කුලුනු, සිවිල් ගුවන් සේවා අංශයේ හා ගුවන් හමුදාවේ රේඩාර් ඇතුළු අධි තාක්ෂණික සංකීර්ණයක් කඳු මුදුනේ ඇති හෙයින් කැමරා රැගෙන යාමට අපට අවසරයක් නොලැබේ. තවද මෙම මුරපළේ සිට පිදුරුතලාගල කඳු මුදුන දක්වාම කොන්ක්‍රීට් දැමූ අඩි 15 ක් පමණ පළල් මාර්ගයක් පවතියි. එසේම, දිවියන්, ගෝනුන්, වල්උෟරන් ආදී විවිධ වනසතුන්ද, පක්ෂියෝද මෙහි වාසය කරති.  


 අපි යතුරපැදි මගින්ම කිලෝ මීටර් 7 ක ගමනකින් පසුව කඳු මුදුනට පැමිණියෙමු. එහිදී ඉතාමත් අලංකාර ලෙස නුවරඑළිය නගරය පෙනෙන අතර පරිසරයේ දැඩි මීදුම් තත්ත්වය මොහොතින් මොහොත වෙනස් වේ. දවසින් වැඩි කාලයක් කඳු මුදුන මීදුමින් වැසී ඇති අතර සියයකට අධික හමුදා සෙබළුන් හා ඔවුන්ගේ නවාතැන් ඇතුළු ගොඩනැගිලි කිහිපයක්ම මෙහි පවතියි. ගෝලාකාරව සෑදූ ගුවන් හමුදා රේඩාර් මධ්‍යස්ථානය සැබවින්ම අලංකාරය. එසේම කඳු මුදුනේ ශබ්ද විකාශන යන්ත්‍රයක් හා බුදු මැදුරක් ඉදිකර ඇති අතර කඳවුර වටාම කම්බිවලින් බැඳි මායිමක් දිවයයි. මෙහි සිටින සෙබළුන් සාමාන්‍යයෙන් එක දිගට මාසයක් පුරාවට මෙම කඳු මුදුනේ නවතින අතර නිරන්තරයෙන් එහි ආරක්ෂාවට දායක වේ. කඳු මුදුනේ උසම ස්ථානයේ සිට බැලූ විට පෙනෙන්නේ නෙත් සිත් ඇදගන්නා අතිශය සුන්දර දසුනකි. පිදුරුතලාගල යනු කඳු වළල්ලකි. නුවරඑළිය නගරය වටා බැඳි තෙදවත් මුරකරුවකු වැනිය. මෙම කන්දට එන මාර්ගයේ ද කඳවුරු 2 ක් දක්නට ලැබුණු අතර මහ බෝවිටියා, නා, මහරත්මල් වැනි පුෂ්පවලින් මාර්ගය අලංකාර වී තිබුණි.  

පිදුරුතලාගල සිට නුවරඑළියට යන මාර්ගය


 උදෑසන 9.30 පමණ වන විට අපි පිදුරුතලා ගලින් නික්ම නැවතත් නුවරඑළිය නගරයට පැමණ ග්‍රෙගරි වැවට යාම ප්‍රථම හමුවන සන්දියෙන් දකුණට හැරී එම පාරේ කෙළවරට ආවෙමු. එම ස්ථානයේ පාලමක් ඇති අතර එතැනින් වමට හරවා ලෝකාන්තය දෙසට යාමට සැරසුනෙමු. එතැන් සිට ලෝකාන්තයට දුර කිලෝමීටර් 32 කි. එම මාර්ගය කාපට් කර නැත. වැඩි වශයෙන් ගැලවී ගිය තාර අැතිරූ එම මාර්ගය ඔස්සේ සෙමින් සෙමින් ලෝකාන්තයේ කඳු මුදුනට ඇදී ගියෙමු. අඹේවෙල සිට පට්ටිපොළ හරහා ලෝකාන්තයට යන මාර්ගය ඉතාමත් අලංකාරය. එය පාරාදීසයකට ඇතුළුවෙනවා වැනි අත්දැකීමකි. මන්ද මලින් බරවුණු ගස් වැල්ය. විටෙක කොළ පාටට විහිදුණු තණ බිම්ය. ඈතට පෙනෙන කඳුත්, මාර්ගය දෙපස අැති කඳු පන්තිවල දැවටුණු මීදුම පරිසරය වසා ගෙන තිබීමත් නිසා ඒ සොඳුරු පරිසරය තව තවත් අලංකාර වී තිබුණි.  


