ප්‍රඥා වර්ධනයට විපස්සනා භාවනාව


සිත් නිවන භාවනාව - 02

 

 බුදු රජාණන් වහන්සේ ලෝකයේ පහළවීමට පෙර සමථ භාවනාව වැනි සිත දියුණු කරන ක්‍රම පැවතුණත් මේ භාවනාව අපගේ ධර්මය තුළම පවත්නා භාවනාවකි. මෙම භාවනාවට පිවිසීමට සමථ භාවනාවෙන් සිත දියුණු කරගෙන තිබීම අවශ්‍ය වේ. මේ භාවනා ක්‍රම දෙක ගහට පොත්තත්, පොත්තට ගහත් සේ එකටම බැඳී පවතී. සමථ භාවනාවෙන් සිත් එකඟ කර ගන්නා අතර ඒ සිත තුළින් සැබෑ ලෝකය දැකීමට විපස්සනා භාවනාව හේතු වේ.  


සැබෑ බව දැකීමට ප්‍රඥ‌ාව අවශ්‍ය වේ. ලෝකයේ සත්‍ය දැකීමට අවශ්‍ය ප්‍රඥා සම්පත්තිය අපට නොමැතිකම නිසා තවමත් අපි සංසාරේ රැඳී සිටින්නෙමු. සමහරවිට අපි බුදුරජාණන් වහන්සේ දකින්නත් ඇති. බණත් අහන්න ඇති. ඒත් අපි තවමත් රැඳී සිටින්නේ ප්‍රඥ‌ාව නොමැති වීමෙන් ධර්මකාය දැක ගැනීමට නොහැකිවීම නිසයි. නිවන අවබෝධ කර ගැනීමට දැකිය යුත්තේ ධර්මකායයි. බුද්ධකාය දුටු කෙනෙකු වුවද ප්‍රඥ‌ාවෙන් ධර්මකාය දැකීමෙන් නිවන් අවබෝධ කරගත හැක. එමනිසා ලෝකයේ පවතින සත්‍ය ධර්මතා තුන අප අවබෝධ කරගත යුතුය. ඒවා නම් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යනුයි.  


විදර්ශනා භාවනාවෙන් කරන්නේ මේ ත්‍රිලක්ෂණය මනාව ප්‍රඥ‌ාවෙන් දැකීමයි ‘අනිච්ඡාදී විවිදාකාරෙන විපස්සතීති විපස්සනා’ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන මෙම තිලකුණු මනාව අවබෝධ කරගැනීම නම් විපස්සනාවයි. එය නිවන යනුවෙන්ද හැඳින්වේ.  


සබ්බේ සංඛාරා අනිච්චා  
සබ්බේ සංඛාරා දුක්ඛා  
සබ්බෙ සංඛාරා අනත්තා   


යන අරුත්වලට අනුව ලෝකයෙහි පවත්නා සියලුම සංස්කාර ධර්මයන් අනිත්‍යයයි. දුකයි, අනාත්මයි යනුවෙන් යම් කෙනෙක් ප්‍රඥ‌ාවෙන් දකීනම් ඔහුට මේ සසරින් මිදී විශුද්ධිය හෙවත් නිවනට පත්විය හැක.  


මේ ලෝකයේ හැම දෙයක්ම ඇතිවීමට හේතුවක් ඇත. එය සරල ලෙස සිතුවොත් අපි නැවත නැවත මේ ලෝකයේ උපදින්නේ තණ්හාව නිසයි. එසේනම් ඒ උපත නැති කිරීමට උපතට හේතුවන මූලය නැති කළ යුතුය. හේතුව නම් තණ්හාවයි. එසේ නම් නැති කළ යුත්තේ මේ තෘෂ්ණාවයි ‘‘හේතු නම් තණ්හාවයි. එසේ නම් නැති කළ යුත්තේ මේ තෘෂ්ණාවයි ‘‘හේතු පටිච්ච සම්භූතං හේතු භංගා නිරැජ්ඣති’ යනුවෙන් සඳහන් අන්දමට හේතුවකින් හටගත් හැම දෙයක්ම හේතුව නැති කිරීමෙන් නැති කළ හැක.  
විදර්ශනා භාවනාවෙන් කරනුයේ මේ ත්‍රිලක්ෂණයේ ස්වරූපය ප්‍රකට කිරීම හෙවත් නුවණින් දැකීමයි. නිවන කරා ගමන් කරන හැමටම එසේ නම් මේ නුවණ හෙවත් ප්‍රඥ‌ා භාවනාව අත්‍යවශ්‍ය​ වේ.  


