පාලකයන් නිසා අාපස්සට යන කාම්බෝජය


වළපල්ලට ගිය රටවල්

බොහෝ නොදියුණු රටවල දේශපාලකයින් මොළේ පාවිච්චි කළේ ඒ රටවල් වළේ දමන්නටය. වළපල්ලට යවන්නටය. එවැනි රටවලට යන ගමන මම තවමත් අවසන් කළේ නැත. එම දේශයන්හිදී මා දුටුවේ ජනතාව ප්‍රශ්න අසන විට පිට්ටු ගිල්ලා වගේ බකන්නිලාගෙන සිටින පාලකයින්ය. දේශපාලකයින්ය. ඔවුන්ට කියන්නේ එද‌ා වේල ටුවර්ස් සම්ප්‍රදාය අනුගමනය කරන්නන් කියාය. දේදුන්න කියන්නේ තනිකරම මායාවක් බව නැති භංගස්ථාන වූ රටවල ජනතාවට අවබෝධ වෙන්නේ නැත. එවැනි රටවල බලයට පත්වූයේ සුරංගනා ලෝක මවා ජනතාවගේ හිත් ගත්තවුන්ය. මොවුහු වෙස් ගත්තවුන් බව ජනතාවට අවබෝධ වෙන්නේ කවද‌ාද?

මොවුන්ගේ වෙස් මුහුණ කවද‌ා ගැලවේද?


ගිනි කඳු සහ බඩ ගින්දර


වළපල්ලට ගිය රටවල් තීරයෙන් අද හඳුන්වන්නේ 23 වැනි රටයි. මේ දේශයේද සිටින්නේ ප්‍රෝඩාකාරී, වංචාකාරී, රැවටිලිකාරී, අන්ත දූෂිත දේශපාලකයින් රොත්තකි. සැවොම නොවේ. බහුතරය කම්බ හොරුය. තල් අත්තකින් හුළු අත්තක් බඳින්න බැරි බව මේ රටේද බහුතර ජනතාව දන්නේ නැත. මේ රටේ තිබෙන ගින්දර කඳු (ගිනි කඳු) වල රස්නයට වඩා ජනතාවගේ බඩ ගින්දර උණුසුම්ය. මේ රට හඳුන්වන්නේ කාම්බෝජය (Cambodia) කියලාය. දකුණුදිග ආසියාවේ පිහිටි මේ රට මුලින් හඳුන්වනු ලැබුවේ කම්පුචියාව නමිනි. අන්තදුගී අසරණ ජනතාවක් වෙසෙන, අවීචි මහා නරකාදියට වඩා අන්ත හයිට් (Haiti) රාජ්‍යයෙන් පටන්ගත් මේ ලිපිපෙළ මා ලියන්නේ සුරපුර හා අපාය මෙම මිහිතලය මතම ඇති බව පෙන්වා දීමටය.


කාම්බෝජයේ අසල්වැසි රාජ්‍යයන් වෙන්නේ තායිලන්තය, ලාඕසය සහ වියට්නාමයයි. වර්ග කි.මී 181,035 ක් හෙවත් ව.සැ 69,898 ක් විශාල, එක්කෝටි හැටතුන් ලක්ෂයකට අධික (16,245,729) ජනගහණයකින් යුත් මුළු ජනගහණයෙන් සියයට 96.9 ක් ථෙරවාද බුදු දහම අදහන ජනතාවකගෙන් සමන්විත මේ ආසියාතික රට විනාශ මුඛයට පත්වූ දේශයකි. ඉතිහාසය හාරා අවුස්සනවිට අතීතයේදී ඇමෙරිකාව හා සෝවියට් දේශය අතර පැවති බල අරගලයට හසු වී කුඩු පට්ටම් වී ගිය රාජ්‍යයකි මේ කියන කාම්බෝජය.

 


කාම්බෝජයේ ඉටිපන්දම් කන්නද?