පට්ටිපොළ දුම්රිය ස්ථානය ලංකාවේ උසින්ම පිහිටා ඇති දුම්රිය ස්ථානයයි. එය මීටර් 1891 ක් උසින් පිහිටා තිබේ. අඹේවෙල, පට්ටිපොළ හරහා ඔහියට දිවෙන දුම්රිය මාර්ගය තුළ බිංගෙවල් රැසක් පවතී. ඔහියට යන දුම්රිය මගේ දිගින් දෙවන බිම්ගෙය පිහිටා තිබේ. පට්ටිපොළ සිට ලෝකාන්තයට යෑම යනු තනිකරම කිලෝමීටර් 8ක් කන්ද නැගීමකි. එය අතිශය සුන්දර වූත් දැඩි අවදානම් සහිත වූත් මාර්ගයකි. මාර්ගය කුඩා වීම සහ මීදුම පාර වසාගෙන පැතිර තිබෙන බැවිනි. හෝර්ටන් තැන්නට ඇතුළුවූ විගසම එය ඈතට විහිදී යන සානුවක් ලෙස පෙනේ. මෙම කඳු මුදුන සානුවකට සමාන වේ. මේ වන විට අප සිටින්​ෙන් මුහුදු මට්ටමේ සිට මීටර් 2300 ක් පමණ උසින්ය. මෙම මාර්ගය තුළ උසට වැවුණු ගස් නොමැති අතර විශාල වපසරියක් පුරා දුඹුරු පැහැති තෘණ වැවී තිබේ. එම මාවත අතිශය සුනදර කිරීමට තැනින් තැන කුඩා ජලාශ තිබුණු අතර විටෙක ගෝනුන් එම දිය කඩිතිවල ලැග සිටිනු අපට දක්නට ලැබුණි. ක්‍රමයෙන් දහවල් 12.00 වන විට ​ෙලා්කාන්තය වනජීවි කාර්යාලයට ළඟා වූ අතර එතැනින් ඇතුළුවීමට නම් අප අවසර පත්‍ර ලබාගත යුතුය.  


එතැනින් අවසර ලබාගෙන අප පිටත් වූයේ ලංකාවේ තෙවන විශාලතම කන්ද පා ගමනින් තරණය කිරීමටය. එය තොටුපොළ කන්ද විය. කන්දට ඇතුළු වීමට තිබූ පඩිපෙළ අසල මාර්ගයේම යතුරුපැදි නවතා අපි කැලයට ඇතුළු වුණෙමු. තොටුපොළ කන්ද මුදුනටම යා හැකි ලෙස ඉතාමත් කුඩා අඩි පාරකි. ඒ දෙපස ගස් වැල් පිරී තිබෙන අතර බොහෝ තැන්වලදී මාර්ගය එළිපෙහෙළි කරගෙනම යාමට අපට සිදුවිය. මෙම කැලය නිතරම මීදුමෙන් වැසී තිබෙන අතර තෙත් සහිත පොළවක් තිබෙන මුත් කූඩැල්ලන් මෙම පරිසර පද්ධතිය තුළ දක්නට නොලැබේ. නමුදු විවිධ විශේෂයෙන් යුත් විශාල දළඹුවන් මෙහි දක්නට ලැබේ. සමහර තැන්වල ගුහාවල් ලෙස තැනුණු විශාල ගස් මගින් උඩු වියනක් ලෙස සෑදුණු ස්ථාන කිහිපයක් තිබේ. එහිදී අප ඉතා අවධානයෙන්  යා යුතු මාර්ගය තෝරාගත යුතුය. විටෙක අපට නැමී ගමන් කිරීමටද සිදුවිය. කෙසේ හෝ පැය භාගයක ගමනකින් පසු අප කිලෝමීටරයක පමණ දුරක් ආ බව දැනුණි.  


