පාතාලයන් දඩයම් කළ එස්.ටී.එෆ්. මෙහෙයුම


 

පාතාල කල්ලියක් කිසියම් බිහිසුණු අපරාධයක් කිරීමට කඩවත පැත්තේ සිට මීගමුව දෙසට වෑන් රථයකින් ආයුධ සන්නද්ධව ගමන් කරන බවට ඔත්තුවක් ලැබුණේ පොලිස් විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශය වෙතය.   


මොහොතක පමාව විශාල විනාශයකට මඟ පැදීමක් බව වටහා ගත් විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශ නිලධාරීන්ට ඒ බව එම බළකායේ අණ දෙන නිලධාරී ජ්‍යෙෂ්‍ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතිෆ් සහ ජ්‍යෙෂ්‍ඨ පොලිස් අධිකාරි වරුණ ගුණතිලක යන මහත්වරුන් දැනුම්වත් කර පාතාල කල්ලිය හඹා යන්නට පටන් ගත්තේ ලැබි තිබුණු බුද්ධි තොරතුරු ඔස්සේය.   


විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශයට ලැබී තිබු තොරතුරු අනුව මේ පාතාල කල්ලිය දකුණු පළාතම හෙල්ලු ප්‍රබල පාතාල නායකයෙක් ලෙස සැලකෙන මාකඳුරේ මධුෂ්ගේ ගෝලයන්ය.   


මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කාරයෙක් මෙන්ම මිනී මැරුම් ඇතුළු අපරාධ ගණනාවකට සම්බන්ධ බවට පැවසෙන මාකඳුරේ මධුෂ් රටින් පලා ගියේ පොලිසිය ඔහු අත්අඩංගුවට සොයන නිසා පොලිසියෙන් බේරීමේ උපක්‍රමයක් වශයෙනි.   


මාකඳුරේ මධුෂ් මේ වෙන කොට සිටින්නේ ඩුබායි රටේය.   


ඩුබායි රටේ සැඟව සිටින මාකඳුරේ මධුෂ් එහි සිටි ඔහුගේ ගෝල බාලයන් යොදවා, මත් ද්‍රව්‍ය ජාවාරම මෙහෙය වන අතර අපරාධ ක්‍රියා සිදු කිරීමට ගෝලයන් මෙහෙයවන බවට පොලිසියට ඕනෑ තරම් සාධක ලැබී තිබේ.   


කළුතර දී බන්ධනාගාර බස් රථයකට වෙඩි තබා පාතාල කල්ලි නායකයෙක් ලෙස සැලකෙන සමයං ඇතුළු ඔහුගේ ගෝලයන් හතර දෙනෙක් ද රැකවරණයට ගිය බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ද මරා දැමුවේ මාකඳුරේ මධුෂ්ගේ ගෝලයෝය.   


මෙම ප්‍රහාරය මෙහෙය වූයේ අංගොඩ ලොක්කා නමැති පාතාල නායකයාගේද සහාය ඇතිව ඩුබායි රටේ සිට මධුෂ්ය.   


​ෙපාලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරින්ගෙන් සැදුම් ලත් කණ්ඩායම් දෙකක් ඔවුන්ට ලැබී තිබුණ තොරතුරු ඔස්සේ පාතාල කල්ලිය ගමන් කරන කොළඹ හලාවත මාර්ගය ඔස්සේ එම කල්ලිය අල්ලා ගැනීමට ඔවුන් පසුපස හඹා ගොස් ඇත.   