1953 නොවැ: 9 ද‌ා ප්‍රංශයෙන් නිදහස ලබා ගත්තේය. මෙසේ නිදහස ලබාගත් ප්‍රංශ කොලිනිය වසර 65ක් තිස්සේ ආපස්සට ගිය අයුරු ලියන්නට පිටු දහස් ගණනක පොතකුත් මදිය. 1956 දී මෙහි සිපනුක් රජු චීනයේ මාඕසේතුං හමුවීම, ඒකාධිපති පොල් පොට් ගෙනගිය ආඥාද‌ායක පවුල් පාලන සමයේදී විසි ලක්ෂයකට අධික පිරිසක් ඝාතනය කිරීම, 1969 සිට 1973 දක්වා ඇමෙරිකා ප්‍රහාරවලට ගොදුරුවීම, 1979 දී සිට වසර කීපයක් පැවති කාම්බෝජ වියට්නාම් යුද්ධය ආදිය නිසා විනාශ වූ මේ රටේ ඉතිරි වී තිබූ සාරය උරා බිව්වේ බලලෝභී දේශපාලකයින්ය. බඩ ගෝස්තරවාදී අමනයින්ය. ආසියාවේ තවත් රටවලද මෙවැනි අමනයින් බහුලය.
ලොව දිළිඳුම රටවල් 50ක ලැයිස්තුවට කාම්බෝජය ඇතුළු වුණේ කෙසේද? දැන් අගමැති ධුරය දරන හුන් සෙන් (HUN SEN) නිසාම නොවේ. ඊට පෙර රට පාලනය කළ දේශපාලකයින්ද මේ රට කා දැමූහ. ඔවුහු රටේ සම්පත් විදේශ කොම්පැනිවලට විකුණා දැමූහ. මේ රටේ ඉටිපන්දම් නම් ඕනෑ තරම් නිපදවයි. ඉටිපන්දම් කන්නද? මෙහි දරිද්‍රතාවයෙන් පෙළෙන්නන්ගේ සංඛ්‍යාව මුළු ජනගහණයෙන් සියයට 20.5 කි. බැලු බැලූ අත දකින්නේ ගොවිබිම්වල දහඩිය වගුරුවන අසරණයින්ය. මෙය මා දුටු තුන් වැනි ලෝකයට අයත් තවත් අසමත් රාජ්‍යයකි.


වෙස් මුහුණු


කාම්බෝජයේ බහුතර ජනතාවගේ දෛනික අ‌ාද‌ායම ඩොලර් 1කට අඩුය. අතීතයේදී චීනය, උතුරු කොරියාව, වියට්නාමය, ලාඕසය සහ කියුබාව වැනි කොමියුනිස්ට් රටවල් පස්සේ ගිය මේ රටේ දේශපාලකයෝ මේ රට කාබාසිනියා කළහ.


බතික් රෙදි, සිල්ක් රෙදි, ලී කැටයම්, බුලත් හෙප්පු, රිදී භාණ්ඩ මෙහි ඕනෑ තරම් තිබේ. සුවඳ සබන් වර්ග නම් දැවැන්ත අයුරින් නිපදවනු ලබයි. මෙහි බහුතර කාන්තාවන්ට මේ සුවඳ සබන් වර්ග මිලදී ගන්නට සල්ලි නැත. වෙස් මුහුණු නිපදවීමේ කර්මාන්තයද මෙහි දක්නට ලැබේ. එහෙත් මෙහි ජනතාව රට වනසන දේශපාළුවන්ගේ වෙස් මුහුණු ගලවන බවක් නම් පෙනෙන්නට නැත. මුළු ජනගහණයෙන් ලක්ෂ 16 කට වැඩි පිරිසක් හාමතේ සිටින බව සඳහන් කරන්නේ බෝර්ගන් ව්‍යාපෘති වාර්තාවයි. (Borgen Project Report) දේශපාලකයින් හා රජයේ නිලධාරීන් තරගයට හොරා කද්දී රටක් දියුණු වෙන්නේ කෙසේද?


ආපස්සට යන කාම්බෝජය


දකුණුදිග ආසියාවේ දූෂිත රටවලින් හතර වැනි ස්ථානය හිමි වී ඇත්තේ කාම්බෝජයටය. මෙහි අවුරුදු 5කට අඩු වයසේ ළමයින්ගෙන් සියයට 37 ක් පමණ ආහාර අහේනිය හේතු කොටගෙන විවිධ ලෙඩ රෝගවලට ගොදුරු වූ​ෙවා්ය. මුළු ජනගහණයෙන් සියයට 34කට තවමත් විදුලි පහසුකම් නැත. සියයට 65කට පානීය ජල පහසුකම් නැත. සියයට 31කට වැසිකිළි පහසුකම් නැත. රට පුරා ලෙඩරෝග ශීඝ්‍රයෙන් පැතිරී යන්නේ මේ නිසාය. උසස් අධ්‍යාපනය ලබා ගැනීම සඳහා පවත්වන විභාගවලින් අසමත්වෙන ළමයින්ගේ සංඛ්‍යාව සියයට 75කි. විරැකියාව උග්‍ර වී ඇත. රට අතහැර යන්නවුන්ගේ සංඛ්‍යාව අධිකය. තරුණ පරපුර මත්කුඩුවලට ඇබ්බැහි වෙමින් සිටී. රට වළපල්ලට ගිය අයුරු දැක්වීමට තවත් උද‌ාහරණ අවශ්‍යද?