ඒ මන්ද යත් කන්ද තරණය කරමින් ඉහළට යන අතරතුර එහි වූ පරිසරය පුරාම තිබුණු ගස් අපගේ ඉණ පමණට උස්වූ ඒවා විය. නමුදු අපට දෘශ්‍යමාන වූයේ අප සිටින තැන සිට අඩි 30 ක පමණ දුර පමණි. මන්ද ගුවනත සේම දසත පරිසරයම ඝන මීදුමින් තිබුණු හෙයිනි. ඇත්ත වශයෙන්ම මෙම කන්ද ඉතා සුන්දර පරිසර පද්ධතියකට හිමිකම් කියයි. මෙසේ අපි තවත් කඳු මුදුනට ගමන් කළෙමු. එහිදී උස තැනිතලා බිමකට අප ආ අතර එහි සුළු වේලාවක් විවේකීව හිඳ නැවතත් කඳු මුදුනට ගමන් කළෙමු. මෙහි උසම ස්ථානයට අප පැමිණි බව දැනුණේ මෙතැන් සිට ඉදිරියට ඇති මාර්ගය පහළට බෑවුම් වන්නක් වූ නිසාය. එහෙයින් කිලෝමීටර් 02 ක් පමණ ගමනකින් පසු අපි ලංකාවේ තුන්වන උසම කන්ද වන මීටර 2359 ක් උස තොටුපළ කන්ද මුදුනට පැමිණියෙමු. පසුව අපි නැවතත් ආ මග ඔස්සේම කන්ද බැසීමට සූදානම් වීමු. ඒ එන අතරමග යම් යම් ස්ථානවලදී අපට ඈතින් පෙනෙන කඳු දක්නට ලැබුණි. ලංකාවේ උසින් දෙවන තැන ගන්නා කිරිගල්පොත්ත කන්දත් මෙම අඩවියේ පිහිටා තිබේ.  


 දහවල් 1.00 වන විට අපි තොටුපළ කන්ද පාමුලට නොහොත් අපගේ යතුරුපැදි ඇති ස්ථානයට ආවෙමු. පසුව අපි ලෝකාන්තය නැරඹීමට පිටත් වුනෙමු. අප ආ මගේම කිලෝමීටර් 2 ක් පමණ ගිය විට අපට රථ ගාල හමුවේ. එහි අපගේ යතුරුපැදි නවතා ආහාර ගෙන ​ෙලා්කාන්තය, බේකර්ස් ඇල්ල බැලීමට පිටත් වුනෙමු. එහිදී අපට අවසන් වනජීවි මුරපොළ හමුවන අතර එහිදී අපගේ ප්‍රවේශ පත්‍ර හා ගමන් මලු පරික්ෂා කෙරිණ. ප්ලාස්ටික්, ​ෙපාලිතින් හෝ එවැනි කිසිම ද්‍රව්‍යයක් රැගෙන යාමට අපට අවසර නොලැබේ.  
ජෛව විවිධත්වය අතින් ඉතා වැදගත් අඩවියක් වන මෙහි විවිධ වූ ශාක වර්ග හා සත්ව වර්ග ඇති අතර වාර්ෂිකව මි.ලී. 2500 ක පමණ වර්ෂා පතනයක්ද, අධික ශීතල කාලවලාදී මල් තුහින පතිත වීමක්ද සිදුවේ. ලෝකාන්තය නම් මහා ප්‍රපාතය මෙහි කෙළවරක පිහිටා තිබෙන අතර අග්‍රා ඔය, බෙලිහුල්ඔය හා බගවන්තලා ඔය ආදී ගංගාවල ආරම්භය ද මෙහි වේ.  