පාතාලයින් ගමන් කරන වෑන් රථය ඈත තියා දුටු පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් එම වෑන් රථය ඉස්සරකර ගොස් තව දුරටත් ඉදිරියට යාමට ​ෙනා​හැකි වන සේ මාර්ගය හරස් කර නතර කර ගෙන ඇත්තේ මීගමුව කුරණ ප්‍ර​ෙද්ශයේ හෝටලයක් අසල දීය.   
පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරින් කණ්ඩායම් ඔවුන් ආ වාහන වලින් බසිනවාත් එක්කම වෑන් එකේ සිටි පාතාලයන් දිගට හරහට වෙඩි තබන්නට පටන් ගෙන ඇත. ඒ සමගම පොලිසිය ද ප්‍රති ප්‍රහාර එල්ල කිරීමට පටන් ගත්තේ ක්‍ර​ෙමා්පායන් අනුගමනය කරමිනි.   


ඒ නිසා පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ට කිසිදු අනතුරක් සිදු වූයේ නැත.    


වෙඩි තබා ගැනීම එච්චර වෙලාවක් පැවතුණේ නැත.   


පාතාලයන් සිටි වෑන් රථය දෙසින් එල්ල වූ වෙඩි ප්‍රහාරය නවතිනවාත් එක්කම පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් වැන් රථය වට කර පාතාලයන් දෙදෙනෙක් අල්ලා ගත්තේ ඔවුන් පලා යාමට උත්සාහ කළ අවස්ථාවේය.   


තවත් දෙදෙනෙක් වෙඩි කා සිටි අතර ඔවුන් දෙදෙනා ඒ මොහොතේම අරගෙන ගියේ සීදුව විජය කුමාරතුංග අනුස්මරණ රෝහල වෙතය.   


එයින් එක් අයෙකු අසාධ්‍ය තත්ත්වයෙන් පසුවූ නිසා ඔහු කොළඹ ජාතික රෝහලට ​රැගෙන ගිය අතර ඔහු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් පසුවේ.   


කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් පසුවන්නේ මාකඳුරේ මධුෂ්ගේ ප්‍රධානතම ගෝලයා ලෙස සැලකෙන සීදුව රාජපක්ෂපුර පදිංචි වජිර කුමාර නැමත්තාය.   


උතුරු කොළඹ (රාගම) ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන්නේ බියගම කිරිගන්තුඩුව පදිංචි චම්පික කුමාර ජයතුංග නමැත්තෙකි.   
පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව ඇත්තේ තෙල්දෙණිය උඩිස්පත්තුව පදිංචි ජනක අරුණ ශාන්ත (40) සහ රාගම කුරුකුලාව පාරේ පදිංචි තරිඳු මධුෂ (31) නැමැත්තන්ය.   


මේ පාතාල අපරාධකරුවන් සිවු දෙනා ගමන් කරමින් සිටි වෑන් රථයේ ටී. 56 ස්වයංක්‍රීය අවි දෙකක් එම උණ්ඩ 54 ක් ටී. 56 මැගසින් 03 ක්්. මිලි මීටර් 9 වර්ගයේ චීනයේ නිෂ්පාදිත පිස්තෝලයක් එම උණ්ඩ 06 ක්, පිස්තෝල මැගසින් 01 ක් වාහන අංක තහඩු 03 ක් හා ජංගම දුරකථන 06 ක් තිබි විශේෂ කාර්ය බළකායෙහි නිලධාරීන් විසින් සොයා ගනු ලැබිණි.

 


පොලිස් වි​ශේෂ කාර්ය බළකායේ ජ්‍යෙෂ්‍ඨ පොලිස් අධිකාරි වරුණ ගුණතිලක මහතා ද මීගමුවට පැමිණියේ මේ සිද්ධියට අදාළ වැඩිදුර පරීක්ෂණ මෙහෙයවීමටය.   


ඩුබායි රටට පලා ගොස් සැඟව සිටින දකුණේ පාතාල නායක මාකඳුරේ මධුෂ් එහි සිට මත්ද්‍රව්‍ය ජාවාරම, අවි ජාවාරම හා අපරාධ සිදු කිරීම මෙහෙයවන්නේ මේ වජිර නමැත්තා හරහා බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.   