දැන් ඔබ මතක තබාගත යුත්තේ සමථ භාවනාව යනු පංච නීවරණ යටපත් කරන සිත තැන්පත් බවට පත්කරන සමාධි සිත වර්ධනය කරන පිළිවෙළ මෙය බවයි. සමථ භාවනාව තුළින් දියුණු කර ගන්නා සමාධිය බොහෝ වේලාවක් තබාගත හැකිය. එය අපි හඳුන්වන්නේ ‘ධ්‍යාන’ යනුවෙනි. මේ ධ්‍යාන පළවෙනි ධ්‍යාන, දෙවැනි ධ්‍යාන ආදී වශයෙන් දියුණු කරගත හැකිය.   


විදර්ශනා භාවනාව මනාසේ වැඩීම නිසා ප්‍රඥාවෙහි දියුණුවත්, ඒ තුළින් ජීවිතය අවබෝධය ලැබෙන අතර අනවශ්‍ය බැඳීම්, මිත්‍යා මත ජීවිතයට අද‌ාළ නොවන පුහු බොල් දේවල් අද්භූත ආකල්ප ආදිය බැහැරවී යථාවාදීව ලෝකය දැකිය හැක. එයින් අදහස් කරන්නේ ඇත්ත ඇති සැටියෙන් දැකීමයි. එනම් උප්පාද, ඨිති, භංග ලෙස සියල්ල අවබෝධ කර ගැනීමයි.  


භාවනාව සාර්ථකව කර ගැනීමට මුළු මහත් සමාජයම කොටස් හයකට බෙදා වෙන්කර ඇත. ඒවා පුද්ගල චරිත යනුවෙන් හැඳින්වේ. ඒ බෙදීම් අනුව චරිත හයක් පිළිබඳව බුදු දහමේ සඳහන්වී ඇත. ඒවා නම්  


1. රාග චරිත, 2. දෝෂ චරිත, 3. මෝහ චරිත, 4. විතක්ක චරිත, 5. බුද්ධි චරිත, 6. සද්ධා චරිත යනුයි.  


සමථ භාවනාවේදී විශේෂයෙන් මේ චරිත 6 ට අනුව ගැළපෙන කර්මස්ථානයක් හෙවත් කමටහනක් තෝරාගත යුතුවේ. ඒ ඒ පුද්ගලයාගේ චරිත නිර්මාණයවී ඇත්තේ බොහෝවිට පෙර කරන ලද කුසලාකුසල මතය. එසේත් නැත්නම් ඒ ඒ පුද්ගලයන් කරන ක්‍රියා මතයි. ඇතමෙක් රාගාධිකව ඒවාහී ආදීනව නොදැන හෝ නොසලකා හැසිරෙන අතර සහෝදර, සහෝදරියන් වැඩිහිටියන් ආදී කිසිවකු ගැන නොතකා ඉතාමත් පහත් ක්‍රියාවල නියැලේ   


මේ ලෝකයේ සත්ත්ව වර්ග 84000 ක් පමණ ගැන සඳහන් වේ. ඒ අතරින් ඉතාම ඉහළම උසස්ම ශ්‍රේෂ්ඨම උතුම්ම සත්ව කොට්ඨාශය නම් මිනිස්සුය. එසේම ඉතාම පහත්ම නරකම අසත්පුරුෂම සත්ව කොට්ඨාශයද මිනිස්සුමයි. මෙය මෙසේ සඳහන් වන්නේ කිමදැයි අප සලකා බැලිය යුතුය.  


මිනිසා තරම් නපුරට යොමු වුවොත් නපුරු සතෙක් ​මේ ලෝකයේ නැති තරම්ය. සතුන්ගේ දළයේ හෝ වල්ගයේ පමණක් විස ඇතත් නපුරු අසත් පුරුෂ අධම මිනිසාගේ මුළු සිරුරම විස සහිත වේ. ‘‘නපුරු දුදනන්ගෙ සියොළගෙහිම විසය’’ යනුවෙන් සඳහන් වන්නේද ඒ නිසාමය. එවැනි විවිධ චරිත තමා මේ කොටස් හයට වෙන්කර අැත්තේ ඒ නිසාම ඒ චරිත තුළ විවිධ විසම හැසිරීම් පිළිබිඹු වේ. එබැවින් ඒ ඒ චරිතවලට ගැලපෙන භාවනාවක් කළ යුතු වේ.  