හෝටන් තැන්න

 


අවසන් මුරපළේ සිට මීටර 700 ක් පමණ ආපසු මාර්ගය දෙපසට බෙදේ. පරිසරයේ කිසිදු විශාල ගසක් පිහිටා නැති අතර ඈතට විහිදුණු තැනිතලා භූමියක් තිබේ. මාර්ගය දෙපසට බෙදෙන තැනින් අපට කැමැති මාර්ගයක ගමන් කළ හැකිය. මන්ද මෙම ගමන වෘන්තාකාර මාර්ගයක සිදුකෙරේ. අවශ්‍ය නම් අපට කුඩා ලෝකාන්තය, ලෝකාන්තය හා බේකර්ස් ඇල්ල ද නැත්නම් බේකර්ස් ඇල්ල ලෝකාන්තය හා කුඩා ලෝකාන්තය බලාද පැමිණිය හැක. කෙසේ නමුත් මෙම මුළු ගමනේ දුර කිලෝ මීටර 8 කි. මාර්ගය, වැලි, පස්, ගල් පිරුණු තරමක් ලෙහෙසි මාර්ගයකි. ප්‍රථමයෙන් කුඩා ලෝකාන්තය බැලීමට අපි පිටත් වුණෙමු. අද දින කාලගුණය නම් බොහෝ දුරට යහපත්ය. මන්ද අවට පරිසරය ඉතා පැහැදිලිව අපට දක්නට ලැබේ. මීටර 500 ක පමණ දුර ගිය විට අඩිපාර කැලයක් තුළින් දිවෙයි. එහිදී කිලෝමීටර් 2 ක් පමණ ගිය විට අපට කුඩා ලෝකාන්තයට ළඟා විය හැකිය. එය ඉතාමත් විචිත්‍ර වූ ස්ථානයකි. මන්ද යන්තම් හෝ පය ලිස්සුවහොත් අප කෙළවරක් නොපෙනෙන ප්‍රපාතයට වැටෙන හෙයිනි.  


 මෙහිදී අපට බිම දිගා වී කෙළවරටම ළං විය හැකි අතර එතරම් ඉඩ ප්‍රමාණයක්​ නොමැති හෙයින් පරිස්සම් වීම ඉතා වැදගත්ය. හෝර්ටන්තැන්න නැතහොත් මහඑළිය, ගෝනතැන්න නම් මෙම ප්‍රදේශය ලෝක ප්‍රකට ස්ථානයක් වන නමුදු තවමත් මෙහි පැමිණ නැති තරුණ තරුණියෝ බොහෝමයක් ලංකාවේ වෙසෙති. මෙම ගමන යාමේදී ප්‍රමාණවත් තරම් ජලය රැගෙන යාම අත්‍යවශ්‍ය වේ. කුඩා ලෝකාන්තයෙන් පිටත්ව අපි මහ ලෝකාන්තය නැතහොත් ලෝකාන්තය නම් සුප්‍රසිද්ධ ස්ථානය කරා ගමන් කළෙමු.

 

නුවරඑළියට යන මාර්ගය  

 


ලෝකාන්තය යනු විශාල ප්‍රපාතයකි. නමුත් හුදෙක් කන්දක් මුදුනට ගොස් පහළ බලනවාට වඩා වෙනස් වූ ක්‍රියාවකි. මන්ද ලෝකාන්තය යනු නුවරඑළිය දිස්ත්‍රික්කයට අයත් සම්පතක් වන අතර එහි සිට පහළ බැලූ විට පෙනෙන පෙදෙස බළංගොඩ අවට නොහොත් රත්නපුර දිස්ත්‍රික්කය වේ. ලෝකාන්තය යනු එක එල්ලේම කෙළවර නොපෙනෙන ප්‍රපාතයකි. විවධ වූ ශාක වර්ග, මල් වර්ගවලින් පිරී තිබේ. ඈතින් සුවිසල් කඳු නැගී සිටින අතර ඒවා නිතරම මීදුමින් වෙළා ගෙන සිටී. එක් පසෙකින් මහරත්මල් ශාක පිරී තිබෙන අතර අනෙක් පසින් රූස්ස ගස් හා තවත් අලංකාර පුෂ්ඵ වලින් සමන්විතව තිබේ. ලෝකාන්තය අසල සිට එක එල්ලේ පහළ බැලිය හැකි අතර එවැනි සුන්දර දසුන් තව නැතැයි සිතෙන තරමට එය ඉතාමත් විචිත්‍ර දර්ශනයකින් යුතු වේ. තෙත් කලාපීය ජෛව විවිධත්වයෙන් යුත් පරිසර පද්ධතියකින් සමන්විත හෝර්ටන් තැන්න වන පියස සැබැවින්ම මිහිබට පාරාදීසයක් බඳු සුන්දර ස්ථානයකි. ලෝකාන්තය නරඹා ඊළඟට මාර්ගය දිවයන්නේ බේකර්ස් ඇල්ල නම් සොඳුරු දියඇල්ල කරාය.  