පොලිස් විශේෂ කාර්ය බළකාය පවසන ආකාරයට ඩුබායි රටට පලා ගොස් සැඟව සිටින මාකඳුරේ මධුෂ් නැමැත්තා මත්ද්‍රව්‍ය ජාවාරම් වලින් පරම්පරා ගාණකට ජීවත් වීමට තරම් මුදල් උපයා ගෙන ඇති බවය.   


විදේශ කටයුතු අමාත්‍යංශයේ ද සහාය ඇතිව මාකඳුරේ මධුෂ් මෙරටට පෙන්වා ගැනීමට පොලිස් බලධාරීහු කටයුතු කරගෙන යති.   
මධුෂ් මෙරටට ගෙන්වා ගැනීමට හැකි වුවහොත් ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලය සමග සමීප සම්බන්ධකම් පවත්වමින් ඔහු කරගෙන යන බව කියන මෙරටට මත්ද්‍රව්‍ය තොග එවීමේ ක්‍රියාවලියට සම්බන්ධ අතිශය වැදගත් තොරතුරු මෙන්ම අභිරහස් මිනී මැරුම් ගණනාවක තොරතුරු ද ඒවාට සම්බන්ධ වූ අය ගැන ද බොහෝ කරුණු කාරණා අනාවරණය කර ගැනීමට හැකි වනු ඇති බව පොලිසිය විශ්වාසය පළ කරයි.   


වෙඩි කා බරපතළ තුවාල ලබා ජීවිතයක් මරණයත් අතර ලොකු සටනක යෙදී සිටින වජිර නැමැත්තා පිළියන්දල ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය වැටලීමකට ගිය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කොට්ඨාසයේ පොලිස් පරීක්ෂක රංගජීවට වෙඩි තබා බරපතළ තුවාල සිදු කර පොලිස් කොස්තාපල්වරයෙක් හා කුඩා දැරියක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ද අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි අයෙකි.   


මාකඳුරේ මධුෂ්ගේ සමීපතම ගෝලයා ලෙස සැලකෙන මනුෂ්‍ය ඝාතන දෙකකට ද සෘජුවම සම්බන්ධ අයෙක් බව පොලිස් පරීක්ෂණ වලින් හෙළි වී ඇත.   


මෙයින් එක් මිනී මැරුමක් වත්තල හේකිත්ත ප්‍රදේශයේදී 2015 වසරේදී නිවසක් ​කොල්ලකෑමට ගිය අවස්ථාවේ 22 තරුණයකු වෙඩි තබා මරා දැමීමය.   


මෙහිදී එම තරුණයාගේ මවද බරපතළ තුවා ලබා තිබිණි.   


අනෙක් මිනී මැරුම මාතර ප්‍රදේශයේ දී සිදු වූ එකකි.   


මීට අමතරව හංවැල්ල ප්‍රදේශයේ පිහිටි රාජ්‍ය බැංකුවක් 2015 වසරේදී කොල්ල කා ලක්ෂ 26 ක මුදල් පැහැර ගැනීමට ද වජිර නැමැති පාතාලයා සම්බන්ධ වී තිබේ.   


වජිර නැමැත්තා ඔහු කළ බවට පැවසෙන අපරාධ සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත්ව කාලයක් රිමාන්ඩ් භාරයේ සිටිය දී අධිකරණයෙන් ඇප ලබා දුන්නත් නියම කරන ලද ඇප මුදල් නොමැතිව සිටිය දී මුදල් ලබා දී ඇතැයි කියන්නේ මාකඳුරේ මධුෂ් බවට තොරතුරු පොලිසියට ලැබී ඇතැයි කියති.   


පොලිස් බුද්ධි අංශ නිලධාරීන්ට දැන ගැනීමට ලැබී ඇති ආකාරයට රිමාන්ඩ් බාරයේ පසුවන එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් ගණනාවකට ද ඇප ලබා දීමේ දී නියම කරන ලද ඇප මුදල් ගෙවා ඔවුන් මුදා ගැනීමට ද මාකඳුරේ මධුෂ් නැමැත්තා අවශ්‍ය මුදල් ලබා දී ඇත.   