ජනතාවට ගමනාගමන, සෞඛ්‍ය, ජලය, අධ්‍යාපන ආදී අත්‍යාවශ්‍ය පහසුකම් ලබාදීමට අසමත් පාලකයින් සිටින රටක් අසාර්ථක රාජ්‍යයක් වීම නිතැතින්ම සිදුවෙන්නකි. මේ කියන කාම්බෝජයේද පොදු ජනතාව එද‌ා වේල පිරිමසා ගැනීමට නොහැකිව දහදුක් විඳිද්දී මෙහි දේශපාලකයින් ඔවුන්ගේ පවුල්වල අය, ජනතා ශ්‍රමය සුරාකන ව්‍යාපාරිකයින් සහ රටට සත පහක වැඩක් නැති දේශපාලන අතකොළු බවට පත් වී ඇති ඇතැම් රාජ්‍ය නිලධාරීන් හා හමුද‌ා ප්‍රධානීහු සුර සැප විඳිති.


මෙහි අගමැති හුන් සෙන් (HUN SEN) බලයට පත්වුණේ 1985 දීය. එනම් මීට වසර 33 කට පෙරය. එදා අවුරුදු 32ක් වයසැති ඔහු කාම්බෝජයේ 34 වැනි අගමැති තනතුරට පත්වුණේය. ලොව ඒ වෙන විට රටක පාලන බලයට පත් වූ ළාබාලම පුද්ගලයා ඔහු විය. මෙහි ජනාධිපති තනතුරක් නැත. 6 වෙනි වරටත් ඔහු අගමැති තනතුරට ඡන්දයෙන් තේරී පත් විය. බිරිඳ හා ළමයින් 6 දෙනා සමඟ ඔහු වසර 33ක් තිස්සේ කාම්බෝජය පාලනය කරන හැටි, සවිස්තරාත්මකව හෙළිකළේ සිඩ්නි මෝනින් හැරල්ඩ් (The Sydney Morning Herald) පත්‍රයයි. එම පත්‍රය සඳහන් කරන්නේ ඔහු විරුද්ධවාදීන් අතුරුදන් කරන, ඝාතනය කරන පවුල් පාලනයක් ගෙන යන ඒකාධිපතියකු බවයි. කාම්බෝජයේ ඡන්ද දූෂණයෙන් පිරුණ බවද එම පත්‍රය කියයි.


ඇසක් නැතිවීම සහ කුකුළු හොරකම


ඇම්නස්ට් ඉන්ටර්නැෂනල් ආයතන වාර්තාවක දැක්වෙන්නේ අගමැති හුන් සෙන්ගේ නියෝගයෙන් හමුද‌ාව මගින් පැහැර ගෙන ගොස් දස වද දී මරා දැමූවන් රාශියකගේ මළ සිරුරු ප්ලාස්ටික් බෑග්වල තිබී සොයාගෙන ඇති බවයි. ජනතාවගේ මානව හිමිකම් කඩ කළ පාලකයන් මානවහිතවාදීන් වෙන්නේ කෙසේද? මේ රටේද බොහෝ දේශපාලකයින් ඇමෙරිකන් පාස්පෝර්ට් හිමි කරගෙන මුළු සනුහරයම ඇමෙරිකාවට යවා ජනතාව ඉදිරියේ ඇමෙරිකාව පතුරු ගහන කෛරාටික වංචනික දූෂිතයින්ය.


හුන් සෙන් රටේ මාධ්‍ය ආයතන සියතට ගත් අයුරුද අපූරුය. රටේ ප්‍රධානතම රූපවාහිනී ආයතනය වූ බයෝන් ටීවී තම වැඩිමහල් දියණිය වූ හුන් මනා යටතට පත් කළේය. රටේ ප්‍රධානම පුවත්පත වූ කම්බෝඩියා ඩේලි 2017 සැප්. 4 ද‌ා වසා දැමුවේය. ළමයින් 6 දෙනාගෙන් වැඩිමහල් පුතාට රටේ ආරක්ෂක අංශයන්හි ප්‍රධානත්වය ලබා දුන්නේය. ජනතාව මේ පවුල් පාලනයට බියේ අන්දුන්කුන්දුන් වූහ. රටේ සියලු මර්මස්ථාන පවුලේ ඥාතීන් අතරේ බෙදා දුන්නේය.


එක් ඇසක් පමණක් ඇති මේ අගමැතිවරයාට එරෙහිව දූෂණ චෝදනා රැසක් එල්ල වී ඇත. පොට්ට වූ ඇස වෙනුවට බොරු ඇසක් දමා ගෙන බලයේ රැඳී සිටින ඔහු තමාගෙන් පසු කාම්බෝජය තම දරුමල්ලන්ට සින්නකරයට ලියා දීමට වෙර දරන බව විදේශ මාධ්‍යයන්හි මතයයි. තරුණ කාලයේ කුකුළු හොරකමේ ගොස් කුකුළෙකු ඇසකට කෙටීම හේතු කොටගෙන ඔහුට ඇසක් අහිමි වූ බව කියනු ලැබේ.

 

 

 

සිරී හීන්පැල්ල  
 නිව්‌යෝර්ක් නුවර සිට ලියයි