 මෙම මාර්ගය කඳු වළල්ලක් වටෙන් දිවෙන කුඩා මාර්ගයකි. ඉණ ප්‍රමාණයට වැවුණු තණ කොළ වර්ග හා පන් වර්ග ආදී ශාක මෙහි තිබේ. එසේම විශාල ගෝනුන් හා මුවන් මෙම පරිසරය තූළ වෙසෙන බව දුටිමු. මෙම මාර්ගයේ කිලෝමීටර් 1/2 පමණ ගමන් කරන විට අපට ලෝකාන්තය නම් ස්ථානයට පැමිණිය හැකිය. යන්තම් විනාඩි කිහිපයකට මහා ප්‍රපාතය පාමුල අපට පෙනුණු අතර ඈතින් ඇදෙන මීදුම් සළු මේ ප්‍රපාතය කොයි මොහොතේ වසාගනී දැයි අපි බලා සිටියෙමු. සිතාගත නොහැක. ක්ෂණයෙන් මුළු ප්‍රපාතයම ඝන මීදුමින් වැසුණි. අවට පරිසරයත්, ගහකොළත් සම්පූර්ණයෙන්ම වැසී ගිය අතර අප යායුතු මාර්ගයද මීදුමින් වැසී ගියේය. එබැවින් සුළු වේලාවක් මෙහි රැඳී සිට මීදුම පහවූ විගස අපි අපගේ ගමන ඇරඹුවෙමු. මෙම කිලෝමීටර් 8 දිවයන්නේ කඳු කිහිපයක් අතරිනි. අපට තැනිතලා භූමියට යාමට අවසර නැති අතර එය අපගේ ආරක්ෂාවට වඩාත් වැදගත් වන්නේ මෙහි විවිධ සතුන් වාසය කරන බැවිනි. තව කඳු 2ක් පසු කරමින් අපි වනාන්තරයක් තුළින් ඉදිරියට ඇදුණෙමු.  

තොටුපළ කන්දේ පාමුළ ඇතිදැන්වීම් පුවරුව

 


 මෙම කැලය තරමක් විශේෂිතය. මන්ද ගල් විශාල ප්‍රමාණයක් තිබෙන නමුදු ගස් අතරින් අපට බොහෝ දුරක් පෙනේ. ඒ මන්ද යත් කුඩා ශාක බහුලව නොමැති බැවිනි. මෙම කැලය තුළ එක් පසෙක වැසිකිළි පද්ධතියක් සාදා තිබෙන අතර මාර්ගයේ ටික දුරක් ගමන් කළ විට තරමක් බෑවුමක් සහිත මාර්ගයක් හමුවෙයි. එම මාර්ගයේ ටික දුරක් ගමන් කළ විට අපට ඉතාමත් සුන්දර වූ බේකර්ස් ඇල්ල හමුවේ. බේකර්ස් ඇල්ල මීටර 25 පමණ උස් වූ ඇල්ලක් වන අතර එය ඉතාමත් පළල් වූ ගල් තලාවක් මතින් එක හා සමාන ජල කඳක් පහළට යන දිය ඇල්ලකි. පැති 2 ට දිවෙන මෙම ඇල්ලේ සම්පූර්ණ ඡායාරූපයක් ගැනීමට නොහැක. මන්ද අප සිටින තැන සදළුතලයක් වැනි ස්ථානයට ඇල්ලේ පහළට ගිය විට පෙනෙන කොටස නොපෙනේ. එ් තරම් වපසරියක් ඡායාරූගත කිරීම අසීරුය. මන්ද එසේ නම් අප ඉහළ ස්ථානයකට (ගසකට) යා යුතුය. කෙසේ හෝ අපි ඇල්ල පහළට ගොස් ගලා යන ජලයෙන් ගත තෙමා ගත්තෙමු. පහළ සිට බලන කල මෙම ඇල්ලේ සුන්දරත්වය වඩ වඩාත් සුපැහැදිලිව දැකගත හැකිය. තවද මෙම ඇල්ලට අනෙක් පසින් තිබෙන වනාන්තරය මගින්ද ඇල්ල මත පිහිටි විශාල ගල් තලා මගින්ද මෙම දිය ඇල්ලට වෙනස් වූ සුන්දරත්වයක් ලබා දේ. බේකර්ස් ඇල්ලේ දිය නෑම තරමක අසීරුදායක වන අතර වරකට 30 දෙනෙකුට පමණ ඇල්ලට සමීපව සිටිය හැකිය.  


