පැහැරගෙන ගිය ව්‍යාපාරිකයා අධිවේගයේදී බේරාගත් හැටි


ව්‍යාපාරිකයා පැහැරගැනීමට පැමිණි වාහනය

 

 

අහංගම නගරයේ විශාල පිරිසක් ඒ වන විට ගනුදෙනු කරන්නට පැමිණ සිටියහ. ගත වූයේ නිමේෂයකි. ව්‍යාපාරිකයා වෙළෙඳ සැලෙන් එළියට ඇද වාහනයක දමාගෙන තිදෙනෙක් පවනට බඳු වේගයෙන් ඉගිළ ගියහ. බලා සිටියෝ ද තුෂ්නිම්භූතව සිටියහ. කරන්නට ඇත්තේ කුමක්ද? සිදුවූයේ කුමක්ද? කිසිවෙකුටත් අමතකය. 


ට්‍රීං....ට්‍රීං....ට්‍රීං.... ආදී වශයෙන් මේ අතර පොලිසියේ දුරකතනය නාද වෙන්නට විය.


‘‘මහත්මයා මේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදූව පොලිස් ස්ථානයද?’’  


ඔව්, ඔව්, කතා කරන්න.  


අහංගම නගරයේ බෑග් වෙළෙඳ‌ාම් කරන පුද්ගලයෙක් පැහැරගෙන ඉමදූව පැත්තට ආවා. සමහර විට හයිවේ එකෙන් යන්න හැකියි. වාහනයේ පාට ... කාර් එකක්.   
 හරි හරි අපි බලන්නම් යැයි මේ අනුව දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදූව පොලිස් මුරපොළේ ස්ථානාධිපති උ.පො.ප. සමන් කුමාර මහතාගේ දුරකතන ඇමතුම විසන්ධි කර ක්ෂණිකවම පොලිස් උපාය ඔස්සේ සැලසුමක් දියත් කර ඇත්තේ විනාඩියක්වත් ගතවෙන්නට පෙරය.   


 ඒ වෙන විටත් අහංගම පොලිස් ස්ථානාධිපති උපුල් වීරසේකර මහතාගේ උපදෙස් පරිදි අපරාධ විමර්ශන අංශයේ උපපොලිස් පරික්ෂක දර්ශන නානායක්කාර මහතා ඇතුළු නිලධාරි කණ්ඩායමක් විසින් ව්‍යාපාරිකයා පැහැරගත් වාහනය පසුපස ලුහුබඳින්නට වූයේ පැහැරගත් කණ්ඩායමට ද නොදැනෙන ආකාරයෙනි.   


 අහංගම නගරයෙන් ව්‍යාපාරිකයා පැහැරගෙන එන ආරංචිය අහංගම, හබරාදූව, ඉමදූව, කනංකේ, බෝගහගොඩ පොලිසි වෙතට ද වහා තොරතුරු දැනුම් දී තිබුණේ ඒ අතරතුරේය.   


දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදූව ඇතුළත් වීමේ දොරටුව අසල ද පොලිසිය හොර රහසේ නෙත් යොමා සිටියේ ව්‍යාපාරිකයා පැහැරගෙන යන කල්ලියට නොදැනෙන ආකාරයෙනි.   
අහංගම නගරයේ දී දෙනෝ දහසක් බලා සිටිය දී බියවද්ද‌ා බලහත්කාරයෙන් වාහනයකට නංවාගත් ව්‍යාපාරිකයා රැගත් වාහනය අධිවේගයෙන් ඉගිළ යන්ට හැකි යැයි පැහැරගත් කල්ලිය විශ්වාස කරන්නට ඇත.   


එවිට තම ඉලක්කය සපුරාගත හැකි යයි ඔවුන් සිතන්නට ඇත. නමුත් පොලිසියට වැලි ගසන්නට නොහැකි නිසා සියලුම පොලිස් ස්ථාන හොර රහසේ මාර්ග අසල සියල්ලම සූද‌ානමින් සිටියේ ව්‍යාපාරිකයා පැහැරගෙන කුමන කවර පාරක ආවත් අත්අඩංගුවට ගත හැකි ආකාරයේ පෙර සූද‌ානමකිනි. ඒ සඳහා රහසිගතව වාහනවල පොලිස් නිලධාරීහු නංවාගෙන අවි ද ඇතිව සූද‌ානමින් සිටියහ. මද වේගයෙන් යන්ට අකමැති වූ ව්‍යාපාරිකයා පැහැරගත් කල්ලිය අධිවේගයෙන් යන්නට ගොස් පොලිසියට කොටුවෙන්නේ මේ අතරතුර දීය.   


මේ පිරිස අධිවේගී මාර්ගයේ ඉමදූවෙන් කොළඹට ඇතුළු වීමට තැත් කිරීමේ දී පො.කො. 82024 ඉඳුනිල්, පො.කො. 89446 චතුරංග යන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා ​අහංගම පොලිස් ස්ථානයට භාර දී ඇත.   


පැහැරගෙන යාමට ලක්ව ඇත්තේ අහංගම නගරයේ බෑග් ව්‍යාපාරිකයෙකු වූ හංවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.   


පරීක්ෂණවල දී අනාවරණය වී ඇත්තේ මෙම පැහැර ගැනීම මුදල් ආරාවුලක් මත සිදුව ඇති බවය. ව්‍යාපාරිකයා හංවැල්ල ප්‍රදේශයේ සිටිය දී සැකකරුවන් ඇතුළු තවත් අයගෙන් විශාල ණය ලබාගෙන ඒවා පැහැර හැර අහංගම ප්‍රදේශයේ සැඟවී සිටිය දී සැකකරුවන් පැමිණ මෙසේ පැහැරගෙන යාමට උත්සාහ කර ඇති බවත් මෙම ව්‍යාපාරිකයාට විරුද්ධව හංවැල්ල පොලිසියේ ද පැමිණිලි තිබෙන බවත් අනාවරණය වී තිබේ.   


