පාසලේ දක්ෂ දැරියක් පැහැරගන්න හැදූ ‘ඊර්ෂ්‍යාව’


 

 

  •  සමාජයේ සදාචාර ධර්මයන්ගේ පිරිහීමේ ගැඹුර අපට වටහා දෙන මෙවැනි සිදුවීම් දවසින් දවසම අසන්නට ලැබීම කෙතරම් ඛේදජනකද? හැමෝම තම තමන්ගේ ආගමේ වටිනාකම ගැන කතා කරති. එයට ලාංකීය සමාජයේ හිමිවිය යුතු ස්ථානය ගැන කතා කරති. ආගම රැකගැනීම ගැන කතා කරති. අන්‍යාගමිකයන්ගෙන් තමන්ගේ ආගමට සිදුවන බලපෑම් ගැන කතා කරති. එහෙත් කිසිවෙක් ඒ ඒ ආගම්වලින් කියැවෙන යහපත් ගුණාංගයන් අනුව තම තමන්ගේ ජීවිත හැඩ ගස්වා ගන්නේ කෙසේදැයි කතා නොකරති. 

 

කළුතර නාගොඩ රෝහලේ වෛද්‍ය යුවළකගේ අට හැවිරිදි දියණිය පැහැරගෙන ගොස් කෝටි දහයක කප්පමක් ඉල්ලීමට සැලසුම් කර තිබියදී පොලිසියට ලැබුණු තොරතුරක් මත එය ව්‍යර්ථ කිරීමේ පුවතක් පසුගියදා වාර්තා විය.   


 මෙවැනි කාර්යයකට සැකකරුවන් පෙළඹී තිබෙන්නේ එම දරුවා ඉගෙනීමට දක්ෂවීමත් ඇයට පාසලේ ගුරුවරුන්ගේ වැඩි සැළකිල්ලක් හිමිවීමත් තමන්ගේ දරුවාද දක්ෂ වෙන නමුත් එවැනි සැලකිල්ලක් නොලැබීමත් නිසා ඇති වූ ඊර්ෂ්‍යා සහගත සිතුවිල්ලක් නිසාය.   


 සිද්ධියට පදනම් වූ සිසුවිය කළුතර නාගොඩ ජාත්‍යන්තර පාසලක සිව්වැනි වසරේ ඉගෙනුම ලබන්නියකි. ඇගේ දෙමාපියෝ කළුතර නාගොඩ රෝහලේ වෛද්‍යවරු වෙති. ඇය දක්ෂ දැරියක් වූ අතර පාසලේ ත්‍යාග ප්‍රදානෝත්සවවලදී තෑගි හා සහතික කීපයකටම හිමිකම් කියන නිසාම දෙමාපියන් බොහෝ දෙනා අතරද අැය ප්‍රසිද්ධය. ඇතැමෙන් ඇයට ආදරය කළද වැඩි දෙනෙක් ඇගේ දක්ෂතාව ගැන කතා කරමින් කළේ තමන්ගේ දරුවාට බැණ වැදීමය. ඇය ගැන ඇතැමුන් කරන වර්ණනාවලද තිබුණේ සියුම් ඊර්ෂ්‍යාවකි. ඒ ඊර්ෂ්‍යාව වැඩි වන්නේ ගුරුවරුද ඇය කෙරෙහිම වැඩි අවධානය යොමු කිරීම නිසාය. 

 
 මේ පැහැර ගැනීම සැලසුම් කළ පුද්ගලයන් දේවාලයක කපු මහතෙක් හා ඔහුගේ බිරිඳ බව පොලිසිය සිදුකළ පරීක්ෂණවලදී අනාවරණය විය. ඔහුගේ දියණියද ඉගෙනුම ලබන්නේ පෙරකී දැරියගේ පංතියේ බවට ද තොරතුරු වාර්තාවේ. ඇයද දක්ෂ දරුවෙක් වුවද ගුරුවරු වැඩියෙන් සළකන්නේ වෛද්‍ය යුවළගේ දියණියට වීම නිසා කපු යුවළ සිටියේ කණස්සල්ලෙනි. ඔවුන්ට අවශ්‍ය වුයේ වෛද්‍ය යුවළටත් දැරියටත් පාඩමක් ඉගැන්වීමටය. ඒ අනුව දීර්ඝ කාලයක් කල්පනා කිරීමෙන් පසු දැරිය පැහැරගෙන ගොස් කෝටි දහයක කප්පමක් ඉල්ලා වෛද්‍ය යුවළ හා දැරියද මානසිකව වැට්ටීමටය. එයින් නොනැවතී තමන් හෙළිදරව්වීම වළක්වා ගැනීමට, පසුව දැරිය ඝාතනය කිරීමේ සැලසුමක්ද ඔවුන් සතුව තිබු බවට පොලිසිය සැක කරති.   