කෙසේ හෝ එතැනින් පිටත්ව අපි නැවතත් ගමනාරම්භක ස්ථානයට ගමන් කළෙමු. මෙතැන් සිට ඇතුළුවීමේ ස්ථානයට කි.මී. 4 ක් පමණ දුර වේ. නමුත් එතරම් දුරක් ගමන් කරන බව අපට නොහැ​ෙඟ්. ඒ මන්ද යත් තබන සෑම පියවරක් පාසාම සේම අප දකින සෑම දෙයකින්ම අපගේ ගමන් විඩාව මැකී යන දසුන් මැවීමයි. මෙම මාර්ගයේ ගමන් කරන විට අපට වැවක් දක්නට ලැබේ. එහිද ඉතා කුඩා දියඇල්ලක් ඇති අතර එහි පරිසරය අතිශය සුන්දර වූත් ඡායාරූප ගත කිරීමට යෝග්‍ය ස්ථානයකි. එම වැව අසලින් ගමන් කර නැවතත් සුපුරුදු මාවතට පිවිසිය හැකිය. මෙම මාර්ගය දෙපස උරහිස තරම් උසට පස්කඳු පිහිටා තිබේ. එනම් පවතින කන්ද මැදින් කැපූ පාරක ගමන් කිරීමට අපට හැකියාව ලැබේ. සැබැවින්ම කි.මී. 8 ක් දුර ගිය බව අපගේ දෙපාවලට සුළුවෙන්වත් නොදැනුණි. මන්ද විස්මිත පරිසර පද්ධතියක් මෙහි තිබෙන බැවිනි.  

බේකර්ස් දියඇල්ල

 


 නැවතත් අපි මාර්ගය දෙකට බෙදුණු මෙහි සිතියම් පවතින ස්ථානය කරා ආවෙමු. සාමාන්‍යයෙන් සවස 6 න් පසු මෙම ප්‍රදේශයට ඇතුළු විය නොහැකි අතර සවස 6 වන විට පිටවීමේ ස්ථානයට නරඹන්නන් පැමිණීම වඩාත් ආරක්ෂාකාරීය. කෙසේ හෝ පැය 3 කට අධික කාලයක් අපි මෙම ප්‍රදේශයේ ගමන් කළෙමු. එපමණ වේලාවක් පුරා අපි පරිසරයේ සුන්දරත්වය හොඳ හැටි විඳගත්තෙමු. මේ වන විට වේලාව සවස 5 ට කිට්ටු වී තිබුණි. අද දිනයේ අප​ෙග් නවාතැන වන්නේ බණ්ඩාරවෙලය. බණ්ඩාරවෙල නගරයට මෙතැන් සිට කි.මී. 55 පමණ දුරය. කෙසේ නමුත් අපි හොඳ හැටි කා බී සවස 6 පමණ වන විට ලෝකාන්තයේ ඔහිය දෙසට තිබෙන මාර්ගයට පිවිසියෙමු. මේ වන විට අහස තරමක් අඳුරු වී තිබුණු අතර නරඹන්නන් සිටියේ ඉතා සුළු පිරිසකි. ඒ සියල්ලෝම ලෝකාන්තයට ආ මාර්ගයේම පට්ටිපොළට ගමන් කරන පිරිසක් වූහ.  