එම පැමිණිලි අනුව ලක්ෂ අසූවකට වඩා ණය තිබෙන බවත් ඒවා ගෙවා ගැනීමට නොහැකිව මෙසේ අහංගම නගරයට පැමිණ බෑග් වෙ​ෙළඳ සලක් පවත්වාගෙන යමින් සිටින බවට තොරතුරු ලැබීමෙන් පසු සැකකරුවන් පැමිණ ඔහු පැහැරගෙන යමින් සිටි බවත් වැඩිදුරටත් අනාවරණය වී තිබේ.   


පැහැරගත් ව්‍යාපාරිකයා මෙයට පෙර ජීවත්ව සිට ඇත්තේ රිටිගහහේන මාවත, පාදුක්ක යන ප්‍රදේශයේය. හෙතෙම බෑග් විකුණන වෙළෙඳ සලක් පවත්වාගෙන ගොස් ඇත්තේ සිය බිරිඳ සමඟයි.   


මේ අනුව ව්‍යාපාරයෙන් පාඩු වීම නිසා හෙතෙම දිගින් දිගටම විවිධ පුද්ගලයන්ගෙන් පොලියට ණය මුදල් ගෙන ඇත. මේ ආකාරයට කිහිප දෙනෙකුගෙන්ම පොලියට ණය ලබාගෙන ඇත. මේ සියල්ලටම පොලු තියමින් හංවැල්ලේ ව්‍යාපාරිකයා ගාල්ල ඉමදූව නගරයට සිය බිරිඳ සමඟ පැමිණ පසුව අහංගම නගරයේ බෑග් වෙළෙඳ සලක් පවත්වාගෙන ගොස් ඇත්තේ කාටවත් අසුනොවේය යන බිය මතයි.   


ව්‍යාපාරිකයා පැහැරගත් තිදෙනාගේ රුපියල් ලක්ෂ 37 ක මුදලක් ණයට ගෙන ගෙවන්නේ නැතුව මේ පුද්ගලයා කට්ටි පනිමින් සිට අවසානයේ දී ගෙවල් දොරවල් ද අතහැර හොර රහසේම ගාල්ල, ඉමදූවට පැමිණ පසුව අහංගම නගරයේ වෙළෙඳසලක් පවත්වාගෙන ගොස් ඇත.   

 

පො.කො 82024 ඉඳුනිල් 
පො.කො 89446 චතුරංග

 


 ඒ වනවිට ව්‍යාපාරිකයාගේ සන්තකයේ තිබී ඇත්තේ රුපියල් ලක්ෂ දෙකක් පමණි. ඒ මුදලින් මෙම ව්‍යාපාරය පවත්වාගෙන ගොස් ඇත. හංවැල්ලේ ව්‍යාපාරිකයා කාටත් පොලු තියා අස්ථානගතව සිටින ඉසව්ව සොයා ණයට මුදල් දුන් අය ලංකාව පුරා පීර පීරා සොයන්නට වූහ. අවසානයේ දී දැනගත හැකිව ඇත්තේ ගාල්ල අහංගම නගරයේ වෙළෙඳ සලක් පවත්වාගෙන යන බවයි. මේ අනුව පොලියට ණය මුදල් ව්‍යාපාරිකයාට ලබා දුන් පිරිස අතරින් තිදෙනෙක් පසුගිය 15 වැනි දින මේ පුද්ගලයා පැහැරගෙන ගොස් ඇත.  
එහිදී අහංගම හා ඉමදූව දක්ෂිණ අධිවේගී මාර්ගයේ දී මෙම ව්‍යාපාරිකයා පැහැරගෙන යමින් සිටිය දී පැහැරගත් පුද්ගලයන් තිදෙනා සමඟ ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගත්හ.  
පැහැරගත් පුද්ගලයන් පොලිසියට කියා ඇත්තේ තම මුදල් ලබා නොදී පැනගොස් සිටින ව්‍යාපාරිකයා අල්ලාගෙන පොලිසියට භාර දෙන්නට පැහැරගෙන ගිය බවයි.  
නමුත් එසේ පැහැරගෙන යන්ට කිසිදු පුද්ගලයකුට නොහැකිය. නීතියක් නොමැත. එසේ සිදුකරන්​නේ නම් පොලිසිය සමඟ පැමිණ නීතිය අනුව අත්අඩංගුවට ගත හැකි නමුත් පුද්ගලයකු පැහැරගෙන යන්නට සාමාන්‍ය ජනතාවට ඉඩක් නැත. නීතියක් අවසරයක් නැත.  


කෙසේ නමුත් හංවැල්ල පොලිසියේ ද ව්‍යාපාරිකයා ණය ගෙන ණය නොගෙවා පැනගොස් සිටින බවට ද පැමිණිලි රැසක්ම සටහන් කර ඇති බව ද පොලිස් බුද්ධි තොරතුරු අනාවරණය කළේය.  


අංහගම පොලිස් ස්ථානාධිපති උපුල් වීරසේකර මහතාගේ උපදෙස් පරිදි අපරාධ විමර්ශන අංශයේ උපපොලිස් පරික්ෂක දර්ශන නානායක්කාර මහතා ඇතුළු නිලධාරි කණ්ඩායමක් විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලැබේ. සැකකරුවන් 16 දින ගාල්ල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 29 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළහ.

 

 


සටහන හා ඡායාරූප 
හබරාදූව නිමල් අල්ගෙවත්ත