 ඒ සඳහා ඔවුන් තවත් තිදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සොයා ගත්හ. හදිසි අවශ්‍යතාවක් වුවහොත් භාවිත කිරීමට ආයුධද සොයා ගත්හ. පැහැර ගැනීම පොලිසිය මුවාවෙන් කරන්නට සැලසුම් කළ ඔවුහු පොලිස් නිලඇඳුම්ද සුදානම් කර ගත්හ. පැහැරගෙන ගොස් සඟවා තබා ගැනීමට ස්ථානද සූදානම් කර ගත්හ. කපු මහතා පොලිස් නිල ඇඳුම් ඇඳ සිට සෙල්ෆි ඡායාරූපයක්ද ගත්තේ මහත් උජාරුවෙනි. අවසානයේ ඔවුන්ට අවස්ථා එළැඹින.   


 දැරියගේ පියා පෞද්ගලික අවශ්‍යතාවක් වෙනුවෙන් ටික දිනකට විදේශ ගත විය. ඔහු විදේශ ගතව සිටින කාලය තුළ දැරියගේ මවද රෝහලේ සේවය කරන්නියක නිසා දැරියගේ ආරක්ෂාව යම් තරමකට බිඳ වැටෙන බව උපකල්පනය කළ කුමන්ත්‍රණකරුවෝ දැරිය පැහැර ගැනීමට ලහි ලහියේ සූදානම් වූහ. ඔවුන්ගේ මේ සුදානම් පිළිබඳව කොන්ත්‍රාත්තුව භාරගත් පුද්ගලයාගේ නිවසේ සේවය කළ අයෙකුගේ කණ වැටිණ. ඔහු ඒ ගැන වහාම පොලිසියේ තමන්ගේ හිතවතෙකු දැනුවත් කළේ අපරාධයක් වළක්වාගැනීමේ අභිප්‍රායෙනි.   
 ඔහුගේ අභිලාෂය ඉටුවිය. වහාම ක්‍රියාත්මක වූ පොලිසිය සැකකරුගේ නිවස පරික්ෂා කළේය. සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමෙන් පසු ඔවුන්ට කොන්ත්‍රාත්තුව භාරදුන් කපු මහතා හා ඔහුගේ බිරිඳ ගැන හෙළිදරව් කරගත හැකිවිය. ඒ අනුව ඔවුන් දෙදෙනාද අත්අඩංගුවට ගනු ලැබිණ. මේ සිදුවීමට සම්බන්ධ කරගැනීමට සැලසුම් කළ තවත් කීප දෙනෙක් පිළිබඳව හෙළිදරව් කරගත් පොලිසිය ඔවුන්ගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන මුදාහරිනු ලැබීය. කපු මහතා සහ ඔහුගෙන් අපරාධය කිරීමට උපදෙස් ලද කණ්ඩායමේ ප්‍රධානියා පමණක් පසුගිය 21 වැනිදා අත්අඩංගුවට ගෙන කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීමෙන් පසු ඔක්තෝබර් 02 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කෙරින.   


 සමාජයේ සදාචාර ධර්මයන්ගේ පිරිහීමේ ගැඹුර අපට වටහා දෙන මෙවැනි සිදුවීම් දවසින් දවසම අසන්නට ලැබීම කෙතරම් ඛේදජනකද? හැමෝම තම තමන්ගේ ආගමේ වටිනාකම ගැන කතා කරති. එයට ලාංකීය සමාජයේ හිමිවිය යුතු ස්ථානය ගැන කතා කරති. ආගම රැකගැනීම ගැන කතා කරති. අන්‍යාගමිකයන්ගෙන් තමන්ගේ ආගමට සිදුවන බලපෑම් ගැන කතා කරති. එහෙත් කිසිවෙක් ඒ ඒ ආගම්වලින් කියැවෙන යහපත් ගුණාංගයන් අනුව තම තමන්ගේ ජීවිත හැඩ ගස්වා ගන්නේ කෙසේදැයි කතා නොකරති. මේ සිංහල බෞද්ධ රටක් යැයි උදම් අනන්නවුන් අනෙකාට මෛත්‍රීය, කරුණාව දක්වන්නට උත්සාහ නොකරති. සියල්ල පිරිහී යන සමාජයේ ආගමත් අද දේශපාලනීකරණය වීම නිසා හොඳ නරක දේශපාලනය අනුව තීරණය කරන තත්ත්වයට පවා බොහෝ ආගමික නායකයෝ පෙළඹී ඇත.   