අප මුලින් සදහන් කළ අන්දමට රාගචරිත ඇත්තා හැම දෙයක්ම දැඩි ඇල්මෙන් කාමුක හැඟීමෙන් කටයුතු කරයි. ඒ නිසා ඔහුට ඒවායේ ඇති නිසරු බව තාවකාලික බව පෙනෙන දැනෙන භාවනාවක් ප්‍රගුණ කළ යුතුය. රාගික හැඟීම් බහුල කෙනෙකුට රාග නිශ්‍රිත බව ඇතිවීමට නම් එහි යථාභාවය පසක් කළ යුතුය. ඒ සඳහා අසුබ බව කියැවෙන අසුභානුස්සතිය හෝ මරණය ගැන කියැවෙන මරණානුස්සතිය හෝ ප්‍රගුණ කළ යුතුය. අසුභ භාවනාවේදී කියැවෙන අයුරු මේ මුළු සිරුරම ඇතුළත ජරාවෙන් පිරුණු පිටත පින්තාරු කළ කළයක් වැනිය.  


‘මිල්හේ කිමීව කායෝයං - අසුචිම්හි සමුථඨිතෝ  
අන්තෝ අසුචි සම්පුණ්ණෝ - පුණ්ණ වචරකුටී විය’’  


පිටතින් ඉතා මනරම් ලෙස පින්තාරු කර ඇතත් කළය ඇතුළත අසූචිවලින් පිරී ඇත්​තේ නම් එහි සුභ බවක් හෝ සුඛයක් හෝ සුන්දරත්වයක් නොමැත. එසේ සිරුරේ යථා ස්වභාවය අවබෝධ වන විට රාගයෙන් රත්වී කරන සමහර නොහොබිනා ක්‍රියා නවත්වා ජීවිතය ගැන සිතන්නට ආරම්භ කරයි.   


එසේම කෙතරම් සුන්දර ප්‍රියශීලි සිරුරක් වුවද ලෙඩ දුක්වලින් පීඩා විඳින බවක්ද පසක් කර ගනී. මිනිසුන්ට වගේම සත්වයන්ට ගඩු, වණ, පිළිකා ආදී නොයෙක් රෝග වැළඳේ. මේවා නොසිතා වසාගෙන ජීවත් වන්නට අප උත්සාහ කළත් මේවාට අප සියලු දෙනාම අඩු වැඩි වශයෙන් මුහුණ දිය යුතුවේ. රාගයෙන් මත් වූ අය මරණය පිළිබඳවත් නොසිතන පිරිසකි.  එනිසා මරණය ගැන සිහිපත් කර ගැනීමෙන්ද රාගාන්තිය නැති කර ගැනීමට හැකි වේ. රාගය යනු ගින්නකි. මේ තරම් ගින්නක් ලෝකයේ නැති තරම් බව ‘‘නත්ථි රාග සමෝ අග්ගි’’ යන බුදුවදනින් පැහැදිලි වේ මේ රාගය නමැති ගින්න නිතර අපි දවාලයි.  


බාහිරින් ඇතිවන ගින්නට වඩා මෙය ඉතා පීඩාකාරී වේ. ඊට හේතුව සිත තුළම හටගන්නා ගින්දරක් බැවින් දිවා රාත්‍රී මෙන්ම දිවි ඇති තුරුමත් ඉන්පසුවත් මෙයින් අප දවාලයි. එය නිවීමට ඇති සිසිල් දිය දහරාව නම් භාවනාවයි. ඒ නිසා බුද්ධිය මඳක් හෝ ඇති ඇත්තෝ මෙය තේරුම්ගෙන අසුභ භාවනාව, මරණානුස්සති භාවනාව වැනි භාවනා ප්‍රකට කර ජීවිතාවබෝධය ලබාගනී.  


පුහුදුන් සත්වයන් තුළ නිතර භාවිතා වන කම්සුවය තාවකාලික සුවයක් පමණක් බව බොහෝ පිරිසට අවබෝධ නොවේ. එහෙත් ධර්මය තුළින් එහි ඇති යථා බව පසක් කොටගෙන රාගයෙන් අතමිදී භාවනාවට යොමුවී කටයුතු කිරීමෙන් සිත සනසාගත හැක.

 

 

 

සටහන - අසුන්තා එදිරිසූරිය