 කෙසේ නමුත් සවස 6 පසුව ලෝකාන්තයේ සිට ඔහියට යන මාර්ගයේ මිනිසුන් ගමන් නොකරන බව අපට දැන ගන්නට ලැබුණි. ඒ කෙසේ නමුත් මෙම ගමන අපි තනිවම යාමට අදිටන් කර ගත්තෙමු. ක්‍රමයෙන් අපි ගමන් ආරම්භ කළ අතර යා හැකි වේගයෙන් මෙම මාර්ගයේ ගමන් කළෙමු. වරෙක විශාල ගෝන්නු පාර හරහා ගමන් කළහ. එය අපව තරමක් බිය ගැන්වූ දසුනක් වූයේ අඳුරේ අපට ඉදිරිපස තැනිතලාව හෝ සතකුදු නොපෙනෙන හෙයිනි. එම නිසා අප ගමන් කළේ දැඩි අවධානයෙනි. කි.මී. 2 පමණ ගමන් කළ විට අපට කිසිවෙකුත් නොමැති මෙම මාර්ගයේ තිබෙන අවසන් හා එකම වනජීවි කාර්යාලය හා ප්‍රවේශ පත්‍ර ගන්නා ස්ථානය හමුවිය. එතැන් සිට ඔහියට කි.මී. 20 පමණ දුරක් තිබේ. එතැන් සිට මාර්ගය තනිකරම ඝන කැලයක් මැදින් දිවෙන අතර බොහෝ වළවල් පිරුණු අතිශය අවදානම් සහිත මාර්ගයක් බවට අපට දැනෙන්නට වැඩි වේලාවක් ගතවූයේ නැත. මේ වන විට අප කියාගත නොහැකි අධික ශීතලකින් යුක්ත විය. විටෙක ගියර් පවා දැමිය නොහැකි තරමට ශීතල දැඩි විය. ප්‍රධාන විදුලි පහන මගින් ලැබෙන ආලෝකය පමණක් අපට තිබුණු අතර එය මෙම කෑලි කැපෙන ඝණඳුර දුරලීමට ප්‍රමාණවත් නොවීය.  

පිදුරුතලාගල සිට නුවරඑළිය පෙෙනන අයුරු

 


 සැබැවින්ම අප මේ ගමන් කරන්නේ අපගේ ජීවිත​ෙය් අතිශය සුන්දර වූත් අවදානම් වූත් ගමනකි. මන්ද මෙය පල්ලමක් බසින්නාක් වැනි වූ දැඩි වංගු සහිත හා ඒ දෙපස තිබෙන මහා රූස්ස ගස්වලින් වැසුණු අඳුරු ප්‍රපාතයක් සහිත මාර්ගයක් වූ හෙයිනි. කී.මී. 10 ක් ගිය පසු මංසන්ධියකි. මෙම මංසන්ධියේ බිම ‘උඩවේරිය’ කියා විශාල ප්‍රමාණයේ නමක් තිබුණු අතර එය දකුණට තිබෙන මාර්ගයේ යන ගමක් බැව් අපට හැඟුණි. මන්ද අප ආ මාර්ගයේ රෝද සලකුණු හා තාර පිහිටා තිබූ ආකාරය හොඳින් නිරීක්ෂණය කළ විට අප යා යුත්තේ වම් පසට දිවෙන මාර්ගයේ බව අපට හැඟුණි. එම නිසා අපි ඔහිය බලා නැවත පිටත් වුණෙමු. මෙම මාර්ගයේ තිබෙන බෝක්කු දෙපසද කිසිදු ආධාරකයක් නැත. එසේම මාර්ගයේ වංගු තිබෙන අයුරුද තරමක් වෙනස්ය. මේ වන විට වේලාව රාත්‍රී 8 ට පමණ විය. ක්‍රමයෙන් අපට ඈතින් විදුලි එළි දක්නට ලැබුණි. ඊට ටික දුරක් ගිය පසු අපට ඔහිය දුම්රියපොළට ළඟා වීමට හැකි විය. මේ වන විට ඔහිය ග්‍රාමය මුළුමනින්ම වාගේ පාළුවට ගොසිනි. මන්ද මිදුමින් පිරුණු මෙම ප්‍රදේශයේ කිසිදු වෙළඳසලක් විවෘතව නොතිබිණි. අප එතැනින් පිටත්ව බොරලන්ද කරා ධාවනය කළෙමු. 8.30 පමණ වන විට බොරලන්ද නගරයට පිවිසියෙමු. මෙහි සිව්මංසලක් පවතින අතර වෙළඳසල් බොහොමයක් තිබුණි. නමුත් එම කිසිදු අලෙවි සැලක් විවෘතව නොතිබුණු අතර මුළු ටවුමටම සිටියේ මිනිසුන් 9 දෙනෙකු පමණි එහි වූ අයෙකුගෙන් අප යා යුතු මාර්ගය අසා ගත් අතර එතැන් සිට බණ්ඩාරවෙලට කි.මී. 30 ක් පමණ විය. බොරලන්දට අප ආ මාර්ගයේ දකුණට හැරී අපි හපුතලේ නගරය කරා ගමන් කළෙමු. මෙම මාර්ගය අප ආ මාර්ගය මෙන් දෙගුණයක් පළල මාර්ගයක් වූ නමුදු රථවාහන ගමනාගමනයක් මේ වේලාව වන විට නොතිබිණි. එම නිසා අපි ඉක්මනින් හපුතලේ නගරය කරා ගමන් කළෙමු.  
 ක්‍රමයෙන් රාත්‍රී 9.30 ට පමණ හපුතලේට කිට්ටුවත්ම අප ආ මාර්ගය සම්පූර්ණයෙන්ම වෙනස් වුණි. මන්ද මුළු මාර්ගයම වසා ගෙන පැතිරුණු ඝන මීදුම් තත්ත්වයක් ඇති වීමයි.  