මධුෂ්ගේ පාතාල කල්ලියට සම්බන්ධ බවට පැවසුණු හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් දෙදෙනකු මයික්‍රෝ පිස්තෝලයක් ඇතුළු අවි ආයුධ සමග මීට වසර කිහිපයකට ඉහත දී ඇල්පිටිය ප්‍රදේශයේ දී අල්ලා ගත්තේ කොළඹ ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසිනි.   


ඒ දකුණු පළාතේ සිදු වූ මනුෂ්‍ය ඝාතන කිහිපකයක් සම්බන්ධයෙනි.   


එවකට ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාව සිටි ජ්‍යෙෂ්‍ඨ පොලිස් අධිකාරි මහින්ද බැද්දෙවෙල මහතාගේ උපදෙස් මත එහි සහකාර පොලිස් අධිකාරි ජගත් ෆොන්සේකා මහතාගේ මෙහෙයවීම යටතේ ගොස් මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබුණේ එවකට එම කොට්ඨාසයේ රාජකාරි කළ පොලිස් පරීක්ෂක සමන් කරුණාරත්න මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් විසිනි.   
පොලිස් වෙඩි ප්‍රහාරයට ගොදුරු වී උතුරු කොළඹ (රාගම) රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවන චම්පික නැමැත්තා වාද්දුව ප්‍රදේශයේ රට බීම හලකින් ලක්ෂ 2 1/2 ක පමණ මුදලක් කොල්ලකෑම සම්බන්ධයෙන් පූගොඩ, කොස්ගොඩ, හංවැල්ල, කළුතර, පාදුක්ක හා කහතුඩුව ප්‍රදේශයේ සිදුකරන ලද මුදල් කොල්ල කෑම් ගණනාවකට සම්බන්ධයෙන් කාලයක් රිමාන්ඩ් බාරයේ සිට ඇප ලබා පැමිණි ඇති අයෙක් බව පොලිස් පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත.   


පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් වෑන් රථයේ සිටිය දී අල්ලා ගත් අරුණ ශාන්ත නැමැත්තා තෙල්දෙණිය උඩිස්පත්තුවේ පදිංචි හිටපු නාවික හමුදා සෙබළෙකි.   


මොහු නාවික හමුදාවේ රාජකාරි කරමින් සිටිය අතර වාරයේ ලක්ෂ ගණනින් මුදල් ලබා ගෙන පුද්ගලයන් ඕස්ට්‍රේලියාවට යැවීමේ නිරතවීම සම්බන්ධයෙන් රහස් පොලිස් අත්අඩංගුවට පත් වී​ෙමන් පසු නාවික හමුදාවෙන් නෙරපා හැර සිටි අයෙකි.  


නාවික හමුදා සෙබළා වැදගත් පවුල් පසුබිමක් ඇති අයෙක් බව ද පොලිසියට දැන ගැනීමට ලැබි ඇත.   


පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ට කොටු වූ අනෙකා වනුයේ රාගම කුරුකුලාව පාරේ පදිංචි තරිඳු මධුෂ නමැත්තා දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවන්ගේ ලයිස්තුවේ (අයි.ආර්.සී.) සිටින අයෙක් බව ද හෙළි කර ගත්තේ අපරාධ වාර්තා කොට්ඨාසයට (සී.ආර්.ඩී.) ඔහු ගැන තොරතුරු දැනුම් දීමෙන් පසුවය.   