 එවන් සමාජයක සාමාන්‍ය ජනතාව අතර ඊර්ෂ්‍යාව, ක්‍රෝධය වෛරය ඇතිවීම, ඒ අනුව අනෙකාගෙන් පළිගැනීමට, ඔවුන්ට රිදවීමට ක්‍රම සෙවීමේ, පෙළඹවීම් ඇතිවීම අරුමයක් නොවේ. එවැනි සමාජයක මානුෂීය බැඳීම් බිඳ වැටීම අරුමයක් නොවේ. ඇතැම් විට මේවා කෙළවර වෙන්නේ එකිනෙකා මරාගැනීමකින් වෙන්නටද හැකිය. එවැනි අත්දැකීම් කොතෙකුත් අපට දිනපතා අස්නනට ලැබේ.   


 ඉස්සර කාලේ අපට හිටියේ ඉස්කෝලේ හාමිනේලා, ඉස්කෝලේ මහත්තුරුය. පසුව ටීචර්ලාය. සර්ලාය. ඒ කාලේ මොන නමින් ආමන්ත්‍රණය කළද ඒ ගුරුවරු සැබෑ ලෙසම තමන්ගෙන් ඉගෙනුම ලබන දරුවන්ට පමණක් නොව සමාජයටම මග පෙන්වූ ගුරුවරු වූහ. දැන් ඉන්නේ සර්ලා, මැඩම්ලා හා මිස්ලාය. අද කෙරෙන්නේ ලැබෙන වැටුපට අනුව රාජකාරිය ඉටු කිරීමය. අද බොහෝ ගුරුවරු කැමති දක්ෂයින් තමන් ළඟට පැමිණෙනවාටය. එසේම අද මුදල් හදල් ඇති දරුවන් වඩාත් ළං කර ගැනීමටද ගුරුවරු කැමැත්ත දක්වති. පංතියේ අමතර බරපැන සියල්ල ඔවුන් ලවා දරා ගැනීමට එය ඉවහල්වනු ඇත. ඒ නිසා අතමිට සරු නැති, දක්ෂතාවයෙන් සාපේක්ෂව අඩු දරුවන් කෙරෙහි අවධානය යොමුකර ඔවුන් ගොඩනගන ගුරුවරු සිටින්නේ ඉතාමත් කලාතුරකිනි. ඒ නිසා නොසැළකිල්ලට ලක්වන දරු දැරියන් මෙන්ම ඔවුන්ගේ දෙමාපියන්ද සිටින්නේ කණස්සල්ලෙනි. මේ හේතුව නිසා අද අධ්‍යාපනයේ තරගය සිසු සිසුන් අතරත් සිසුන් ගුරුවරුන් අතරත්, සිසුන් ගුරුවරුන් හා දෙමාපියන් අතරත් දෙමාපියන් දෙමාපියන් අතරත් මරාගන්නා යුද්ධයක් බවට පත්ව තිබේ.   


 කළුතර දොඩංගොඩ ප්‍රදේශයෙන් වාර්තා වූ ඉහත සිදුවීමෙන් පෙන්නුම් කරන්නේද මේ සකල විධ අර්බුදයේ එක් පැතිකඩක්ම හැර අන් යමක් නොවේ. අපරාධයක් වනු දැක අහක බලාගෙන සිටිය නොහැකි පුද්ගලයෙකුගේ සමාජ හිතකාමී ක්‍රියාවක් නිසාත් පොලිසිය වහාම ක්‍රියාත්මකව අපරාධකරුවන් අත්අඩංගුවට ගත් නිසාත් සිදුවන්නට ගිය බරපතල අපරාධයක් වළක්වාගැනීමට හැකිවිය.   


 කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිමල් පෙරේරා, කළුතර කොට්ඨාස භාර පොලිස් අධිකාරි උපුල් නිල්මිණි ආරියරත්න, සහකාර පොලිස් අධිකාරී කපිල ප්‍රේමදාස මහත්වරුන්ගේ උපදෙස් පරිදි දොඩංගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් බණ්ඩාර, අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ගයාන් ක්‍රිෂාන්ත, සැරයන් 535953 සුරංග ඇතුල් පොලිස් කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ සිදුකරති. 

 

 

මුදිතා දයානන්ද සමඟ 
අලුත්ගම තුසිත කුමාර ද සිල්වා