මෙම ඝන මීදුම කොතරම් ප්‍රබල දැයි කිවහොත් මගේ පිටුපසින් යතුරු පැදියේ ආ සඟයාට මාගේ යතුරුපැදියේ විදුලිපහන්වල එළියද නො​ෙපනිණි. එසේම ඉදිරියට ඇති මාර්ගය කිසිසේත්ම අපට නොපෙනුණි. ශබ්දයට ඇහුම්කන් දෙමින් අපි මාර්ගයේ ඇතුළු පැත්තට වන්නට ගමන් කළෙමු. මෙම ඝන මීදුම් තත්ත්වය කි.මී. 2 ක් පමණ දුරකට පැතිරී තිබිණි.  

 

ලෝකාන්තය

 


 සැබැවින්ම එය අපට සිතාගත නොහැකි මීදුම් තත්ත්වයකි. කෙසේ හෝ විශාල තේ වතු මැදින් විශාල කඳු නගිමින් අපි ඇඩිෂන් බංගලාව පිහිටි ප්‍රදේශයට ළඟා වීමු. ඉන් කි.මී. 20 ට පසුව අපි හපුතලේ නගරයට සේන්දු වීමු. එතැනින් කෙළින්ම වමට හැරී බණ්ඩාරවෙල නගරයට අපි ගමන් කළෙමු. හපුතලේ සිට බණ්ඩාරවෙල නගරයට කි.මී. 11ක් පමණ වේ. මෙම මාර්ගය ඉතාම පහසු කාපට් මාර්ගයකි. මෙහිද අවට වෙළඳසල් කිසිවක් විවෘත කර නොතිබූ අතර මාර්ගයේ ආලෝකය හා රථවාහන යම් ප්‍රමාණයක් දක්නට ලැබුණි.  


අද දිනයේ අපගේ නවාතැන වූයෙ​් බණ්ඩාරවෙල නගරයට සේන්දු වීමට පෙර හමුවන දුම්රිය හරස් මාර්ගය පසුකර වමට වංගුව ගැනීමත් සමග දකුණට තිබෙන ‘සිඳුපිය නිල’ නම් සෙමනේරියයි. අප සිඳුපිය නිල නවාතැනට ළංවන විට රාත්‍රී 10 පමණ විය. අවට පරිසරය ඝණ අන්ධකාරයේ හා සීතලෙන් වෙළී තිබුණු අතර ඈතින් පිහිටි කඳු වළල්ල ඉතාමත් සුන්දර දසුනක් මවන තරු කැට මෙන් ගෙවල්වල තිබෙන විදුලිඑළිය දක්නට ලැබුණි.  

 

 සටහන හා ඡායාරූප  
ශමින්ද රන්ශාන් ප්‍රනාන්දු