තරිඳු නැමැත්තාගේ බිරිඳ හා පියාද මිරිහාන පොලිසියට කොටු වී ඇත්තේ හෙරොයින් ජාවාරම් කිරීමට සම්බන්ධ බව කියමිනි.   
වරාය පෝට් සිටි ව්‍යාපෘතියට අවශ්‍ය කළු ගල් සැපයීමේ කොන්ත්‍රාත්තුවක් ද කර ඇති මොහුගෙන් සමහර මිතුරන් ලක්ෂ ගණන් ණයට මුදල් ඉල්ලා ගෙන ආපසු නොදීම නිසා අමාරුවේ වැටුණු බව පෙලිසියට පවසා තිබෙන බව දැන ගැනීමට ඇත.   


රුපියල් කෝටි ගණනක මුදල් කොල්ලයක් සිදු කිරීමට යමින් සිටිය දී එස්.ටී.එෆ්. එකට කොටුවූ බවත් ඒ මුදල් කොල්ලය ගැන තොරතුරු දන්නේ කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන වජිර බවත් තරිඳු හා අරුණ ශාන්ත නමැත්තන් පොලිසියට පවසා ඇති බව ද පැවසේ.   


පොලිස් විශේෂ කාර්ය බළකාය පාතාල අපරාධ මර්දනය කිරීමේ දී මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඇල්ලීමේ දී ද සුවිශේෂී කාර්යයක් ඉටු කරන්නේ එම බළකායේ නිලධාරීන් ඔවුන්​ෙග් ජීවිත අවදානම ද නොසලකාය.   


පොලිස් විශේෂ කාර්ය බළකායේ අණ දෙන නිලධාරී ජ්‍යෙෂ්‍ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතිෆ් මහතාගේ මඟ පෙන්වීම යටතේ එහි ජ්‍යෙෂ්‍ඨ පොලිස් අධිකාරි වරුණ ගුණතිලක මහතාගේ මෙහෙයවී​ෙමන් පාතාලයන් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන් ඇල්ලීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වෙති.   


පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ සෘජු අධික්ෂණය යටතේ පාතාල මර්දන කටයුතු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන් කොටු කර ගැනීමේ මෙම මෙහෙයුම සිදු කරගෙන යනු ලැබේ.   


ජ්‍යෙෂ්‍ඨ නියෝජ්‍ය පොලිස්පති ලතීෆ් සහ ජ්‍යෙෂ්‍ඨ පොලිස් අධිකාරි ගුණතිලක යන මහත්වරුන්ගේ මෙහෙයවීම යටතේ පසුගිය කාලය පුරාවට කරන ලද වැටලීම් වලින් දරුණු පාතාලයන් අවි ආයුධ හා බෝම්බ සමග ද ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන් මත් කුඩු තොග ද සමග අත්අඩංගුවට ගැනීමට සමත්ව සිටිති.   


පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කුරණ දී අල්ලා ගත් පාතාලයන් හතර දෙනා ගැන පරීක්ෂණ සිදු කරගෙන යන අතරවාරයේ පොලිස් විශේෂ කාර්යාංශයේ කැලණිය ඒකකයේ පොලිස් සැරයන් කේ.ආර්.ඩබ්ලිව්. බණ්ඩාර (53252) මහතාට මේ පාතාල කල්ලියට සම්බන්ධ බව කියන ගෝලයෙකු ගැන ඔත්තුවක් ලැබී ඇත.   


පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී.ඩබ්ලිව්.එල්. රවීන්ද්‍ර සහ පොලිස් විශේෂ කාර්යාංශයේ කැලණිය ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන් කරුණාරත්න මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් කිරිබත්ගොඩ ප්‍රදේශයේ නිවසක් වටලා මාකඳුරේ මධුෂ්ගේ පාතාල කල්ලියට සම්බන්ධ බවට පැවසෙන රන්දිර් නැමැත්තෙක් අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය 8 වැනිදාය.   


මේවාට අමතරව ටී 56 උණ්ඩ 06, මැගසින් එකක්, ටී 56 ස්වයංක්‍රීය ගිනි අවියකට අයත් කොටස් දෙකක් නවීන පන්නයේ ජංගම දුරකථන 03 ක් පොලිස් නිල ලාංඡන 05 ක් පොලිස් පරීක්ෂක ශ්‍රේණියේ සිටින නිලධාරියෙක් පලඳින කැප් තොප්පියක් පොලිස් පරීක්ෂක ශ්‍රේණියේ නිලධාරීන් පලඳින උර හිස් පටියක්, ඉණ පටියක් සහ රුපියල් 1,41,000 ක පමණ මුදලක් ද පොලිසිය විසින් සොයා ගෙන ඇත.   


දැනට රිමාන්ඩ් බාරයේ පසුවන ප්‍රබල පාතාල කල්ලි නායකයෙක් ලෙස සැලකෙන දෙමටගොඩ චමින්ද නමැත්තා ඔහුට එරෙහිව පවතින නඩු වලට ඉදිරිපත් කිරීමට කොළඹ අලුත් කඩේ අධිකරණය වෙත ගෙන එන අවස්ථාවක හෝ බන්ධනාගාර බස් රථයකින් ගෙන යන අතරවාරයේ හෝ පාතාලයෙක් පොලිස් පරීක්ෂකවරයෙක් ලෙස වෙස් වළාගෙන ගොස් ඔහු (දෙමටගොඩ චමින්ද) ඝාතනය කිරීමට යොදා තිබු සැලැස්මක් ගැන ද තොරතුරු අනාවරණය වී තිබෙන බව පැවසේ.   


දෙමටගොඩ චමින්ද නැමැත්තා බන්ධනාගාර බස් රථයකින් අධිකරණයේ සිට යළි බන්ධනාගාරය වෙත රැගෙන යමින් සිටියදී ඔහු ඝාතනය කිරීමේ අරමුණින් මීට පෙර අවස්ථාවකද වෙඩි තැබුවත් ඔහු තුවාල ලබා ජීවිතය බේරා ගෙන තිබිණි.   


දෙමටගොඩ චමින්ද නැමැත්තා ඝාතනය කිරී​මේ සැලැස්ම ක්‍රියාත්මක කිරීමට යන පාතාල සාමාජිකයාට ඇඳගෙන යාමට මෙම පොලිස් නිල ඇඳුම් කට්ටලය සූදානම් කර ගෙන සිටින්නට ඇතැයි පොලිසිය සැක කරයි.   


පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් ප්‍රති ප්‍රහාර එල්ල කිරීමේදී බරපතළ තුවාල ලැබු වජිර නැමැති පාතාල ප්‍රබලයා මේ වන විටත් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් පසුවෙන අතර මෙහිදී අත්අඩංගුවට ගැනුණු තරිඳු නමැති ඔහුගේ පාතාල ​ෙගා්ලයා රැඳවුම් නියෝග යටතේ මීගමුව මූලස්ථාන පොලිසියේ රඳවාගෙන වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.   


අවි ආයුධ සමග කිරිබත්ගොඩ නිවසක සිටිය දී අල්ලා ගත් රන්දිර් නමැත්තා ද මේ පාතාල කල්ලියක සාමාජිකයෙකු බව පොලිසියට දැන ගැනීමට වැඩි වේලාවක් ගත වූයේ නැත.   


කිරිබත්ගොඩ ප්‍රදේශයේ නිවසක සිටියදී අල්ලා ගත් රන්දීර් නමැත්තා සපුගස්කන්ද ප්‍ර​ෙද්ශයේ පදිංචි වාහන අලෙවි කරන කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ නිවසක් කොල්ල කා රුපියල් ලක්ෂ 80 ක් පමණ වටිනා රන් භාණ්ඩ තොගයක් සහ පේරාදෙණිය ගෙලිඔය ප්‍රදේශයේ රන් බඩු සාප්පුවක් ​කොල්ල කා ලක්ෂ 38 ක් පමණ වටිනා රන් භාණ්ඩ තොගයක් කොල්ල කෑම හා එහිදි පුද්ගලයන් පස් දෙනෙකුට වෙඩි තබා තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් වසර 1 1/2 ක පමණ කාලයක් රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිට පසුගිය පෙබරවාරි මාසයේ අධිකරණයෙන් ඇප ලබා පැමිණ සිටි අයෙක් බවට පොලිසිය කියයි.   


රන්දීර් නමැත්තා ඒ අවස්ථාවේ අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ බස්නාහිර උතුරු කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසිනි.   
පොලිස් විශේෂ කාර්යාංශයේ කැලණිය ඒකකයේ පොලිස් සැරයන් බණ්ඩාර (53252) මහතාට ලැබුණු තොරතුරක් මත රන්දීර් නැමති මෙම සැකකරු කිරිබත්ගොඩ ප්‍රදේශයේ නිවසක ලැඟුම් ගෙන සිටිය දී පොලිසිය අත්අඩංගුවට ගනු ලැබීය.   


මොහු කඩවත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.   


තරිඳු නමැත්තා පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බව දැන ගත් පසු රන්දීර් නමැත්තා ඔහුගේ (තරිඳුගේ) රාගම ප්‍රදේශයේ නිවසට ගොස් ටී 56 අවිය, උණ්ඩ, මැගසින් හා පොලිස් නිල ඇඳුමට සමාන ඇඳුම් කට්ටලය ඇතුළු දේ බෑග් දෙකක බහා මෝටර් රථයකින් කිරිබත්ගොඩ ප්‍රදේශයේ පිහිටි නිවසකට ගෙනැවිත් සඟවා තබා ඇත.   


තරිඳු නමැත්තාගේ රාගම ප්‍ර​ෙද්ශයේ පිහිටි නිවස පොලිසිය පැමිණ සෝදිසියකට ලක් කිරීමට පෙර රන්දීර් නමැත්තා විසින් මේවා මෙලෙස ඔහුගේ (තරිඳුගේ බිරිඳගෙන්) ඉල්ලා ගෙන ​ෙගාස් ඇති බව පොලිසිය පවසයි.   


බස්නාහිර පළාත් භාර (වැඩ බලන) ජ්‍යෙෂ්‍ඨ නියෝජ්‍ය පොලිස්පති කපිල ජයසේකර සහ බස්නාහිර උතුර නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත යන මහත්වරුන්ගේ පූර්ණ අධික්ෂණය යටතේ කැලණිය කොට්ඨාසය බාර පොලිස් අධිකාරි උපාලි ජයසිංහ සහ කැලණිය සහකාර පොලිස් අධිකාරි ජේ.එම්.පී. ජයලත් යන මහත්වරුන්ගේ උපදෙස් මත පෑලියගොඩ මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්න අබේරත්න මහතාගේ මෙහෙයවීම යටතේ පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී.ඩබ්ලිව්.එල්. රවීන්ද්‍ර සහ පොලිස් විශේෂ කාර්යාංශයේ කැලණිය ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන් ගුණරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් උප පොලිස් පරීක්ෂක සමීර මංජුල සහ පොලිස් සැරයන් කේ.ආර්.ඩබ්ලිව්. බණ්ඩාර (53252) යන මහත්වරු ඇතුළු පොලිස් කණ්ඩායමක් සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යති.   
පොලිස් සැරයන්වරුන් වන දිසානායක (55410), ධර්මසිරි (33507), කොස්තාපල්වරුන් වන සෝමසිරි (14868) අරවින්ද (88617) චින්තක (9444) සහ ප්‍රදීප් (80510) යන මහත්වරු ද මෙම පරීක්ෂණවලට හවුල් වී සිටිති.   

 

 

සටහන : ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය   
ඡායාරූප : මීගමුවේ හියුබට් ප්‍රනාන්දු